ප්ලෝටස්ගේ කඹය | සිළුමිණ

ප්ලෝටස්ගේ කඹය

ලෝටස් (ක්‍රිපූ 254 - 184) නම් රෝම නාට්‍ය රචකයා විසින් ලතින් බසින් රචිත නාට්‍ය අතරින් එකකි ‘රුඩන්ස්’. අංක හයකින් සමන්විත දිගු නාට්‍යයක් වන මෙය එනමින්ම ඉංග්‍රීසියට පරිවර්තනය වී ඒ ඇසුරෙන් කැරුණු සිංහල පරිවර්තනයයි ‘කඹය’.

ක්‍රිපූ 27දී පමණ ග්‍රීක අධිරාජ්‍යය මුළුමනින්ම රෝම අධිරාජ්‍යයට යටත් වූ බව සඳහන්ය. ඔගස්ටස් සීසර් ඒ දක්වා පැවැති යුද්ධවලින් විනාශ වූ ග්‍රීසිය යළි ගොඩ නැංවීමේ උත්සුක විය.

ඒ වනවිට ග්‍රීක සංස්කෘතිය, දර්ශනය සහ කලාව අද්වීතීය වැ වැජැඹිණි. මෙසමයේ රෝමයේ ලුඩි රොමානි නම් ක්‍රීඩා සැණකෙලියක් පැවැත්වුණු අතර මෙයින් පසු ඊට නවාංග ලෙස නාට්‍ය ප්‍රදර්ශනයක් ද එක් වී ඇත. මේ වනාහි ග්‍රීක වාර්ෂික නාට්‍ය උලෙළ අනුකරණයක් විය.

රෝම ජනයා ග්‍රීක නාට්‍ය හැඳින්වීමට ලතින් බසින් විශේෂ නමක් යොදා ගත්හ. ‘ෆැබ්‍යුලා පල්ලෙයාටා’ යනු එයයි. ලතින් බසින් ෆැබ්‍යුලා යනු කතන්දර වන අතර පල්ලයොටා යනු ඉංග්‍රීසියෙන් ‘ක්ලෝක්’ ය. සිංහලෙන් එය ‘කබාය’ වේ. කෝට් සහ ක්ලෝක් අතර වෙනසක් ඇත. මීට හේතුව සමහරවිට ග්‍රීක නාට්‍යවල පාත්‍ර වර්ගයා ක්ලෝක් එකක් හෙවත් දිගු අත් නැති කබායක් හැඳ සිටීම විය හැකිය. මේ සිංහල පරිවර්තනයේ ඊට දී ඇති නම ‘වස්ත්‍ර නාට්‍ය’ ය. මුල් කාලයේ ලතින් බසින් ලියැවුණු රෝම නාට්‍ය ද එනමින්ම හැඳින්විණි.

ග්‍රීක නාට්‍ය අනුසාරයෙන් පසුකලෙක නිපැයුණු රෝම නාට්‍ය ලතින් බසින් ‘ෆැබ්‍යුලා ටොගෝටා’ නම් විය. එහි අරුත සිවිල් සමාජයේ කතා යන්නයි. ඉන් අදහස් කෙරෙන්නේ ඒවායින් නිරූපණය වූයේ සාමාන්‍ය ජනයාගේ කතන්දර බවය.

රෝම නාට්‍ය කලාවට මහත් මෙහෙවරක් කළ පුද්ගලයකු ලෙස සම්භාවනාවට පාත්‍ර වන ප්ලෝටස් ‘කබා කතන්දර’ වර්ගයේ නාට්‍ය කිහිපයක් රචනා කළ කෙනෙකි. ඔහු නාට්‍ය 23ක් රචනා කළ බවත් ඒවායින් 20ක් සුරැකිව තිබූ බවත් සඳහන්ය. ඒ සියල්ල ග්‍රීක සුඛාන්තවලින් ආභාෂය ලැබු සුඛාන්තය. ග්‍රීක නාට්‍යවල තිබූ වාද්‍ය වෘන්දය අනුකාරක රෝම නාට්‍යවල නොතිබිණි. ඒ වෙනුවට සංවාදය ගායනීය ස්වරූපයෙන් ඉදිරිපත් කරනු පිණිස රචිත බව පැහැදිලිය. (සිංහබාහු, මනමේ වැනි නාට්‍ය සිහියට නඟා ගතහොත් මෙය වටහා ගත හැකි වනු ඇතැයි සිතේ.) ඒවා ගැයුණේ පසුබිම් සංගීතයක් ඇතිවය. ගීත ද නොතිබුණා නොවේ. ඒ තුනෙන් එකක් ප්‍රමාණයටය. ප්ලෝටස් සිය නාට්‍ය රචනයේදී උපයෝගි කැර ගත්තේ බටනලා වාදනයකින් ඉදිරිපත් කළ හැකි ගැයෙන දෙබස්ය. බොහෝ රෝම සුඛාන්තවල පසුතලය වූයේ ඇතැන්ස් නගරයයි. චරිතවලට දී තිබුණේ ග්‍රීක නම් ය. රංග වස්ත්‍රාභරණ ද ග්‍රීක ආකාරයේ විය. ග්‍රීකයන් අඳින පන්නයේ දිගු කබා ඇඳි චරිත වේදිකාවේ පෙනී සිටියෝය. මෙසේ කෙරෙන්නට ඇත්තේ එවැනි චරිත එකල රෝම සමාජයේ දක්නට නොලැබුණු බැවින් ප්‍රේක්ෂකයා අතින් චරිත ප්‍රතික්‍ෂේප වීම වළක්වනු පිණිසය. අනෙක ග්‍රීක නාට්‍යවල එන සල්ලාලයන්, වහලුන්, පිම්පියන් එමතු නොව ගණිකාවන් පවා එසමයේ රෝම සමාජයේ නොසිටි බව සඳහන්ය. මේ නාට්‍යවල තමන් දකින්නේ තමන් අතර සිටින එබඳු චරිත නොව ග්‍රීකයන් බව දකින රෝමානුවෝ ඒවා වැලඳ ගත්තෝය. මෙනයින් ඒවා ඇසුරෙන් රෝමානු සමාජයට යම් අහිතකර බලපෑමක් නොවූයේ යැයි ඉඳුරාම කිව නොහැකිය.

රුඩන්ස් නාට්‍යය ග්‍රීක නාට්‍ය දෙකකින් ගත් කොටස් එක්කොට ලියන ලද බව පැවසේ. මූලික වශයෙන් මෙය යාත්‍රාවකින් පැහැරගෙන යනු ලබන යොවුන් ලියන් දෙදෙනකු වටා ගෙතෙයි. නාට්‍යය ඇරැඹෙන්නේ පූරකයකු විසින් ඉදිරිපත් කැරෙන පූර්විකාවකිනි. ආක්ට්‍යුරස් නම් ඔහු රාත්‍රියේ දෙවි කෙනෙකි. දහවල සාමාන්‍ය මිනිසකු සේ මිනිසුන්ගේ අවකල් ක්‍රියා ගැන ඔත්තු බලා ජුපිටර් මහ දෙවිඳුන්ට වාර්තා කරයි. අම්පෙලිස්කා සහ පැලේස්ට්‍රා නම් ඒ තරුණියන් දෙදෙනා ලබ්‍රැක්ස් නම් පිම්පියකු විසින් ගණිකා මඩමකට විකිණීම සඳහා ගෙන යනු ලැබෙති. කුණාටුවක් නිසා යාත්‍රාව බිඳී යයි. කුණාටුව මවන්නේ ආක්ට්‍යුරස් ය. ඒ, තරුණියන් දෙදෙනා ගලවා ගන්නටය. නැව බිඳී යන්නට පෙර ඉන් පැන ඊට සවිකොට තිබූ ජීවිතාරක්‍ෂක කුඩා යාත්‍රාවකට නැඟ ගන්නට තරුණියෝ දෙදෙනා සමත් වෙති. දිවි ගලවා ගන්නා ඔවුන් දිව එන්නේ වීනස්ගේ දෙවොලකටය. තරුණියන් දෙදෙනා අතරින් අම්පෙලිස්කාට ආදරය කරන තරුණයකු සිටී. ප්ලෙසිඩිප්පස් නම් ඔහු මේ වනවිටත් ඇය සඳහා ලබ්‍රැක්ස්ට මුදල් ගෙවා තිබේ. ලබ්‍රැක්ස් ඇය විකුණන්නට ගෙන යන්නේ ප්ලෙසිඩිප්පස්ට චංචා කරමිනි.

තරුණියන් දෙදෙනාට දේවස්ථානයේ රැකවරණය ලැබීම, ඔවුන් දෙදෙනා සිටිනා තැන ඔවුන්ගේ මිතුරන් මෙන්ම පීඩකයන් දැන ගැනීම, අවසානයේ ඔවුන් ගලවා ගැනීම යන සිද්ධි මේ දිගු නාට්‍යයේ එයි.

ලබ්‍රැක්ස්, පැලෙස්ට්‍රා පැහැරගෙන එන්නේ ඇය සතු සියලු දෑ අඩංගු ට්‍රංක පෙට්ටියක් ද සමඟය. එය මුහුදේ පාවෙමින් තිබී ග්‍රිපස් නම් අයකුගේ දැලට හසුවේ. ග්‍රිපස් යනු මෙහි ප්‍රධාන චරිතයක් වන ඩයමොනිස්ගේ වහලෙකි. ඔහු එය රහසිගතව වසන් කැර ගන්නට උත්සාහ කරන නමුත් ට්‍රකාලියෝ නම් වහලකු එය දැක ඩයමොනිස්ට දන්වයි. අවසානයේ විභාගයකින් පසු පැලෙස්ටාට එය ලැබේ.

‘කඹය’ බන්ධුල ජයවර්ධනයන්ගේ කෘතියකි.

Comments