කුරුලු කැදැල්ලක් සුනු විසුනු කළ මං පහරන ජෝඩුව සමඟ ආ මාරයා | සිළුමිණ

කුරුලු කැදැල්ලක් සුනු විසුනු කළ මං පහරන ජෝඩුව සමඟ ආ මාරයා

වස­ර­කට පෙර රසික හා පූජා විවා ද වූදා
වස­ර­කට පෙර රසික හා පූජා විවා ද වූදා

 

පූජා ගුණසේකරගේත්, රසික විනෝද්ගේත් විවාහයෙන් ආරම්භ වූ ජීවන ගමන් මඟේ පෙරළුණේ එක් පිටුවක් පමණි. දෑඟිලි බඳිමින් ආරම්භ වූ මේ යුවළගේ වසර හයක ආදරයේත්, වසරක විවාහයේ අවසානය සනිටුහන් වූයේ පසුගිය 20 වැනිදාය. විවාහයෙන් අනතුරුව රසික පූජාගේ එකම ආරක්ෂකයා, රැකවලා විය. රසික සිය යුතුකම වගකීම ඒ ආකාරයෙන්ම ඉටු කළේය. කුරිරු කොල්ලකාර ජෝඩුව හමුවේ රසික සිය ජීවිතය පුදන්නේද තම බිරිඳට ඒ ආරක්ෂාව, රැකවරණය නොඅඩුව ලබා දීමෙනි.

ගම්පහ අකරවිට ප්‍රදේශයට ගෙවී ගිය සතිය ආරම්භයේදී විදුලිය විසන්ධි වූයේ සවස 6.30 පසුවීමෙනි. මේ නිසාවෙන් රැකියා සඳහා ගිය බොහෝ දෙනෙක් ගොම්මන් වැටෙද්දී සිය නිවසට ළඟා වූයේ දැඩි අඳුර මධ්‍යයේය. විදුලිය විසන්ධි වීම හේතුවෙන් අවට නිවැසියන් නිවෙස් තුළට වී සිටියෙන් වටපිටාවේ සිදු වන්නේ කුමක්ද යන්න පිළිබඳ හරිහැටි වැටහීමක් නොවුණි. මෙය මහ මූසල සිදුවීම් ගොන්නකට අත වන්නනට හොඳම පසුබිමක් විය.

පූජා හා රසික විවාහ වූයේ මීට හරියටම වසරකට පෙරය. ආදර සම්බන්ධතාවයකින් විවාහ වූ ඔවුහු තාවකාලිකව පදිංචිව සිටියේ පූජාගේ මහ ගෙදරය. ගම්පහ අකරවිට ඥානවිමල මාවතේ වූ ගුවන් තොටුපළ පරිශ්‍රයේ වූ මහජන බැංකුවේ සේවය කළ 29 හැවිරිදි රසිකගේ මහගෙවල් පිහිටියේ කොච්චිකඩේ ප්‍රදේශයේය. ජාඇළ ගම්පහ මාර්ගයේ අකරවිට ඥානවිමල මාවතේ පිහිටි පූජාගේ නිවසට යාමට අතුරු පාරක් විය. අධිවේගී මාර්ගයේ වැඩ කටයුතුද ඒ ආසන්නයේ සිදු කෙරෙමින් තිබුණද විදුලි විසන්ධිය නිසා ඒ කටයුතු පවා වේලාසනින්ම අවසන් වන්නේය. පූජාගේ මව විදේශගතව සිටින අතර, පියා වන චමින්ද ගුණසේකර හා කොළඹ විශ්වවිද්‍යාලයේ දෙවැනි වසර සිසුවියක වන පූජාගේ නැඟණිය අමා ගුණසේකර පදිංචිව ඇත්තේද ඒ දෙමහල් නිවසේය. කලින් හෘද සැත්කමකට ලක්කර ඇඳ විවේක ලබමින් සිටි පියා ඒ වන විටත් තරමක අසනීපයෙන් පසුවිය.

පූජාගේ නිවස පිහිටි අකරවිට ඥානවිමල මාවත රාත්‍රියේදී මහ මූසල බියකරු බවක් උසුලන්නේය. එක් පසකින් වෙල්යායක් ඇති මේ මාර්ගයේ නිවෙස් ඇත්තේ අතරින් පතරය. අවස්ථා කිහිපයකදීම මේ මාර්ගයේ ගමන් ගන්නා අයට මංකොල්ලකරුවන්ගේ මංකොල්ලකෑම්, හිරිහැර කිහිපයක්ම සිදු වී තිබීමෙන් ගම්වැසියන් මේ මාර්ගයේ ගමන් කරන්නේද දැඩි අවධානයෙනි. එසේම නිවැසියන්ද රැකියාවට ගොස් පැමිණෙන අය කෙරෙහි මහත් අවධානයෙන් පසුවන්නේ කොයි මොහොතක හෝ අවදානමක් සිදුවේ යැයි ඇති බිය නිසාය. මේ සිදුවිම් මාලාව නිසා හදිසි කරදරයකදී වුවද අසල්වාසින්ගේ ඉදිරිපත් වීම අඩු හෙයින් තමන්ගේ ආරක්ෂාව තමන්ම සපයා ගත යුතු තැනට කාලාන්තරයක සිට පත්ව ඇත.

පසුගිය 20 වැනිදා රසික සිය සේවා මුරය අවසන් කර කලින්ම නිවසට පැමිණියේ සිය බිරිය පූජාගේ පියා වෛද්‍යවරයකු හමුවට ගෙන යාමටය. ඔවුන් ඒ ගොස් පැමිණියද පූජා නිවසට පැමිණෙන්නේ අඳුර වැටෙද්දීය. නිවසේ සිට මිදුලට බැස්ස පසු පූජා එන මාර්ගය නිවසට හොඳින්ට පෙනෙන්නේය. නමුත් දැඩි අඳුර හා විදුලි විසන්ධිය ඒ සියල්ලටම හරහට සිටියේය. එදා පූජා රැකියාව අවසන් කර බසයෙන් බැස නිවසට යන පාරට පැමිණියේ ඇයගේ නිවස ආසන්නයේ වූ හිතවතියක වූ ගයනි සමඟිනි.

“ අයියා කලින්ම වැඩ ඇරිලා ගෙදර ඇවිත් හිටියේ. අක්කා බස් එකෙන් බැහැලා අපේ ගෙවල් තියෙන අතුරු පාරට එද්දි 6.45 ට විතර වෙලා. ලයිට් කපලා. හොඳටම කළුවර. වෙනදට එයා තනියම ආවට එදා එන්න අපේ ගේ පාරේ අක්කා කෙනෙක් හමුවෙලා. දෙන්නත් එක්ක ගෙවල් පාරට හැරෙද්දිම තාප්පය අයිනේ බයික් එකක ගෑනු කෙනකුයි පිරිමි කෙනකුයි ඉඳලා තියෙනවා. ඒ දෙන්නා එකපාරටම අනිත් අක්කගේ බෑග් එක උදුරන්න හදලා. මේ දෙන්නා උදුරා ගන්න නොදී කෑගහලා. කෑගහද්දිම බයික් එක ස්ටාට් කරලා මේ දෙන්නා ඇදගෙනම අපේ පාර දිගේ ඇවිත්. බිම දිගෙත් ඇදිලා ඇවිත්. ඒ වෙලාවේ ඉඳන්ම අපේ අක්කා උදවු ඉල්ලලා කෑගහලා. ඒත් කවුරුත්ම උදව්වට ඇවිත් නැහැ. අපේ ගේ කිට්ටුවට එනකොට අක්කා ‘ අනේ අපිව බේර ගන්න ‘ කියලා කෑගහන සද්දය තාත්තාට ඇහිලා. අසනීපයෙන් සිටියත් තාත්තා එළියට පැනලා මේ දෙන්නා එක්ක නොසෑහෙන්න පොරබදලා. තාත්තා දෙන්නවත් එක්ක බයික් එක පාරේ වතුර කානුවට තල්ලු කරලා. මේ සද්දෙට ගෙදර හිටපු අක්කගේ මහත්තයා දුවලා ගිහින් තියෙනවා. මේ වෙනකොට පොරබැදුවේ අපේ ගේ ඉස්සරහ. රසික අයියා අක්කලව බේරගන්න මැදිහත්වෙන කොට කානුවේ වැටිලා හිටපු පිරිමි කෙනා පිටේ තිබුණු කඩුවක් අරගෙන අයියට කොටාගෙන ගිහින් තියෙනවා. අයියට දෙතුන් පාරක් කොටන කොට එයා වැටිලා. ඉන් පස්සේ තාත්තටත් කඩුවෙන් කොටලා. අතක් කඩලා. වටපිට අය එකතු වෙන්නත් කලින් බයික් එකත් දාලා කළුවරේම වෙල දිගේ පැනලා ගිහින් තියෙනවා....“ ඒ පූජාගේ නැඟණිය වන අමා ගුණසේකරය.

ගම්පහ මූලික රෝහලට ගෙනියන විටත් රසික ජිවිතය හැර ගොස් තිබුණි. පූජාගේ පියා චමින්ද ගුණසේකර පැය පහමාරක හදිසි සැත්කමකට ලක් කිරීමෙන් අනතුරුව තවමත් ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලබයි.

අප ගම්පහ අකරවිට පූජාගේ නිවසට යන විටත් දේහය රසිකගේ නිවස වූ කොච්චිකඩේට ගෙන ගොස් තිබුණි. රසිකගේ ඝාතකයන් වූ මේ මංකොල්ලකාර ජෝඩුව පළාතේ නමගිය අපරාධකාරයෝ බව සැළය. පූජාගේ පියා මංකොල්ලකාර ජෝඩුව සමඟ සටන් කරද්දී ඔවුන් ඒ වන විටත් කොල්ලකෑ භාණ්ඩ රාශියක් අසල වතුර කනුවට වැටී තිබූ බව සැලය. පොලීසිය සොයාගත් පරිදි මේ ජෝඩුව ගණේමුල්ල කොටුගොඩ ප්‍රදේශයේ පදිංචි මත්කුඩු භාවිතයට තදින්ම ඇබ්බැහි වූ ජෝඩුවකි. ඔවුන් පැමිණි මෝටර් සයිකලයද ඊට දින හතරකට පෙර සොරාගත් එකකි.

“ මේ පළාතේ නිතරම මංකොල්ලකෑම් වෙනවා. අපි හරි බයෙන් ජීවත් වෙන්නේ. මේ සිදුවීම වූ දවසට දවස් කිහිපයකට කලිනුත් මේ වගේ මංකොල්ලකෑම් කිහිපයක් ආරංචි වුණා. පූජාගේ තාත්තා මංකොල්ලකාරයත් එක්ක පොර බදිද්දි ඒ දෙන්නා බයිසිකලයක් එක්ක කානුවට තල්ලු කළාම හෑන්ඩ් බෑග් තුනක්, ෆෝන් තුනක්, මුද්දක් වගේ බඩු ගොඩක් කානුවට වැටිලා තිබුණා. ඒවා අපි පොලිසිය එනකම් ආරක්ෂා කළා. මේ අය රසිකට කඩුවෙන් කොටලා, පූජාගේ තාත්තටත් කොටලා වෙල දිගේ පැනලා දිව්වා. වටපිට කිසි කෙනෙක් මේ අවස්ථාවේ ඉදිරිපත් වුණේ නැහැ. එහෙම ආව නම් මේ අපරාධය වැළැක්වෙන්න හරි මේ දෙන්නා අල්ලගන්න හරි තිබුණා. කළුවරේම වෙල දිගේ පැනලා ගිය මේ ජෝඩුව යන ගමන් රත්ඤ්ඤා කොටුව කියන හරියේදී කාන්තාවකගේ මාලයකුත් කඩාගෙනයි ගිහින් තියෙන්නේ. ඒ ගෑනු කෙනා කෑගහන සද්දයත් අපිට ඇහුණා. ඊට ටික වෙලාවකට පස්සේ තවත් ජෝඩුවක් ඇවිත් අපිට කිව්වා, ඒ අයගේ බෑග් එකත් ඒ වෙලාවේ මංකොල්ල කෑවා කියලා. ඒ කියපු විස්තර අනුව මේ දෙන්නා බව අපිට තේරුණා. අපිට තවත් ආරංචියක් ලැබුණා, රසිකව මරලා ගියාට පස්සේ පිරිමි කෙනා බයිසිකලය ගන්න මෙතැනට ඇවිත් හිටියා කියලා. .....“ ඒ අසල්වැසි කාන්තාවක් වන නිල්මිණි පඩුවාවලය.

මේ වන විට මේ ජෝඩුව අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් තුනක් පත් කර ඇත. එයින් පොලිස් කණ්ඩායම් දෙකක් ගම්පහ කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රෝහණ ගමගේද සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වෙයි. තුන්වැනි කණ්ඩායම යොදවා ඇත්තේ බස්නාහිර පළාත් උතුරු දිසා නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්නගේ අධීක්ෂණයෙනි. මේ කණ්ඩායම් තුන මේ වන විට ගණේමුල්ල, මාකිලන්ගමුව, ‍කොටුගොඩ, සිදුව යන ප්‍රදේශවල සි.සී.ටී.වි කැමරා දර්ශන උපයෝගි කර ගනිමින් මෙහෙයුම ක්‍රියාත්මක කරයි.

නමුත් අවට ප්‍රදේශවාසීහු චෝදනා කරන්නේ සිදුවීම සිදුවීමෙන් අනතුරුව ගම්පහ පොලිස් ස්ථානය දැනුම්වත් කළද අදාළ අපරාධය වූ ස්ථානයට ඔවුන් පැමිණිමට ප්‍රමාද වූ බවකි. එසේම අපරාධකාරයන් පිළිබඳ යම් තොරතුරු ලබා දුන්නද ඊට නිසි සේ පොලිසිය ක්‍රියාත්මක නොවූ බව ඔවුන්ගේ අදහසයි.

“ රසිකට කොටන දර්ශනය මම සියැසින් දැක්කා. පූජා කෑගහන සද්දෙට බේර ගන්න පාර දිගේ දුවගෙන එන කොට කුන්ෆු දර්ශනයක් වගේ පිරිමි කෙනාගේ පිටිපස්සෙන් ඇදලා ගත්තු කඩුවකින් තමයි රසිකටයි, තාත්තාටයි කෙටුවේ. රසිකවත් පූජාගේ තාත්තවත් රෝහලට ගෙනියන්න කිසි කෙනෙක් සිටියේ නැහැ. ගෑනු කෙනකු වුණු මමත් තවත් අයකුත් තමයි මේ අය වාහනයට ගොඩ කළේ. අපි හතර වාතාවක් පොලිසියට කෝල් කළා. ඒත් ආවේ නැහැ. පස් වැනි වතාවේ වාහනයක් යැව්වා. පොලිසිය එනකම් අපි අපරාධ භාණ්ඩ ආරක්ෂා කළේ හරිම අමාරුවෙන්. මේ අය ගාව යකඩ කූරු වගයකුත් තිබුණා. අපිට සැක හිතුණා, මේ දෙන්නා කෙසේ හෝ යළිත් මෙතැනට එයි කියලා. කළුවරේ පාර මැද්දේ ලයිට් තියලා, පාර හරස් කරලා නඩු භාණ්ඩ ආරක්ෂා කළා. රෝහලට බෙහෙත් දාන්න ජෝඩුවක් ආ බවත් වාර්තා වුණා. ඒ බව පොලිසියට දැනුම් දුන්නා. ඒත් කිසිවක් වුණේ නැහැ. “ ඒ චතුරි පඩුවාවලය.

රසික සිය බිරි­ඳගේ
උපාධි ප්‍රදා­නෝ­ත්ස­ව­ය දා
 

රසිකටත් පූජාටත් අලුත් ජීවිතය ගැන බොහෝ බලාපොරොත්තු විය. දෙදෙනාම එක්ව නව නිවසක් තනන්නට වූයේ කොච්චිකඩේ ප්‍රදේශයේය. ලබන ජනවාරියේ ඒ සඳහා යන්නට ගෙනා ගෘහ භාණ්ඩ තවමත් පූජාගේ මහ ගෙදර තැනින් තැනය. එහෙත් සියලු බලාපොරොත්තු හා ඔවුන් ගොඩනැඟූ අලුත් ජීවිතය අතරමඟ විසිරී ඇත්තේය. පූජා සමඟ පැමිණි ගයනිගේ උදුරා ගන්නට තැත්කළ බෑගයේ තිබී ඇත්තේ රුපියල් 350 ක් වැනි සුළු මුදලක් බව වාර්තා වෙයි. නමුත් ඇයත් පූජාත් මංකොල්ලකාරයන් සමඟ දිවි නොතකා සටන් කළේ ඊට වඩා වටිනා ඇගේ ලියවිලි ඒ තුළ තිබූ නිසා විය යුතුය. ගයනිගේ සැමියා වූ නෙරංජන් ඒ වන විටත් පාර දිගේ පැමිණෙමින් සිටියේ සිය බිරිය ගයනි අඳුරේ එන නිසාය. එහෙත් ඒ කිසිවකුත් නොතකා පූජා සිය යෙහෙළිය තනි නොකළාය. පූජාගේ සැමියා රසිකත් අසනීප ගතියෙන් පසුවූ ඇයගේ පියාත් සටන් කළේ තම දියණිය, බිරිය පමණක් නොව අසල්වැසි කාන්තාවද මංකොල්ලකාරයන්ගෙන් බේරා ගැනීමටය.

කාන්තාවන් දෙදෙනකු සමඟ පොරබඳින මේ මංකොල්කරු යුවළ දුටු ගමන් රසික පවසා ඇත්තේ “ උඹත් ගැහැනියෙක්නේ...ඇයි මේ ?“ කියාය. එය රසිකගේ අවසන් වදන විය. රසික සිය තාරුණ්‍යය පූජා වෙනුවෙන් පූජා කළේ යළිත් මෙවැන්නක් ඇති නොවන්නට බලධාරින්ගේ අවධානය යොමු කරමිනි.

 

සේයාරූ - ශාන් රූපස්සර

 

 

Comments