
මාර්ටින් වික්‍රමසිංහගේ උපන්දා සිට කෘතිය තව තව ලේඛකයන් ගැන බොහෝ දෑ දැන ගන්නට විවර වෙන කුඩා පාරවල්වලින් සංගෘහිත ය. ඒවායෙහි දැල්වෙන කුඩා එළි ඔස්සේ තව ලේඛකයන්ගේ මනසේ වන ප්‍රභාව ගැන ඉඟි කෙරෙන්නේ වරක් දෙවරක් නොවේ. වික්‍රමසිංහ ලේඛකයා සිය මිරිඟුව කෘතිය හා සැබැඳුණු ඉතිහාසයක මතක උපන්දා සිට කෘතියේ සටහන් කරයි. ඕනෑ ම ලේඛකයකු ලියූ පසු තමා ලියූ දෑ ගැන නැවත නැවත සිතයි. එය සාමාන්‍ය ස්වභාවයකි. මිරිඟුව ලියූ වික්‍රමසිිංහ ද තමා ලියූ දෑ ගැන අතෘප්තිමත් ව එය මුද්‍රණය කිරීම නවතන ලෙස මුද්‍රණ කන්තෝරුවට දැනුම් දී තිබේ. මේ ගැන දැන ගන්නට ලැබුණු ප්‍රකට කවියෙක් එකී අච්චු කන්තෝරුවට ගොස් මේ අත්පිටපත කියවා බලා තිබේ. එකල, මෙකල මෙන් අනෙකාගේ පොත මුද්‍රණය කරන්නට නොදෙන සේ වළ කැපූවෝ අවම වූහ. ඔවුහු කුහකත්වයෙන් තොර ව එකිනෙකා ගැන සොයා බැලූහ. මේ ද එවන් අවස්ථාවකි. අත්පිටපත කියවූ ප්‍රකට කවියා කියා ඇත්තේ මේ කෘතිය මුද්‍රණය කළ යුතුම බවෙකි. ඒ අනුව මාර්ටින් වික්‍රමසිංහ ද උත්තේජනය ලැබ කෘතිය පළ කරන්නට තීරණය කර තිබේ.
තවකකුගේ නිර්මාණයක් ගැන තමා ම සොයා බලා ඒ ගැන වන අවංක විචාරයෙන් යුතු ව එය පළ කරන්නට අත හිත දුන් ඒ විචාරක සහෘදය කවියා බොරලැස්ගමුවේ ජී. එච්. පෙරේරා ය. නිහතමානීත්වය, අන් අය කෙරෙහි වන ගෞරවය, සිය ජනසමාජය ගැන වන ආදරය මුසු ගෞරවය මේ ඈ සියල්ල ම විද්‍යමාන චරිතයක් වන්නේ නම් ඒ ජී. එච්. පෙරේරා කිවිදාණන් ය.
කාටත් අමා මෙත් කරුණා වැඩිය හැකී
කාගෙත් සැපත දැක ලියලන සතුටු වැකී
මා සිත් තුළින් මැදහත් ගුණ නොයෙයි මැකී
බෝසත් සිරිත ලෝකය මා කෙරෙන් දකී
කාගෙත් සැපත දැක ලියලන සතුටු වැකී යන කවි පදය පමණක් වුව මේ කවියාගේ මුදිතා ගුණය ගැන නිදසුනකි.
කවියකු ලෙස පරසිඳු වුව ද හේ කවියට ම ලඝු කිරීම ඔහුට කරන අසාධාරණයක් යැයි සිතේ. කවියේ සියලු අංශ කෙරෙහි නොතිත් හැකියාවෙන් යුතු හේ අත වදන් මියුරු වන්නේ ඇසුුරු සැණිනි. ඇසුරු සැණින් ලියූයේ වුව ද ඒ කවියෙහි අරුත් නිරුත් හෝ මියුරු බවෙන් හෝ වෙන යම් දෙයකින් හෝ අඩුවක් නොවෙයි. ඒවා අර්ථසම්පන්න ය; ගුණ සම්පන්න ය; ගේය ගුණයෙන් යුතු ය; ජීවිතාවබෝධයෙන් සන්නද්ධ ය. ජී. එච්. කෙටිකතාකරුවකු, නවකතාකරුවකු, කවියකු, සිත්තරකු මෙන් ම ගුවන්විදුලි ශිල්පියකු මෙන් ම පුවත්පත් කලාවේදියකු හා ගුරුවරයකු ලෙස ද නෙක ක්ෂේත්‍රවල දස්කම් දැක්වූයේ ය. සිතුවම් ශිල්පයේ නිපුණ ඔහු සැළලිහිණි සන්දේශයේ කවි සිතුවමට නැඟුවේ ය. එපමණකින් නොනැවතෙන හේ වෙලේ නියරේ ද දස්කම් පෑවේ ගොවිකම රජකමටත් වඩා හොඳ බව සිතමිනි.
අද මෙන් ම එදා ද ඕනෑ එකට මෙන්ම එපා එකට ද කොමිසම් පත් කළේ ය. මේ කොමිසම් ගැන අපහාසයෙන් නොව උපහාසයෙන් බලන්නේ නිර්මාණකරුවන් ය. මේ හැම එකකට ම පත්කරන කොමිසම් ගැන කවියෙන් උපහාසාත්මක වදන් පබඳන්නට ජී. එච්. ද පසුබට වූයේ නැත.
හොද්ද ලුණු වැඩි නිසා අඹුවට ගෙහිමියා සැර වූ සැටී
බැද්ද මාළුව හොරෙන් කෑවට කුස්සි අම්මා ලද ගුටී
රෙද්ද ඉරිලා හාමිනේගේ දාසි සරදම් කළ සැටී
නැද්ද කොමිසම් සභාවට තව කීවේ කවුරුත් වැඳ වැටී
ජී. එච්. හිටිවන කවියේ ද ශූරයෙකි. පී. එම්. සේනාරත්නගේ කොළඹ යුගයේ කවියෝ කෘතියේ හිටිවන කවිය අලංකෘත කළ ජී. එච්. ගේ කවියක් ගැන සඳහන් ය. ඒ අනුව ජී. එච්. පෙරේරා සිංහලය හදන හැටි යනුවෙන් දේශනයක් පවත්වා තිබේ. කතාව අවසානයේදී සභාවෙන් ජී. එච්. කවියාට හිටිවන කවියක් කියන ලෙස අරාධනාවක් ලැබේ. ලැබුණු ඇරයුම එක සිතින් පිළිගන්නා ජී. එච්. කියන්නේ මෙවැනි කවියකි.
පිරිමි සතා මී මැස්සා
හොඳ හොඳ මලටම රිස්සා
රාගෙන් වූ කල පිස්සා
ඌම තමයි නිල මැස්සා
සභාවෙන් කවියට ලැබුණේ නොමඳ ඇගැයුමකි. පිරිමි පාර්ශ්වය ගැන පමණක් කවි කිවීම ගැන බොරුවට උරණ වූ කාන්තාවෝ තමන් ගැනත් කවියක් කියන මෙන් ජී. එච්. ගෙන් ඉල්ලා සිටියහ. මොහොතක් ඉවසිල්ලේ සිටි ජී. එච්. කාන්තාවන් ගැන කියූයේ අමුතුම කවියකි. ක්ෂණික කවිත්වය පවා කෙතරම් මිහිරි හා උපහාසාත්මක කවිත්වයකින් යුතු වූයේ ද යත් ඊට පහත පැදිපෙළ නිදර්ශන ය. පාදක වන්නේ ද තමා අවට වන උදාහරණ ය. කිසිදු වෙහෙසකින් හෝ අපහසුවකින් තොරව තේරුම් ගැනීමේ පහසුව සතු ය.
වත දෙස බැලූ කලත් මලකී
සිත දෙස බැලූ කලත් මලකී
ගත දෙස බැලූ කලත් මලකී
ඉතිරිය සහමුලින් මලකී
ජී. එච්. ගේ කවි උපහාසාත්මක ය. ඒ වගේම යටින් දිවෙන දාර්ශනිකත්වයකින් යුතු ය. කවි පදවල රැඳුණු උපහාසය හේ සිය වතමඬලෙන් ද බැහැර කළේ නැත. ගම සමඟ බොහෝ බැඳියාවකින් යුතු වූ ඔහුගේ ජීවිතයේ බොහෝ අංග ඒ හා ගොඩනැඟුණු ලක්ෂණවලින් උපලක්ෂිත විය. ලංකා සමසමාජ පක්ෂයේ ආරම්භක සාමාජිකයකු වෙන ජී. එච්. පෙරේරාට එකල රැස්වීම්වලදී දෙන්නේ අවසන් කතාව ය. ඒ රැස්වීමට සහභාගී වෙන ජනතාව අවසන් මොහොත දක්වා රඳවා ගැනීමේ අවශ්‍යතාව නිසා ය. ඇන්. ඇම් ලා, කොල්වින් ආර් ලාගේ කතා අහන ජනතාව රැස්වීම අවසන් වෙනතෙක් ඉන්නේ ජී. එච්. ගේ සදය උපහාසය හරිහරියට ඇතුළත් වූ කතාවත් කවිත් අසන්නට ය.
කයිකතන්දර නමින් ඔහු නිකුත් කරන කෘතිය එකී ජන සමාජයේ වූ විවිධ අනුසිද්ධීන්ගේ එකතුවක් විණි. එහි පෙරවදනේ සිය අරමුණ ගැන ජී. එච්. ලියන්නේ මෙලෙසිනි.
‘වැද්දා කිසිදිනෙක සිනාසෙන්නේ නැතැයි කියති. ශිෂ්ටත්වයෙන් වැද්දාට ළං කළ හැකි මිනිසාට ද සිනාව රිස්සුම් නැති. සුළු කරුණෙහි පවා කෝප වෙනුයේ එහෙයිනි. ඔවුනතින් භයානක අපරාධ සිදු වේ. මීට කළ යුතු හොඳම පිළියම නම්, ඔවුන් හැකිතාක් අහිංසක විනෝදයට හුරු කිරීමයි‘
මිනිසුන් සිතා හෝ නොසිතා කරන යම් යම් කාර්යයන් නිසා සිදුවන සමහර දෑ ගැන අපහාසයෙන් නොව ලේඛකයා බලන්නේ උපහාසයෙනි. එය හුදෙක් සමාජ ක්‍රමය ගැන වන කියැවීමක් හරහා කරන සදය උපහාසයකි.
සිය ජීවිතයේ රැකියාවේ ගැටලු අවස්ථා පවා බොහෝ අය කළමනාකරණය කරගන්නේ සමහර විට තරහෙනි. ද්වේශයෙනි. එහෙත් ඔහු ඒවා ඉවසුවේ මුව රැඳි සිනාවෙන් යුතු ව ය.
සමාජ සංසිද්ධි හා ගැටලු පිළිබඳ ව ද ඔහුගේ දෘෂ්ටිය මඟ නොහැරුණේ වෙයි. දෙවැනි ලෝක යුද්ධය පැවැති සමයේ ලංකාවේ ද ආහාර හිඟය උග්‍ර ව පැවැතිණි. ජී. එච්. මේ පිළිබඳ කියන්නේ සමාජ දේශපාලන කියැවීමකින් යුතු ව ය.
දෙවිටම ඉදි අප්පං කෑම දැන් දැන් පුරුද්ද යි
එය ද දිවට නැංවන්නේ අපුල්ලාපු හොද්ද යි
කට මෙහෙම කොලොප්පන් වන්න කාරණ කුමක්දැ යි
ලොකු තැනකට කප්පම් කත් නොදීමේ වැරැද්ද යි
ලොව සිදුවන සියලු සංසිද්ධීන් එකක් ම ය. එය සිදුවන ආකාරය එකක් වුව අප මුහුණ දෙන්නේ විවිධාකාරයට ය. එදා ද අද මෙන් ආහාර හිඟකම් මෙන් ම අල්ලස් සූරා කෑම් ද තිබුණු බව අප දැන ගන්නේ ඉතිහාසය කියැවීමෙන් මෙන් ම මේ වැනි නිර්මාණ පරිශීලනය කිරීමෙන් ය.
අල්ලස් දීමත් අල්ලස් ගැනීමත් ඒ වැනි ම වූ කාර්යයකි. කලාකරුවෝ අත ගොඩනැඟෙන සමාජීය කාරණා සර්වකාලීන සේම සර්වභෞමික ද වෙති. ඒ ගැන ද ජී. එච්. ලියූ කවි අතරින් මේ පැදිපෙළ උපුටා ගන්නේ ඔහු කෙතරම් තත්කාලීන සමාජය කියැවීමට ලක්කෙළේ ද යන්න ගැන පෙන්වීමට ය. තමන් මුහුණ දුන් යම් යම් කාරණා ගැන හේ සවිඥානික වෙන්නේ එය සර්වකාලීන සංසිද්ධියක් බැව් ඔහු දන්නා නිසා ය.
අල්ලසක් පෙන් වී
නම් කෙනෙක් හට ළං වී
සියලු තෙද සුන් වී
හෙතෙම රූකඩයක් ලෙසින් වී
මේ අල්ලස් යකා
ගේ බලය නැත ඉමෙකා
උගෙ බැල්මැති එකා
වනයි වලිගය පයත් ලෙවකා
ජී. එච්. පුවත්පතට ලිව්වෙ ආරූඪ නම්වලිනි. සිංහල පුත්‍ර, රාජමුරාරි වැනි නම් ඊට උදාහරණ වෙති. කුමන නමකින් ලිව්වත් ලේඛකයා අන්‍යතාවක් ගොඩ නඟා ගෙන ඇත්නම් එය පළපුරුදු පාඨකයා හඳුනා ගන්නේ ය. බොරලැස්ගමුවේ ජී. එච්. පෙරේරා ද එබඳු ය. ජී. එච්. කියා නොදැම්ම ද මේ ලියන්නේ ඔහු බව ඔහුගේ ශෛලියෙන් පාඨකයෝ හඳුනා ගත්හ. සිංහල ජාතිය, සරසවි සඳරැස, සිංහල බෞද්ධයා, කවීන්ද්‍ර, ස්වදේශ මිත්‍රයා වැනි පුවත්පත් සහ සගරාවලට ජී. එච්. ගේ දායකත්වය බෙහෙවින් ලැබිණි.
ජී. එච්. ගේ කාව්‍ය ග්‍රන්ථ ද බොහොමයක් ජනගත වී තිබේ. ඒවා අතර බුද්ධ ස්ත්‍රෝත්‍ර හෙවත් බුදු ගුණ, අපේ රට, වරකා මදුළු, මගේ මල්ලී, වෙසක් රස බසක් හා සිංහල සිරිත ආදී කෘති වෙති. ඔහු පුත් පසිඳු කවි හා පුවත්පත් කලාවේදී විමලසිරි පෙරේරා විසින් සිය පියාණන් පිළිබඳ කෘති කිහිපයක් හා ඔහු ලියූ දෑ එක්කොට සම්පාදිත සංස්කරණ කිහිපයක් නිකුත් කර තිබේ. ඒ අතර ජී. එච්. පෙරේරා කාව්‍ය සංග්‍රහය, කයිකතන්දර හා මගේ අදහස් නම් කෘති කිහිපය අප ද පරිශීලනය කර තිබේ.
ජී. එච්. ගේ මුද්‍රණද්වාරයෙන් එළිදක්වනු ලැබූ නවකතා දෙක වන්නේ සිංහල මංගල සූත්තර හා සූදු අන්තුවා ය. ඒ 1947 හා 1948 දී ය. සූදු අන්තුවා කෘතියට පෙරවදන ලියන්නේ ද ඩබ්ලිව්. ඒ. ද සිල්වා ය. මේ නවකතා දෙක ම ජී. එච්. ගේ 50 වැනි ගුණානුස්මරණ උත්සවය නිමිතිකොට ගෙන සෝමවීර සේනානායක විසින් සංස්කරණය කරන ලද ජී. එච්. පෙරේරා නිර්මාණ විමර්ශන ග්‍රන්ථයෙහි ද සඳහන් ය.
ඊට අමතර ව ඔහුගේ දළදා මැදුර හා නැන්දාගේ සුරතල් යන ග්‍රන්ථ ද්විත්වය ද මුද්‍රණයෙන් නිකුත් වී තිබේ. එළිදරව්ව හා හෙළදිවු පුවත නම් ඉතිහාස ග්‍රන්ථ දෙක ද ඔහු විසින් රචිත කෘති ද්විත්වයකි.
ජී. එච්. විසින් වරින් වර ලියන ලද අදහස් එක්කොට ඔහු පුත් විමලසිරි පෙරේරා සංස්කරණය කළ මගේ අදහස් නම් ග්‍රන්ථයෙහි ඇති අකුරක් පාසා මිනිස් ජීවිත හා චර්යාව ගැන නැවත හැරී බැලීමකි. එහි කුඩා කුඩා තෝරාගත් වැකි අන්තර්ගතය. ජීවිතාවලෝකනය කරන අදහස් සමුදායකි. එයින් එකක් ඔබ වෙත දක්වන්නේ මේ වැකි අතරේ ඇති ජීවන දහම හඳුනා ගැනීම පිණිස ය.
‘කුණුසරුප කීම මෙන් ම ඇසීම ද නින්දිත ය. නමුත් ස්ත්‍රීන් දෙදෙනකු විශේෂයෙන් ම කටබහ ඇති ගැහැනුන් කුලමල කියා අසභ්‍ය භාෂාවෙන් බැණ ගන්නා විට එය අසාගෙන සිටීම මට මහත් ප්‍රීතියකි. ඔවුන්ගේ ක්‍රියාවට වඩා මගේ ක්‍රියාව නින්දිත විය හැකි ය. නමුත් මට එය විනෝදයකි. මා ඊට අකමැති වෙතොත් එසේ වන්නේ අනුන් දැක දැක එය අසා ඉඳීමට ය. එසේ බැණ ගන්නවුන් නැවැත්වීමට මම නිතරම පාහේ ඉදිරිපත් වෙමි. එසේ කරන්නේ ශිෂ්ට ගතියක්, ශීලාචාරකමක් රකින්නට මිස ආශාවකින් නො වේ.
මා වැනි පුදුම මිනිස්සු තවත් ඇද්ද?
කවියා කියන්නේ මලකි. කවියෝ නමැති මල් නෙක සුවඳ විහිදුවති. සමනලුන් බඹරුන් මේ සුවඳ විඳ පැණි උරා බොති. එහෙත් ඒ සුවඳ හෝ මල් පැණි කිසිදිනෙක නිම නොවේ. ඒවා ගන්නට ගන්නට තව තවත් නිපැදවෙයි. කවියා ද මලක් වැනි යැයි කියන්නේ ඒ නිසා ය. ඔහු තව තවත් නිර්මාණ උපද්දවයි. ඒවා පොදු පාඨක මන රංජනය වෙනුවෙන් සර්වකාලීන නිමැවුම් වෙති. ඒ නිර්මාණයන් හි ඵල පරම්පරා ගණනක් තිස්සේ සුවඳ විහිදෙමින් හමන්නේ ඒ නිසා ය. බොරලැස්ගමුවේ ජී. එච්. පෙරේරා කවියා ද එපරිදි ය. හේ දශක පහක දිවිසැරිය නිම කළේ ඒ දිවිසැරියටත් වඩා බර ලිවිසැරියක් අපට දායාද කරමිනි.