කඩ­වත නයි පැටියා පුංචි පැංචාගේ සප­ත්තුව අස්සේ හැංගී කොළඹ ආන­න්දෙට ආ හැටි | සිළුමිණ

කඩ­වත නයි පැටියා පුංචි පැංචාගේ සප­ත්තුව අස්සේ හැංගී කොළඹ ආන­න්දෙට ආ හැටි

සුගිය අගෝස්තු 23 වැනි අගහරුවාදා කොළඹ ආනන්ද විදුහලේ විදුහල්පති ලාල් දිසානායකට ශිෂ්‍යයකුගේ සපත්තුව සම්බන්ධ පැමිණිල්ලක් ලැබෙන්නේ උදේ 6.30 ට පෙරය. සෙරෙප්පු දෙකක්වත් මිලදී ගැනීමට අපහසු සිසුන් 250 කට ශිෂ්‍යත්ව ලබාදී ඔවුනට සපත්තු හා සියලු බර පැනද දරන විදුහලක් බැවින් පැමිණිල්ල ඒ සපත්තු ගැන බව යැයි

වරදවා වටහා ගත යුතු නැත. විදුහල්පතිවරයාට මේ සපත්තු පැමිණිල්ල ගෙන ආවේ අට ශ්‍රේණිය භාර ගුරු භවතාගෙනි.

 

"සර් පන්තියේ ළමයෙක්ගේ සපත්තුවේ ඉදලා ආපු නයෙක් ළමයාට දෂ්ට කළා."

"මෙහෙ මරදානේ මොන නයි ද, නයාව බෝතලයකට දාල ළමයාව ලේඩි රිජ්වේ එකට ගෙනියන්න ලෑස්ති කරන්න" මම ටක්ගාලා එන්නම්.

විදුහල්පතිවරයා සිදුවීම සිදුවූ ස්ථානයට එනවිටත් ගුරුවරු ගුරුවරියන් තම රථයකින්ම 'නාග දෂ්ටයට' ලක්වූවා යැයි කියන දරුවා 'ලේඩි රිජ්වේ' රෝහලට ගෙන ගොස් හමාරය.

මේ පිළිබඳ ඇත්ත නැත්ත සොයනු අටියෙන් එදිනම අප ගියේ ආනන්ද විදුහලටය. විදුහල්පතිවරයා හමුවට යාමට ප්‍රථම අපට හමු වුයේ පිරිසිදු කිරීමේ කටයුත්තේ නිරත පුද්ගලයෙකි. මෙවැනි විධිමත්ව එක කුණු බිඳක් නැතුව ක්‍රමවත්ව නඩත්තු කරගෙන යන පිරිසිදු පාසල් භූමියක 'නාගයකු' හමුවීම අපට ප්‍රශ්නයක් විය.

" මං ආනන්දයේ වැඩට ඇවිත් අවුරුදු 18 ක්. මේකේ කවදාවත් නයි පැටියෙක් තියා ගැරඩි පැටියෙක්වත් දැකල නෑ. ඔය නයා කාපු ළමයා ඉන්න පන්තිය තියෙන්නේ තුන්වැනි තට්ටුවේ. නයි පැටියෙක් කොහොමද තට්ටු තුනක් බඩගාගෙන ගියේ?"

ඒ නිසා ඒ ශිෂ්‍යයාගේ අන්‍යන්නතාව සුරැකීමට ඔහුව අප ශෙහාන් චතුරංග යයි හඳුන්වමු.

මේ ශිෂ්‍යයාගේ පන්ති බාර ගුරුතුමිය අපට පවසා සිටියේ ශෙහාන්ගේ හා මව තමන්ට නිතර කතා කොට ශිෂ්‍යයාගේ අධ්‍යාපනය ගැන කරුණු විමසන බවය.

“ මේ නයි පැටියාගේ ප්‍රහාරයට ලක්වූ ශෙහාන්ට සිටින්නේ 'අක්කා' කෙනකු පමණි. ඇය රෝගාතුර වීම නිසා ගෙදර උදවිය සිට ඇත්තේ ගෙදර පිරිත් කියමිනි. පසුගිය අඟහරුවාදා මේ ශිෂ්‍යයා නිවසෙන් පිටත්වන්නේ කඩවත තම නිවසේ සිට අඳුර මැකී යෑමටත් පෙර සිටය. පාසල් රථය පැමිණ නලාව නාද කරන විට මේ ශිෂ්‍යයා හදිස්සියට තම සාලයේ වූ සපත්තු දෙක දාද්දී දකුණු පාදයේ සපත්තුව අස්සෙන් ආවේ 'චිරිස්' ගා සද්දයකි. ඒත් ඔහු සිතා සිට ඇත්තේ සපත්තු ලේස් එක ගැලවී සපත්තුව ඇතුළට ගොස් තිබූ නිසා මේ තත්ත්වය ඇති වී ඇති බවකි. කඩවත සිට කොළඹට එන තුරු ශිෂ්‍යයාට කිහිපවිටක් තම දකුණු පාදයට ඉදි කටු තුඩකින් අනින්නාක් මෙන් දැනී තිබුණි.

“ඉතින් මේ දරුවට තිබ්බනේ වෑන් එකේම සපත්තුව ගලවන්න" අංශභාර ගුරුභවතාගෙන් අසා සිටියෙමි.

“එහෙම කළා නම් ඉතින් තව කීපදෙනෙක්ගේ කකුල් මේ සර්පයා කයිද? අනෙක වාහනයක මේ සතා අතහැරියා නම් ඩ්‍රැයිවර් කලබල වෙලා තව අනතුරක් වෙන්න තිබුණා.“

'ආනන්දෙට ගිය කඩවත නයි'

මේ පසුගියදා මුහුණු පොතේ මේ සිදුවීම් ගැන පුද්ගලයකු තබා තිබූ 'සටහනකි. “ ශෙහාන් කඩවත සිට ආනන්ද විදුහල අසලින් බහින විට උදේ 6.30 වත් වී තිබුණේ නැහැ. අනන්දයේ සත්මහල් ප්‍රසාදයේ තුන්වැනි මහලේ පන්තියට ගිය ශෙහාන් තම පුටුවේ හරි බරි ගැසී දකුණු කකුලේ සපත්තුව ගැලෙව්වා පමණි.

සපත්තුවෙන් එළියට ස්ප්‍රීන් එකක් මෙන් එළියට ආවේ සර්පයෙකි. පැය ගණනාවක් සපත්තුවේ ඇතුළේ චප්ප වී ආ නිසා පාසලේ ටයිල් පොළව මත ඌ බඩගෑවේ මරණාසන්න ගතියකිනි.“

"අන්න ශෙහාන් සපත්තුව ඇතුළේ රබර් නයෙක් දාගෙන ඇවිත්" පන්තියේ එක සිසුවෙක් කෑමොර දෙන්නට විය.

ශෙහාන්ගේ සපත්තුවේ සිට ආ අපහසුවෙන් බඩගාන උරගයා දෙසට කොළ ගුලියකින් ගැසු ශෙහාන්ගේ අසල පුටුවේ මිතුරකු උරගයාගේ ප්‍රතිචාරයෙන් මවිතටය පත්විය.

"එක පාරටම පෙනේ පිප්පුවා පෙනේ නිකං ලොසින්ජර් එකක් විතර ඇති, තේ හැන්දකට වැඩිය පොඩියි. ඔළුවෙ 'ප' අකුර නියමෙට තිබ්බා"

කොළඹ ආනන්ද විදුහලේ උරගන් ගැන විශේෂඥ ගුරුවරයකු සහ ශිෂයන් දෙදෙනකුද සිටි. ඔවුන් පාසලේ උරගයන් ගැන දැනුවත් කිරීමට විවිධ වැඩසටහන් පවා ඉදිරිපත් කරන අවස්ථා ඇත. මේ ගුරුවරයා මුලින්ම කළේ උරගයාව බෝතලයක පියන ඇර ඒ තුළට අද්දවා ගැනීමෙන් පසු මූඩිය වසා දැමීමය.

ශෙහාන්ට වූ විපත දැන එතැනට පැමිණි අංශභාර ගුරුවරුන් මෙන්ම ගුරුවර ගුරුවරියන් ඔහුගේ පාදය වහා සබන් දමා සෝදන ලදී. ඉන්පසු විලුඹ ළඟින් රෙදි පටියක් ගැටගසා ඇඟිලි දෙසින් නයි විස හිස දෙසට ගමන් කිරීම අඩපණ කරන ලදී. පාසලේ ගුරුවරියක් තම රථය වහා පදවාගෙන ආවේ ශෙහාන් සමඟ ආශභාර ගුරුවරිය හා තවත් ගුරුවරියක්ද කැටුව ය. මේ අතර බියපත්ව සිටි ශෙහාන්ව සනසවන්නට ගුරු මණ්ඩලය ක්‍රියා කළේ නොනවත්වාය.

ශෙහාන් රැගෙන ආනන්දයෙන් එළියට පැමිණි රථය වමට හරවා ගියේ පුංචි බොරැල්ල දෙසටය. එතැන් සිට එහි සිටි ගුරු භවතුන් ශෙහාන්ට සෙත්පතා පිරිත් සජ්ඤායනය කිරීම ආරම්භ කරන ලදී. පුංචි බොරැල්ල කලර් ලයිට් එකේ දී රතු එළියට වාහනය නවත්වන විට වාහනය පදවාගෙන ආ ගුරුවරිය එතැන සිටි පොලිස් නිලධාරියකුට කතා කළාය.1

සිසුවා අධ්‍යාපනය ලැබූ සත්මහල් ගොඩනැගිල්ලේ තෙවන මහලේ පිහිටි
පන්ති කාමරය

"මේ ආනන්දයේ ළමයෙක්ට බේත් ගන්න යන්නේ ලේඩි රිජ්වේ එකට ටිකක් අමාරුයි. පාර ක්ලියර් කරල දෙන්න"

රතු එළිය වැටි තිබුණත් පොලිස් නිලධාරියා පුංචි බොරැල්ල බෝගහ ඉදිරිපිට හතරමං හන්දිය ඉදිරියට පැන විසිල් ගසා ශෙහාන් රැගෙන පැමිණි වාහනයට යන්න ඉඩ දුන්නේ විශේෂ රාජ්‍ය තාන්ත්‍රිකයකුට ගමන් කරන අන්දමිනි.

පොලිස් නිලධාරියාට 'ශෙහාන්ට අසාධ්‍ය' යන වාක්‍ය අසා සිටි ශෙහාන් එය අසා බියපත්ව හඬන්නට පටන් ගත්තේ තමන්ට යම් විපතක් සිදුවේ යයි සිතා විය යුතුය.

"නෑ නෑ පුතා අපි පාර ඉඩ ගන්න ඕන හින්දා එහෙම කිව්වේ පුතා බයවෙන්න එපා" ගුරුවරිය ශෙහාන් සනසන්නට විය.

ලේඩි රිජ්වේ රෝහලට යන විටත් එහි සේවකයන් ශෙහාන් රැගෙන එන තුරු මඟ බලා සිටියහ. ඔහුව ඇතුළු කෙරෙන්නේ අට වාට්ටුවටය. මේ සමග බෝතලයක දමා රැගෙන ගිය නයා රැගෙන ගිය රෝහල් සේවකයා ටික වේලාවකින් ෂේහාන්ට ඇතුළු කර සිටි වාට්ටුවට පැමිණෙන්නට විය.

"තව පොඩ්ඩෙන් හුස්ම ගන්න බැරුව නයා මැරෙනවා" මූඩිය ඒ තරම් තදවෙලා අපි මූඩිය බුරුල් කරලා ඌටත් පොඩි බේතක් දැම්මා"

"අපේ තාත්තා ගෙදරට ආපු කිසිම සතෙක් මරන්න දෙන්නේ නෑ. අපේ වත්තේ නයි ඇත්තෙත් නෑ. කොහෙන් ආවද මන්දා සපත්තුව අස්සට. තාත්තා ආවම නයා ඉන්න බෝතලේ තාත්තට දෙන්න" ශෙහාන් ඉල්ලීමක් කළේය.

ඉන්පසු ලේඩි රිජ්වේ වෛද්‍යවරුන් ශෙහාන් 'නයි ප්‍රහාරයට' ලක් වූවා යැයි කියූ දකුණු කකුලේ ඇඟිලි ප්‍රදේශ දැඩි පරික්ෂාවට ලක් කරන ලදී. එහිදි නයකුගේ දල ප්‍රහාර 2ක් දැක ගන්නට හැකි විය. එහෙත් ඊට ප්‍රතිකාර කොට එන්නත් ලබාදීමට එම ප්‍රහාරයට ලක්වූ ඇඟිලි ස්පිරිට් වර්ගයකින් සේදීමේදී ඒවා නයි දල නොවන බව තහවුරු වී ඒ නිසා එන්නත් ලබාදීමක් අවශ්‍ය නොවී.

එහෙත් වෛද්‍යවරුන්ට ප්‍රශ්නයක් වූයේ ශෙහාන්ගේ මේස් දෙකේ ඇසට නොපෙනෙන තරම් කුඩාවට කුඩා ලේ බිංදු 2ක් සටහන් වී තිබීමය.

ශෙහාන්ගේ මව හා පියා ශෙහාන්ට වු අනතුර අසා ලේඩි රිඡ්වේ රෝහලට පැමිණියත් ඇතුළට ගොස් ශෙහාන් සිටි වාට්ටුවට යන්නට අවසර ලැබුණේ ශෙහාන්ගේ මවට පමණි. ඒ කොරෝනා උවදුර නිසා බාහිර පැමිණීම් දැඩි ලෙස සීමාකර ඇති නිසාය.

ශෙහාන්ගේ ඉල්ලීම පිට නයි පැටියා සහිත බෝතලය ශෙහාන්ගේ පියාට බාරදෙන ලදී. මේ නයි පැටියා ප්‍රමාණයෙන් අඩියක පමණ දිග එකෙකි. ශෙහාගේ පියා බෙල්ලන්විල අත්තිඩිය වන සත්ත්ව

ආනන්දයේ සිසුන් සිටින පන්ති කාමරයක්

රැඳවුම් මධ්‍යස්ථානයට නයි පැටවා බාරදුන් විට නයි පැටියා පරික්ෂා කොට ශෙහාන්ගේ පියාට වනජීවිය පවසා ඇත්තේ මේ ප්‍රමාණයෙන්ම නයි පැටව් 20 ක් වත් අසල ඉඩමක සිට සැරිසරන බවට සැක සහිත බවය. එහෙත් එදින ගෙදර ගිය ශෙහාන්ගේ පියා අසල්වැසියන් කිහිප දෙනෙකුද සමඟ පළාතම පරික්ෂා කළ මුත් කිසිදු නයි පැටවකු සොයා ගැනීමට හැකි වූයේ නැත.

මේ වන විට නයා බෙල්ලන්විල අත්තිඩිය වන සත්ත්ව රැඳවුම් මධ්‍යස්ථානයේ ආරක්ෂිතව පසුවෙයි. නයා ඒ මධ්‍යස්ථානයට ලබා දුන්නේ එදිනම දහවල්ය.

“ ලංකාවේ සිටින්නේ එකම නයි විශේෂයයි. මේ නයි පැටවා අඩියක පමණ දිග එකෙක්. ඉපදී දින 12ක් පමණ ඇති. මේ නයා අපි එකවර රක්ෂිතයකට හෝ ජනශූන්‍ය ප්‍රදේශයකට මුදා හරින්නේ නැහැ. දැනට අපි ළඟ නයි 5-6 ක් පමණ ඉන්නවා. කිහිප දෙනෙක් එකතු වුණාම අපි මේ නයි රැගෙන ගිහින් විල්පත්තු හෝ උඩවලව රක්ෂිතවලට මුදා හරිනවා. නයි පැටියා නොමරා වනජීවියට බාර දීම පිළිබඳව ආනන්දයේ විදුහල්පති සහ ගුරුවරුන්ට ස්තූතිවන්ත වෙනවා“ ඒ බස්නාහිර වන සත්ත්ව රැඳවුම් මධ්‍යස්ථනයේ ප්‍රධාන පශු වෛද්‍ය නිලධාරී සුහද ජයවර්ධනය.

ශෙහාන්ට මේ නයි පලහිලව්ව නිසා අත්වූ ඉරණම ගැන ආනන්දයේ ගුරුභවතුන් ඇතැම් සන්නිවේදන මාධ්‍ය ගැන කතා කළේ පිළිකුල් ස්වරූපයෙනි.

"එක පත්තරේක දාල තිබ්බා තඩි නයෙක්ගේ පින්තූරයක් එක්ක සිසුවෙක්ගේ සපත්තුවේ නයෙක් කියලා. ඒ තරම් නයෙක් සපත්තුව ඇතුළෙ නෙමෙයි ශෙහාන්ට බෑග් එකේ වත් දාගෙන එන්න බෑ. මේ වගේ දේවල්වලට ඇයි ළමයන්ගේ නම් දාන්නේ, චැනල් එකකින් ගිහින් ශෙහාන්ගෙයි අම්මාගෙයි රූප වාට්ටුවේදී අරන් තිබ්බේ බලෙන්. ශෙහාන්ගේ තාත්තා බැන බැන හිටියේ, මට වාට්ටුවට මගේ දරු පැටියා බලන්න ඇතුළු වෙන්න දුන්නේ නෑ. චැනල්වල කට්ටිය පින්තූරත් අරන් දාල ඒ ළමයගේ අනාගතයම විනාශ කළා කියලා"

"ආනන්දෙ ඉන්නේ ළමයකුට කන්න අඳින්න පොත පත නෑ කිව්වොත් තමන්ගේ මුද්ද අල්ලපු මහජන බැංකුවේ උගස් තියලා සල්ලි ගෙනත් දෙන ගුරුවරු. සෙරෙප්පු දෙකක්වත් ගන්න සල්ලි නැති ළමයි 230 කට ආනන්දයේ ශිෂ්‍යත්ව දීලා උගන්වනවා.. ඇයි මේවා ගැන ප්‍රචාරයක් දෙන්නේ නැත්තේ? මේවට පස්සෙන් පන්නලා එන මාධ්‍ය මේ හොඳ වැඩ ගැනත් එහෙම දානවා නම් කොච්චර හොඳ ද?

මෙම සිද්ධිය ගැන ආනන්ද විදුහලේ විදුහල්පතිවරයාගෙන් විමසන්නට පෙර අප හමුවූයේ ලේඩි රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ජී. විජේසුරියයි.

තම සපත්තුවේ ඇතුළාන්තය පිළිබඳ උන්දුවෙන් පිරික්සන සිසු පිරිසක්

"සර්පයෙක් දෂ්ට කළාම ගොඩ වෙදකම් කර කර ඉන්නේ නැතුව අඩුම වේලාවකින් ළඟම ඉස්පිරිතාලෙට එන්න ඕන. ආනන්දෙ අය නයි පැටියත් බෝතලේක දාගෙන ආවා ඒ අතින් බැලුවම ආනන්ද විදුහලේ මේ ක්‍රියා කලාපය ලංකාවේ සියළුම පාසල්වලට ආදර්ශයක්.

මීට කලින් මේ වගේ නයි පැටව් සපත්තු අස්සේ ඉඳලා දරුවෝ රෝහල්ගත වෙලා තියෙනවාද?

"මේක පළවෙනි අවස්ථාව, සාමාන්‍යයෙන් ගෙම්බෝ, පත්තෑයෝ වගේ සපත්තුවල හිටපු අවස්ථා තිබුණා".

"මේ ළමයා රෝහලට ඇතුළු කිරීමට කඩිනමින් පියවර ගැනීමට 'ආනන්දය' ආදර්ශයට ගත යුතුය කියන්නේ ඇයි?

"මේ සතාගේ අධික විස ශරීරගත වී තිබුණා නම් ප්‍රමාද වීම මරණයට පවා හේතු වෙන්න පුළුවනි. සපත්තුව සර්පයන්ට ගුහාවක් වගේ. සපත්තු ෂූ රැක්වලමත් තියන්න එපා. සිලි සිලි බෑග්වල දාල ගැටගහල එල්ලල තියන්න. නැත්නම් බිත්තියක හරි කණුවක ඇන ගහල එල්ලල තියන්න. සපත්තුව දාන්න පෙර හොඳින් පරික්ෂා කරන්න. පොළවට ගහන්න. අත දාන්න එපා අතට දෂ්ට කළොත් මොළයට විස ගමන් ගන්න ඉතාමත් ළඟයි.

අවසානයේ අප නැවත හමු වුයේ ආනන්ද විදුහලේ විදුහල්පති ලාල් දිසානායක ය.‍ "ආනන්ද විදුහලේ විතරක් නොමෙයි හැම දෙමාපියෙක්ම මේකෙන් ආදර්ශයක් ගන්න ඕන. ළමය ගැන සැලකිලිමත් වෙන්න. මේ සිද්ධියට මුහුණ පාපු ළමයා වාසනාවන්ත ළමයෙක්. එයාට විනාඩි ගණනකදි ප්‍රතිකාර ගන්න රෝහලට ඇතුළු කරන්න ආනන්දයේ ගුරුවරු සමත් වුණා. ළමයි කියන්නේ පොඩි දරුවෝ. දරුවෝ ගැන අපි ආකල්පමය වශයෙන් බලන්න ඕන. සෑම දෙයක්ම දෙමාපියන් පිට පටවන්නේ නැතුව ළමයිනුත් දැන ගන්න ඕන තමන්ට ආරක්ෂාව සලසා ගන්න."

ආනන්ද විදුහලේ ඉතිහසයේ මෙවැනි සිදුවීමක් වාර්තා වී තියෙනවද?

"ඔබට පේනව ඇති අපි ආනන්ද විදුහල ඉතාම පිරිසිදුවට තබාගෙන ඉන්නේ. මේ වගේ තත්ත්වයක් පාසලේ බාහිරව ඇතුළු වුණ දෙයක් මිසක් පාසල් භූමිය තුළදී ඇති වුණ දෙයක් නෙමෙයි". ආනන්දයේ විතරක් නෙමෙයි රටේ සමස්ත පාසල් ශිෂ්‍ය ප්‍රජාවම මේක ආදර්ශයක් කර ගන්න අනතුරු නිවාරණයට. අනතුරක් වුණාම පස්සේ පසතැවිලි වුණාට වැඩක් නෑ.

නැවත ආනන්දයට සමුගෙන එහිදි එහි පාඨය හෙමින් කියවිමි.

"අප්පමාදෝ අමතපදං"

ඒ පාඨය කියන්නාක් මෙන් අප්‍රමාදව වැඩ කළ නිසා එක් සිසුවෙකුගේ වටිනා ජීවිතය බේරී තිබේ. එමෙන්ම දැන් රටේ දෙමාපියන් 'අප්‍රමාදව' කටයුතු ඇරඹිය යුත්තේද තම දරු දැරියන් ගැන සුපරික්ෂාකාරිව සිටීමය.

 

 

Comments