වන්දනාවේ එන ඔබ වෙනුවෙන් AIA පොසොන් ජාතික මෙහෙවර | Page 3 | සිළුමිණ

වන්දනාවේ එන ඔබ වෙනුවෙන් AIA පොසොන් ජාතික මෙහෙවර

පොසොන් පොහොය උදා වීමට ඇත්තේ තවත් දින කිහිපයකි. ඉතාමත් දුෂ්කර කාල පරිච්ඡේදයකට මුහුණ දෙමින් වුවද, පොසොන් වන්දනාවට සැරසෙන බැතිමතුන් තවත් දින කිහිපයකින් අනුරාධපුරයට ළඟා වනු ඇත. එසේම, මේ කාලය තුළ මේ වන්දනා නඩ සියල්ලෝ පාහේ ඒ අවට ඇති කුමන හෝ වැවක ඔයක ජලාශයක බැස ස්නානය කරනු ඇත.

AIA ඉන්ෂුවරන්ස්, Poson Safety Programme හෙවත් 27 වැනි පොසොන් ජීවිතාරක්ෂක වැඩසටහන, ඉතාමත් සැලසුම් සහගත අයුරින් මෙවර ද සූදානම් කර ඇත්තේ, දියට බසින ඔවුන්ගේ ඒ ජීවිත සුරකිනු පිණිස ය. එසේම, වන්දනාවේ ගිය සතුටත් සමඟ ඔවූහු යළි නිවෙස් බලා යා යුතුය... යන උතුම් චේතනාව පෙරදැරිව ය.

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී, චතුරි මුණවීර මහත්මිය මෙම සද්කාර්ය පිළිබඳ පැවසූයේ මෙවැනි අදහසකි.

" AIA පොසොන් රැකවරණ ව්‍යාපෘතිය1993 වසරේ සිට ජාතික වශයෙන් වටිනා සුවිශේෂී වැඩසටහනක් බවට පත්ව තිබෙනවා. මෙවර අප මෙය පවත්වන්නේ 27 වැනි වරටයි.

පසුගිය වසර ගණනාව පුරාවට වටිනා ජීවිත 200 කට අධික ප්‍රමාණයක් බේරා ගැනීමට මේ ඔස්සේ අපට හැකියාව ලැබුණා. පවුලක දරුවෙක්, මවක්, පියෙක් හෝ මුළු පවුලක් ම රක්ෂා කරන සහෝදරයෙක්... මෙම රැකවරණ වැඩසටහන ඔස්සේ ඒ බේරාගත් අය අතර සිටින්නට ඇති. ඒ හැම ජීවිතයක් ම ඔවුන් ගේ පවුල්වලට කෙතරම් වටිනවා ඇතිද...

මේ වසරේදීත් පවතින වර්තමාන ආර්ථික අර්බුදය අතරතුර වුවත් මෙම ජාතික වැඩසටහනට උරදීමට අප කැපවුණේ, යහපත් කාලයක් තුළ පමණක් නොව ජනතාව පීඩාකාරී කාලවකවානුවක් ගෙවමින් සිටින මේ අවස්ථාවේ දීත්, එනම් ඔවුන්ට අවශ්‍යම මොහොතේ අප ඔවුන් සමඟ සිටිය යුතු නිසයි..."

AIA ඉන්ෂුවරන්ස් සමාගම එසේ හඳුන්වා දුන් පොසොන් ජීවිතාරක්ෂක වැඩසටහනේ නිර්මාතෘ දීපාල් සූරියආරච්චි මහතා, ඒ පිළිබඳ සිය මතකය ආවර්ජනය කළේ මෙලෙසිනි.

"සෑම පොසොන් පොහොයකට ම ලක්ෂ සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන් පිරිසක් අනුරාධපුරයට රැස් වන්නේ එය ආගමික සහ ඓතිහාසික වශයෙන් ඉතාමත් වැදගත් සිද්ධස්ථානයක් වන නිසා. අනෙක් පළාත්වලින් වැව් බැඳි රාජ්‍යයට පැමිණෙන සැදැහැවතුන් වැවක සිසිල විඳ ගනිමින් දිය නාන්නට පෙළැඹෙන්නේ නිරායාසයෙන්.

නමුත් ආරක්ෂිතව පිහිනීමට සහ දිය නෑමට හැකි ස්ථාන කොතැනද කියා, ඔවුන් නොදන්නේ පළාතට ආගන්තුක නිසයි.

මේ හේතුවෙන් වසරකට කිහිප දෙනකුවත් පොසොන් සමයේ දියේ ගිලී මරණයට පත්වීම, සුලභ සිදුවීමක් බවට පත්වුණා. ශ්‍රී ලංකා ජිවිත ආරක්ෂක සංගමය සහ පොලීසිය මෙම අනතුරු වළක්වාලීමට ජීවිතාරක්ෂකයින් යෙදවීමටත්, ඒ පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට පුවරු සවි කිරීමටත් සහාය වන ලෙස එවකට අප සමාගමෙන් කළ ඉල්ලීම, පුරා දශක තුනකට කිට්ටු කාලයක් ජීවිත රැක ගනිමින් සිදු කරන නිර්ව්‍යාජ සමාජ සද්කාර්යක් බවට පත්ව තිබීම, ඊට සහභාගී වන සැමට තෘප්තියක් ගෙන දෙනු ඇති බවයි මගේ අදහස..."

මෙම කටයුත්තේ බැරෑරුම් ම කොටස වන්නේ, ජනතාව දැනුම්වත් කිරීම සහ දියේ ගිලෙන්නට නොදී බේරා ගැනීමයි. ඒ සඳහා, දිවයිනේ නන් දෙසින් අනුරාධපුරයට පැමිණෙන Life Savers හෙවත්, ජීවිතාරක්ෂකයින් මේ සඳහා ඇප කැපව සිටින්නේ මුළු හදවතින්ම ය. ශ්‍රී ලංකා ජිවිත ආරක්ෂක සංගමයේ සභාපතිවරයා වන අසංක නානායක්කාර, ප්‍රධාන පරීක්ෂකයකු, උපදේශකයකු සහ අන්තර්ජාතික ජීවිතාරක්ෂක සංගමයේ කලාපීය උපදේශකයකු ලෙස ද කටයුතු කරයි. AIA සමඟ එක්ව ඉටු කරන මේ උතුම් කටයුත්ත පිළිබඳ ඔහු පැවසූයේ මෙවැනි අදහසකි.

" 1994 අවුරුද්දේ මම ජීවිතාරක්ෂක සේවයට එක් වුණේ නාලන්දාවේ 15 හැවිරිදි සිසුවකු ව සිටියදී. AIA ඉටු කරන මේ සැබෑ සද්කාර්යත් එක්ක මම සම්බන්ධ වෙන්නේ 1995 පටන්. අද මම වෘත්තියෙන් ව්‍යාපාරිකයෙක්. ඒත් ජීවිතාරක්ෂක සේවයට තියෙන ඇල්ම එහෙමම යි.

තව කෙනකුට උදව් කිරීම, තමන් සතු සමාජ වගකීම ඉටුකිරීම, නායකත්වය, ඉදිරිපත් වීම, පිහිනුම් ක්‍රීඩාවේ යෙදීම සහ ඒ නිසාම මත්ද්‍රව්‍ය මත්පැන්වලින් වැළකීම... යන පාසල් ජීවිතයෙන් පුරුදු පුහුණු වූ මේ සියලු යහගුණ සහ පසුබිම තමයි, තව කෙනකුගේ ජීවිතයක් බේරා ගැනීමේ උතුම් කටයුත්ත කරා මාව පෙළැඹූවේ.

ඉස්සර ක්‍රිකට් ගහන පන්තියේ සමහර ළමයි ගෙදර ගිහින් අම්මේ මං අද ලකුණු 100ක් ගැහුවා කියද්දී, මං කිව්වේ 'අම්මෙ මං අද ජීවිතයක් බේරා ගත්තා...' කියලා. ඒක මහා විශාල සතුටක් ජයග්‍රහණයක් ලෙස හදවතින් විඳින්න මං පුරුදු වුණා. ජීවිතාරක්ෂක සේවයේ යෙදී ඉන්න අපි හැමෝම එහෙමයි.

කොහොම වුණත් අපි කණ්ඩායමක් හැටියට, මෙවරත් AIA සමඟ අනුරාධපුර ජීවිතාරක්ෂක වැඩසටහනට සහභාගී වෙන්න ලැබීම විශාල සතුටක්. පාසල් සිසුන්ටත් පුද්ගලික අංශය සමග වැඩ කරන්න, අත්දැකීම් ගන්න AIA ජිවිතාරක්ෂක පොසොන් වැඩසටහන නිසා අවස්ථාව උදාවෙනවා. දවස් පහක් කණ්ඩායමක් හැටියට අපි ඔවුන් සමඟ වැඩ කරනවා.

ඒ වගේම, අනුරාධපුර පොසොන් ජීවිත ආරක්ෂක කමිටුව තමයි,මේ කාලය තුළ ලැබුණු වැස්ස, ගොවීන්ගේ කුඹුරු වැඩ සහ බීමට ගන්නා ජලය ඇති වැව්... යන කරුණු මත පිහිටා ජනතාවට නාන්න සුදුසු වැව් මොනවා ද කියා තීරණය කරන්නේ. ඔවුන්ගේ ඒ තීරණය දැනුම් දුන් පසුවයි AIA, අපව සම්බන්ධීකරණය කරන්නේ. ඊට පසු අපි නුවර වැව, බසවක්කුලම, තිසා වැව...ආදී නාන වැව්වල ජීවිතාරක්ෂක සංගමයේ සාමාජිකයන් රාජකාරියේ යොදවනවා. මේ වැඩසටහනට සහභාගි වූ දා පටන් ගිලෙන්නට ගිය ජීවිත හත අටක්වත් මම බේරාගෙන තිබෙනවා. මනුස්සයෙක් ගොඩට ගෙනැල්ලා ඒ කෙනා ජීවත් වෙනවා කියලා දැන ගත්තම දැනෙන සතුටට මිලක් නැහැ. හැබැයි ඒ මනුස්සයා ගොඩට ගෙනාවට පස්සේ, අපි එතැන වැඩිපුර ඉන්නේ නැහැ. අපි බේරා ගත් කෙනාට වැඩිය මුහුණ දෙන්නෙත් නැහැ. ඒකට හේතුව තමයි, ඒ මනුස්සයාට අපිව හදවතට දැනුණොත්, අනේ මගේ ජීවිතයේ බේරාගත්තේ ඔයා නේද... කියන මහා ණයකාරි හැඟීමක් ඒ පුද්ගලයා තුළ උපදිනවා. එය සිදු නොවිය යුත්තක්.

මේක එක දවසක වැඩක් නෙවෙයි. පියවර ගණනාවක, දින සහ මාස කිහිපයක මහන්සියක්. ව්‍යාපාර ලාභයකින් ඔබ්බට ගිහින් AIA ඉන්ෂුවරන්ස් සමාගම ඉටු කරන මේ කටයුත්ත අගයන්න ඕනේ ඒ නිසා. වැදගත්ම දේ තමයි, මේ පාරත් වැව්වල වතුර පිරිලා. පිහිනන්න බැරි කෙනකුට ඕනෑම වතුරක් අනතුරුදායකයි. ජීවිත ආරක්ෂකයකු රාජකාරියේ ඉන්න සහ නම් කර ඇති තොටුපළ පමණක් නාන්න තෝරා ගන්න. විශේෂයෙන් රාත්‍රී වතුරට බහින්න එපා! මේ පණිවුඩය තමයි, මට අනුරාධපුරයට එන බැතිමතුන්ට දෙන්න තිබෙන්නේ..."

1979 පාසල් සිසුවකු ව සිටියදී ජීවිතාරක්ෂක සංගමයට බැඳී, අද දක්වාම කටයුතු කරන ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමයේ ජ්‍යෙෂ්ඨ උපදේශක, ප්‍රධාන විභාග පරීක්ෂක සහ වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ජීවිත ආරක්ෂක උපදේශක, පී.කේ. එදිරිසිංහ මහතා, AIA පොහොය වැඩසටහනේ සිය දායකත්වය පිළිබඳ පැවසූයේ මෙවැනි අදහසකි.

" 14වැනි වතාවටයි මම මේ වැඩසටහනට සම්බන්ධ වෙන්නේ. පිහිනුම් උපදේශකයකු ලෙස කටයුතු කරද්දී මට හිතුණු දෙයක් තමයි, ලංකාව වගේ රටක 70%ක් ම තිබෙන්නේ වතුර. 70%ක් වතුර තියෙන රටක අනතුරු වැඩියි. බහුතරයකට ජීවිතාරක්ෂක දැනුම අනිවාර්යෙන්ම තිබිය යුතුයි. මොකද, ලෝකයේ සිදුවන භයානකම අනතුර තමයි ජල අනතුරු කියන්නේ. ජල අනතුරු වළක්වා ගන්න යමක් කරන්නට නම්, පිහිනුම් හැකියාව තිබෙන අය ඉන්න ඕනේ. ඉතින්, 1978 අම්බලන්ගොඩ ධර්මාශෝකයේ ඉගෙන ගන්නා කාලයේ පටන් මටත් ඒ හැකියාව තිබෙන නිසා මං හිතුවා, ජීවිතයක් බේරා ගැනීම කළ යුතුයි කියලා. මේ වෙනකොට මම තිස් දහසකට ආසන්න සිසුන් පිරිසක් ජීවිතාරක්ෂක සේවය වෙනුවෙන් බිහි කර තිබෙනවා.ඒ සෑම කෙනකුට ම

පිහිනන්න වගේම, ගිලෙන්න යන කෙනෙක් බේරා ගන්නත් හැකියාව තිබෙනවා.

පිහිනන්නට නොදන්නා කෙනකුට මුහුදේ අනතුරුදායක බව වැඩියි. මොකද, එහි ක්ෂණික දියවැල්, ගමන් කරන දියවැල්, ස්ථිර දියවැල් සහ සදාතනික දියවැල් ලෙස, දියවැල් වර්ග හතරක් තිබෙනවා. යම් පුද්ගලයකු දියේ ගිලෙන විට ජීවිතාරක්ෂකයකුට අවබෝධයක් තිබෙනවා, එතැන දියවැලක් සහ කරන්ට් එක තිබෙන බව. ඒ නිසා ඇදිලා යන්නේ කොයි පැත්තට ද කියන එක ගැනත් ඔහුට නිවැරැදි ඉවක් තිබෙනවා.

හැබැයි මුහුදට වඩා වැව්වල සහ ගංගාවල දී ගිලෙන විට මරණය ඉක්මන්. හේතුව තමයි, වැවක ගිලුණොත් කෙනෙකු ගේ පෙනහලුවලට වතුර ඇදී යන වේගය වැඩියි. ඒ හා සමගම පෙනහලුවල ගර්ත ඉදිමෙනවා. ඊළඟට, පුප්පුශීය පටලය පුපුරනවා. හැබැයි මුහුදේ දී කෙනෙක් ගිලෙන විට, ලවණ මිශ්‍ර වතුර ලේවලට මිශ්‍ර වෙනවා. පෙනහළුවලට ඇදිලා යන වේගය අඩුයි.

කොහොම වුණත් වතුරේ දී කෙනකු ගේ මරණය සිද්ධ වෙන්න ගත වන්නේ මිනිත්තු තුනයි. පළමු මිනිත්තුවේ දී සිහිය නැති වෙනවා. දෙවැනි මිනිත්තුවේ දී හුස්ම හිර වෙනවා. තුන් වැනි මිනිත්තුවේ දී හදවත නතර වෙනවා. හදවත නතර වෙලා මිනිත්තු තුන හතරක් අතර කාලය තුළ මොළේ සෛල විනාශ වෙන්න පටන් ගන්නවා. එයට හේතුව, මොළයට අවශ්‍ය ඔක්සිජන් සැපයුම නතර වෙන එක. ඉතින් ජනතාව වතුරට බහින්න කලින් තේරුම් ගන්න ඕනේ, දියේ ගිලෙන එක මොන තරම් භයානක තත්ත්වයක් ද කියන එක. හැබැයි, මේ වේලාවේ දී අපේ ජීවිත ආරක්ෂකයින් දන්නවා, ඔක්සිජන් සහ අවශ්‍ය ප්‍රථමාධාර දෙන්නේ කොහොමද කියන එක. අපි ජීවිත ආරක්ෂක සේවයේ දී දෙන දැනුම තමයි, අනතුරට ලක් නොවී බේරා ගැනීමේ වැදගත්කම. පාසල් මට්ටමෙන් කරන වැඩසටහන්වලට මවුපියන් දරුවන් සහභාගී කළ යුතු වන්නේත් මේ නිසා.

කොහොම වුණත් ඕනෑම කෙනෙක් වතුරට බහින්න කලින් සිහි තබාගත යුතු කරුණු 25 ක් තිබෙනවා.

මත්ද්‍රව්‍ය අරන්, කෙනකුගේ අවධානයට ලක්නොවන තැනක, නාන තැන පිළිබඳ අවබෝධයක් නොමැතිව, කුසගින්නේ, ආහාර ගත් විගස... කෙසේවත් වතුරට බැසීම සුදුසු වන්නේ නැහැ. ඒ වගේම, මීමැස්මොරය සහ හෘදයාබාධ වැනි අසනීප ඇති පුද්ගලයන් වුණත් එහෙමයි.

අනික ලෝකයේ සම්මත ආරක්ෂිත ස්ථානය තමයි, රතු සහ කහ කොඩි. මේ කොඩි අතර පමණක් දිය නෑමට ජනතාව සැලකිලිමත් විය යුතුයි. ඒ වගේම දියට බසින්නට පෙර අවට ගසා තිබෙන දැන්වීම් පුවරු අවධානයෙන් කියැවිය යුතුයි. අපි වගේ ජීවිතාරක්ෂක කණ්ඩායම් කැඳවලා, අවශ්‍ය කෑම් බීම් ඉඳුම් හිටුම් දීලා මේ කටයුත්තට අපිට ධෛර්යය දෙන AIA සමාගම විතරක් නෙවෙයි අපිත් පින්වන්තයි, මේ වගේ උතුම් කාර්යයකට දායක වෙන්න ලැබුණට.

සුනාමියේ දී ජීවිත 87ක් බේරාගත්තා. AIA එක්ක අවුරුදු 16ක් වැඩ කරන්න ලැබුණු එකත් එවැනිම සතුටක් ගෙන දෙන කාරණයක්..."

ශ්‍රී ලංකා ජීවිත ආරක්ෂක සංගමයේ සහකාර ලේකම් සහ සාගර විශ්ව විද්‍යාලයේ උපදේශකයකු වන සමීර ජීවන්ත මහතා සිය අත්දැකීම් පිළිබඳ දැක්වූයේ මෙවැනි අදහසකි.

" මගේ පිහිනුම් සහ ජීවිතාරක්ෂක ජීවිතය ඇරැඹෙන්නේ මාතර මධ්‍ය මහා විද්‍යාලයේ 7 වසරේ පටන්. මෙවර ලෝක සූරතාවලියේ විනිසුරු වරයකු ලෙස වැඩ කරන්නත් මට අවස්ථාව ලැබී තිබෙනවා.

කොහොම වුණත්, AIA සමාගම සංවිධානය කරන මේ පොසොන් පොහොය ජීවිතාරක්ෂක වැඩසටහනට මම දායක වන්නේ1999 පටන්. මේ වැඩසටහන නිසා ජීවිත එකොළහක් බේරාගන්න මට අවස්ථාව ලැබුණා. අපේ රාජකාරියේ දී අපි ජනතාව දැනුම්වත් කරනවා. දියේ ගිලුණු පසු බේරා ගන්නවාට වඩා වැදගත්ම දේ, පෙර දැනුවත් කිරීමයි. ශ්‍රී ලංකාවේ ජීවිතාරක්ෂක සංගමය පිළිබඳ දැන් ලෝකයේ පිළිගැනීමක් ඇති වී තිබෙනවා. ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය, ඇමෙරිකානු තානාපති කාර්යාලය, ජපානය, එංගලන්තය සහ ජර්මනිය... වැනි රටවල් රැසක් එක්ක මේ වන විටත් වැඩසටහන් රැසක් මේ කාලයේ ක්‍රියාත්මක වනවා. අපගේ සේවාව පිළිබඳ ජාත්‍යන්තරයේ ඇති වී තිබෙන මේ තත්ත්වය අපිටත් විශාල සතුටක්. මේ සේවාව ඉතා හොඳින් කරගෙන යාමට, AIA සමාගම සංවිධානය කරන මෙවැනි වැඩසටහන් විශාල ලෙස අපට උත්තේජනයක් සපයනවා. මොකද, මේ පොසොන් සමයේ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් විශේෂයෙන් වැවක් නොදැකපු අය පවා නාන්න එනවා. මේ අයගේ ජීවිතවලට කිසිම දිය අනතුරක් නොවන්නට AIA කරන්නේ ජාතික මෙහෙවරක්. ඇත්තටම එය අනුග්‍රාහකත්වයට එහා ගිය ජාතික මෙහෙවරක්..."

පොලිස් ජීවිතාරක්ෂක ඒකකය නියෝජනය කරමින්, වව්නියාව පොලිස් සේවා පුහුණු ආයතනයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රදීප් වීරසිංහ මහතා, සිය අත්දකීම් පිළිබඳ පැහැදිලි කළේ මෙලෙසිනි

" මම නියෝජනය කරන්නේ, පොලිස් ජීවිතාරක්ෂක ඒකකය. AIA සංවිධානය කරන මේ පොසොන් වැඩසටහනට දායක වුණේ 2006 වසරේ ඉඳලා. මේ වැඩසටහනේ දී පූර්ණ කාලීනව ආරක්ෂක සේවයේ නිරතව ඉන්න නිලධාරීන්ට අමතරව, තවත් පන්සියයක පමණ කණ්ඩායමක් යොදවනවා.

ඒ අනුව අනුරාධපුර, තන්තිරිමලේ, නාච්චාදූව, කනදරාව, කළුදිය පොකුණ, පොළොන්නරුව, දඹුල්ල ප්‍රාදේශවල ජනතාව නාන්න එන හැම ජලාශයක් ම ආවරණය වන පරිදි නාවික හමුදාව, සිවිල් ආරක්ෂක බලකාය රාජකාරියේ නිරතව සිටිනවා. මේ සියල්ල අධීක්ෂණය කරන්නේ අනුරාධපුර

කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි, පුෂ්පකුමාර මහතා.

මගේ පොලිස් වෘත්තීය ජීවිතය වගේම, මම තෘප්තිමත් වන්නේ මේ ජීවිතාරක්ෂක සේවයෙන්. වතුරට බැහැලා අනතුරට පත් වුණාම කෙනෙක් බේරා ගන්නවාට වඩා හැම විටම සූදානම් ව සිටීමයි, වැදගත්. ඒ වගේම, දැනුම සහ මගපෙන්වීම ලබා දීමයි වැදගත්. ඒ නිසා අපි ජනතාවට අවධාරණය කරන්නේ, නම් කර ඇති සහ ජීවිතාරක්ෂකයින් රාජකාරියේ යෙදී සිටින ස්ථානවලින් පමණක් වතුරට බහින්න කියලයි..."

ගාල්ල මහින්ද විද්‍යාලයේ පිහිනුම් සහ ජීවිතාරක්ෂක ක්‍රීඩා භාර ගුරුවරයා ලෙස කටයුතු කරන අතුල සේනාරත්න මහතා, අවුරුදු තිහක් පුරා සිසුන් දස දහස් ගණනක් ජීවිතාරක්ෂකයින් ලෙස පුහුණු කර තිබේ. මේ ඔහුගේ අදහසයි.

" මම 1984 ඉඳන් ජීවිතාරක්ෂක සේවයේ යෙදී සිටිනවා. සෑම විටම හැදීගෙන එන පරම්පරාවක් ජීවිත ආරක්ෂක සේවය වෙනුවෙන් රටට බිහි කිරීම ඉතාම වැදගත්. එම නිසා, මේ කාර්යය උනන්දු කරවන්න ජීවිතාරක්ෂකයින් වන අපට සහ හැදීගෙන එන පරම්පරාවටත් AIA ලබා දෙන යටිතල පහසුකම් සහ අවශ්‍යතා ඇත්තටම විශාල උත්තේජනයක්. ඒ වගේම ජීවිත ආරක්ෂක සේවය ප්‍රගුණ කළ ඕනෑම කෙනෙක් තුළ ඉවසිලිමත් භාවය තිබෙනවා. ඔවුන් මානුෂීය ගුණාංගයන් දියුණුකරගත් ක්‍රීඩකයින් පිරිසක්. එක මනුෂ්‍යයකු වතුරේ හිටියත් ජිවිත ආරක්ෂකයා තමන්ගේ අවධානය ඔහුට දෙනවා. මේ පොසොන් වැඩසටහන තුළ උදේ අටේ සිට හය විතර වෙනකල් ජීවිතාරක්ෂකයින් රාජකාරියේ නිරතව සිටිනවා. ජීවිතාරක්ෂකයින් නැති රාත්‍රී කාලයේ නාන්න වැව්වලට බහින්න එපා! කියලා අපි ජනතාවට අවධාරණය කරනවා..."

දඹුල්ල පොලිස් ස්ථානයේ සේවය කරන උප පොලිස් පරීක්ෂක සුනිල් විජේසිංහ මහතා, පොලිස් ජීවිතාරක්ෂක ඒකකය නියෝජනය කරමින් මෙවර AIA පොසොන් පොහෝ දා වැඩසටහනට එක් වන තවත් පොලිස් ජීවිතාරක්ෂකයෙකි. මේ ඔහුගේ අදහස යි. " මම AIA එකත් එක්ක වැඩ කරන්න පටන් ගත්තේ 1998 පටන්. අපේ මාතලේ දිස්ත්‍රික්කයේ වෙනම ජීවිතාරක්ෂක ඒකකයක් තිබෙනවා. එහි ස්ථානාධිපති ලෙසත් මම කටයුතු කරනවා. 1993 අනුරාධපුර තමයි අපි මුලින්ම ජීවිතාරක්ෂක රාජකාරි කළේ. 1993-94 අපි අනුරාධපුරේ ගිහින් මෙහෙ එනකොට, මෙහෙ වැව්වලත් තුන් හතර දෙනෙක් දියේ ගිලී මිය ගිහින්. ඒ පසුබිම නිසා දඹුල්ල, තිසා වැව වගේ වැව් ආශ්‍රිතව ජීවිතාරක්ෂක වැඩසටහන් පටන් ගත්තා. අනුරාධපුර පොළොන්නරුව යන සෑම කෙනෙක්ම යන්නේ දඹුල්ල හරහා. ඉතින් මෙහෙ කණ්ඩලම, ඉබ්බාගමුව වගේ විශාල වැව්වලත් වන්දනාවේ යන ඒ ජනතාව නානවා. දැනට මාතලේ දිස්ත්‍රික්කයේ මහජනයා වැඩිපුර ගැවසෙන ස්ථාන හතරක් තිබෙනවා. කණ්ඩලම, ඉබ්බන් කටුව, රන්දෙණිය කියන විශාල ජලාශ සහ තෙල්ගමු ඔය. නකල්ස් ආශ්‍රිතව ලග්ගල පොලිස් වසමේ තෙල්ගමු ඔයට මේ දිනවල ජනතාව පැමිණෙනවා. ඒ වගේම නකල්ස් බලන්න එන අයත් තෙල්ගමු ඔයේ නානවා. මේ ඔයේ හරියට දියේ ගිලී මරණයට පත්වනවා. ඒ නිසා මේ පාර පොසොන් වැඩසටහන යටතේ අපි තෙල්ගමුව ඔයටත් ජීවිතාරක්ෂකයින් යොදවනවා. මේ විදියට සෑම දෙයක්ම සැලසුම් කර තිබෙන්නේ වන්දනාවේ එන බැතිමතුන් ගේ ජීවිතාරක්ෂාව වෙනුවෙන්. ඒ නිසා ඔවුන්ගේත් වගකීමක් තිබෙනවා, අවදානම් සහගත ලෙස වැව්වලට නොබසින්න.

AIA සමාගම දෙන මේ ධෛර්යයෙන් ජීවිත බේරාගන්නට වගේම, මනුෂ්‍ය ජීවිතයක් බේරා ගැනීමට පෙළඹවීම, තරුණ හදවත්වලට කාවද්දනවා. ජීවිතාරක්ෂකයෙක් කියන්නේ, කිලෝමීටර දෙකක් පිහිනීමේ හැකියාව තිබෙන කෙනෙක්. මීටර් හාරසියයක් විනාඩි නවයක් ඇතුළත පිහිනන්න හැකියාව ඔහුට තිබෙනවා. වැවක් ජලාශයක් ළඟ මේ පොසොන් සමයේ රාජකාරියේ ඉන්නේ මේ හැකියාව තිබෙන අය. ජීවිතාරක්ෂකයින් සිටින ස්ථාන විතරක් තෝරාගන්න කියා අපි ජනතාවට පුන පුනා කියන්නේ ඒ නිසයි..."

අනුරාධපුර පොලිස් ස්ථානයේ තාවකාලික පොලිස් සේවයේ යෙදී සිටින ජී.එම්.එල්.ඒ කුමාර, ජීවිතාරක්ෂකයකු ලෙස සේවය කිරීම, සිය ආත්ම තෘප්තිය කරගත් තවත් පොලිස් නිලධාරියෙකි. මේ ඔහුගේ අදහසයි.

" අපි පුංචි කාලේ පටන් වැව්වල පීනපු අය. ඒ කියන්නේ අවුරුදු නවයේ දී පටන් මම වැව්වල පීනනවා. මම පොසොන් රාජකාරියට එකතු වුණේ බොහොම ලා බාල කාලේ පටන්ම යි. අවුරුදු දහයේදී විතර මම දවස් හතරක් පොසොන් පොහොයට නුවර වැවේ ජීවිතාරක්ෂක රාජකාරි කළා. ඒ වෙලාවේ දියේ ගිලෙන්න ගිය කුඩා

ළමයෙක් ව බේරා ගත්තා. ඒ කාලේ ආසාවටත් එක්ක මං වතුරෙමයි හිටියේ. එහෙම ඉඳලා මං ලෙඩ වෙලාත් තියෙනවා. ඒත් මං අත්හැරියේ නැහැ. මට මතකයි එක වෙලාවක ගමේ වැව් සොරොව්වට ඇදිලා යන වහු පැටියෙක් වතුරට පැනලා මං බේරගත්තා. මනුෂ්‍ය ජීවිත විතරක් නෙවෙයි මං ඕනෑතරම් සත්තුත් බේරාගෙන තියෙනවා.

1993 පොලීසියට ගියාට පස්සේ පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හය මාසයක පාඨමාලාව හැදෑරුවා. එදා ඉඳන් රටේ විවිධ අවස්ථාවල මෙවැනි විශේෂ කාලවල ජීවිතාරක්ෂකයෙක් විදියට වැව්වල ජලාශවල වැඩ කළා. 1996 ඉඳන් මං ජීවිතාරක්ෂක උපදේශකවරයෙක්. එළැඹෙන පොසොන් පොහොය සමයේ වන්දනාවේ එන බැතිමතුන් ගේ ආරක්ෂාව තහවුරු කිරීමට විශේෂ සැලැස්මක් හදා තිබෙනවා. අපේ අත්දැකීම් එක්ක, අනතුරක් විය හැකියි කියන ප්‍රධාන ජලාශ සියල්ල ආවරණය වන පරිදි මේ වෙනකොටත් අපේ ජීවිතාරක්ෂකයින් ස්ථානගත කර අවසන්. මමත් මෙවර ප්‍රධාන ජලාශයක් වූ නුවර වැව භාරව කටයුතු කරනවා. වන්දනාවේ එන කිසිම ජීවිතයක් විපතට පත් නොවන්නටයි, මේ සියලු කටයුතු සූදානම් කර තිබෙන්නේ. මොකද මේ පොසොන් සමයේ වැව් බොහෝමයක වතුර පිරිලා. ඒ නිසා ජනතාව වඩාත් පරිස්සම් විය යුතුයි.

ඒ වගේම, අපි තරුණ අවධියේ පටන් ජීවිතාරක්ෂක සේවයට AIA ලබා දෙන මේ දිරිය විශාල හයියක්. තවදුරටත් ඔවුන් අපව උනන්දුව කරවනවා. ජනතාව වෙනුවෙන් කරන ඒ මෙහෙවර ගැනත් අප ඔවුන්ට කෘතවේදී විය යුතුයි..."

 

Comments