
ලංකා රාජ්‍යතාන්ත්‍රික අවිධිමත් ගමන් බලපත්‍රයක් නිත්‍යානුකූල බලයක් නොමැතිව සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකාරිය වීමෙන් අනතුරුව බරපතළ වැඩ සහිතව දෙවසරක් බන්ධනාගාර ගත වීමේ දණ්ඩනයට යටත් වූ හිටපු අමාත්‍ය විමල් වීරවංශ බිරිය වන රන්දුණු මුදියන්සේලාගේ සිර්ජා උදයන්ති නොහොත් ශෂී වීරවංශ දින 04ක බන්ධනාගාරගත වීමකින් පසු ඇප මත නිදහස් වී ඇත.
නඩු දෙකකට අදාළව පසුගිය 27 දා අධිකරණයෙන් වරදකරු වී දඬුවම් නියම වීමෙන් අනතුරුව විත්තිකාර පාර්ශ්වය සිර දඬුවමට එරෙහිව කරනු ලැබූ අභියාචනය සැලකිල්ලට ගෙන අධිකරණය පසුගිය 31 දා ඇයට ඇප ලබා දීමේ නියෝගය නිකුත් කළේය. දැන් අභියාචනාධිකරණ තීන්දුව පැමිණෙන තුරු ශෂී වීරවංශ එළියේය.
නඩු තීන්දුව
එය පුරා හත් වසරක් ඇසුණු නඩුවකි. තීන්දුව ප්‍රකාශ කිරීම තුන් වරක් ප්‍රමාද වූ නඩුවකි. අනතුරුව පසුගිය 27 වැනිදා සිකුරාදා නඩු තීන්දුව ප්‍රකාශයට පත් විය. ආගමන විගමන දෙපාර්තමේන්තුවට අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර රාජ්‍ය තාන්ත්‍රික අවිධිමත් ගුවන් ගමන් බලපත්‍රයක් සකස් කළ බවට චෝදනා ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශගේ බිරිය වන රන්දුණු මුදියන්සේලාගේ සිර්ජා උදයන්ති නොහොත් ශෂී වීරවංශට වසර දෙකක බරපතළ වැඩ සහිත අනිවාර්ය සිර දඬුවමක් කොළඹ පූර්වගාමී ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල පසුගිය සිකුරාදා (27 වැනිදා) නියම කළේය. ඊට අමතරව විත්තිකාරියට රුපියල් ලක්ෂයක දඩයක් නියම කරමින් එය නොගෙවන්නේ නම් මාස හයක (6) සිර දඬුවමක් ද නියම කළේය.
සිය සැමියා දැරූ ඇමැති පදවියේ නිල බලය හා දේශපාලන බලය යොදාගනිමින් චේතනාන්විතව මෙම වංචනික ක්‍රියාව සිදු කර ඇති බවත් ඒ සඳහා එවකට අදාළ අංශවල ප්‍රධානීන් ලෙස කටයුතු කළ රාජ්‍ය නිලධාරීන්ගේ සහාය ලැබී ඇති බවත් අධිකරණය ඇමැතූ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් කීවේය. ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙම තීන්දු ප්‍රකාශය රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත යවන ලෙස ය. අධිකරණය එය පිළිගත්තේය. සුදුසු කටයුතු සඳහා තීන්දුවේ සහතික පිටපතක් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත යවන ලෙසටද මහේස්ත්‍රාත්වරයා අධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කළේය. ශෂී වීරවංශට ඇගේ සැමියාගේ දේශපාලන බලය මත අනීතිකව උදව් කළ රාජ්‍ය නිලධාරීන් දෙවන වටයකින් අධිකරණයට පැමිණීමට නියමිතය.
අතීත කතාව
ශෂී වීරවංශ සිය සැමියාගේ දේශපාලන බලය අවභාවිත කරමින් ආගමන විගමන දෙපාර්තමේන්තුවට අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර රාජ්‍ය තාන්ත්‍රික අවිධිමත් ගුවන් ගමන් බලපත්‍රයක් සකස් කළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුලින්ම පැමිණිල්ලක් සටහන් වන්නේ වර්ෂ 2015 වසරේ ජනවාරි මස 23 දාය.
අංක 233/16 රත්නායක මාවත, දකුණු තලංගම, බත්තරමුල්ල ලිපිනයේ පදිංචි චමින්ද පෙරේරා නමැත්තෙක් මෙම පැමිණිල්ල සිදුකර තිබිණි. පැමිණිල්ලෙන් කියැවුණේ වර්ෂ 2010ක් වූ සැප්තැම්බර් මස 13 දින සහ වර්ෂ 2015 පෙබරවාරි මස 26 අතර කාලය තුළ කොළඹ දී චූදිත විසින් අංක ඩී 3642817 දරන ශ්‍රී ලංකා අවිධිමත් ගමන් බලපත්‍රය නීත්‍යානුකූල බලයක් නැතිව තමන් සන්තකයේ තබාගෙන සිටින බවය.
1993 අංක 16, 1998 අංක 42 සහ 2006 අංක 31 දරන ( සංශෝධිත) පනත්වලින් සංශෝධිත 1948 අංක 20 දරන ආගාමික හා විගාමික පනතේ 45(1) වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකළ බව දන්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම නඩු දෙක අධිකරණය හමුවේ ගොනුකරනු ලැබුවේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් නඩුව ගොනු කරනු ලැබුවේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ජයන්ත වික්‍රමසිංහය.
![]() |
ඇප අයදුම් කිරීම සඳහා හිටපු අමාත්‍ය විමල් වීරවංශ සහ දියණිය විමාෂා වීරවංශ අධිකරණ භූමියට පැමිණි අයුරු සහ වම්පසින් දැක්වෙන්නේ ශෂී වීරවංශ ඇප මත මුදා හැරීමෙන් පසු ඇය සිය දියණිය සහ පුතු සමඟ අධිකරණ භූමියෙන් පිටතට පැමිණි අයුරු ය. |
ශෂී වීරවංශ අත්අඩංගුවට
2015 පෙබරවාරි මස 06 වැනි දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීතිපතිවරයා වෙත උදෘත ගොනු කළේය. නීතිපති උපදෙස් මත ඇයගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අවසර ලබා ගත්තේය. ඒ බව ඇයට දන්වා තිබිණි. මේ අතර ශෂී වීරවංශ පෙරවාරි 21 දා නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටින බව නීතිඥයෙක් මාර්ගයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැන්වීය.
2015 පෙබරවාරි 22 රාත්‍රී 07ට ශෂී වීරවංශ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම නඩු නිමිත්ත පදනම් කරගෙන මුල් වරට අත්අඩංගුවට ගත්තේ. අනතුරුව 2015 පෙබරවාරි මස 23 වැනිදා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි. ශෂී වීරවංශ 2015 පෙබරවාරි 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන්නට අධිකරණය නියෝග කළේය.
අනතුරුව ඇය 2015 පෙබරවාරි 24 වැනිදා නෙවිල් ප්‍රනාන්දු රෝහලෙන් වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත මාරු කර යැවිණි. පසුව ඇය ඇප මත නිදහස් විණි.
චෝදනා
ශෂී වීරවංශ තමන්ගේ උපන්දින ව්‍යාජ ලෙස වෙනස් කරගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කීවේය. ශෂී වීරවංශගේ උපන්දිනය 1967.02.01 ය. එය 1971.02.01 ලෙස වෙනස් කර තිබිණි. ඇය සිය නමත් වෙනස් කර සිර්ජා උදයන්ති නම ශෙහාරා උදයන්ති ලෙසට දරුවන්ගේ උප්පැන්නවලට යොදා ගෙන තිබිණි. එමෙන්ම ඇයට ජාතික හැඳුනුම්පත් දෙකක් විය. එකක ඇයගේ නම රණසිංහ මුදියන්සේලාගේ සිර්ජා උදයන්ති ය. ජාතික හැඳුනුම්පත් අංකය 675320233V ය. අනෙක් හැඳුනුම්පතේ ජාතික හැඳුනුම්පත් අංකය 715344696V ය. එහි ඇයගේ නම ශෙහාරා උදයන්තිය. පසුව නිකුත් කළ හැඳුනුම්පත 2010.04.13 දා නිකුත් කර තිබිණි.
බරපතළම කාරණය ශෂී වීරවංශ සිය ව්‍යාජ උප්පැන්න සහතිකය ව්‍යාජ හැඳුනුම්පත ඇතුළු ව්‍යාජ තොරතුරු ආගමන විගමන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් ලබාගෙන තිබීම හා ගමන් බලපත්‍ර දෙකක් භාවිත කර තිබීමය. ඇයට ගොනුවූ මූලිකම චෝදනාව එයය.
මෙම රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රය ලබා ගැනීම සඳහා එවකට ඉදිකිරීම් ඉංජිනේරු සේවා හා නිවාස පහසුකම් ඇමති විමල් වීරවංශගේ අත්සනින් යුතු ලිපියකට එවකට ආගමන විගමන පාලක චූලානන්ද පෙරේරා ගමන් බලපත්‍රය නිකුත් කර තිබුණු බවට අධිකරණයේ දී කරුණු අනාවරණය විය. මෙම ව්‍යාජ ගමන් බලපත්‍රය ලබා ගනිද්දි මුල් ගමන් බලපත්‍රය පිළිබඳ තොරතුරු ඇය ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් වසන් කර ඇති බව හෙළි විය.
විමර්ශනයේ දී ශෙහාරා උදයන්තිය නමින් ජාතික හැඳුනුම්පත් අංකය 715344696V සහිත ජාතික හැඳුනුම්පතත්, ඒ වෙනුවෙන් ඉදිරිපත් කළ උප්පැන්න සහතිකයත් ව්‍යාජ ඒවා බව අධිකරණය ඉදිරියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔප්පු කළේය.
විමර්ශන කටයුතුවල ඊළඟ අදියර වූයේ චෝදනාවට අදාළව ශෂී වීරවංශගේ අත් අකුරු පරීක්ෂාවය. වර්ෂ 2016 ජනවාරි 29 දා විමර්ශකයෝ ශෂී වීරවංශගේ අත් අකුරු සාම්පලයක් සහ ආදර්ශ අත්සන ලබා ගනිමින් එය රජයේ අත් අකුරු පරීක්ෂක වෙත යොමුකර පරීක්ෂණ වාර්තාවක් ලබා ගැනීමට අවශ්‍ය බව අධිකරණයට කීවේය. එම වාර්තාව කැඳවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය රහස් පොලිසියට නියම කළේය. මේ ලේඛන ඇය විසින්ම සකස් කළ බව එම පරීක්ෂණයෙන් අධිකරණය තහවුරු කරගත්තේය.
අනතුරුව ශෂී වීරවංශ ව්‍යාජ හැඳුනුම්පත සකස් කළ වකවානුවේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් ජගත් විජේවීර අධිකරණය ඉදිරියට කැඳවා ප්‍රශ්න කර තිබිණි. එවකට අමාත්‍යවරයකු වූ විමල් වීරවංශ තමාගෙන් කළ ඉල්ලීමකට අනුව සද් භාවයෙන් හා මනුෂ්‍යයන්ට උපකාර කිරීමේ අරමුණ සහිතව මෙම හැඳුනුම්පත ලබා ගැනීම සඳහා නිර්දේශ ලබා දීමට කටයුතු කළ බවත්, ගෞරවනීය තනතුරක් දරන අයකුගේ බිරියක් ලෙස, සත්‍ය තොරතුරු ලබා දෙනු ඇතැයි තමන් විශ්වාස කළ බවත් ඔහු අධිකරණයට කීවේය.
ආගමන විගමන පාලකගේ කතාව
අනතුරුව ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රය සකස් කිරීම සම්බන්ධ නඩුවට අදාළ ප්‍රකාශයක් ලබා දීමට වර්ෂ 2018 අප්‍රේල් 23 දා හිටපු ආගමන විගමන පාලක චූලානන්ද පෙරේරා අධිකරණය ඉදිරියට කැඳවනු ලැබුවේය. එහිදී මූලිකවම ශෂී වීරවංශ විසින් රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍රයක් ලබාගැනීම සඳහා ඉදිරිපත් කරන ලද අයදුම් පත්‍රයේ සහ සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍රයේ උපන්දින හැටියට වර්ෂ දෙකක් ඇතුළත්ව තිබූ බව හිටපු ආගමන හා විගමන පාලක චූලානන්ද පෙරේරා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පිළිගත්තේය.
මේ සම්බන්ධව රහස් පොලිසියට පැමිණිලි නොකළේ කුමක් නිසාදැයි අධිකරණය හිටපු ආගමන විගමන පාලකවරයාගෙන් විමසුවේය.
“මනුෂ්‍යත්වය සැලකිල්ලට ගෙන මා ඒ ගැන රහස් පොලිසියට පැමිණිලි කළේ නෑ. “ ඔහු අධිකරණයට කීවේ එසේය.
ශෂී වීරවංශ විසින් රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍රයක් ලබාගැනීමට ඉදිරිපත් කරන ලද අයදුම් පත්‍රයෙහි ඇගේ උපන් වර්ෂය ලෙස 1971 වසර සඳහන් කර තිබුණ නමුත්, ඇයගේ සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍රයේ උපන් වර්ෂය ලෙස සඳහන් වුණේ 1967 වසර බව හිටපු ආගමන හා විගමන පාලක චූලානන්ද පෙරේරා කීවේය.
එම අවස්ථාවේ ප්‍රශ්නයක් මතු කළ රජයේ නීතිඥවරයා, විත්තිකාරියගේ සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍රයේ සඳහන් උපන්දිනය සහ රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීම සඳහා ඇය විසින් ඉදිරිපත් කළ අයැදුම් පත්‍රයේ සඳහන් උපන්දින අතර පැහැදිලිව වසර හතරක වෙනස්කමක් දක්නට තිබුණත් "වගකිවයුතු රජයේ උසස් නිලධාරියකු ලෙස ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර නොගත්තේ කුමක් නිසාදැයි" සාක්ෂිකරුගෙන් විමසා සිටියේය.
"ස්වාමීනි, මෙවැනි අඩුපාඩු සහ වෙනස්කම් සහිත අයදුම්පත් සිය ගණනක් දිනපතා අපේ දෙපාර්තමේන්තුවට ලැබෙනවා. ඒවා සම්බන්ධයෙන් රහස් පොලිසියට පැමිණිලි කර නීතිමය පියවර ගැනීමටත් හැකියාව තිබෙනවා. නමුත් මනුෂ්‍යත්වය සැලකිල්ලට ගෙන මම එහෙම කළේ නැහැ. මෙම විත්තිකාරියගේ අයැඳුම් පත්‍රය සම්බන්ධයෙනුත් මා අනුගමනය කළේ එවැනි පිළිවෙතක්." ඔහු කීවේ එසේය.
නඩුව විභාග වන්නේ විවිධ හැලහැප්පීම් මැදය. නඩුව පවත්වාගෙන යන විට වාර්තා වූයේ හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ සහ ශෂී වීරවංශගේ ව්‍යාජ හැඳුනුම්පත් සහ විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට ඉදිරිපත් කළ ව්‍යාජ ලිපිගොනු පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් අතුරුදහන් වී ඇති බවය. මේ ලියකියවිලි සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනයේ දී තහවුරු වන්නේ ලියකියවිලි පමණක් නොව පරිගණක ගතකර තිබූ තොරතුරු ද ජාලයෙන් අතුරුදහන්ව ඇති බවය.
මේ සම්බන්ධව රහස් පොලිසිය පවත්වන පරීක්ෂණවලට අමතරව ආගමන විගමන දෙපාර්තමේන්තුවත් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවත් අභ්‍යන්තර පරීක්ෂණ ආරම්භ කළේය.
එමෙන්ම නඩුවට අදාළ තීරණාත්මක නඩු භාණ්ඩයක් වන අධිකරණය භාරයට ගෙන සේප්පුගත කර තිබූ ශෂී වීරවංශට අයත් ඩී3642817 විදේශ ගමන් බලපත්‍රය, එක්දින සේවාවෙන් ලබා ගත් ජාතික හැඳුනුම්පත, හෝ එහි පිටපත් අධිකරණයේ සේප්පුවෙන් අතුරුදහන් වී ඇති බව අධිනීතිඥ නියෝජ්‍ය සොලිසටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණයට දැන්වූයේය.
මේ අතර පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලිපිගොනුවලින් අතුරුදන්ව තිබූ, වර්ෂ 2010 දී ශෂී වීරවංශ ප්‍රථම වතාවට ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීමේ අයදුම්පත්‍රය වසර පහකට පසු තැපෑලෙන් ලැබුණු බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ බලාත්මක නිලධාරී පැලැද ලියනගේ ප්‍රභාත් රාජේන්ද්‍ර පෙරේරා අධිකරණයට පැවසුවේය.
නඩුව ඇසෙන මුළු කාලය පුරාම ශෂී වීරවංශ සිටියේ ඇප මතය. එහෙත් විටෙක ඇය අධිකරණයේ පෙනී නොසිටියාය. පසුගිය 2020 ජූලි මස 21 කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ඇයට වරෙන්තු නිකුත් කරමින් පැවසුවේ ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය. එමෙන්ම මේ වනවිට ඇය සිය ව්‍යාජ හැඳුනුම්පත් උපයෝගී කරගෙන බැංකු හා මූල්‍ය ආයතන සමඟ ගනුදෙනු කර ඇති බව අධිකරණය ඉදිරියේ හෙළි වී තිබිණි.
නඩුව විභාග කර නිමා කිරීම
වසර හතක දීර්ඝ කාලයක් තිස්සේ මහේස්ත්‍රාත්වරු කිහිප දෙනෙක් යටතේ විභාගයට ගත් නඩුව පසුගිය පෙබරවාරි මස 11 දා විභාග කර අවසන් කළේය. එහි නියෝගය ලබා දීම මාර්තු මස 10 වැනිදාට නියම කෙරිණි. එහෙත් තීන්දුව ප්‍රකාශ කිරීමට නඩු වාර දෙකක් කල් ගියේය. අවසන් වරට කොළඹ පූර්වගාමී අධිකරණයේ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල ඉදිරියේදී විභාගයට ගෙන අවසන් කොට තිබූ මෙම නඩු දෙකෙහි තීන්දුව සකස් කිරීම කොළඹ පූර්වගාමී අධිකරණයේ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල විසින් සිදු කළ යුතුව තිබූ බැවින් අවස්ථා දෙකකදී තීන්දුව ප්‍රකාශයට පත් කිරීම කල් යෑමට හේතු විය. අවසානයේ දී පසුගිය 27 වැනිදා තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි.
ඇප ලබා දීම
දඬුවම් නියම කිරීමෙන් අනතුරුව එදිනම (27) විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු තීන්දුව අභියෝගයට ලක් කරමින් අභියාචනයක් ඉදිරිපත් කළහ. තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමේ පදනම මත ඔවුහු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ තීන්දුව ප්‍රකාශ කළ පසුගිය 27 දාම ඇප අයඳුමක් ඉදිරිපත් කරනු ලැබූහ. එම ඇප අයදුමත් පසුගිය 31 දා සලකා බැලිනි.
එහිදී විත්තිකාරියට පවතින නඩු හෝ පෙර වැරදි කිසිවක් නොමැති බවත් දඬුවමට එරෙහිව ඉදිරිපත් කර ඇති අභියාචනය විමසීම් සඳහා විශාල කාලයක් ගතවීම යන සුවිශේෂී කරුණු ලෙස සලකා විත්තිකාරිය ඇප මත මුදාහරින ලෙසත් ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ඉල්ලා සිටියහ.
ඉදිරිපත් වූ කරුණු අනුව විත්තිකාරියට පවතින නඩු හෝ පෙර වැරැදි නොමැති බව පෙනී යන හෙයින් එය සුවිශේෂී කරුණක් ලෙස සලකා ඇප නියම කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. විත්තිකාරියගේ විදෙස් ගමන් තහනම් කරමින්, රුපියල් 50,000ක මුදල් හා රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප 02ක් මත විත්තිකාරිය මුදා හැරීමට ද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ නියෝග කර සිටියේය.
එම නියෝගය මත දැන් ශෂී වීරවංශ යළිත් ඇප පිටය.
ජායාරූප - රුක්මල් ගමගේ
ගයාන් පුෂ්පික, කැලුම් ලියනගේ