
1. මෙවැනි අවස්ථාවක 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍යද?
2. අන්තර්වාර පාලන යෝජනාව පවතින ගැටලුවලට පිළියමක්ද?
3. විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඔබේ පක්ෂයේ ස්ථාවරය කුමක්ද?
4. රටේ පවතින ආර්ථික අර්බුදයට IMF සාර්ථක විසඳුමක්ද?
5. ඩොලර් ලක්ෂයක් මෙරට බැංකුවක තැන්පත් කරන විදේශිකයන්ට මෙරට වසර 10ක වීසා ලබාදීමට තීරණය කිරීම පවතින ඩොලර් හිඟයට විසඳුමක් ද?
21 වෙනි සංශෝධනය අනිවාර්යයෙන්ම ගෙන ආ යුතුයි
- ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර
1 අනිවාර්යෙන්ම 21 වන ව්‍යවස්ථා සංශෝධනය අවශ්‍ය වෙනවා. 20 වෙනි සංශෝධනයෙන් ඇතිවුණ අයහපත් ප්‍රතිඵල අද අපේ රටේ ජනතාවට භුක්ති විඳීන්න සිද්ධවෙලා තියෙනවා. ඒ නිසා 21 වන සංශෝධනයක් විය යුතුමයි.19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ස්වාධීන කොමිෂන් සභා ඇතිවුණා. පොලිසිය අධිකරණය ස්වාධීන වුණා. ඒ වගේම වංචාව හා දුෂණයට තිබුණු ඉඩ යම් ප්‍රමාණයකින් ඇහිරුණා. ඒ වගේම අල්ලස් කොමිසම ශක්තිමත් වුණා. මේ සියල්ලේ ප්‍රතිඵලය ලෙස මේ රටේ ජනතාව භුක්ති වින්දේ. නමුත් 20 වෙනි සංශෝධනයෙන් ඒ සියල්ලම අහිමි වුණා. අල්ලස් කොමිසම දුර්වල වුණා. 20 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඒ ඇති වුණු අඩුපාඩුකම් පිළීබඳව කතා කරලා 21 වෙනි සංශෝධනය ගේන්න ඕනි. ඒක අපි දැනටමත් සකස් කරලා ඉදිරිපත් කරලා තියෙනවා පාර්ලිමේන්තුවට.
2 ඔව්. අනිවාර්යෙන්ම සර්වපාක්ෂික අන්තර්වාර පාලනයක අවශ්‍යතාවයක් තිබෙනවා. කවුරු බලයට ආවත් මේ තියෙන ප්‍රශ්න සියල්ලටම පිළිතුරු හොයන්න පුළුවන් වෙයි කියලා හිතන්න බැහැ. මේ වෙනකොට ආර්ථික සමාජීය සහ දේශපාලනික වශයෙන් රට පිරිහීමට පත්වෙලා තියෙනවා. දැන් මේ වෙලාවේ කළ යුතුව තිබෙන්නේ සියලු පක්‍ෂත් ඒ වගකීමෙන් එකට එකතු විය යුතුයි. එය දීර්ඝ කාලීනව නොවුණත්; යම් කාල පරිච්ඡේදයකට මේ සියලු පක්ෂ එකතු විය යුතුයි කියලා අපේ ස්ථාවරය. මේ රටේ ස්ථාවර තත්ත්වයකට ගේන්න සර්ව පාක්ෂික මණ්ඩලයක් ගෙන ඒම කළ යුතුයි. එමෙන්ම දේශීයව රටේ ස්ථාවර මට්ටමක් තිබිය යුතුයි. එවිට අක්‍රිය අංශ ක්‍රියාකාරී මට්ටමකට එන්න පටන් ගන්නවා. ඒ වගේම අන්තර්ජාතික වශයෙන් අපි අද ඉන්න තැන ඉතාමත් අයහපත්. අපිව කොන්වෙලා තියෙන්නේ. අපිව පිළිනොගන්නා තත්ත්වයක තියෙන්නේ. මෙයින් පිළිගැනීම ඇති වෙනවා. උදව් උපකාර ඇති වෙනවා. ඒ නිසා අපිට විශ්වාසයක් තියෙනවා. ඒ අන්තර්වාර ආණ්ඩුවක් තුළ යම් මට්ටමකට මේ විශාල අර්බුදයෙන් ගොඩ එන්න පුළුවන් කියලා. සියයට සියයක් නෙවෙයි; යම් මට්ටමකට.
3 මේ වෙලාවේ මධ්‍යම කාරක සභාවේදි තින්දුවක් ගත්තා විස්වාසභංග යෝජනාව සම්බන්ධයෙන්.මේ ආණ්ඩුවට විරුද්ධව තියෙන විස්වාසභංගය වෙන්න පුළුවන් වෙනත් යෝජනාවලට සහයෝගය ලබාදෙන්න කියන තීන්දුව ගත්තා.
මෙය පුද්ගලයකුට දෙන්නකුට විරුද්ධව තිබෙන ප්‍රශ්නයක් නෙවෙයි. මේ පත්වුණු ආණ්ඩුව පිළිබඳවම විශ්වාසයක් නැහැ. රටේ ජනතාවගේ විශ්වාසයක් නැහැ. අන්තර්පාලන ආණ්ඩුවක් පිහිටුවන්න අවශ්‍යයි යන මතයට ඇවිත් තියෙනවා. එතැනදී අලුත් කැබිනට් මණ්ඩලයක් පත්වෙන නිසා නව පාලනයක් ඇතිවෙන්න ඕන යන මතය තියෙනවා. ඒ වෙනුවෙන් සියලු පක්‍ෂ එකතුවෙලා ගෙනෙන යෝජනාවලට සහයෝගය ලබාදෙන්න අපේ පක්‍ෂය තින්දු කළේ.
4 IMF සහන පවතින දැඩි අර්බුදයට විසඳුමක් ද කියන කාරණාවේදී මම දකින ආකාරයට IMF එකෙන් බලාපොරොත්තු වූ මට්ටමෙන් සහනයක් ලැබෙන්නේ නැහැ. IMF එකට අපි ගියා ගොඩක් පරක්කු වැඩියි. ඒ නිසයි කොන්දේසි වැඩිවෙලා තියෙන්නේ. මේ සම්බන්ධව අපි මේ ආණ්ඩුවේ සිටිකාලයේ කැබිනට් මණ්ඩලයේත්දීත් අවුරුද්දකට පමණ පෙර මෙය දැකලා කරුණු පැහැදිලි කළා. නමුත් ඒක ක්‍රියාත්මක වුණේ නැහැ. ඒ වගේම අපි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය විදිහට හමුවුණු සෑම අවස්ථාවකම කිව්වේ; එකට ක්‍රියාකරන්න කියලා. නමුත් අවාසනාවකට රජය එය පිළිගත්තේ නැහැ. නිලධාරීන් පිළිගත්තෙත් නැහැ. නමුත් නිලධාරීන් පිටින් පමණක් මෙහි වගකීම පටවන්න බැහැ.දේශපාලඥයන්ට ඒ වගකීම් තියෙනවා. දේශපාලනඥයන් එහි වගකීම ඉටුකරන්න අවශ්‍යයි. නිවැරදි වෙලාවට නිවැරදි තීන්දු ගත්තේ නැහැ.ඒ නිසා IMF එක ඒකෙන් කියන තරම් සහනයක් ලැබෙයි දැන් අපිට බලාපොරොත්තු වෙන්න බැහැ. ප්‍රමාදවී හෝ IMF ගිය එක යම් වටිනාකමක් තියෙනවා.
5 අපි ඒ පිළිබඳව තවම සාකච්ඡා කළේ නැහැ. පළවෙනි වතාවට මේ යෝජනාව දැක්කේ; ඩොලර් නැති නිසා විවිධ ක්‍රියාමාර්ග ගන්න වෙලා තියෙනවා. ඉන්දියාවේ හිඟන්නොත් අපිට උදව් කරනවා කියලා නේ කියන්නේ. ජපානයේ මොන්ටිසෝරිවල ළමයි සල්ලි එකතු කරනවා කියනවා අපේ රටට දෙන්න. අපි කොච්චර අසරණ වෙලාද ඉන්නෙ කියන කාරණය පැහැදිලි වෙනවා. අවුරුදු 77 ක නෙවෙයි අවුරුදු 45 ක පාලනය 77න් පස්සේ ඇතිවුණ පාලනයේ ප්‍රතිඵල තමයි. විදෙස් ශ්‍රමිකයන් අපිට මුදල් එවන එක අඩුවෙලා තියෙනවා.
විදේශ ශ්‍රමිකයන්ට රට ගැන විශ්වාසයක් ඇතිවෙන්න ඕනි. දේශපාලන ස්ථාවරත්වයක් වගේම පිහිටුවන ආණ්ඩුව පිළිබඳව විශ්වාසයක් ඇතිවුණොත් විදේශ සේවයේ ඉන්න අය අපිට සල්ලි එවයි. ඒ වගේම තව අපිට උදව් කරන්න ඉන්න අයත් උදව් කරයි. පිහිටුවන අන්තර් පාලන ආණ්ඩුවේ විශ්වාසවන්ත බවක් තියෙන්න ඕන. ඒ විශ්වාසය අපි ගොඩනඟා ගත්තොත් ඒ සියලු දෙනාගේ සහයෝගය අපිට ලැබෙයි. ඩොලර් 500 බැගින් එව්වත් සැලකියයුතු ගානක් හොයාගන්න පුළුවන්.
ආර්ථික අර්බුදයට ප්‍රධාන හේතුව නිසි කළමනාකාරිත්වයක් නොමැති වීමයි
- සමඟි ජනබලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක
1 මේ වත්මන් අර්බුදය මතු වූයේ කරුණු තුනක් නිසයි. ඒ අනුව ජනතාවට සේවා සපයන්න එනම්; ජනතාව ඉල්ලා සිටින විදුලිය ඉන්ධන ගෑස් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිසි ලෙස ලබාදෙන්න ආණ්ඩුව අසමත්වෙලා තිබෙනවා. ආණ්ඩුව නිද්‍රාශීලිව කටයුතු කිරීමත් ඒ වගේම ජනතාව නොසලකා හැරීමත්; නිසා තදබල වෛරයක් ජනතාව තුළ තිබෙනවා. විශේෂයෙන්ම ජනාධිපතිවරයාට 20 වන සංශෝධනය හරහා අසීමිත බලය පවරා ගැනීමේදී කිව්වේ ඒ බලතල අවශ්‍ය ජනාධිපතිවරයාට මහජනයාට වැඩි වශයෙන් සේවය කරන්න කියලා. පළමුව 19 වන සංශෝධනය බලාත්මක කිරීම අත්‍යාවශ්‍ය කාරණයක් කියලා විශේෂයෙන්ම උද්ඝෝෂණයේ යෙදෙන ගාලුමුව දොර අයගේ ඒ ඉල්ලීම් සුළුකොට සලකන්න හොඳ නැහැ. එය දැන් රටේම හඬක් බවට පත් වෙලා තිබෙනවා. ගෝඨා ගෝ හෝම්’ කියන එක ඒ කියන්නේ ජනාධිපතිවරයා ගෙදර යා යුතුමයි කියලයි ඒ අය කියන්නේ. අනෙක් කරුණ නම් රාජපක්ෂ ආණ්ඩුවටත් ගෙදර යන්න කියලා කියනවා. ඒවගේම දූෂණය හොරකම වංචාව පිටු දකින්න නීති සම්පාදනය කළ යුතුයි කියලා කියනවා. ඒවගේම ලංකාවේ සම්පත් හොරකම් කරල තිබෙන දේවල් නැවත රටට ලබාගත යුතුයි කියලා ජනතාව කියනවා.
සමගි ජන බලවේගය ලෙස අපි මේ මොහොතේ කරන්නේ ඒ අරගල බිමේ කරන සටන වෙනුවෙන්; පාර්ලිමේන්තුව තුළ යම් ආකාරයක ක්‍රියාකාරීත්වයක් ඇති කරලා ඒ සඳහා දායකත්වය දැක්වීමයි. ඒවෙනුවෙන් මේ 21 වන සංශෝධනයක් ගෙනල්ලා 19 ව්‍යවස්ථා සංශෝධන තත්ත්වයට යළි ව්‍යාවස්ථාව සම්පාදනය කිරීමයි.
2 අන්තර්වාර පාලනයක් ගැන මේ කාල සීමාවේ නොයෙක් දෙනා අදහස් හුවමාරු කරනවා. ජනාධිපතිවරයාත් ආණ්ඩුවත් අසමත් නිසා මෙවැනි යෝජනා ගේන්නේ. ආණ්ඩුවක මුල් කාල පරිච්ඡේදයේ රටේ ජනාතාවගේ විශ්වාසය දිනා ගන්න කාර්යක්ෂමතාවය පෙන්වන්න අවශ්‍යයි. ඔවුන්ගේ වැඩ පෙන්වන්න යොදාගන්නා කාලසිමාව ඒ අය සම්පූර්ණයෙන් ම අසාර්ථක වෙලා තිබෙනවා. ඒ නිසා මේ අවස්ථාවේදි ඔවුන් කෙරෙහි විශ්වාසයක් නැති නිසා බොහෝ විද්වතුන්, ස්වාමීන් වහන්සේ, ආගමික නායකයන් සමාජයේ බොහෝ දෙනා කියන්න පටන් අරන් තිබෙනවා; අන්තර්වාර පාලනයක් තාවකාලිකව ඇති කරලා ඉන් අනතුරුව ජනතාවගේ මේ ප්‍රශ්න ටික විසඳීමෙන් අනතුරුව ජනවරමකට යායුතුයි කියලා. අසමත් වූ ආණ්ඩුවේ සමාජිකයන් හවුල් කරගෙන ඔවුන්ව වාඩිකරගෙන මේ ප්‍රශ්න ටික විසඳන්න ලේසි නැහැ. ජනතාවට නව නායකයෙක් ආණ්ඩුවක් පාර්ලිමේන්තුවක් අවශ්‍යයි. මේ කාලසීමාවේ අපි අන්තර්වාර පාලනයක් ඇති කරනවා නම් ඒකට වඩා ඉතාමත් වැදගත්ම සාධකය තමයි; 21 වන සංශෝධනය ගෙනල්ලා පාර්ලිමේන්තුවේ බලතල ශක්තිමත් කරලා; කෙටිකාලිනව අන්තර්වාර පාලනයකට ගිහින් ජනතා ප්‍රශ්නවලට ඒකාබද්ධ විසඳුම් හොයන්න අනාගතයේදි ක්‍රියා කිරීම. නමුත් අපිට පේන හැටියට නම් අසමත් වෙච්ච කණ්ඩායම් එකට වාඩිවීම හරහා ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය යළි අපි සනාථ කිරීමකට උත්සහයක් ගන්නවද කියලා සමාජ ප්‍රශ්න කිරීමකුත් තිබෙන බව අපට අමතක කරන්න බැ. ඒ නිසා සියයට සියක් කෝකටත් තෛලය ලෙස අන්තර්වාර පාලනය පාව්ච්ච් කරන්න නම් පුළුවන් වේවි කියලා නම් මම විශ්වාස කරන්නේ නැහැ.
3 විශ්වාසභංග යෝජනාව මුලින්ම ගෙනාවේ සමගි ජනබල වේගය. අපේ සියලූම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අත්සන් කළා. අපි ඔක්කොම 65 ක් එහි සිටිනවා. අපි ආරාධනා කළා; මෙය ජයග්‍රහණය කිරීමට ස්වාධීන වූ ආණ්ඩුවේ මන්ත්‍රිවරු 45 ට. ඒත් එක්කම ඒ 40 ගණනට අමතරව පක්ෂ නායකයන් ගණනාවක් ඉන්නවා. ඔවුනුත් ඉවත් වෙලා ඉන්නේ. මේ කණ්ඩායමේ සහයෝගයත් අපිට ලබා දෙන්න කියලා. දැනටමත් කම්කරු කොංග්‍රසය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරලා තිබුණා ඔවුන්ගේ සහයෝගය ලබාදෙනවා කියලා. ඒත් එක්කම මම දුටුවා උදය ගම්මන්පිල ස්වාධීන කණ්ඩායම වෙනුවෙන් ප්‍රකාශයක් කරලා තිබුණා; ඔවුන්ගේ සහයෝගයත් ලබාදෙනවා කියලා.
යෝජනාව බොහෝ විට මැයි 04 වෙනිදා පාර්ලිමේන්තුවට බාර දේවී. කොහොම වුණත් විශ්වාසභංගයක් ගේන එක ඉතාමත් පැහැදිලිව සිදුවේවි කියන එක මම විශ්වාස කරනවා.
4 IMF එක ශ්‍රී ලංකාවේ මුල්‍ය අර්බුදයට විසඳුම් සෙවීම සඳහා පවත්වන සාකච්ඡාවලදි පෙන්වා දී ඇති කාරණා ගොඩක් තිබෙනවා. ඔවුන් සිතනවා අපි වරද්ද ගත්ත තැනක් තිබෙන බව. ඒ තමයි නිසි මුල්‍ය කළමනාකරණයක් නොමැති බව. එමෙන්ම රටේ ආයෝජන, ණය ගැනීම් කිසිසේත් කළමනාකරණ පිළිවෙතකට අනුව නොවීමත්, නිශ්චිත ප්‍රතිපත්තියක් නොමැති වීමත් නිසා රට විශාල ආර්ථීක අර්බුදයකට වැටී ඇති බවක්. අපේ මුල්‍ය තත්ත්වය දුර්වල වෙනකොට මේ ආයතනයට ගිහින් යම් සහයක් ලබාගන්න කියලා අපි කිව්වේ 2020 සිටයි. සමගි ජනබලවේගය පෙනී සිටිය ස්ථාවරයක් තමයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ලබාගන්න එහෙම නැත්නම් අපි ඉතා විශාල ගෙවුම් ශේෂ බිඳවැටීමකට ලක්වෙනවා කියලා. ඔවුන් නොසලකා හිටියා; ගණන් ගත්තේ නැහැ. මේ අවස්ථාවේදී IMF
පෙන්වා දෙන කාරණයක් තිබෙනවා. ඔවුන් යම් ආකාරයක මේ සඳහා එකතු වෙන්න කැමති නමුත් ප්‍රශ්නය වී ඇත්තේ ලංකාව අතීතයේ ක්‍රියාකරලා තිබෙන ආකාරය ගැන සෑහිමකට පත්වෙන්න බැරිවීමයි. මේ ලබාදෙන ණය ආධාර සහ උපදෙස් නිසි ලෙස පිළිපැඳීම ගැන සහතිකයක් අවශ්‍යයි කියලා කියනවා. ඒ නිසා ආණ්ඩුවට ඇත්තටම ඒ උපදෙස් පිළිපදින්න වෙනවා. පිළිපැද්දේ නැත්නම් අපිට මුදල් ගන්න දුෂ්කර වේවි. මේවා ගැන අවධානය යොමු නොකළොත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහයෝගය ලබාගැනීම ටිකක් දුෂ්කර වෙයි.
5 බැලූ බැල්මට මෙය ආකර්ෂණීය පොරොන්දුවක් ලෙස පෙනෙන්නට පුළුවන්. හැබැයි රටේ තිබෙන ආර්ථික තත්ත්වයත් මේ කාලසිමාවේ රටේ ඇති වී තිබෙන දේශපාලන අස්ථාවරභාවයත් නිසා එවැනි ආරාධනාවක් කළත් විදේශිකයන් ශ්‍රි ලංකාවට නේවාසික පදිංචිය සඳහා හෝ වීසා ලබාගැනීම සඳහා ඒ ආකාරයක ඉල්ලුමක් කරයිද?
වෙනත් රටවල්වලත් එහෙම විදේශිකයන්ට ආකර්ෂණීය යෝජනා තියෙනවා. ඒ ආකාරයට උනන්දු කිරීම් සහ රටට ආයෝජන ගෙන්වා ගන්නවා නම්; ඒ අය ධෛර්යවත් කිරීම සඳහා එවැනි වැඩපිළිවෙළක් තිබෙනවා ඔස්ට්‍රේලියාවේ වගේ රටවල එවැනි ආකර්ෂණීය තත්වයන් ඇති කරලා තිබෙනවා. ආයෝජකයන් ගෙන්වා ගැනීම සඳහා මුදල් තිබෙන අයගෙන් රටට ඇදගැනීම සඳහා මේ පියවර ගන්නවා; එවැනි රටවල ස්ථාවරත්වයක් තිබෙනවා; ආර්ථීක වශයෙන්, දේශපාලනික වශයෙන්, සාමාජීය වශයෙන් ස්ථාවරත්වයක් තිබෙනවා. ඒ නිසා බය නැතිව ඒ රටවලට යනවා. අපිට තියෙන අවාසනාවන්ත තත්ත්වය මොකක්ද? අපේ තියෙන අවාසනාවන්තම තත්ත්වය තමයි රටේ දේශපාලනික ස්ථාවරත්වයක් සහ ආර්ථීක ස්ථාවරත්වයක් නැති වීම.
මිනිස්සු ලංකාව කිව්වාම ගමන් දැන් බය වෙනවා. රට ස්ථාවරත්වයකට පත් කිරීමට අවශ්‍යයි. ඩොලර් සොයාගැනීමට උපාය මාර්ගික පියවරවලට යන්න වෙනවා. අපේ දේශීය නිෂ්පාදන, සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න අවශ්‍යයි. සංචාරක ව්‍යාපාරයට වුණත් තදබල ලෙස පහරක් වැදිලා තියෙන්නේ. මේ අස්ථාවර තත්ත්වය නිසා මේ යෝජනාවේ තිබෙන බලාපොරොත්තුව ඉෂ්ට කරගන්න ලෙහෙසි වෙයි කියලා හිතන්න අමාරුයි.
ප්‍රජාතන්ත්‍රවාදයේ නව ආකෘති සොයා යන්න මෙය හොඳ අවස්ථාවක්
- පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ
1 ජනතාවගේ ඉල්ලීම වෙන්නේ ජනාධිපතිවරයා ගෙදර යා යුතුයි කියන කාරණාවයි. ඒ අතර ප්‍රධාන සටන් පාඨ කිහිපයක් තියනවා. පාර්ලිමේන්තුවේ 225ත් එපා කියලා කියනවා. මේ අය මහජන මුදල් හොරකම් කරලා තියනවා; නම් නැවතත් එය ජනතාවට පවරන්න කියලා ජනතාවගේ ඉල්ලීම්ක් තියනවා. මිනිසුන් පාරට එන්න බලපාපු ප්‍රධාන හේතුව තමයි දැඩි ආර්ථීක පීඩාව. ආහාර, ගෑස්, තෙල් මිල ඉහළ යාම තුළ ජනතාවගේ ජිවිතය සුපුරුදු පරිදි ගෙනයන්න බැරි වීම නිසයි. මේ දේට පිළිතුරු සෙවීමට ව්‍යවස්ථා සංශෝධනයකින් කියලා කියද්දි අවම වශයෙන් මහපොළොවේ වෙන්නේ මොකක් ද කියලා අවබෝධයක් නැහැ; වගේ මේ අය ගමන් කරන්නේ. ඒකට අපිට එකඟ වෙන්න බැහැ. ජනාධිපතිවරයාගේ බලතල කප්පාදුවක් කළ යුතුයි; කියන කාරණාවට අපිට එකඟ වෙන්න පුළුවන්. නමුත් අපට ප්‍රශ්නය තියෙන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට පියවර ගන්න අතරතුර අතර මැදි ක්‍රමයක් ලෙස ද මෙය කරන්නේ ඇයි අපිට මේ අයගේ අරමුණ පැහැදිලි නැහැ.
2 අන්තර්වාර පාලනයක් ද, කුමන පාලනයක් ද කියන කාරණාවට වඩා ජනතා මුහුණ දීලා තියන ගැටලු විසඳන්නේ කුමන ආකාරයටද කියන ගැටලුව මෙහිදි මතුවෙනවා. අපි හිතන්නේ නැහැ; පාර්ලිමේන්තු ඇතුළේ ඔළුගෙඩි එහෙට මෙහෙට කරලා මේ ගැටලු විසඳන්න පුළුවන් කියලා. වෙනස් කරන්න කියලා ජනතාව කියන තැන් වෙනස් විය යුතුයි. අන්තර්වාර පාලනයක් සම්බන්ධව දැනට විපක්ෂය කියන්නේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඉල්ලා අස්වීමෙන් පසුව එන අන්තර්වාර පාලනයකට මිසක ඒ දෙදෙනා ඉන්න විට ඒ සඳහා සහභාගී වෙන්නේ නැහැ කියලා. ඒ අය නිශ්චිතව ඉදිරිපත් කරන්නේ ජනතාව පැත්තෙන් ජනාධිපතිවරයාට ගෙදර යන්න කියලා. ජනාධිපතිවරයා ගෙදර යන්නේ නැතුව ඔහු ජනාධිපතිවරයා ලෙස සිටින විට පාර්ලිමේන්තුවේ හදන අන්තර්වාර පාලනයකට විපක්ෂය සහභාගී වෙන්නේ නැහැ කියලා තමයි විපක්ෂය කියන්නේ. ජනතාව මුහුණදීලා ඉන්න ප්‍රශ්න ටික විසඳන්නේ කොහොමද කියන ප්‍රශ්නය මතුවෙනවා. ඒ වගේම අපි හිතන්නේ නැහැ; ජනතාව කියපු ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට ඉවත් වෙන්න කියලා කියද්දි ඒ දෙන්නම ඉන්න ගමන් පාර්ලිමේන්තුවේ ඉන්න අය මොනවා කළත් වැඩක් නැහැ. ඒ නිසා තමයි අපි හිතන්නේ පාර්ලිමේන්තුවේ අන්තර්වාර පාලන, භාරකාර ආණ්ඩු, වහාම මැතිවරණ පැවැත්වීම වගේ යෝජනා එනවට වඩා අපේ අවධානය යොමු වෙන්නේ කොහොමද ජනතාවගේ ප්‍රශ්නවලට යම් සහනයක් දීමට අපි පාර්ලිමේන්තුවෙන් එළියේ මහජන බලයක් ගොඩනඟන්නේ කියන කාරණාව වඩා වැදගත් වෙනවා. මේ අරගල තවදුරටත් සංවිධානාත්මක කරලා විඳිමත් කරලා වඩා ඉහළ දේශපාලන මට්ටමකට මේ සංවිධානාත්මක වීම ඔසවන්නේ කොහොමද කියන එකයි අපි කල්පනා කරමින් ඉන්නෙ. නමුත් මේ පාර්ලිමේන්තුව හරහා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරගැනීම වැනි ප්‍රතිසංස්කරණයක් හෝ කරගත හැකිනම් එය කරගත යුතුයි කියන තැන අපි ඉන්නවා.
3 අනිවාර්යෙන්ම ආණ්ඩුව සම්බන්ධයෙන් විශ්වාසය භංග වෙලා තියෙන්නේ.දැන් අපිට බලාගන්න පුළුවන් සාමාන්‍ය සමාජය තුළත් ආණ්ඩුව පිළිබඳ විශ්වාසය භංග වෙලා තියෙනවා. පාර්ලිමේන්තුව ඇතුළෙත් ඒ විශ්වාසය කඩවීම එහෙම ම නිරුපණය වෙයිද? නැත්නම් පාර්ලිමේන්තුව ඇතුළෙ සාමාන්‍ය ජනතාවගේ තියෙන අදහස්වලට වඩා සම්පූර්ණ වෙනස් එකක් නිරුපණය වෙයිද කියලා අපිට බලන්න පුළුවන්. ඇත්තටම පාර්ලිමේන්තුවේ විශ්වාස භංගයට පක්ෂ ව හරි විපක්ෂ ව හරි ජන්දය පාවිච්චි කිරීම කියන දේ එළියේ ඉන්න ජනතාවගේ මතය නියෝජනය වෙන විදිහට නෙවෙයි සිද්ධ වෙන්නේ. හැමදාම ඕවා සිද්ධවුණේ පක්‍ෂවලින් පනින එක, පිල් මාරුව, ඇමතිකම් වරප්‍රසාද වගේ දේවල් මතයි. අපිට පේන්න තියෙන්න දේ තමයි එළියේ තියෙන ජනතාවගේ මතය නියෝජනයක් පාර්ලිමේන්තුව ඇතුළේ නැහැ. ඒ නිසා පාර්ලිමේන්තුව තවදුරටත් මහජන නියෝජිත ආයතනයක් ලෙස පිළිගත හැකිද කියන ප්‍රශ්නය මතු වෙනවා. ජනතාවගේ පැත්තෙන් සරලව 225 ම එපා කියලා කියන්නේ පාර්ලිමේන්තුව ගැන, මහජන නියෝජිත ආයතන ගැන, නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ගැන විශ්වාසය කඩවීමක් සමාජයේ තියෙනවා. ඒක නිසා ප්‍රජාතන්ත්‍රවාදයේ නව ආකෘතියක් සඳහා මෙය අවස්ථාවක් බවට පත්කර ගත යුතුයි.
4 ඇත්තටම IMFඑකට අපි යන්නේ ඇයි කියන ප්‍රශ්නය විසඳගන්න ඕන.යන්නේ ණය ඇපකරයක් ලබාගැනීම සඳහායි. ණය ඇපකරයක් ලබා ගන්නේ තවදුරටත් ණය ලබා ගැනීම සඳහා. දැන් අපි මේ මුහුණ දීලා ඉන්න අර්බුදයේ මූලය තමයි දිගින් දිගටම ණය ලබාගැනීම. IMF එකට යන එක ලොකු හපන්කමක් වගේ පෙනුණට මේ කරන්නේ ආයේ ණය ගන්න යන්නේ.ඒවගේම මෙතෙක් ආපු ආර්ථික ප්‍රතිපත්තියේ තිබුණු ප්‍රධාන කොටසක් රජය ආර්ථිකයෙන් ඉවත්වීම; ආර්ථික නියාමනයෙන් පවා ඉවත්වීම; ජනතාව මත බදු බර පැටවීම; දැවැන්ත සමාගම්වලට බදු සහන ලබාදීම. එවැනි පාරක අපි ආවේ. මේ මහජන නැගිටීම ඒ පාරේ අවසන් ප්‍රතිඵලයයි IMFතමන්ගේ ණය ඇපකරය ලබාදීම සඳහා ඉදිරිපත් කරලා තියෙන ප්‍රතිසංස්කරණ යෝජනා මොනවද කියලා බැලුවොත් ඒගොල්ලෝ ඉදිරිපත් කරලා තියෙන්නේ අර්බුදයට හේතු. IMF යෝජනා කරන ඒ පාරෙන් ගියොත් අවසාන කෙළවර වෙන්නේ මේ අර්බුදය තවදුරටත් උග්‍ර වීමයි. ඒක නිසා එක පැත්තකින් IMF කොන්දේසි අර්බුදය උග්‍ර කිරීමක් කියලා අපි දකිනවා. අනෙක් කරුණ නම් ක්ෂණිකව මේවට උත්තරයක් හම්බ වෙන්නේ නැහැ. IMF එක ණය ඇපකරයක් දෙනවා නම් එය ලබා දෙන්නේ කොටස් කීපයකට. පළවෙනි කොටසට මාස හතරක් පහක් යන්න පුළුවන්. කොන්දේසි ඉටු කළාද කියලා බලලා, ඊළඟ කොටස නිදහස් කරන්නේ. මේක බොහොම දීර්ඝකාලීන කටයුත්තක්. IMF එක ඇවිල්ලා ඔක්කොම ප්‍රශ්න විසඳයි කියලා බලාගෙන හිටියට එක පැත්තකින් ප්‍රශ්නය උග්‍ර වෙනවා. දිඟුකාලීනව, කෙටිකාලීනව ගත්තොත් ප්‍රශ්නවලට උත්තරයක් ලැබෙන්නේ නැහැ.
5 මෙහිදී ප්‍රශ්නය තියෙන්නේ ලංකාවේ ඇවිල්ල පදිංචි වෙන්න වීසා නිකුත් කරනවා කියන්නේ ම ඩොලර් ටිකක් හොයාගන්න කරන වැඩක්. ගැටලුව තියෙන්නේ දැන් කවුද ලංකාවට ඇවිත් පදිංචි වෙන්නේ. මේ වෙලාවේ ලංකාවේ තෙල් විදුලි බලය නැති තත්ත්වයක් අතුළේ ගෑස් ටික නැතුව ජිවන වියදම අධික ලෙස රටකට අතින් සල්ලි දිලා ඇයි එන්නේ කියලා ගැටලුවක් තියනවා. බෙහෙත් නැතුව, සෞඛ්‍ය සේවය බිඳ වැටෙන්න අවධානමකට ලක්වෙලා තියෙන රටකට අතින් සල්ලි දීගෙන කවුද එන්නේ කියන ප්‍රශ්නය තියෙනවා. ලෝකේ ජීවත්වීමට සුදුසු රටවල් කියලා වර්ගීකරණය වෙලා තියෙන රටවල් තියෙද්දී එවැනි රටවලට යන්නේ නැතිව අවුරුදු දහයක් ලංකාවේ නවතින්න එනවා නම් කළු සල්ලි ජාවාරම්කරුවන්, මූල්‍ය අපරාධකරුවන් වගේ අය තමයි එන්නේ. ඒනිසා මෙවැනි තීන්දුවලින් කිසිම යහපතක් වෙන්නේ නැහැ.