මත් වෙන්න කලින් මේ ගැනත් හිතන්න | Page 2 | සිළුමිණ

මත් වෙන්න කලින් මේ ගැනත් හිතන්න

ඟ එන අවුරුදු සමයත් සමඟ මත්ලෝලීන් බොහෝදෙනා මොන ආර්ථික අපහසුතා මධ්‍යයේ වුව සියලු දේ කැප කර ඒ සඳහා මුදලක් වෙන් කර කල් ඇතිව මත්පැන් රැස්කිරීමට උත්සුක වෙති. මෙකල බොහෝ බිරින්දෑවරු මැසිවිලි නඟන්නේ මේ අවුරුද්දෙදිවත් ඔය දහජරාව බොන එක නවත්තන්න කියාය. 

මද්‍යසාර භාවිතය පිළිබඳව තොරතුරු විමසා බැලීමේදී 2016 වර්ෂයේ පළ වූ ගෝලීය තත්ත්ව වාර්තාව අනුව ශ්‍රී ලාංකිකයන් මද්‍යසාර භාවිතය නිසා වර්ෂයකට මිලියන තුනකට ආසන්න සංඛ්‍යාවක් මිය යන බවට ඇල්කොහොල් භාවිතය පිළිබඳ 2018 වසරේ නිකුත් කළ ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාව (Global Status Report on Alcohol and Health – 2018) පෙන්වා දෙයි. මීට අමතරව මිලියන එකසිය තිස්දෙකයි දශම හතක් (132.7) මද්‍යසාර භාවිතය හේතුවෙන් සදාකාලිකව හෝ දීර්ඝ කාලයක් විකලාංගභාවයට පත්ව ඇති බව එම වාර්තාව අනාවරණය කරයි. ලෝක පරිමාණ මද්‍යසාර භාවිතය සම්බන්ධයෙන් පළ කර ඇති වාර්තාව අනුව ලංකාවේ මද්‍යසාර භාවිතය හේතුවෙන් වසරකට 23,000කට ආසන්න සංඛ්‍යාවක් මිය යන බවට මද්‍යසාර පිළිබඳ 2004 ගෝලීය තත්ත්ව වාර්තා ද පෙන්වාදෙයි. ලංකාවේ ඒකපුද්ගල මත්පැන් පරිභෝජනය දෛනිකව ලීටර තුනයි දශම තුනක් (3.3) වන අතර යුරෝපයේදී එය ලීටර බිංදුවයි දශම පහකි (0.5). කෙසේවෙතත් ජනගහනය අනුව යුරෝපයේ සියයට අනූපහක් (95%) මත්පැන් පරිභෝජනය කළ ද, ලංකාවේදී එය සියයට විස්සක්(20%) බව සමීක්ෂණ දත්ත පෙන්වාදෙයි. එසේම ලංකාවේ පිරිමින්ගෙන් සියයට තිස්හතයි දශම එකක් (37.1%) ද ස්ත්‍රින්ගෙන් සියයට දෙකයි දශම හතරක් (2.4%) ද මත්පැන් භාවිත කරයි. මින් පෙනී යන්නේ කාන්තාවන්ගේ මත්පැන් පරිභෝජනය පසුගිය වසරට සාපේක්ෂව ඉහළ ගොස් ඇති බවය.

එලෙසින්ම දිනෙන් දින වාර්තාවන රිය අනතුරු බොහෝමයක් මත්පැන් පානය නිසා සිදුව ඇති බව මේ සම්බන්ධයෙන් සිදුකරන පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත. පසුගිය කාලයේ පොලිසිය විසින් දෛනිකව සිදු කළ විශේෂ මෙහෙයුම් මඟින් අත්අඩංගුවට ගත් බීමත් රියැදුරන්ගේ සංඛ්‍යාව ඇතැම් දිනවලදී 250ද ඉක්මවා ගිය බව පොලිස් වාර්තා මඟින් හෙළිවිය.

අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය 2019 වසරේ සිදුකළ සමීක්ෂණ දත්ත වාර්තා අනුව රට තුළ තිස්ලක්ෂ තිස්පන්දහස් එකසිය හතළිස්තුන් දෙනෙකු (3,035,143) මත්පැන් භාවිත කරන බව අනාවරණය වේ. ඉන් දසලක්ෂ හැටතුන්දහස් තුන්සිය අසූතුන් දෙනෙකුම (1,063,383) දිනපතා මත්පැන් පානය කරන්නන් ය. එසේම එම දත්ත වාර්තා අනුව වයස අවුරුදු දාහතරට වැඩි පුරුෂ ජනගහනයෙන් 40.89%ක ප්‍රතිශතයක් මද්‍යසාර භාවිත කරනු ලබන බවද අනාවරණය විය. ඊට අමතරව මෙරට කාන්තාවන්ගෙන් විසිදහස් පන්සිය අසූහය දෙනෙකු (20,586) ද මත්පැන් පානයට ඇබ්බැහි වී සිටින්නේය. 

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් 2019 වර්ෂයේදී, මත්පැන් බද්ද ලෙස රුපියල් 115,384,226,735.65 සහ දුම්කොළ බද්ද ලෙස රුපියල් 32,801,536.08 ක ආදායමක් එකතු කර ගැනීමට කටයුතු කර ඇත. මෙය 2018 වසරට සාපේක්ෂව මත්පැන් සඳහා සියයට එක (1%) ක වැඩිවීමකි. නමුත් දුම්කොළ සඳහා සියයට විසිඅට (28%)ක අඩුවීමක් පෙන්නුම් කරයි. 2019 වසර තුළදී වාර්තා කරන ලද සුරාබදු හා දුම්කොළ බදු පිළිබඳ බදු බැඳියා උත්පාදනය රුපියල් බිලියන එකසිය දහනවයයි දශම දහඅට(119.18)කි. මද්‍යසාර ආ‍ශ්‍රිත නිෂ්පාද සඳහා ආරක්ෂිත ස්ටිකරයක් හඳුන්වාදීමෙන් ශ්‍රී ලංකාව තුළට ආනයනය කරන විදේශ මද්‍යසාරවලින් සිදුවන බදු පැහැර හැරීම් පාලනය කිරීමට හැකි වී ඇත. මෙම ආරක්ෂිත ස්ටිකරය දේශිය මත්පැන් නිෂ්පාදනයට ද හඳුන්වාදීමට මේවන විට ක්‍රියා කර ඇති අතර එය 2022 අප්‍රේල් පළමුවැනිදා සිට බලාත්මක කර ඇත.

මුළුදිවයින පුරා සිදු කළ වැටලීම් වලදී නීති විරෝධි මත්ද්‍රව්‍ය හා මත්පැන් වැටලීම් 47,391 යක් සිදු කරනලද අතර, එහි දී එකතු කරගත් උසාවි දඩ මුදල රුපියල් 244,015,250.00 කි. මෙහිදී දිවයින පුරා පිහිටි සුරාබදු බලපත්‍රලත් ස්ථාන පූර්ණ අධීක්ෂණය හා පරිපාලනය තුළින් ඒ හා සම්බන්ධ සුරාබදු බලපත්‍ර කොන්දේසි කඩරීම් සම්බන්ධ කාර්මික අපරාධ වාර්තා 4,244 ක් ඉදිරිපත් කිරීමෙන් ර‍ජයට ලැබී ඇති සමස්ත මුදල රුපියල් 186,291,725.27 ක් බව සුරාබදු දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ සිළුමිණ සමඟ කරුණු දක්වමින් කියා සිටියේය.

රට පුරා බලපත්‍ර සහිත මත්පැන් අලෙවිසැල්, ආපනශාලා, හෝටල්, රටබීම සිල්ලරට විකිණීමේ ස්ථාන හෙවත් වයින් ස්ටෝර්ස්, රා තැබෑ රුම් ඇතුළු තවත් විවිධ මත්පැන් අලෙවි කිරීමේ බලපත්‍ර ඇත්තේ 4092ක ප්‍රමාණයකි. මත්පැන් බලපත්‍ර වැඩිම ප්‍රමාණයක් නිකුත්කර ඇත්තේ 2005 වසරේදීය. ඒ 132කි. එම වසරේ සිට මේ දක්වා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මත්පැන් බලපත්‍ර 751 නිකුත්කර ඇත. එසේම රට තුළ මත්පැන් නිෂ්පාදනයට බලපත්‍ර සහිත ස්ථාන 187කි. 

සුරාබදු දෙපාර්තමේන්තු දත්ත අනුව ගිය වසරේ පමණක් මද්‍යසාර අඩංගු මත්පැන් ගණයට වැටෙන බියර් ලීටර් මිලියන 134ක්ද, වයින් ලීටර් මිලියන 182ක්ද, විස්කි, බ්‍රැන්ඩි, ජින්, රම්, වොඩ්කා ආදි විදේශ මත්පැන් ලීටර් මිලියන 7.2ක්ද අරක්කු ලීටර් මිලියන 71.4ක් සහ රා ලීටර් මිලියන 18ක්ද නිෂ්පාදනය කර ඇත. රටේ දෙකෝටි විසිපන් ලක්ෂයක් පමණ වන ජනගහනයෙන් තිස්ලක්ෂයකට අධික පිරිසක් පානය කර ඇති මත්පැන් ප්‍රමාණය ලීටර මිලියන 482.6 කි.

මත්පැන් නිෂ්පාදනයෙන් පසුගිය වසරේ ලැබී ඇති මද්‍යසාර මත සුරාබදු ආදායම පමණක් රුපියල් බිලියන 120ක් හෙවත් රුපියල් කෝටි දොළොස් දහසකට ආසන්න බව සුරාබදු දත්ත පෙන්නුම් කරන බව නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ පැහැදිලි කළේය.

සාමාන්‍ය සියයට තිස්තුන(33%)ක මධ්‍යසාර අඩංගු බෝතලයක ඇල්කොහොල්වලට පමණක් ලීටරයකට බද්ද රුපියල් 3800කි. ඒ විශේෂ මත්පැන් හෙවත් එදිනෙදා මිනිසුන් බහුලව පානය කරන මත්පැන් සඳහාය. ඊට අමතරව පොල්, තල් සහ පදම් කළ මත්පැන් සඳහා අය කරන බද්ද ලීටරයකට රුපියල් 4050කි. විදේශ මත්පැන්වල ඊට ඉහළය. මිලිලීටර් 750ක මත්පැන් බෝතලයක සියයට තිස්තුනක (33%) ප්‍රතිශතයක් මද්‍යසාර තිබෙන බව සඳහන් වීමෙන් සැලැකෙන්නෙ එම බෝතලයේ මිලිලීටර් 247ක පමණ ප්‍රමාණයක් ඇල්කොහොල් ඇති බවයි. ඒ අනුව ලීටරයකට රුපියල් 3800ක් නම් මිලිලීටර් දෙසිය හතළිස් හතකට රුපියල් 950.00 ක පමණ බද්දක් ඇල්කොහොල්වලට පමණක් අය කෙරේ. ඊට අමතරව වෙළෙඳ බදු, වැට් ඇතුළු සෙසු බදුද එක් වූ විට මිලිලීටර් 750ක සාමාන්‍ය මත්පැන් බෝතලයකින් අය කරන බද්ද රුපියල් දහසකට වැඩි වේ. 

පසුගිය දිනවල ඩොලර් අර්බුදය නිසා මේ රටේ අරක්කු නිෂ්පාදනය බිඳවැටී ඇති බවට ප්‍රවෘත්ති පළ වුණා. එ් කතාව අමූලික බොරුවක්. එවැනි කිසිදු ගැටලුවක් මේ වනවිට ඇති වී නැහැ. මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතය ගැන සලකා බැලුවොත් මෙරට ජනගහනයෙන් සියයට විස්සකට අඩු ප්‍රතිශතයක් එනම් සියයට දහඅටක් පමණ දෙනා මත්පැන් පානය කරති. මෙය කුඩා ප්‍රතිශතයක් වුව මින් සමාජ ජීවිතයට ඇති කර තිබෙන බලපෑම ඉතාම ප්‍රබලය. බොහෝවිට අඩු ආදායම්ලාභී පවුල්වල පිරිස් සලකා බැලීමේදී ගෘහ මූලිකයා මද්‍යසාර භාවිතය සඳහා පෙලඹී සිටිනු දැකිය හැකිය. මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථාන කළ අධ්‍යයනයන් වලදී පෙනී ගොස් ඇත්තේ සාමාන්‍යයෙන් ගමක ආදායමෙන් තුනෙන් එකක් මද්‍යසාර සඳහා වැය කරන බවය. මෙය වතු ප්‍රජාව ආශ්‍රයෙන් සැලකීමෙදී සියයට පනහක ප්‍රතිශතය (50%)කි. වර්තමාන ආර්ථික තත්ත්වය සමඟ මේ තත්ත්වය ගණනය කර බැලීමේදී මේ ප්‍රමාණය මීට වඩා වැඩි අගයක් ගෙන ඇති බව පෙනී යයි. මේ නිසා මද්‍යසාර භාවිත කරන ගෘහමූලිකයකු සිටින පවුලක ජීවිකාව ගෙන යා නොහැකි තත්ත්වයට මේ මොහොතේ පත්ව ඇත. ඒ නිසා රට පැත්තෙන් බලන කල ලොකු බරක් මේ අඩු ආදායම්ලාභීන් නිසා ඇතිව තිබේ. මන්දයත් ඔවුන් සිය දෛනික ආදායමෙන් වැඩි කොටසක් මේ සඳහා වියදම් කිරීමට පෙලඹී සිටින නිසාය. මෙනිසා අඩු ආදායම්ලාභීන් මේ පිළිබඳව විශේෂ සැලකිල්ලක් යොමු කළ යුතුය. ඒ නිසා මේ අඩු ආදායම් ලාභීන්ගේ මෙම වියදම අඩු කිරීම සඳහා වැඩ පිළිවෙළක් අවශ්‍ය වේ.

රටක් ලෙස ගත් කළ මද්‍යසාර භාවිතය සඳහා දවසකට රුපියල් කෝටි පනහකට අධික මුදලක් වැය කරන අතර බියර් සඳහා රුපියල් කෝටි දහයක් පමණ දිනකට වැය කරයි. මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථාන කළ අධ්‍යයනයේදී හෙළි වූයේ ආදායම් අඩු නගරවල මත්පැන් අලෙවි සැල් වැඩි වශයෙන් පිහිටා තිබෙන බවයි. කොළඹ වෙසෙන ජනගහනයට සාපේක්ෂව පවතින මත්පැන් අලෙවි සැල් ප්‍රමාණය සමඟ සංසන්දනාත්මකව විමසීමේදී මෙය හොඳින්ම නිරීක්ෂණය කළ හැකිය.

නිදසුනක් ලෙස කොළඹ වෙසෙන ජනගහනයට සාපේක්ෂව ඇති මත්පැන් අලෙවි සැල් සහ නුවරඑළියේ ජනගහනයට සාපේක්ෂව ඇති මත්පැන් අලෙවි සැල් සසඳා බැලීමේදී කොළඹට වඩා දෙගුණයක් මත්පැන් අලෙවිසැල් නුවර එළියේ ස්ථාපිතව ඇති බව පෙනී යයි. මෙයින් පෙනී යන්නේ අඩු ආදායම් ලාබීන් තවත් ආකාරයකින් සූරාකෑමකට ලක්කෙරෙන ආකාරය බව සිළුමිණ කළ විමසීමේදී මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මූල්‍ය හා පරිපාලන සම්පත් ද සේරම් පෙන්වා දුන්නේය. 

ගෙවීගිය වසර කීපය සලකා බැලීමේදී මෙරට තුළ වයස අවු. 15-25 ත් අතර මත්පැන් පානය කරන්නන්ගේ ක්‍රමික වර්ධනයක් පෙන්නුම් කරයි. 2017 වර්ෂයේදී මෙම වයස් කාණ්ඩයට අයත් පිරිසෙන් සියයට පහළොව (15%) ක් මතට යොමු වී තිබුණි. 2018 වර්ෂයේදී එම තත්ත්වය සියයට විසිපහකි (25%)න් ඉහළ ගිය අතර, 2019 වසර වනවිට එම අගය සියයට විසි අට (28%)ක් දක්වා ඉහළ ගියේය. මෙම සංඛ්‍යා දත්තවලට අනුව යෞවන වියේ පසුවන්නන් බොහෝ දෙනකු මත්රකුසා විසින් සිය ග්‍රහණයට ගෙන ඇත. වයස් කාණ්ඩ තුනක් යටතේ සිදුකර ඇති මෙම සමීක්‍ෂණය අනුව වයස අවු: 25-40 ත් අතර කාණ්ඩයට අයත් පිරිස අතරින් 2017 වසර තුළ සියයට විසිහත (27%) ක් මත්පැන් පානය කර තිබේ. එය 2018 වසර වනවිට සියයට තිස්හත (37%) ක් දක්වා වර්ධනය වී තිබුණු අතර 2019 වසරේදී එහි යම් අඩුවීමක් දකින්නට ලැබුණි. ඒ අනුව එම වසර තුළ ඉහත වයස් කාණ්ඩයට අයත් පිරිසෙන් මත්පැන් පානය පිණිස යොමු ව ඇත්තේ සියයට විසිපහ (25%) ක ප්‍රතිශතයකි.

එසේ වුව වයස අවුරුදු 40 ට වැඩි වයස් කාණ්ඩයට අයත් මෙරට ජනතාව බීමත් බව අතින් වාර්තාපිට වාර්තා තැබීමට සමත් වී ඇති බව පෙනේ.‍ ඒ 2017 වසරේදී සියයට තිස්තුන(33%)ක්, 2018 වසරේ සියයට හතළිස් දෙකක්(42%) ක් සහ 2019 වසරේ සියයට හතළිස් හත(47%)ක් ලෙසය.

මෙම සංඛ්‍යාලේඛනවලට අනුව 2019 වසර වනවිට මත්පැන් පානය කිරීම අතින් ඉහළින්ම සිටින දිස්ත්‍රික්කය ලෙස වාර්තා වන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයයි. දෙවන ස්ථානය නුවරඑළිය දිස්ත්‍රික්කයටත්, තෙවන ස්ථානය මාතරටත්, සිවුවන ස්ථානය කොළඹ දිස්ත්‍රික්කයටත් හිමි ව තිබේ. 

රජයට සුරාබදුවලින් විශාල ආදායමක් ලැබෙනවා යන්නද මිථ්‍යාවකි. මද්‍යසාර භාවිතය පමණක් සලකා බැලීමේදී සාමාන්‍යයෙන් දිනකට ලැබෙන සුරාබදු ආදායම රුපියල් මිලියන 288ක් පමණ වේ. සෞඛ්‍ය අමාත්‍යාංශය හා මහ බැංකුව එක්ව 2015දී කළ සමීක්ෂණය අනුව දිනකට මද්‍යසාර සඳහා වියදම් කරන මුදල රුපියල් මිලියන 366කි. ඒ අනුව පෙනී යන්නේ ආදායම 288ක් ලැබෙන විට 366ක් වියදම් වන බවකි. මින් පෙනී යන්නේ ඇස් බැන්දුමක් ලෙස විශාල බදු මුදලක් ලැබෙන බව පෙනී ගියද යථාර්ථය ගත් කළ මෙය ඉතා අලාබදායි වෙෙළඳාමක් බවයි. රටක් ලෙස ගත් කල එය රටේ ආර්ථිකයට විශාල බරකි.

මෙයින් එක්අතකින් රටේ දුප්පත්කම ඉහළ යන අතර, ඊට අමතරව මද්‍යසාර භාවිතය නිසා රෝගීවන ජනතාවට බෙහෙත් හේත් කිරීම සඳහා ද රජයට විශාල වියදමක් දැරීමට සිදු වේ. ඒ අනුව ගණන් බැලීමේදී මද්‍යසාර භාවිතය ක්‍රමයෙන් අවම කර ගැනීම හා ගෙන්වීම මුළුමනින්ම නතර කිරීමට පියවර ගැනීම රටේ ආදායම ඉහළ යාමට හේතුවන බවය.

Comments