නවක වදේ වද දිදී ළමයි විඳියි දස වදේ | Page 3 | සිළුමිණ

නවක වදේ වද දිදී ළමයි විඳියි දස වදේ

සිසුන් 16.8% ක් වාචික හා කායික ලිංගික හිංසනයට

විශ්වවිද්‍යාල හා නවකවදය අඩු වැඩි වශයෙන් එකිනෙක හා බැඳි පද ද්විත්වයකි. පසුගිය කාලයේ මෙම වදදීම් සංකල්පය කොතෙක් දුරට විශ්වවිද්‍යාල පද්ධතිය ඇඳ බැඳ තබා ගත්තේද කියතහොත් ඒ හේතුවෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය හැරගියෝ, ආකාලයේ ජිවිතයෙන් සමු ගත්තෝ හා අදටත් ආබාධිත තත්ත්වයෙන් පසු වන්නෝ බොහෝ වෙති.

සෑම වසරකම අ.පො.ස උසස් පෙළ සඳහා ඉදිරිපත් වන එක්ලක්ෂ අසූ එක්දහසක් පමණ සිසුන්ගෙන් රජයේ විශ්වවිද්‍යාල පද්ධතියේ අධ්‍යාපනය හැදැරීම සඳහා අවස්ථාව විවර වන්නේ 40,000කට ආසන්න පිරිසකට වුවද, මෙම විද්‍යාර්ථීයන්ගෙන් 2000 පමණ දෙනා නවකවදය හේතුවෙන් විදේශගත වීමට හෝ විශ්වවිද්‍යාල අතහැරයාම් සිදුවන බව අලුත්ම කතාවක් නොවේ. මේ ම්ලේච්ඡ නවකවදය උසුලා ගැනීමට නොහැකිව සියදිවි හානි කරගත්තෝ හා සදාකාලික ආබාධිත තත්වයට පත් වූවෝ ඕනෑ තරම්ය‍. නවකවදයෙන් දිවි අහිමි වූවෝ 14ක් වන අතර, 2015 සිට 2016 දක්වා නවක සිසුහු 1352 ක්ද, 2016 සිට 2017 දක්වා සිසුහු 637 දෙනෙක් ද, 2017 සිට 2018 දක්වා සිසුහු 2000 ක් ද නවකවදය හේතුවෙන් සරසවි අතහැර ගොස් තිබීම සුළුවෙන් බැහැර කළ යුත්තක් නොවේ. 

‘ ශ්‍රි ලංකා රාජ්‍ය විශ්වවිද්‍යාලයන්හි නවකවදය, ලිංගිකත්වය හා ස්ත්‍රි පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයේ පැතිරීම පිළිබඳ සමීක්ෂණ වාර්තාව‘ ( Prevalence of Ragging and Sexual and Gender Based Violence in Sri Lankan State Universities ) සකස් වූ පර්යේෂණාත්මක වාර්තාවක් එළිදැක්වූයේ පසුගියදාය. විශ්වවිද්‍යාල 8 ක සිසු 5000 කගේ නියැදියකින් සකස් වූ මෙහි 51% ක් නවකවදය හේතුවෙන් වාචික හිරිහැරයන්ටත්, 34.3% ක් මානසික ප්‍රචණ්ඩත්වයටත්, 23.8% ක් ශාරීරික හිංසනයන්ටත් ලක්වූ බව පැවැසෙයි. 23.8% ක් කායික වශයෙන් නවකවදයන්ට ගොදුරු වී ඇති අතර 18.5% ක් කායික වශයෙන් සිදුකළ හානිදායක නවකවදයන්ට ලක්වෙන බව වාර්තා වෙයි. 16.8%ක් සිසුහු අවම වශයෙන් නවකවදය හරහා ලිංගික හිංසනයන්ට ගොදුරු වී ඇති අතර තවත් 1.8% ක ප්‍රමාණයක් පීඩාකාරී ලෙස ලිංගිකව සිදුකරන නවකවදයන්ට ගොදුරු වී ඇත. මෙම වාර්තාවට අනුව ලිංගිකත්වය සම්බන්ධව සිදුකරන ප්‍රචණ්ඩ හැසිරීම් පිළිබඳ ව ද තොරතුරු ඉදිරිපත් කර ඇත.

මෙම වාර්තාවට අනුව ලිංගික හිංසනයන්ට බොහෝ සිසුහු මුහුණ දි ඇත්තේ ඒ හා සම්බන්ධ ප්‍රකාශ වූ අදහස් ( comments) හා විහිළු ( Jokes) හරහාය.

සිසුන් 1.5% ලිංගික කටයුතු සඳහා පොලඹවා ගෙන ඇති අතර, තවත් 1.5% ක් ලිංගික කටයුතු සඳහා ඉදිරිපත් නොවීම හේතුවෙන් පහත් ආකාරයේ සැලකුම්වලට ලක්ව සිටින බව ද මේ වාර්තාවේ අන්තර්ගතය. කාන්තා සිසුවියන් සඳහා වෙනස් ආකාරයේ සැලකීම් සිදුව ඇති අතර වැඩිපුරම පීඩනයක් එල්ල වී ඇත්තේ සිසුවියන්ට වීමද විශේෂත්වයකි. ලිංගික හිංසනයන් හා විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩලයේ සම්බන්ධතාව විග්‍රහ කිරීමේදි පෙනි ගොස් ඇත්තේ 46.7% ක කාර්ය මණ්ඩලය වාචික ලිංගික ප්‍රචණ්ඩතාවන්ට යොමුව ඇති බවකි. එයින් බහුතරයක් පුරුෂ පක්ෂයේ අය වෙති.

මෙම වාර්තාවට අනුව නවක වදදීම් නිසියාකාරයෙන් පරික්ෂාවට ලක් නොකෙරෙන බව සිසුන්ගේ අදහස වී ඇත. නවකවදදීම්වලට ලක් වූ සිසුවියන්ගෙන් 24.7% ක් පවසා ඇත්තේ ලිංගික හිංසන සම්බන්ධ පැමිණිලි කිරිම් අවදානම් බවකි. 18.4 % පමණ සිසුවියන්ගේ අදහස වන්නේ එවැනි පැමිණිලි කිරිම් විශ්වවිද්‍යාල පාලනය නිසි අවධානයක් නොදක්වන බවකි. 15.8% ක සිසුවියන් පිරිසක් පවසා ඇත්තේ එවැනි දැ පැවැසීමෙන් කිසිදු ප්‍රගතියක් අත් නොවන බවත්, මෙවැනි දේ සඳහා විශ්වවිද්‍යාල පරිසරය තුළ තමන්ට සහයෝගයක් නොමැති බවත්ය. 

ජ්‍යෙෂ්ඨ සිසුහු 15.2% ක් නවකවදදීම් සිදු කරන්නේ කණ්ඩායම් වශයෙනි. නවක වදදීම්වලට මුහුණ දුන් සිසුන් අතරින් 46% ක් දිනපතා නිවෙසේ සිට පැමිණෙන අයවීමද මේ සමීක්ෂණයෙන් මතු වූ වැදගත් කරුණකි. සිසුහු සරසවියට පැමිණීම් හා නවකවද සම්බන්ධතාව පිළිබඳ සොයා බැලීමේදි පෙනී ගොස් ඇත්තේ නවකවදයට ලක් නොවූ සිසුන්ගේ පැමිණීම 62.9% - 51% ක ඉහළ අගයක් වාර්තා කර ඇති බවයි. මේ සමීක්ෂණ වාර්තාවට අනුව බහුතරයක් නවකවදයන්ට සම්බන්ධ වූවෝ ශාස්ත්‍ර පිඨ සිසුන්ය. වෛද්‍ය, ඉංජිනේරු සිසුන් ඊට අඩු සහභාගීත්වයක් පෙන්නුම් කර ඇත. අධ්‍යයන මාධ්‍ය අනුව දෙමළ මාධ්‍යයෙන් ඉගෙන ගන්නා සිසුහු අතර ඉහළ නවකවද ලබාදීම් පෙන්නුම් කරන අතර, දෙවැනුව ඉහළ අගයක් පෙන්නුම් කරන්නේ සිංහල මාධ්‍ය ඉගෙන ගන්නා සිසුන් අතරය. ඉංග්‍රිසි මාධ්‍යයෙන් ඉගෙන ගන්නා සිසුන් අතර නවක වදදීම් අඩු බව හඳුනාගෙන ඇත.

“ නවකවදය කියන්නේ පුද්ගලානුබද්ධ දෙයක්. තමන්ගේ පවුල් තුළ පැනනඟින ප්‍රශ්න, පෞරුෂ ගැටලු අනුව ලබාදෙන නවකවදයත් වෙනස් ආකාර ගන්නවා. නවකවදයේ මට්ටම් ඒ ඒ විශ්වවිද්‍යාල අනුව වෙනස් වනවා වගේම නවකවදය මර්දනය කිරිමට ගන්නා ක්‍රියාමාර්ගද ඒ ඒ විශ්වවිද්‍යාල අනුව වෙනස් වෙනවා. කොළඹ විශ්වවිද්‍යාලය තුළ නම් නවකවදය සඳහා කිසිවකුටත් ඉඩක් නොතබන පරිදි අවශ්‍ය ක්‍රියාමාර්ග හොඳින් ගෙන තියෙනවා.

විනයාරක්ෂක කණ්ඩායම් දින 365 ම ඒ සඳහා අවධානයෙන් පසු වන්නේ. සෑම සිසුවකු ගැනම සොයා බලන්නට ආචාර්යවරයකු පත්කර තියෙනවා. ඒ වගේම ශිෂ්‍ය උපදේශකවරු 95 දෙනෙකු සිසුන් ගැන නිරන්තරයෙන් අවධානයෙන් සිටිනවා. ඒ වගේම නවකවදය වැළැක්වීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම මඟිනුත් පනත හරහා සිසුන්ව දැනුම්වත් කරමින් පසුවෙනවා.....“ ඒ කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය අනුශාසක ආචාර්ය රජිත සිල්වාගේ අදහසය.

මෙම වාර්තාව සඳහන් කරන්නේ 8.2% ක් 4 වසර සිසුන්ද, 7.9% ක් 3 වසර සිසුන්ද, 4.7% 2 වසර සිසුන්ද, 2.1% පළමු වසර සිසුන්ද නවකවදයන්ට සම්බන්ධ වන බවකි. උසස් පෙළ Z අගය 2 ට වඩා වැඩි පිරිස් නවකවද දීම් සිදු කර ඇත්තේ 1.7% ක ප්‍රමාණයකි. Z අගය 2 ට අඩු අය අතර නවකවද දීම් සිදු කර ඇත්තේ 9.5% කි. මේ අනුව මෙම පර්යේෂණ වාර්තාව අනුමාන කර ඇත්තේ අඩු උසස් පෙළ ප්‍රතිපල වාර්තා කළ පිරිස් අතර නවකවද දීම් වැඩියෙන් සිදු කර ඇති බවකි. මේ වාර්තාව පිළිබඳව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසන්නේ වෙනත් කතාවකි.

“මේ සමීක්ෂණ වාර්තාව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට ලබා දුන් පසු ඔවුන් තමන්ට වාසිදායක වන ලෙස මේ වාර්තාව වෙනස් කර ගෙන තියෙනවා. සමහර මහාචාර්යවරු මේ කමිටුවෙන් ඉවත් කළා. ආණ්ඩුව පසුගිය කාලයේ ශිෂ්‍යන්ට කළ අඩම්තේට්ටම්, පළිගැනීම් ඇතුළත් වාර්තාවේ ඡේදය මෙම වාර්තාවෙන් ඉවත් කරලා. සිසුන් ගැන නරක ආකාරයේ ප්‍රතිරූපයක් ඇති වන ආකාරයට මෙය පළ කරලා. වසර 2 ක්ම සිසුන්ගේ විශ්වවිද්‍යාල කටයුතු අඩපණ වුණා. බොහෝ දෙනා වෙනත් රැකියා සොයා ගෙන ගියා. එවන් අවධියක තමයි මේවගේ වාර්තාවක් නිකුත් කරන්නට ඔවුන් කටයුතු කළේ. මේ සියල්ල බොරු විකෘති තොරතුරු“ ඒ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේය.

කෙසේ වෙතත් මෙම වාර්තාව සම්බන්ධයෙන් බොහෝ චෝදනා එල්ල වෙති. විද්වත්හු විවිධ අදහස් පවසති. විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය පවසන්නේ තවත් අදහසකි. 

“මේ වාර්තාව පිළිබඳ අපේ අදහස ඉදිරියේදි ප්‍රකාශයක් කරනවා. තවමත් ඒ පිළිබඳ අධ්‍යයනයකයි පසුවන්නේ. ලිංගික හිංසන සෑම තැනකම පවතින දෙයක්. මේ සඳහා ලබා දුන් ප්‍රතිචාරය සෘණාත්මකව විශ්වවිද්‍යාල පද්ධතියට බලපෑමක් එක් කරනවා. ඒ වගේම මේ තොරතුරු සියලු විශ්වවිද්‍යාල පද්ධතියටම සාමාන්‍යකරණය කිරීම වැරදියි. ලිංගික හිංසන නැවැත්වීම සම්බන්ධ වෙනමම කමිටු විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා සෘණාත්මක අංශය පමණක් නොව ධනාත්මක අංශය ගැනත් කතා කළ යුතුයි. රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය පිළිබඳව සෘණාත්මක අදහස් ජනතාව අතරට යාම හොඳ දෙයක් නොවන බවයි අපේ අදහස“ ඒ විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම බන්නැහැකයි.

“මේ වාර්තාව හරිද වැරදිද? මේ පිළිබඳ පර්යේෂණයට කිරීමට ඔවුන්ට ඇති සුදුසුකම කුමක්ද? මේ පිළිබඳ මූල්‍ය දායකත්වය දක්වූ ආයතන සමඟ ඇති සම්බන්ධය කුමක්ද යන්න අපි මුලින්ම සොයා බැලිය යුතුයි.

සාමාන්‍යයෙන් මෙවැනි පර්යේෂණයක් සිදු කරන්නට සමාජ විද්‍යාව පිළිබඳ විශේෂ දැනුමක් තිබිය යුතුයි. නමුත් එය එසේ සිදුවී නැහැ. මෙම සමීක්ෂණය සිදුකළ ආකාරය, ඊට බාහිර ආයතන දැක්වූ සම්බන්ධය පිළිබඳවත් හෙළිදරවු විය යුතුයි.

එසේම මේ සම්බන්ධව ප්‍රචාරයන් ලබාදීමේදීත් මාධ්‍ය ආයතන සතුව ඇති වගකීමත් මෙහිදි අවධාරණය කළ යුතුයි. රාජ්‍ය විශ්වවිද්‍යාල රජය විසින් රැක ගත යුතුයි. පෞද්ගලික විශ්වවිද්‍යාලවලට වෙළෙඳපොළක් නිර්මාණය කිරීමට රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය යොදා නොගත යුතුයි.

“ ඒ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අනුරුද්ධ ප්‍රදීප් කළණසූරියය.

වාර්තාව පිළිබඳ විවිධ අදහස් තිබුණද මෙහි නවක වදදීම්වලට සම්බන්ධ බොහෝමයක් දෙනා නවකවද පනත පිළිබඳ නොදන්නා අය වීම විශේෂත්වයක් බව සඳහන් කරයි. මාසිකව ඖෂධ ලබා ගන්නා සිසුන් 3.9% ක් නවකවද දීම් සිදු කර ඇතිබව හෙළි වෙයි. එසේ ඖෂධ නොගන්නා අය නවකවද දීම්වලට සම්බන්ධ වී ඇත්තේ 1% ක් වැඩි අඩු ප්‍රතිශතයකි.

බොහෝ විට නවකවද දීම් සිදු කර ඇත්තේ මානසික රෝග පවතින සිසුන් බව මෙම සමීක්ෂණය හරහා මතු වූ කරුණකි. ග්‍රාමීය පරිසරයකින් පැමිණ විශ්වවිද්‍යාල නේවාසිකව ගත කරන පිරිස් මෙන්ම ළමා කාලය විවිධ හැලහැප්පීම්වලට ලක් වූ සිසුන්ද නවකවද දීම් වැඩියෙන් සිදු කරන බව හඳුනාගෙන ඇති අතර, නගරයෙන් පැමිණ පොහොසත් පවුල් පරිසරයකින් හෙබි සිසුන් අතර නවකවද දීම් අඩු‍වෙන් සිදුවී ඇති බවද මෙහිදී හෙළිදරවු වූ කරුණු අතර වෙයි.

Comments