මහමඟ මරු කැඳවන මහ පාරේ ත්‍රස්තවාදය | Page 2 | සිළුමිණ

මහමඟ මරු කැඳවන මහ පාරේ ත්‍රස්තවාදය

මෑතකදී සිදුවූ බිහිසුණු අනතුරක්

සෑම පැය තුනකටම වරක් මිනී මැරුමකට සම රිය අනතුරකින් මිනිසෙක් මහ මඟ මියැදෙමින් සිටී. හෙට ඒ මාරකයට බිලි වන්නේ මේ ලියන මා ද කියවන ඔබද විය හැක.

ශ්‍රී ලංකා පොලිසියේ ඇති දත්ත ප්‍රකාරව ගෙවුණු ජනවාරියේ පමණක් රට තුළ බිහිසුණු රිය අනතුරු 1875ක් සිදුවී තිබේ. එයින් 235ක් මාරක රිය අනතුරුය. එම මාරක අනතුරුවලින් 39ක් ත්‍රී රොද රථ අනතුරුය. එම අනතුරු 39න් 40 දෙනෙක් මිය ගොස් ඇත.

පසුගිය ජනවාරියේ පමණක් සිදුවූ සමස්ත රිය අනතුරු මරණ 250කි. ජනවාරිය සහ පෙබරවාරි මාස දෙක තුළ සිදුවූ මාරක රිය අනතුරු සංඛ්‍යාව 477කි. මාස දෙකට මිය ගිය පුද්ගලයන් ගණන 457කි. බරපතළ තුවාල ලැබූ පුද්ගලයින් ගණන 861කි. මිය ගිය අය අතර යතුරුපැදිකරුවන් 148 දෙනෙක් වෙති. පදිකයෝ 146ක් වෙති. මගීන් 56කි. අවුරුද්දේ පළමු මාස දෙක තුළ ශේෂ පත්‍රය එසේය.

දළ වශයෙන් සලකා බැලුවහොත් මේ අවුරුද්ද පටන් ගත් දා සිට දිනකට පුද්ගලයින් 08 දෙනා බැගින් රිය අනතුරුවලින් මියගොස් තිබේ. පසුගිය වසරින් අඩක් කොවිඩ් වසංගතය හේතුවෙන් රට වසා දමා තිබිණි. මිනිස්සු පාරට බැස්සේ නැත. එසේ තිබියදීත් වර්ෂ 2021 දී රට තුළ මාරක රිය අනතුරු 2414ක් සිද්ධ විය. එයින් 2513ක් මරණයට පත් වූහ. 

උක්ත අනතුරුවලින් ඔත්පල වූ, සදාකාලික අංගවිකල බවට පත් වූ, බරපතළ තුවාල ලැබූ සමස්ත පිරිස 6401කි. මිය ගිය උන් සියලුම වේදනාවලට සමු දී නික්මගොස්ය. එයින් සිදුවන ආර්ථික ව්‍යසනය, සමාජ ව්‍යසනය, පුද්ගල මානසික ව්‍යසනහී ස්වරූපය පිළිබඳ විද්‍යාත්මක තක්සේරුවක් නැත.

මේ රටාව පසුගිය කාලය තුළදීම සාපෙක්ෂ වෙනසක් සිදු වී නැත. වර්ෂ 2018 දී මාරක රිය අනතුරු 2994ක් සිදු වී තිබිණි. මිනිස්සු 3151 මහ පාරේ මිය ගියහ. 2019ත් එසේමය. මාරක අනතුරු 2689ක් සිදුවිය. 2853ක් මහ මඟ මළහ.

මේ සෑම මරණයක්ම අශිෂ්ටත්වයේ ප්‍රකාශනයක් බව කිව යුතුව තිබේ. මක්නිසාද යත් මේ මරණවලින් සාතිශය බහුතරයක් අනෙකා කෙරෙහි ගෞරවය හා වගවීම තිබුණා නම් වළක්වා ගත හැකි තිබූ මරණ බැවිනි. නීතියට ගරු කරන මිනිසුන් සහිත සමාජයක මෙවැනි අපරාධමය ස්වරූපයේ රිය අනතුරු සිදු නොවන බැවිනි. සමස්තයේ සාරාංශය මෙසේය. තිස් අවුරුදු යුද්ධයෙන් මේ රටේ මිය ගිය සමස්තය දළ වශයෙන් 29000කි. එහෙත් අවුරුදු 10ක් තුළ රිය අනතුරුවලින් 30000ක් මිය යන්නේය. අවුරුදු තිහක් යනවිට අනූ දාහකි. මහ පාරේ ත්‍රස්තවාදය මහා යුද්ධයකටත් වඩා බිහිසුණු වන බව මේ දත්ත අපට කියන්නේය.

අපේ මිනිසුන් මෙසේ බුරුතු පිටින් දිනපතා මහ මඟ මැරෙමින් සිටින්නේ රිය අනතුරු වැළැක්වීමේ දශකයක් ප්‍රකාශයට පත්කර වර්ෂ 2030 වනවිට මාර්ග අනතුරුවලින් සිදුවන මිලියන 1.3ක් වූ ගෝලීය මරණ ප්‍රමාණය හරි අඩකින් අඩු කිරීමේ අභිලාෂයෙන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඉලක්ක ගත වැඩසටහනක් වෙත ලෝකය යොමු කරමින් සිටිනා වටපිටාවකය.

මේ දැවැන්ත සමාජ ආර්ථික මෙන්ම මානුෂික ව්‍යසනයෙන් ගැලවීම වෙනුවෙන් රටක් ලෙස අප ඊට සූදානම් ද? ඒ සඳහා අපේ සැලසුම කුමක් ද?අපට මහ වැනසෙන මේ ජීවිත ආරක්ෂා කරගත නොහැකි ද? මේ සංවාද ප්‍රවේශය මෙතෙක් අප පතුළ ස්පර්ශ නොකළ තියුණු ව්‍යසනයක ස්වරූපය පිළිබඳ යථාවබෝධය වෙනුවෙනි.

ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ ඇති මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතියට වගකියන ප්‍රධානම ආයතනය මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සවභාව ය. අපි මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති ඇන්ටන්ද මෙන්ස් විමසීමු.

"සංඛ්‍යාලේඛනවලට අනුව රිය අනතුරුවල යම් අඩුවීමක් තිබුණා. කොවිඩ් සහ පාස්කු ප්‍රහාරයත් මේ අඩු වීමට බලපෑවා. එහෙත් ප්‍රධාන වශයෙන්ම අනතුරු සම්බන්ධව මේ තරම් තිගැස්මක් එන්න හේතුව මාධ්‍ය හරහා අනතුරු පිළිබඳ ප්‍රචාරණය සහ හුවා දැක්වීම සමඟ ජනතාව අවධානය වැඩි වශයෙන් යොමු වීමයි.

ඒත් මේ අඩුවීම මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව ලෙස බලාපොරොත්තුවන මට්ටමේ අඩුවීමක් නොවෙයි. ඉතිරි අවුරුදු 10 තුළ රිය අනතුරු සියයට 50ක ප්‍රමාණයකින් අඩු කරගන්න අප වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය මාර්ග ආරක්ෂණ දශකයක් හඳුන්වා දී තිබෙනවා. අපට පසුගිය දශකයේ දුන් ඉලක්ක සඳහා යන්න බැරි වූ හේතූ සමාලෝචනයක් කරමින් ඉදිරි දශකයේ එම ඉලක්ක සාධනය කරගන්න සැලසුම් සකස් කරනවා. මේ වසර අවසන් වන විට ඉදිරි වසර 10 සඳහා මාර්ග රිය අනතුරු අවම කරගැනීමේ සැලසුම් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා.“

රථවාහන හා මාර්ග ආරක්ෂක කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩය. රිය අනතුරු අවම කිරීමේ මුඛ්‍ය වගකීම දරන ප්‍රධානම නිලධාරියා ඔහුය. නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසන්නේ සමාජයක් ලෙස එක් වී වගකීමක් ලෙස විසඳා ගත යුතු කාර්යයක් පොලිසියට හුදෙකලාව වළක්වා ගත නොහැකි බවය.

“රිය අනතුරු වැඩිවෙමින් ඇත්තෙ නීති පද්ධතියෙ අඩුපාඩු නිසා නෙමෙයි. මාර්ග පද්ධතිය භාවිත කරන රියැදුරන්ගෙ විනයක් නැති කමයි මේ ව්‍යසනයට ප්‍රධානම හේතුව.“

“රියැදුරන් විසින් මාර්ග නීති, මාර්ග සංඥාවලට අවනත නොවී ස්වයං පාලනයකින් තොරව කටයුතු කිරීම නිසයි අනතුරු වෙන්නෙ. මේ පිරිස දැඩිව දණ්ඩනයකට යටත් නොකර විනයගරුක කරන්න බෑ.“

“ රියැදුරන්ගේ විනය සම්බන්ධව ලකුණු ලබා දෙන ක්‍රමවේදයක් ලොකයේ තිබෙනවා. එම අකුසලතා ලකුණු අනුව රියදුරු බලපත්‍රයත් අහෝසි වෙනවා.ඒ අකුසලතා ලකුණු ක්‍රමවේදය ගෙනෙන්න අපි බලාපොරොත්තු වෙනවා. නිශ්චිත ලකුණු ගණනක් දීලා වැරදි කළාට පසසේ ලකුණු කපා හැර ලකුණු ඉවර වුණාම ලයිසන් එක අවුරුද්දක් කැන්සල් කරනවා. නැවත රියැදුරු පාසලකට ගිහින් තමයි ලයිසන් එක ගන්න වෙන්නෙ. විනයගරුක රියැදුරෙක් බිහි කරගැනීමටයි අපි වැඩ කරන්නේ.“

මේ වනවිට මාර්ග නීති ක්‍රියාත්මක කරවන්න පොලිස් නිලධාරීන් 9000ක අඛණ්ඩ රාජකාරියක් කරනවා. පැය 12ක අඛණ්ඩ රාජකාරි මුරයක් සඳහා දිවා රෑ අවු වැසි නොබලා නිලධාරීන් 4500ක් පාරේ ඉන්නවා. නමුත් ශ්‍රී ලංකා පොලිසියට විතරක් හුදෙකලාව මේ කටයුත්ත කරන්න බෑ. ඒකට තිබෙනවා ආයතන 27ක්. උදාහරණයක් විදිහට මාර්ග සංවර්ධන අධිකාරිය පළාත් පාලන ආයතනය, ප්‍රවාහන අමාත්‍යාංශය, විදුලිබල මණ්ඩලය, මාර්ග නඩත්තු කිරීමේ වගකීම සහිත සියලුම පාර්ශ්ව, රටේ අධිකරණ පද්ධතිය එකට එක් විය යුතුයි. රිය අනතුරු වළක්වා ගැනීම සමාජයක සාමුහික වගකීමක්. “

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ මාර්ග අනතුරු වැළැක්වීමේ විශේෂඥ කමිටුවේ කැඳවුම්කරු වෛද්‍ය රුවන් තුෂාර මැටිවලගේය. ඔහු කියන්නේ අපට මේ ව්‍යසනයෙන් ගොඩ ඒම සඳහා අවශ්‍ය ක්‍රියාකාරී සැලැස්ම ගැනය.

“ලක්ෂ13ක් වුණු ගෝලීය රිය අනතුරු මරණ ප්‍රමාණය වර්ෂ 2030 වනවිට සියයට 50ක් දක්වා අඩු කරන්න ලෝක සෞඛ්‍ය සංවිධානය ලබා දෙන ඉලක්කයට පිවිසීමට අපට ක්‍රියාකාරී සැලැස්මක් අවශ්‍යයයි.

“රිය අනතුරු නිසා සිදුවන මරණවලින් මෙන්ම සදාකාලික ඔත්පලවීම් ඇතුළු බරපතළ තුවාල ලැබීම්වලින්, භෞතික දේපළවලට සිදුවන හානි හේතුවෙන් රටේ ආර්ථිකයට අහිමිවන වටිනාකම් ප්‍රමාණය සම්බන්ධව අපේ රට තුළ නිශ්චිත අර්ථ නිරූපණයක් නෑ. ලෝක සෞඛ්‍ය සංවිධානය දක්වා ඇති දත්ත ප්‍රකාරව මේ ගණනය දළ වශයෙන් රටක දල දේශීය ආදායමෙන් සියයට තුනක ප්‍රමාණයක්. “

රිය අනතුරුවලින් සිදුවන හානියෙ වැඩිම පිරිවැය දරන්න සිදු වෙන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට. අප වැනි රටක මුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයටම වෙන් කරන්නේ රටේ දළ දේශීය ආදායමෙන් සියයට දෙකකට ආසන්න ප්‍රමාණයක්. අප මුහුණ දී සිටින සැබෑ ව්‍යසනය නිර්වචනය කරගන්න වහාම විද්‍යාත්මක ප්‍රවේශයකට යා යුතු වන්නේ ඒ නිසා. අනතුරුව ඉක්මන් පිළියම් සොයා ගත යුතුයි. එසේ නොවේ නම් යම් මොහොතක සමස්ත සෞඛ්‍ය ක්ෂේත්‍රයම බරපතළ අර්බුදයකට පත් වේවි. "

මහාචාර්ය සමත් ධර්මරත්න වෛද්‍ය සංගමයේ සභාපතිවරයාය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ, ප්‍රජා වෛද්‍ය ඒකකයේ මහාචාර්යවරයෙක් වන ඔහුට රිය අනතුරු සහ මාර්ග ආරක්ෂාව සම්බන්ධව ප්‍රමුඛ විද්‍යාත්මක පර්යේෂණයක් සිදුකළ ජාත්‍යන්තර අත්දැකීම් සහිතය. ප්‍රශ්නයේ සැබෑ තත්ත්වය මහාචාර්යවරයා අපට කියන්නෙ මෙසේය. “රිය අනතුරකට සියයට 99ක් හේතුව මිනිස්සුන්ගෙ වැරදි. එය නෛතිකව නිවැරදි කළ යුතුයි. නීති දාන්න ගියාම අනුකම්පා හිතන්න බෑ. ඒක ප්‍රධානම කාරණාවක්. නීතියෙන් එන දඬුවම ප්‍රබල සහ දැනෙන සුළු වුණාම මහපාරෙ විනය හැදෙනවා.

අනෙක් කාරණාව අපේ පාරවල් දිග පළල වෙලා තියෙන්නේ සියයට පහක් හෝ දහයක්. නමුත් වාහන සියයට 400ක් පන්සීයක් වැඩි වී තිබෙනවා. මාර්ග සංවර්ධනය සිදුවෙලා තිබෙන්නෙ අනාගත මාර්ග තදබදය ගණනය කිරීමකින් නොවෙයි.

තෙවනුව මේ තරම් ව්‍යසනකාරී වටපිටාවක මේ රටම ආවරණය වන පරිදි, සාමාන්‍යකරණය කළ හැකි පරීක්ෂණයක් රිය අනතුරු සම්බන්ධව සිදු වී නෑ. සිදුවී ඇත්තේ එක් එක් ක්ෂේත්‍ර ආවරණය වන ආකාරයේ ප්‍රමාණික පරීක්ෂණ පමණයි. ඒ නිසාම අපට සැලැස්මක් හදා ගන්න අපහසුයි.

අවසාන කාරණාව... අපට මේ සම්බන්ධව ජාතික ප්‍රතිපත්තියක් නෑ. වැඩසටහන් රාශියක් තිබෙනවා. එකිනෙකා වෙන වෙනම ඒ වැඩසටහන් කරනවා. එහෙත් ඒ ආයතන අතර අවබෝධයක්, සම්බන්ධයක් හෝ සංවාදයක් නෑ. ඒ නිසාම ඒ උත්පාදනය කරන දැනුම නිසි ලෙස සමාජගත වෙන්නෙ නෑ .

අපි යෝජනා කරන්නේ මේ සියලුම සම්පත් එකතු කරලා ජනාධිපතිවරයා යටතේ කමිටුවක් පත් කරන්නයි. පස්සෙ මේ වගකීම ඔවුන්ට පැවරුවා නම් මුදල ශ්‍රමය ඉතිරි කරමින් වැඩේ සිද්ධ වෙනවා. ජාතික ප්‍රවාහන වෛද්‍ය සභාවේ සභාපති වෛද්‍ය එස්.ඒ.කේ ගමගේ බිහිසුණු කතාවක් ඔහු සිය දත්ත ඔස්සේ අපට කියන්නේය.

රටේ නීතිය ප්‍රකාරව රියැදුරකු ලෙස සේවයේ යෙදවිය හැකි කාල සීමා පැහැදිලිව සඳහන් කරමින් මෝටර් රථ විධිවිධාන පනතේ 169වැනි වගන්තිය ලියැවී තිබේ. පැය 24ක කාල පරාසයක් ඇතුළත රියැදුරෙකුට පැය 10ක අඛණ්ඩ විවේක කාලයක් ලබා දිය යුතුය. නීත්‍යානුකූලව රියැදුරෙකු සේවයේ යෙදවිය හැකි උපරිමය දවසකට පැය 14කි. ඒ කාලය ඇතුළත නොකඩවා වාහනයක් පැදවිය හැක්කේ පැය හතරහමාරක් පමණි. සෑම පැය හතරහමාරකට ම පසුව රියදුරා පැය භාගයක් විවේක ගත යුතුය.

එහෙත් මේ නීතිය මේ රටේ ක්‍රියාත්මක වන්නේ නැත. එහි බිහිසුණු ප්‍රතිඵල එළියට ඇවිත් ඇති ආකාරය වෛද්‍ය ගමගේ අපට කියන්නේ මෙසේය.

“ එක්තරා බස් සංගම් ප්‍රධානියෙක් මාධ්‍ය සාකච්ඡාවකදි අමුතු කතාවක් කිව්වා. ඔහු කිව්වා බස් රථ රියදුරන්ගෙන් සියයට 50ක් මත්ද්‍රව්‍ය භාවිත කරනවා කියලා. ඇයි එහෙම කරන්නෙ කියලත් ඔහු කියනවා. නීතියක් නෑ... එයාලට ලොකු ඉලක්ක දී තිබෙනවා. කන්න බොන්න තැනක් නෑ. ටර්න් එකක් ඉවර වෙලා නවත්තලා ඉන්න තැනක් නෑ. වැසිකිළියක් නෑ. එය බිය උපදවන ඇත්තක්.

ටිපර් රථ එළවන්න, බස් රථ එළවන රියදුරන්ට සාමාන්‍ය ස්වරූපයෙන් නම් මේ විදිහට වැඩ කරන්න බෑ. මෙයට විසඳුම් සොයන්න ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය විදිහට අපි කල්පනා කළා. දිළුම් අමුණුගම අමාත්‍යවරයා තමයි කීවේ මේ සම්බන්ධව යම් පරීක්ෂාවක් කිරීමේ ක්‍රමවේදයක් හදන්න කියලා.

බර වාහනවලට අවුරුදු 04න් හතරට සැහැල්ලු වාහනවලට අවුරුදු 8න් 8ට රියදුරු බලපත්‍ර ලබා ගන්න වෛද්‍ය සහතිකයක් දිය යුතුයි. බර වාහන සඳහා දවසකට දහසක් පමණ පිරිසක් වෛද්‍ය සහතික ලබා ගන්න එනවා. දැනට මාස තුනක සිට ඔවුන්ගෙ මුත්‍රා සාම්පල පරීක්ෂා කළා හෙරොයින්, අයිස්, ගංජා වැනි ලංකාවේ සුලබ මත්ද්‍රව්‍ය 04කට. මෙහිදි හෙළි වුණේ මේ රියැදුරු බලපත්‍ර අලුත් කරගන්න එන අයගෙන් සියයට 10ක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අය. වැඩිපුරම ඉන්නේ අවුරුදු 20 -30 අතර. ප්‍රශ්න කරනකොට ඔවුන් අපට කියන්නෙ මත්ද්‍රව්‍ය නැතිව මේ රස්සාව කරන්න බෑ කියලා.

මේ ගැන ජනාධිපතිතුමවත් දැනුම්වත් කරලා තියෙන්නෙ. මේ පුද්ගලයන් සම්බන්ධව රටේ නීති පද්ධතිය සකස් කරන්න ඕන. ඒ සඳහා වැඩපිළිවෙළක් හැදෙනවා.“

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අංශයේ ජේයෂ්ඨ මහාචාර්ය යසාංජලී ජයතිලක සමාජ විද්‍යාඥවරියක් ලෙස අපට කී කතාව සංක්ෂිප්ත කර මේ සටහන නිමා කරමු.

“සමාජය ව්‍යාධියට පත්වන දෙයක් තමයි සමාජ ප්‍රශ්නයක් වෙන්නෙ. තිස් අවුරුදු යුද්ධයෙන් මිය ගියාට වඩා වැඩි පිරිසක් රිය අනතුරුවලින් මිය යන බව දත්ත මඟින් සාධනය වෙනවා කියන්නෙම සමාජ ප්‍රශ්නයක්.

මෙය අප සමාජ විද්‍යාත්මකව තේරුම් ගත යුතුයි. රිය අනතුරු වැළැක්වීමට නීති රීති තිබෙනවා. රථ වාහන පොලිසියක් තිබෙනවා. මාර්ග පද්ධතියේ යම් මූලික අවශ්‍යතා ඉටුව තිබෙන විට ඇයි මේ මාරක රිය අනතුරු වෙන්නෙ. “

අධ්‍යාපන ක්‍රියාවලියෙ ඉදන් ඈතට ගිහින් අප මෙය විග්‍රහ කරගත යුතුයි. ළදරු අවධියේ සිට අප ලබා දෙන අධ්‍යාපන ක්‍රමය තරගය පාදක කරගත්තු එකක්. හුරු කරන්නේම අනෙකා අබිබවා යෑමට. ඒ ක්‍රමය තුළ මානව ධර්මතා හුරු කරන්නෙ නෑ. අප සැබෑ ලෙසම තරග කළ යුත්තේ අප සමඟ. එහෙත් අපේ රටවල තරග කරන්නෙ අසල්වැසියා සමඟ. සමස්තය තුළ ඇත්තේ අභිබවනය කරන තරගය මිසක් ධර්මතා පූර්ණ අර්ථයක් නොවෙයි. අවසානයේ මේ තත්ත්ව කාන්දු වෙන්නෙ පුද්ගල පෞරුෂත්වයට. මෙන්න මේ ධර්මතා විරහිත තත්ත්වයි මහපාරෙදි රූපණය වෙන්නෙ. “කහ ඉර උඩදි මිනිස්සු මරා දමන රියැදුරන් අහම්බයන් නොවන්නෙ ඒ නිසා. මේ ප්‍රකාශනය නිවැරදිව තේරුම් ගත යුතුයි. සදාචාර සම්පන්න හික්මීමක් සහිත ජනකොටසක් රටක් තුළ බිහි නොකරන තාක් ඒ රට සංවර්ධනය කරන්න බෑ.“

Comments