
ඇල්පිටිය පිටුවල උතුර ප්‍රදේශයේ කුඩා නිවෙසක තිස් හතර හැවිරිදි කේ.එම්. ෂෙහාන් ලසන්තත්, ඔහුගේ බිරිය වූ තිස් තුන් හැවිරිදි නන්දනී ප්‍රියන්තිත් ඔවුන්ගේ එකම දරුවා වූ පිටුවල කනිටු විදුහලේ පහ වසරේ ඉගෙනුම ලබන දස හැවිරිදි දියණියත් පදිංචිව සිටියහ.
කලක් යුද හමුදාවේ ද සේවය කළ ෂෙහාන් ඉන් ඉවත් වීමෙන් පසුව දිනපතා කාගේ හෝ කුලී වැඩක් කර පවුල ජීවත් කරවීම කළේ කිසිවකුට හිරිහැරයක් නොවන පරිදිය.
ඉකුත් අඟහරුවාදා රාත්‍රියේ සිය මිතුරන් සමඟ සාදයකට එක්වූ ෂෙහාන් එදින නිදාගන්නට තම නිවහනට ගියේ අලුයම හතරට පමණය. ඒ වනවිට සිටියේ තවත් දරු ප්‍රසූතියකට සූදානම් වෙමින් සිටි ෂෙහාන්ගේ බිරිය සහ එකම දියණිය පමණි. පසුදාට පහන් වන්නට ඔන්න මෙන්න කියා තිබියදී නිදි ඇඳට වැටුණු ෂෙහාන් උදේ හයට පමණ අවදි වී සුපුරුදු කුලී වැඩට ගියත් ටික වේලාවකින් ඔහු ආපසු නිවෙසට ආවේ පෙරදා රාත්‍රී මත්පැනින් සප්පායම් වීමත් නිදිමැරීමත් නිසා ඇඟට දැනුණු තෙහෙට්ටු ගතිය නිසාය. ගෙදර පැමිණ බිරිය හා දියණිය සමඟ කතාකරමින් සිටියදී ෂෙහාන්ගේ ගැබිනි බිරිය කියා සිටියේ කොස් කන්නට ආසාවක් ඇති බවය. බිරියගේ ආශාව ඉටු කරදෙන්නට ෂෙහාන් දෙවරක් සිතුවේ නැත.
ඔහු සිය කුඩා දියණිය ද සමඟ නිවෙසින් පිටත් වූයේ ඔවුන්ගේ නිවෙසට මඳ දුරක් ඉදිරියෙන් පිහිටි තම මහ ගෙදර ළඟටය. මහ ගෙදර ඉදිරිපිටින් වැටි ඇති තුංමන්හන්දියේම කොස් සහිත කුඩා කොස් ගසක් විය.
එම කොස්ගස පිහිටි ඉඩම කලින් අයිතිව තිබුණේ ෂෙහාන්ට ඥාතීත්වයෙන් බාප්පා කෙනෙකු වූ අසූ හැවිරිදි වියේ පසුවන තිස්ස නම් පුද්ගලයාටය. එහෙත් එම ඉඩමේම පදිංචිව සිටි තිලකරත්න විසින් ඉදිරිපත් කරන ලද බෙදා වෙන්කිරීමේ නඩුවක තීන්දුව අනුව මේ ඉඩම් කොටස අයිති වූයේ ඕ.කේ. ඩී. බේබිනෝනා නම් කාන්තාවකටය. එම නඩු තීන්දුව දී තිබුණේ 2015 වසරේදීය. නඩුවෙන් තමන්ට අයිති වුවද ඇය මේ ඉඩමේ ඇති බවභෝග ගැන එතරම් සොයා බැලුවේ නැත. එහෙත් තිස්ස මෙම කොස්ගස තමන් සිටවූවක් බව කියමින් එහි කොස් කඩාගෙන යන අය සමඟ නිතර රණ්ඩු සරුවල් ඇතිකර ගත්තේය.
ඉකුත් බදාදා පෙරවරුවේ ද සිදුවූවේ ඒ දෙයමය. ෂෙහාන් එම කොස්ගසින් කොස් ගෙඩියක් කඩා බිම හෙළනවා දුටු තිස්ස ෂෙහාන්ට බැණ වැදුණේය.
"ගහේ තියෙන ගෙඩි කඩන්නෙ කාගෙන් අහලද,? උඹල සේරම කඩාගෙන කෑවම අපි කන්නෙ මොනවද?" යැයි කියමින් තිස්ස බැණ වදිද්දී ඔහු සමග එකට එක කියමින් ෂෙහාන් ද කොස්ගස ඉදිරිපස අනෙක් පැත්තේ වූ තිස්සගේ නිවෙසේ මිදුලට ගොඩවැදුණි. බහින්බස් වීමෙන් පටන්ගත් ඒ ආරවුල කෙළවර වූයේ තිස්ස විසින් එල්ල කළ උල් පිහි පහරක් ෂෙහාන්ගේ ළය පසාරු කරගෙන යෑමත් සමඟය. ලේ විලක් මැද බිම පතිත වූ ෂෙහාන් අසල්වාසීන් හා ෂෙහාන්ගේ නිවෙසෙ අය එක්ව ඇල්පිටිය රෝහලට රැගෙන ගියද ඒ වනවිටත් ඔහු අවසන් සුසුම් හෙළා තිබුණ බව වෛද්‍යවරු පවසා ඇත. කොස් ගෙඩියක් නිසා වටිනා මිනිස් ජීවිතයක් අකාලයේ විනාශ වී ගියේ අවාසනාවන්ත අන්දමිනි.
අක්කර තුනක් පමණ වූ එකී ඉඩමේ තම තමන්ට අයිති ඉඩම් භුක්ති විඳිමින් ජීවත්වන පවුල් කිහිපයකි. මේ පවුල් සියල්ලම ඥාතීහු වෙති. කලක් ඉතා සුහදවත් කලක් රණ්ඩු සරුවල් වෙමිනුත් මොවුන් ජීවත් වී ඇත.
ෂෙහාන්ගේ පවුලේ පියා මියගොස් ඇති අතර ඔහු පවුලේ වැඩිමහල් දරුවාය. ඔහුට බාල සොහොයුරන් සහ සොහොයුරියන් දෙදෙනෙකි. ඔවුන් විවාහකව මහ ගෙදරම ජීවත් වන අතර, එක් නැඟණියක් කුරුණෑගල ප්‍රදේශයට විවාහවී ඇත.
ෂෙහාන්ගේ මරණයට සැකකරු වී සිටින තිස්සට ද දියණියන් දෙදෙනකු සහ එක් පුතෙකි. ඔවුන් ද විවාහකව වෙන් වෙන්ව ජීවත් වන අතර ගමේ ඉන්නේ ඉන් විවාහක එක් දියණියක් පමණි. මේ නිසා ගෙදර වූයේ තිස්ස සහ ඔහුගේ බිරිය පමණි. වයසට ගියද ඔහු තවමත් ගෙවතුවල වැඩපළ කිරීමට යන බව කියති. ඔහු විවාහවන්නට පෙර පැවිදි දිවියක් ගතකළ බවද ගම්වාසීහු පැවසූහ. එසේ වුවද ජීවිතයට උපේක්ෂාවෙන් මුහුණ දීමට තරම් තවමත් ඔහුගේ සිත පොහොසත් නොවුණා විය හැකිය. කොස් ගෙඩියක් වෙනුවෙන් සිය ඥාති පුතකු වන ෂෙහාන්ගේ ජීවිතය උදුරා ගන්නට තරම් ඔහුගේ සිත දරුණු වූයේ ඒ නිසා වන්නට ඇත. ඇල්පිටිය මහේස්ත්‍රාත් සමීර දොඩංගොඩ සිද්ධිය වූ ස්ථානයට ගොස් මරණ පරීක්ෂණය පැවැත්වූ අතර මහේස්ත්රාත්වරයාගේ නියෝගය පරිදි ඇල්පිටිය පොලිසිය විසින් සැකකරු අත් අඩංඟුවට ගෙන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අප්‍රේල් මස 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබීය.
මේ පිළිබදව කහදූව පඤ්ඤානන්ද පිරිවෙනේ පරිවෙණාධිපති,පිටුවල පුරාණ විහාරාධ්පති ශාස්ත්‍රපති බඹරවානේ කෝලිත නාහිමියන්ගෙන් කළ විමසීමේදී උන්වහන්සේ මෙසේ සඳහන් කළහ.
"මේ දෙගොල්ලම අපේ පන්සලේ දායකයො. දෙගොල්ලම අහිංසක මිනිස්සු. කොස් ගෙඩියක් කියන්නෙ ගස් යට වැටි වැටි යන දෙයක්.මේ වගේ දේවල් රටේ සිදුනොවිය යුතු දේවල්. අපි බෞද්ධයො හැටියට මේව ගැන ඉතාම කනගාටු වෙනවා මේ සිද්ධිය ජීවත්ව ඉන්න අපි කාටත් හොඳ පාඩමක්. නිශ්ඵල දෙයක් නිසා ඇයි වටිනා ජීවිතයක් නැති කර ගන්නෙ. කොස් ගෙඩියකට ගහ මරාගන්න තරම් ඇයි අපි මෙතරම් පිරිහෙන්නෙ. කෙනෙක් මනුෂ්‍ය ආත්මයක් ලැබගන්න මොන තරම් පිං කරන්න ඕනද එහෙම පින්කරල ලබාගත් මනුෂ්‍ය ජීවිතයක් ඇයි කොස් ගෙඩියක් නිසා නැති කරගන්නෙ. අපි මේව ගැන මීට වඩා හිතන්න පුරුදු වෙන්න ඕනෑ."
ඇල්පිටිය ජේෂ්‍යඨ පොලිස් අධිකාරී වයි.එල්.ලීලවංශගේ උපදෙස් පරිදි ඇල්පිටිය මූලස්ථාන පොලිස් පරීක්ෂක චාමර සිල්වාගේ මෙහෙයවීමෙන් ඇල්පිටිය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බී.ඩබ්ලිව්.අයි.උදයකුමාර,පොලිස් පරීක්ෂක වික්‍රමතන්ත්‍රී, පොලිස් සැරයන් වරුන් වන (26946)රවීන්ද්‍ර, (42138) ජයවික්‍රම, (13140)අහමඩ්, (5282) සොයිසා, (28750) ගුණරත්න, (14754)සනත්, පොලිස් කොස්තාපල් (93801) සුරංග, අපරාධ පරීක්ෂණාගාරයේ (සොකො) උප පොලිස් පරීක්ෂක කුසුම්සිරි,පොලිස් කොස්තාපල් (84435) ජයසිංහ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූහ.
චන්ද්‍රසිරි ගුණසේකර. ඇල්පිටිය සමූහ