
- සුළු සිදුවීමක් ඝාතනයකින් කෙළවර වේ
- ඝාතනය වූයේ අමාත්‍ය ගාමිණි ලොකුගේගේ රියැදුරෙක්
සමාජය කෙතරම් පිරිහී ඇද්ද කිවහොත් වැඩිහිටියකු කුඩා දරුවකුට වුව අවවාදයක් උපදෙසක් හෝ ඔවදනක් දීමට තරම්වත් හැකියාවක් නැත. ඔවුහු අවවාද අනුශාසනා පිළිපැදීම කෙසේ වෙතත් පොලු-මුගුරු ගෙන වැඩිහිටියන් සමඟ අඩදබරවලට පැටලීමට තැත් කරන්නේ මැරවරයන් විලසිනි. එය වත්මන් සමාජයේ මහත් ව්‍යසනකාරි තත්ත්වයකි.
ගෙවුණු සතියේත් එවැනි මැරවර පිරිසකගේ අමනුස්ස ක්‍රියාවක් නිසා ජීවිතයක් අහිමි වූයේ දෙදරු පියකුටයි.
කැස්බෑව පොලිස් වසමේ මාවිත්තර - ගම්මාන වත්ත පාරේදී වූ සුළු සිදුවීමක් ඝාතනයක් දක්වා දුරදිග ගියේ අහස පොළොව නුහුලන තවත් අපරාධයක් ඉතිහාසයට එක්වෙමිනි.
ඝාතනය වූයේ අමාත්‍ය ගාමිණි ලොකුගේගේ කාර්ය මණ්ඩලයේ රියැදුරකු ලෙස සේවය කළ 41 හැවිරිදි ඈපාසිංහගේ දොන් කනිෂ්ක ගයාන් නමැත්තායි. ගයාන්ගේ නිවෙස පිහිටියේ පිළියන්දල - කොට්ටාව 255 මාර්ගයේ මාවිත්තර ගම්මාන වත්ත පාරේ අංක 58 ලිපිනයේයි. කාපට් අතුරා ඇති ඒ පටු මාර්ගය යාබදව ගයාන්ගේ නිවෙස පිහිටියේය. ඔහු ඝාතනය වූයේ ඒ මාර්ගයේ නිවෙස ඉදිරිපිටදීමයි.
කුඹුරු ගොවිතැන් කටයුතුවලද නියැළෙන ගයාන් 21 වැනිදා සවස් යාමයේ මාර්ගය අද්දර වී වේළමින් සිටියේය. ඒ මොහොතේ එකී පටු මාර්ගයේ තරුණයකු යතුරුපැදියකින් ගමන් කරන්නට වූයේ අධික ශබ්දයද නඟමින් විදුලි වේගයෙනි. එය කිහිපවරක්ම සිදු විණි.
ගයාන් සහ ඔහුගේ බාප්පා, සෝමරත්න එම මාර්ගයේම නිවෙස් පිහිටි එකී තරුණයාට පවසන්නට වූයේ,
“පුතා මේ පටු පාරේ අධික වේගයෙන් බයිසිකල් පදින්න එපා... පොඩි ළමයිනුත් පාරට පනිනවා.“ යැයි ඉතාම සුහද ලෙසිනි.
එහෙත් එම අවවාදය ගඟට කැපූ ඉනි මෙන් විය. කිසිවක් ගණන් නොගත් තරුණයා නැවත නැවතත් අවට ප්‍රදේශයම දෝංකාර නංවමින් යතුරුපැදිය ධාවනයේ යෙදෙන්නට විය. එලෙස යතුරුපැදියෙන් කිහිප වරක් ගමන් කළ ඔහු සමඟ ගයාන් සහ සෝමරත්න අනතුරුව බහින්බස් වීමකටද පැටලිණි. ගයාන්ලා පවසන්නට වූයේ,
“එකපාරක් කිව්වනේ. ඔය විදිහට මිනිස්සුන්ට කරදරයක් වන විදිහට මෝටර් බයික් එක පදින්න එපා.“
ඊට තරුණයාද ඊට ප්‍රතිචාර දක්වන්නට වූයේ “උඹ මොකා ගාව වැඩ කළත් කමක් නෑ. මං උඹව කපනවා“ යැයි නොරිස්සුම් ස්වරූපයෙනි. ඒ සමඟම විදුලි වේගයෙන් ඇදි ගිය තරුණයා නිවෙසට ගොස් ඇතිවූ බහින්බස් වීම වැඩිහිටියන්ටද පවසා තිබිණි.
කෙසේ හෝ ඒ බහින්බස් වීම සාමදාන වී තිබුණේ තරුණයාගේ පාර්ශ්වයෙන් ඔහුගේ සහෝදරයෙක් ගයාන්ගේ නිවෙසටම පැමිණ කතාබස් කොට යාමෙන් අනතුරුවයි.
ඒ වන විට නිවෙසේ වූ ගයාන්ගේ බිරිය, දරුවන් ඇතුළු පිරිසද සිතුවේ ප්‍රශ්නය එතැනින් නිරාකරණය වූ වගකි. ගතවූයේ පැයක පමණ කාලයකි. ත්‍රීරෝද රථ දෙකකින් කඩු, පොලු, වීදුරු බෝතල් රැගෙන පැමිණියේ යතුරුපැදි ධාවනයේ යෙදුණු තරුණයා සමඟ ඔහුගේ මව, පියා, සහෝදරයා සහ තවත් දෙදෙනෙකි. පිරිස දුටු ගයාන් සැඟවෙන්නට වූයේ එකී අමනුස්සයන්ගෙන් බේරීමේ අටියෙනි.
ගයාන්ගේ නිවෙසටම පැමිණ දොරට ගසා යකා නැටූ එකී මැර කණ්ඩායමෙන් බේරීමට ගයාන්ගේ බාප්පා සෝමරත්නට නොහැකි විය. බාප්පාට පහර දෙනු දුටු ගයාන් පැමිණියේ ඔහුව ගලවා ගැනීමේ අටියෙනි. එහෙත් මැර කණ්ඩායමෙන් ගයාන්ට ගැලවීමක් නොවිණි. මැර පිරිසෙන් බේරීමට අතුරු මාර්ගයකද දිව ගියත් එම මාර්ගයේදී ගයාන්ට මැර පිරිසෙන් මාරාන්තික ප්‍රහාරයක් එල්ල වූයේ විනාඩි ගණනක් ඇතුළතයි. ගයාන්ට මාරාන්තික ප්‍රහාරය එල්ල කළ මැර පිරිස ඒ සමඟම ප්‍රදේශයෙන් පලා ගියේ නිවෙස්ද අත්හැර දමමිනි.
පපු ප්‍රදේශයට ඔළුවට දැඩි ප්‍රහාර එල්ල වී තිබූ ගයාන් අවට හිතවතුන් විසින් ක්ෂණයෙන් පිළියන්දල දිසා රෝහලට රැගෙන ගියත් ඔහුගේ ජීවිතය මෙලොව හැර ගියේ අවාසනාවන්ත මරණයකට උරුමකම් කියමිනි. මැරවරයන්ගෙන් පහර කෑ ගයාන්ගේ බාප්පා ද බරපතළ තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලැබීය.
එකී පිරිසේ පහර දීමෙන් තරුණ බිරියක මෙලොව තනි වූයේ පිය සෙනෙහස අහිමි වූ දියණිවරුන් දෙදෙනකු ද සමඟිනි. ගයාන්ගේ වැඩිමහල් දියණිය ගල්කිස්ස උසස් බාලිකාවේත් බාල දියණිය කැස්බෑව ආටිගල බාලිකාවේත් අධ්‍යාපනය හදාරමින් සිටින්නීය.
කනිෂ්ක ගයාන් වසර 10කට අධික කාලයක් ප්‍රදේශයේ දේශපාලන නායකයා වන අමාත්‍ය ගාමිණි ලොකුගේගේ කාර්ය මණ්ඩලයේ රියැදුරකු ලෙස සේවයෙහි නියුතුව සිටියේය. ඔහු පසුගිය කාලයේ විදෙස් රැකියාවකට ද ගොස් නැවත අමාත්‍යවරයාගේ කාර්ය මණ්ඩලයට එක්ව සේවය කළේය. තම හිතෛෂි සේවකයාගේ ඝාතනය සැලවූ සැණින් අමාත්‍ය ගාමිණි ලොකුගේ ගයාන්ගේ නිවෙසට පැමිණියේ මහත් සංවේගයෙනි. අමාත්‍යවරයා පැවැසූවේ,
“මගේ ඒ රියැදුරු මහත්තයා මගේ ගමේම කෙනෙක්. අමාත්‍යාංශයේ රියැදුරෙක් ලෙස මගේ කාර්ය මණ්ඩලයට පත්කරලා බැකප් රථයේ රියැදුරු ලෙස ඔහු කටයුතු කළේ. ඔහුට මේ දවස්වල ගොයම් කපාගන්න තියෙනවා කී විට මං කිව්වා ගොයම් ටික කපාගන්න. ඉන්ධන ප්‍රශ්න නිසා මේ දවස්වල බැකප් එක පාවිච්චි කරන්නෙත් නැති නිසා ඒ දේ කරගන්න කිව්වා. එහෙම ඉන්නකොට තමයි මේ අපරාධය සිදු වුණේ.“
ඉකුත් බදාදා දින ඝාතනය වූ ගයාන්ගේ නිවෙසට අප යන විටත් ඔහුගේ දේහය නිවෙසට ගෙනැවිත් නොතිබිණි. දරු දෙදෙනා සහ බිරියද දුක වවාගත නොහැකිව හැඬුම්බරව සිටියහ. ගයාන්ගේ මව මංගලිකා සිය එකම පුතුගේ වියෝවෙන් හඬා වැටෙමින් අපට කීවේ,
“පොඩි දෙයකින්නේ මේ අපරාධය වුණේ. අපේ ගමේ කවදාවත් මේ වගේ අපරාධයක් වෙලා නෑ. මට ඉන්නේ දුවයි පුතයි විතරයි. දහයක් හිටියේ නෑ එක පුතයි හිටියේ. ඒකත් මේ මිනිස්සු මරාගත්තා. එදා මං හිටියේ නෑ ගෙදර. ඒ මිනිස්සුන්ගේ අම්මත් මම අඳුරනවා. ඒත් ඒ මනුස්සයත් ඇවිල්ලා මගේ දරුවට ගහන්න. ඇයි මගේ දරුවට එහෙම කළේ. මං කියන්නෙ මගේ අසරණ දරුවා මරාගත් අයට එරෙහිව නීතිය සර්වසාධාරණව ඉෂ්ට කරලා දැඩි දඬුවම් ලබා දෙන්න කියලයි.
එසේම නරුමයන්ගෙන් පහර කෑමට ලක්වූ සෝමරත්න ද බරපතළ තුවාල ලබා කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබා අප යන විට නිවෙසට පැමිණ සිටියේය. ඔහු ද අපට කීවේ,
“මං පන්සලේ දායක සභාවෙත් ඉන්නවා. අපි කිසිම කෙනකුට වැරැදි කරන මිනිස්සු නෙවෙයි. ගමේ හැමෝම අපිත් සමඟ ඉතාම සුහදවයි ජීවත්වෙන්නෙ. අපට පහර දුන් ඔය ළමයින්ට මම කොරෝනා කාලේ බෝධි පූජාවකුත් කළා. එදා ඔය ළමයින්ගේ තාත්තා ඇවිල්ලා මට කිව්වා පන්සලේ බෝධි පූජාවක් කරලා දෙන්න කියලා. ඒකත් මම ඒ අය සමාදාන වෙන්න ආපු වෙලාවේ කිව්වා. අන්තිමට සමාදාන වෙලා ගියේ නැවත ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ අංකල් කියලා. ඒත් අන්තිමට වුණේ මොනතරම් අපරාධයක්ද. අහිංසක දරු පැටවුන් දෙන්නෙකුට තාත්තෙක් නැතිවුණානේ. “
ගයාන්ගේ ඝාතනය කැස්බෑව පොලිසියට සැලවීමත් සමඟ එහි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මාලින්ද අබේරත්නගේ මෙහෙයවීමෙන් විමර්ශන ඇරැඹෙද්දී ගල්කිස්ස කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය විසින් එහි විමර්ශන සඳහා ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගමගේ නිලන්ත ඇතුළු කණ්ඩායමද යෙදවිණි.
ඒ අනුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශ ස්ථානාධිපතිවරයා විසින් පොලිස් කණ්ඩායම් තුනක් යොදවමින් පලා ගිය ගයාන්ගේ ඝාතකයන් සොයා පුළුල් මෙහෙයුමක් දියත් කෙරිණි. එහිදී 22 වැනිදා අලුයම තුනට පමණ දෙහිවල ප්‍රදේශයේ නිවෙසක සිටියදී යතුරුපැදිය ධාවනය කළ 21 හැවිරිදි නිරෝෂ් නිලුපුල් නමැත්තා අත්අඩංගුවට ගැනීමට සමත් විය. ගැටුම අතරේ තුවාල ලබා සිටි ඔහුව පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමට පොලිසිය කටයුතු කළේය.
සෙසු සැකකරුවන් වූ ගයාන්ගේ ඝාතනයට පැමිණි නිරෝෂ්ගේ පියා, මව සහ සහෝදරයා අත්අඩංගුවට ගැනීමටද පොලිසිය පුළුල් මෙහෙයුමක් දියත් කෙරිණි. ඒ වන විට ඔවුන් පලා යාමට තැත් කරමින් සිටින බවටත් පොලිසියට අනාවරණය වී තිබිණි.
අනතුරුව නිරෝෂ්ගේ පියා 52 හැවිරිදි නන්දන තුෂාන්ත සහ සහෝදරයා වන 26 හැවිරිදි සමීර සම්පත් සහ මව 46 හැවිරිදි නිරෝෂනී රූපිකා දෙහිවල පොලිසියට බාර වූයේ නීතිඥයකු මාර්ගයෙනි. ඒ සමඟම ගයාන් ඝාතනයට යොදාගත් සුදු යකඩ කඩුව, පිහිය සහ වීදුරු බෝතලයක කොටසක්ද සොයා ගැනීමට පොලිසියට හැකි විණි. දෙහිවල පොලිසියෙන් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට බාර දුන් සැකකරුවන් සිවුදෙනා ඉකුත් බදාදා දින කැස්බෑව අංක 2 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මහේස්ත්‍රාත් රුවන්තිකා මාරසිංහ ලබන 5 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළාය.
ගයාන්ගේ ඝාතකයන් දෙහිවල ප්‍රදේශයේ පිරිසකි. ඔවුහු මීට වසර හත, අටකට පෙර මාවිත්තරට පැමිණ ඇත්තේ ඉඩම් කැබැල්ලක් මිලට ගෙන දෙමහල් නිවෙසක් ඉදිකරමිනි. ඝාතනයට පැමිණි ප්‍රධාන සැකකරු වන 52 හැවිරිදි නන්දන හිටපු යුද හමුදා සෙබළෙකි. යුද හමුදා කිමිදුම්කරුවකු වූ ඔහු පසුව රත්මලාන ප්‍රදේශයේ ධීවර රැකියාවේ නියුතුව සිටි බවකි.
ඝාතනයට පැමිණි නන්දනගේ වැඩිමහල් පුතු සමීර හෙවත් බොක්සර් පොලිස් විශේෂ කාර්ය බළකායෙන් පලා ගිය අයෙකි. ගැටුමට මුල් වූ නන්දනගේ බාල පුතු නිරෝෂ් වාහන පේන්ටර් රැකියාවක නිරතව සිටි අයෙකි.
ක්ෂණිකව හටගත් සිදුවීමක් මිනිස් ජීවිතයක් අහිමිව යාමට තරම් දුරදිග යන්නේනම් ඉන් පිළිබිඹු වන ‘තිත්ත ඇත්ත‘ මිනිසුන් කෙතරම් අමනුස්සයන් වී ඇද්ද යන්නයි.
මේ පිළිබඳ විමර්ශන ගල්කිස්ස කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණියගේ උපදෙස් මත ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගමගේ නිලන්තගේ මෙහෙයවීමෙන් උපපොලිස් පරීක්ෂක නීල් ප්‍රියන්ත, පොලිස් සැරයන්වරුන් වන 41026 ටෙරන්ස්, 53810 අජිත්, පොලිස් කොස්තාපල්වරුන් වන 73256 අසේල, 87654 ලක්මාල්, 40527 කුමාර, 92438 මධුෂාන්, කාන්තා පොලිස් කොස්තාපල් 11329 මනුෂිකා සහ කොස්තාපල් රියැදුරු 89719 ශාන්ත ඇතුළු නිලධාරීහු සිදු කළහ.
ඡායාරූප - ගයාන් පුෂ්පික