මිල ඉහළ යෑම ගැන ජනතාව කියන කතා | Page 2 | සිළුමිණ

මිල ඉහළ යෑම ගැන ජනතාව කියන කතා

බඩු මිල පාලනයකින් තොරව ඉහළ යනවා 
- ෆිලීෂන් පෙරේරා (67) හංවැල්ල - ව්‍යාපාරික

ඉන්ධන මිල ඉහළ යාම නිසා හැම භාණ්ඩයකම මිල ඉහළ යනවා. නමුත් ඉන්ධන මිල වැඩිවීමට සාපේක්ෂවම නෙමෙයි; මිල ඉහළ යන්නේ වෙළෙන්දන්ට අවශ්‍ය විදිහටයි. ඉන්ධන මිල පාලනය කළහොත් සාමාන්‍ය දුරට හරි බඩු මිල ස්ථාවර වෙනවා. ආදායම වැඩි නොවුණට සියල්ලකම මිල ඉහළයි. රුපියල පල්ලම් බහිනවා. මෙය කොතනින් නවතීද කියන්න බෑ. බොරතෙල් මිල ඉහළ යද්දි ඩොලර් අර්බුදය නිසා ආනයන සීමා වෙනවා. මේ ගැටලුවලට විසඳුමක් ලෙස වැඩියෙන් ඩොලර් ඉපයිය යුතුයි.


සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් 
- නදීශානී විමලරත්න (34) අකුරැස්ස - හෙද නිලධාරිනී

ඉන්ධන මිල වැඩිවීම නිසා බස් ගාස්තු වැඩිවෙලා. කලින් මිල වගේ දෙගුණයක් වෙලා. ඒ නිසාම රෝගීනුත් අපහසුතාවට ලක්වෙනවා. ත්‍රිවිල් ගාස්තුවත් වැඩියි. සායනවලට පැමිණෙන රෝගීන් පවා අපහසුතාවට පත්වෙනවා. ඉන්ධන මිලදී ගන්න පෝලිම්වලට ගියාම මිනිස් පැය කීයක් අපතේ යනවද? ඒ නිසාම මානසික සතුට ගිලිහී යාමෙන් බරපතළ මානසික අවපාතයකට ලක්වෙනවා. ඒකටත් පිළියම් ලබාදෙන්න වෙන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයටයි. ඒ වගේම සියදිවි නසා ගැනීම් පවා වැඩි වෙනවා. මේ අනුව බලන කල ඉන්ධන මිල වැඩිවීම සමාජයේ එකිනෙකට බැඳුණු ගැටලු දහසකට මුල් වෙනවා.


ජනතාව කබලෙන් ලිපට වැටිලා 
- අනුර ආටිගල (53) ඇඹුල්දෙනිය - හඬ කැවීම් ශිල්පී

ඉන්ධන මිල අර්බුදය සමාජයේ විවිධ කොටස්වලට විවිධ සමාජ තලවල අයට විවිධාකාරයෙන් බලපානවා. කුමන ජීවන වෘත්තියක නියැළුණත් ධනපති පන්තියට වඩා සාමාන්‍ය ජනතාව තමයි මේ නිසා වැඩිපුරම පීඩාවට පත්වෙන්නේ. හැම භාණ්ඩයකම මිල ඉහළ යනවා. ජනතාවට මේ ජීවන බර උහුලන්න බෑ. පාන් කියාගන්න බැරුව ඉන්නේ. සිමෙන්ති මිල ඉහළ යාම නිසා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සියලුම දේවල මිල ඉහළ යයි. වැඩ කුලියේ පටන්ම කිසිම දෙයක් ලාබෙට නෑ. අති බහුතර ජනතාවක් නොනවතින ජීවන අරගල රැල්ලක සටන් වදිනවා. විදුලි අර්බුදයට පිළියමක් ලෙස ඩීසල්, පෙට්‍රල්, භූමිතෙල් භාවිතා කළත් ඒවාත් මිල වැඩිවෙලා ජනතාව කබලෙන් ලිපට වැටිලා.


ජනතාවගේ ජීවිත අවුල් වියවුල් වෙලා 
- ශෙහානි රේචල් පෙරේරා (22) බොරලැස්ගමුව - ගිණුම් සහකාර

මෙම ඉන්ධන අර්බුදය අපේ ව්‍යාපාරික කටයුතුවලට ඍජුවම බලපානවා. කර්මාන්තශාලා, වාහන, යන්ත්‍ර සූත්‍ර මෙන්ම පෞද්ගලික ගෘහ ජීවිතයටත් විශාල බලපෑමක් එල්ල කරනවා. ඩීසල්, පෙට්‍රල්, භූමිතෙල් මිල ඉහළ යාම වගේම හිඟය හා පෝලිම් හේතුවෙන් දෛනික ජීවිතයේ සෑම කටයුත්තක්ම අවුල් වියවුල් වෙනවා. දැනට රටේ උද්ගතව තියන ගෑස් මිල ඉහළ යාම හා හිඟය, විදුලි, ජල කප්පාදුවත් ඉන්ධන මිල ඉහළයාමත් එක්ක එකටම ගැටගැහිලා ජනතාවගේ ජීවිත අවුල් වියවුල් වෙලා. ඇති හැකි අය නම් කොහොම හරි ගොඩ යනවා. සාමාන්‍ය ජනතාවට නම් දෙයියන්ගේ පිහිටයි.


සමාජයේ කාටත් හැම පැත්තෙන්ම ගැටලු ඇතිකරලා 
- සමීර නිශාන්ත විදානපතිරණ (34) දෙහිවල - කළමනාකරණ සහකාර

සමාජයේ අති බහුතර පිරිසකගේ රැකියාව හා පෞද්ගලික ජීවිතය තුළ විවිධ මට්ටමේ ගැටලු රාශියක් නිර්මාණය වෙන්න මෙම ඉන්ධන මිල ඉහළ යාම ඍජුවම හා වක්‍රව බලපාලා තියනවා. ඖෂධ හිඟය හා ඖෂධ මිල වැඩිවීම, ප්‍රවාහන මිල වැඩිවීම නිසා එක අතකින් බහුතර රෝගීන් පිරිසක් අපහසුතාවට පත්වෙලා. රට තුළ එහා මෙහා භාණ්ඩ ප්‍රවාහනය කරන්න නොහැකිව අර්බුදයට ලක්වෙලා තියෙන්නේ. විදේශවල සිට පැමිණි සංචාරකයන්ට ඉස්සර වගේ අවහිර නොමැතිව රට පුරා ගමන් කරන්න නොහැකියි. එයින් රටේ සංචරණය වන විදේශ මුදල් හිඟ වෙනවා.


පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රයටත් ගැටලුවක් වෙලා
- මිහිරි පියදාස (46) ගාල්ල - ගුරු වෘත්තිය

වත්මනේ ලංකාවේ විවිධ වර්ගයේ ඉතා විශාල වාහන ප්‍රමාණයක් විවිධ හේතූන්වලට යොදා ගන්නවා. ඩීසල්, පෙට්‍රල්, භූමිතෙල් මිල ඉහළ යාම හා හිඟය නිසා සමාජයේ ලොකු කුඩා භේදයකින් තොරව හැමටම වගේ බලපානවා.

මන්ද සමාජයේ වැඩ ක්‍රියාවලියේදී හැම දෙයක්ම එකකට එකක් බද්ධ වෙන නිසා. පාසල් දරුවන්ට ගුරුවරුන්ට පාසලට පැමිණීමේදී දුෂ්කරතාවයට පත්වෙන්න සිදුවෙනවා. පෞද්ගලික බස් විතරක් නෙමෙයි පාසල් සිසුන් ප්‍රවාහනය කරන වෑන් ගාස්තු පවා ඉහළයි.

Comments