
රටින් පිටවන තුරු යුක්රේන ජාතිකයන් නොමිලේ බලා ගන්නවා
- උණවටුණේ සංචාරක හෝටල් හිමියෝ
ශ්‍රී ලාංකිකයන්ගේ මනුස්සකම සහ ආගන්තුක සත්කාර ඉතා ඉහළයි
- යුක්රේන සහ රුසියානු සංචාරකයෝ
කොවිඩ් වසංගතය විසින් සාහසික ලෝකයේ බොහෝ ක්ෂේත්‍ර කඩා බිඳ දැමුවේ බොහෝ කලකට යළි නැඟිට ගත නොහැකි වන ලෙසටය. ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයට ද කොවිඩ් වසංගතය විසින් එල්ල කරනු ලැබුවේ සුළුපටු බලපෑමක් නොවේ. ඉකුත් දෙවසර මුළුල්ලේ මෙරට සංචාරක කර්මාන්තයේ නිතර වූවන් දැඩි අසරණ තත්ත්වයකට පත්වූහ. වසංගතයේ බරපතළකම කෙමෙන් තුනීවේගෙන යද්දි රට අලුත් හුස්මක් ගෙන නැඟිටින්නට විය. සංචාරක ඍතුව ආරම්භ වීමත් සමඟ මෙරට සංචාරක ක්ෂේත්‍රය ද අරුණලු දකින්නට සැරසුණේ විදේශීය සංචාරකයන් යළිත් මෙරටට පැමිණෙන්නට පටන් ගැනීමත් සමඟය. සංඛ්‍යාලේඛන අනුව 2021 වසරේදී පමණක් විදේශීය සංචාරකයන් 1,60,000ක් පමණ මෙරටට පැමිණ තිබුණි. එම සංචාරකයන් අතුරින් වැඩිම පිරිස රුසියානු සංචාරකයන් වන අතර එම සංඛ්‍යාව 25,304කි. යුක්රේන සංචාරකයන් 12,600 දෙනකු ද ඉකුත් වසරේ මෙරටට පැමිණ තිබුණි. මෙකී සංඛ්‍යාලේඛන අනුව මෙරටට පැමිණි විදේශීය සංචාරකයන් අතුරින් වැඩිම පිරිස රුසියානුවන් හා යුක්රේනුවන්ය.
එසේ විදේශීය සංචාරකයන්ගේ පැමිණීමත් සමඟ මෙරට සංචාරක කර්මාන්තයේ යම් ප්‍රවර්ධනයක් ඇතිවෙමින් තිබු අතර සංචාරක කර්මාන්තයේ නිරතවූවන්ගේ අතමිට සරු වන්නට පටන් ගැනිණ. කර්මාන්තය පිළිබඳ සුබ සිහින දකිමින් සිටි ඔවුහු දැන් යළිත් වික්ෂිප්ත භාවයට පත්ව සිටිති. රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමඟ ඇතිවී තිබෙන යුද්ධය ඊට හේතුවයි. මේ ලියන මොහොත වන විටත් වර්ධනය වෙමින් පවතින එම යුද්ධය මෙරට සංචාරක කර්මාන්තයේ හෙට දවසට කෙසේ බලපානු ඇත්දැයි සංචාරක කර්මාන්තයේ නිරතවූවෝ දෑස් දල්වාගෙන බලා සිටිති. ඇතැම් රුසියානු හා යුක්රේන ජාතික සංචාරකයන් විසින් සිය සංචාර වෙනුවෙන් කලින් මෙරට හෝටල්වල වෙන්කරවාගෙන තිබූ දින මේ වනවිටත් අවලංගු කොට ඇත.
එමෙන්ම යුක්රේනයත් රුසියාවත් අතර ඇතිවී ඇති යුද්ධයෙන් වඩාත් පීඩාවට පත්ව සිටින පාර්ශ්වයක් වන්නේ යුද්ධය ඇරඹීමට පෙර යුක්රේනයෙන් සහ රුසියාවෙන් මෙරටට පැමිණි සංචාරකයන්ය. කලකට පසු නිදහසේ සහ සතුටින් නිවාඩුවක් ගතකරන්නට මෙරටට පැමිණි ඔවුහු සිය රටවල් අතර ඇවිළෙමින් තිබෙන යුද්ධය නිසා දැඩි මානසික පීඩාවටත් සිත් තැවුලටත් පත්ව සිටිති. ඔවුහු දැඩි වික්ෂිප්තභාවයට පත්ව සිටින අතර කුමක් කළ යුතු දැයි සිතාගත නොහැකිව දැඩි අසරණ තත්වයට පත්ව සිටිති. ඇතැම් විදේශිකයෝ කිසිවක් කරගැනීමට නොහැකිව සිය හෝටල් කාමර තුළට වී බලාගත් අත බලාගෙන සිටිති. යුක්‍රේනය තුළ යුධ ගැටුම් පැවතියද මෙරට හෝටල්වල රැඳී සිටින රුසියානුවන් හා යුක්‍රේන ජාතිකයන් ඉතා සුහදව මිත්‍රත්වයෙන් කටයුතු කිරීම උද්ගත වී ඇති තත්ත්වය තුළ දැකිය හැකි සුබවාදී දසුනකි. යුද්ධයකදී සත්‍යයත් සමඟ මිනිසත්කම ද මියයන්නේ යැයි කියැවුණද යුද්ධය නිසාම ඔවුනොවුන් අතර මානව දයාව මැනවින් ප්‍රකාශ වූ අවස්ථාවක් ලෙස මෙය හැඳින්විය හැකිය. මේ දිනවල මානසික වශයෙන් පීඩාවට පත්වී සිටින යුක්රේන සහ රුසියානු සංචාරකයන්ගේ මනස සුවපත් කිරීම වෙනුවෙන් උණවටුන ප්‍රදේශයේ සංචාරක හෝටල් හිමියන් විසින් කටයුතු කරනු ලබන ආකාරය එකී කියමනට සාක්ෂි දරයි.
ශ්‍රී ලාංකිකයෝ කවදත් ආගන්තුක සත්කාරයට නිර්ලෝභී වුවෝය. විපතට පත්වූවන් වෙනුවෙන් කොන්දේසි විරහිතව ඉදිරිපත් වීමට පසුබට නොවෙති. ඒ බව යළි යළිත් පසක් කරමින් උණවටුන ප්‍රදේශයේ සංචාරක හෝටල් හිමියෝ විසින් යුක්රේන හා රුසියානු ජාතිකයන් සිය හෝටල් තුළ නොමිලේ ඉඳුම්හිටුම් සහ ආහාරපාන ලබාදෙමින් ඔවුන් රැකබලා ගැනීමට කටයුතු කරති. ඇතිවී තිබෙන යුද්ධය නිසා තම මවුබිම් වෙත යා නොහැකිව දැඩි අසරණ තත්ත්වයට පත්ව සිටින යුක්රේන සහ රුසියානු ජාතිකයන්ට උණවටුණේ සංචාරක හෝටල් හිමියන් එලෙස මනුෂ්‍යත්වයේ දෑත් දිගු කිරීම සැබවින්ම අගය කළ යුතු ක්‍රියාවකි. උණවටුන සංචාරකයන්ගේ සංගමයේ ලේකම් හා උණවටුන ‘රිදිවිලා’ හෝටලයේ අධිපති සුමිත් උබේසිරි ද මිනිසත්කමින් පිරුණු මිනිසෙකි. මෙරට සංචාරය සඳහා පැමිණි යුක්රේන ජාතික එම්.ජෝර්ජ් යුක්රේනයේ පෞද්ගලික බැංකුවක සේවය කරන නිලධාරියෙකි. ඔහුගේ බිරිය රුසියානු ජාතික කාන්තාවකි. යුක්රේනයේ යුද ගිනි ඇවිළෙන්නට පටන් ගත් විට ඒ විදේශීය සංචාරක යුවළ බෙහෙවින් අසරණ තත්ත්වයකට පත්විය. ජෝර්ජ්, හෝටල් හිමිකරු සුමිත් උබේසිරි හමු වූයේ පිළිසරණ පතාගෙනය.
“මේ වෙලාවේ අපි ගොඩක් අසරණවෙලා ඉන්නේ. මගේ බැංකු ගිණුමෙන් පවා මට මුදල් ගන්න බැහැ, ඒ සියල්ල නතරකරලා තියෙන්නේ. මගේ ළඟ වියදමට පවා මුදල් නැහැ. මට පුළුවන් නම් මුදල් ටිකක් දෙන්න” ජෝර්ජ් කීවේය.
“කිසි ප්‍රශ්නයක් නැහැ. වියදමට අවශ්‍ය මුදල් මම දෙන්නම්. ඒ විතරක් නෙවෙයි හෝටලයේ රැඳී සිටිනතාක් කල් අවශ්‍ය කෑමබීම, ඉඳුම්හිටුම් ලබා දෙන්නම්” සුමිත් කීවේය. ඒ වදන්වලින් සැනසුණු ජෝර්ජ්ගේ මුවගට සිනහවක් නැඟුණි. හේ සිය ජංගම දුරකථනය අතට ගෙන එහි තිබූ ඡායාරූප පෙළක් සුමිත්ට පෙන්විය. එම ඡායාරූප යුද්ධයේ බිහිසුණු බව විදහා පෑ ඒවා විය.
“යුක්රේනයේ අපි පදිංචිවෙලා ඉන්න නගරයටත් රුසියානු හමුදාව ප්‍රහාර එල්ලකොට තියෙනවා. මගේ දු දරුවන් හිතවතුන් මිතුරන් මේ නිසා දැඩි අසරණ තත්වයට පත්වෙලා ඉන්නේ. මගේ එක් දියණියක් ජීවත් වන්නේ රුසියාවේ මොස්කව් නගරයේ. මා යුක්රේන් ජාතිකයකු වුවත් මගේ බිරිය රුසියානු ජාතික කාන්තාවක්. මට මේ රටවල් දෙකම එකයි. මනුෂ්‍යත්වයේ නාමයෙන් යුද්ධය නතර කරන්න කියා පුටින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. මගේ බැංකු ගිණුමෙන් මුදල් ගන්න බැහැ. ඒ සියල්ල නතර කරලා. නමුත් මා රැඳී සිටින හෝටලයේ හිමිකරු වන සුමිත් මටත් බිරියටත් නොමිලේ කෑමබීම, ඉඳුම්හිටුම් ලබාදෙනවා. ඒ විතරක් නෙවෙයි මට වියදමට පවා මුදල් ලබා දුන්නා. ශ්‍රී ලංකාව සුන්දර රටක්. ඔවුන්ගේ ආගන්තුක සත්කාර ඉතා ඉහළයි. අසරණ වෙලා ඉන්න අපි වගේ අයට මොවුන් මනුෂ්‍යත්වයේ දෑත් දිගු කරනවා” යුක්රේන ජාතික එම්.ජොර්ජ් අප සමඟ එසේ පැවසීය.
යුක්රේනයේ ඇවිළෙන යුද ගිනිදැල් නිසා මෙරටට පැමිණි යුක්රේන් ජාතිකයන්ට සිය රටට යෑමට නොහැකිවි වී ඇත. ඇතැමුන්ගේ වීසා කාලය ද ඉකුත් වී ඇත. යුක්‍රේනයේ බැංකු කටයුතු ඇතුළු සියල්ල නතර වී ඇති පසුබිමක ණයකාඩ්පත්වලින් පවා ගනුදෙනු කිරීමට මොවුන්ට අවස්ථාව අහිමි වී ඇත. ඒ හේතුවෙන් බොහෝ සංචාරකයන් අත ඔවුන්ගේ එදිනෙදා වියදම් සඳහා අවශ්‍ය මුදල් පවා නැත. කොවිඩි වසංගත සමයේ පවා මෙරට රැඳී සිටි විදේශීය සංචාරකයන්ට පිහිට වූ උණවටුණේ හෝටල් හිමියෝ මෙවර ද මේ විදේශීය සංචාරකයන් වෙනුවෙන් උදවු කිරීමට ඉදිරිපත් වී සිටිති. මේ වනවිට මෙරට යුක්‍රේන ජාතිකයන් 4,122 දෙනකු රැඳී සිටින බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.
රුසියාව සහ යුක්රේනය අතර වර්ධනය වී ඇති යුද වාතාවරණය හේතුවෙන් ඔවුන්ට නැවතත් සිය රටවල් වෙත යෑමට අපහසු තත්ත්වයක් පැන නැඟීම නිසා මේ වන විට මෙරටේ රැඳී සිටින යුක්රේන සහ රුසියානු සංචාරකයන්ගේ වීසා කාලසීමාව දීර්ඝ කිරීමට රජය තීන්දු කළේය. ඒ අනුව එම සංචාරකයන්ගේ වීසා කාලසීමාව ගාස්තු අයකර ගැනීමකින් තොරව මාස දෙකකින් දීර්ඝ කිරීමට සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබු යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවිය. මෙම තීන්දුව මෙරට රැඳී සිටින යුක්රේන හා රුසියානු සංචාරකයන්ට යම් අස්වැසිල්ලක් වනවාට කිසිදු සැකයක් නැත.
යුද ගැටුම් හේතුවෙන් මවු රටට යෑමට නොහැකිව මෙරට රැඳී සිටින රුසියාවේ නිතිඥවරියක් වන එස්. ඩයරියා (52) උණවටුණේදී අපිට මුණ ගැසුණි. ඇය කීවේ මෙවැනි කථාවකි.
“ මා රැඳී සිටින හෝටලයේ යුක්රේන් ජාතිකයන් ද රැඳී සිටිනවා. නමුත් අපි අතර කිසිදු ප්‍රශ්නයක් නැහැ. අපි ඉතා සහෝදරත්වයෙන් කටයුතු කරනවා. මම ලංකාවට ආවේ පසුගිය නොවැම්බර් මාසයේ. රුසියානුවන්ට හා යුක්රේන් ජාතිකයන්ට යුද්ධයක් අවශ්‍ය නැහැ. මේ යුද්ධය නිසා අපි මානසික වශයෙන් දැඩි කම්පනයට ලක්වෙලා ඉන්නෙ. අපිට යුද්ධය එපා, අපිට අවශ්‍ය සාමයයි. මේ අවස්ථාවේදී ශ්‍රී ලාංකිකයන් අපිට හොඳින් සලකනවා. ඒ ගැන ගොඩක් සතුටුයි.”
එම්.ඇඩෝනා (48) යුක්රේන් ජාතික කාන්තාවකි. ඇය යුක්රේනයේ ගුරුවරියක් ලෙස සේවය කරන්නීය. යුධ ගිනිදැල් නිසා ඇය මානසික වශයෙන් දැඩි කම්පනයට ලක්ව සිටින්නීය.
“මගේ පවුලේ සාමාජිකයන් පදිංචිවෙලා ඉන්න නගරයටත් ප්‍රහාර එල්ලවෙනවා. ඔවුන් එම ප්‍රහාරවලින් බේරීම සඳහා පොළොව යට බංකරවලට වෙලා ඉන්නවා. යුද්ධය නිසා මගේ රටවැසියන් දැඩි අසරණ තත්ත්වයට ලක්වෙලා ඉන්නේ. යුද්ධය නතර කළ යුතුයි. මගේ රටට ආපසු යාමට කවදා පුළුවන්ද කියා මට හිතාගන්න බැහැ. ණයකාඩ්පතෙන් පවා මුදල් ගන්න බැහැ. නමුත් මේ අවස්ථාවේ අපිට උණවටුනේ හෝටල් හිමියන් නොමිලේ කෑමබීම ලබාදෙමින් අපිව රැකබලා ගන්නවා.”
එසේවුවද ඇය සිය මවුබිමත් යුද්ධයට මැදිවී සිටින රටවැසියනුත් ගැන සිතමින් දුක්වන්නීය. යුක්රේනයේ පෞද්ගලික ආයතනයක කළමනාකරුවකු ලෙස සේවය කරන වී. එස්.සේගා (50) ද යුක්රේන් ජාතිකයෙකි. එහෙත් ඔහුගේ බිරිය රුසියානු ජාතික කාන්තාවකි.
“අපිට යුද්ධය එපා. යුද්ධය නිසා යුක්රේන් ජාතිකයින් මෙන්ම රුසියානුවන් ද මිය යනවා. මනුෂ්‍යත්වයේ නාමයෙන් යුද්ධය නතර කළ යුතුයි. මේ අවස්ථාවේ ශ්‍රී ලාංකිකයන් අපිට ගොඩක් උදවු කරනවා. ශ්‍රී ලංකාව සුන්දර රටක්. අපි බඩගින්නේ තියන්නේ නැතිව අපිට උදවු කරනවා.”
ඔහු කීවේ හෝටල් හිමියන් ඇතුළු සමස්ත ශ්‍රී ලාංකකියන්ට කෘතඥතාව පළ කරමිනි.
මේ අතර දකුණු පළාතේ හෝටල්වල රැඳී සිටින යුක්‍රේන ජාතිකයන් පිරිසක් යුද්ධය නතර කරදෙන ලෙස ඉල්ලමින් ඉකුත් දා පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් ගාලු කොටුපවුර මත ඉටිපන්දම් දල්වමින් සාමකාමී විරෝධතාවක නිරතවුහ. යුක්රේනයේ ඇතිවී තිබෙන යුධ වතාවරණය මෙරට සංචාරක කර්මාන්තයට බලපෑ හැකි ආකාරය පිළිබඳ අප උණවටුන සංචාරකයන්ගේ සංගමයේ ලේකම් හා උණවටුන රිදිවිලා හෝටලයේ අධිපති සුමිත් උබේසිරි ගෙන් විමසීමක් කළෙමු.
“පාස්කු ප්‍රහාරය හා කොවිඩි වසංගතය නිසා මෙරට සංචාරක කර්මාන්තයට විශාල බලපෑමක් එල්ල වුණා. මෙරට සංචාරක කර්මාන්තය යළි යථා තත්වයට පත්වෙමින් තිබෙන අවස්ථාවක තමයි යුක්රේනයේ යුද්ධයක් ඇතිවෙලා තියෙන්නේ. සංචාරක ව්‍යාපාරයට කුමක්වේවිද කියා හිතාගන්න බැරිවයි ඉන්නේ. දැනටමත් අපේ හෝටලයට ලැබී තිබූ බුකින් විශාල සංඛ්‍යාවක් අවලංගු වුණා. ඒ විතරක් නෙවෙයි සති දෙකක කාලයක් සඳහා හෝටලයේ ගත කිරීමට පැමිණි ඇතැම් රුසියානුවන් සිය මවුරට බලා යන්න ගියා. ශ්‍රී ලංකාව ආගන්තුක සත්කාර අතින් ඉහළින්ම ඉන්න රටක් නිසා ඒ අය වෙනුවෙන් අවශ්‍ය හැමදෙයක්ම නොමිලේ සපයා දීමට අපිට හැකිවී තිබෙනවා. නමුත් මේක හැමදාම කරන්න බැහැ. සංචාරක කර්මාන්තය කියන්නේ ඉතා සංවේදී ව්‍යාපාරයක්. අපි වගේම මේ වෙලාවේ යුක්රේන් හා රුසියානු සංචාරකයනුත් අසරණ වෙලා ඉන්නේ”
ඔහු එසේ කියද්දී උණවටුණ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ සංගමයේ සභාපති රූපසේන කොස්වත්ත කීවේ මෙවැනි කථාවකි.
“පසුගිය කාලයේ සංචාරක කර්මාන්තය තුළ ලොකු ප්‍රවර්ධනයක් ඇතිවෙමින් තිබීම අපිට විශාල අස්වැසිල්ලක් වුණා. උණවටුණට පැමිණි සංචාරකයන් අතුරින් වැඩියෙන් ඉන්නේ රුසියානු හා යුක්රේන් ජාතිකයන්. රුසියාව හා යුක්රේනය අතර ඇතිවෙලා තියෙන යුද වාතාවරණය නිසා යුක්රේන් සංචාරකයන් දැඩි අපහසුතාවයට ලක්වෙලා තියෙනවා. ඔවුන්ගේ ගුවන් ගමන් අවලංගුවෙලා තියෙනවා. ඊමේල් හෝ අන්තර්ජාලය මඟින් කිසිදු සම්බන්ධතාවක් පවත්වාගෙන යන්න බැරි, තොරතුරු ලබාගන්න බැරි තත්ත්වයට පත්වීම නිසා ඔවුන් දැඩි ලෙස අසරණ වෙලා සිටින්නේ. මගේ හෝටලයේ යුක්රේන් හා රුසියානු ජාතිකයන් දෙපාර්ශ්වයම ඉන්නවා. නමුත් ඔවුන් ඉතා සුහදව මිත්‍රත්වයෙන් කටයුතු කරනවා. මේක මිනිසුන් අතර පවතින යුද්ධයක් නෙවෙයි. මෙය දේශපාලන යුද්ධයක්. මෙවර සංචාරක සමයේදී රුසියානු හා යුක්රේන් ජාතිකයන් විශාල පිරිසක් පැමිණීම නිසා අපේ සංචාරක කර්මාන්තය තුළ විශාල ප්‍රවර්ධනයක් ඇති වුණා. උණවටුන සංචාරක කලාපයේ සංචාරක කර්මාන්තයේ නිරතව සිටින අයගේ අතමිට සරු වුණා, ආදායම වැඩි වුණා. ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් වුණා. මේ වගේ ගැටලුවක් ඇතිවු විට සංචාරක මණ්ඩලයට හෝ සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ රාජ්‍ය ආයතනවලට වැඩපිළිවෙළක් නැහැ කුමක්ද කරන්නේ කියලා. ඇතැම් සංචාරකයන්ට ඔවුන්ගේ රටට යාමට අවශ්‍යයි. නියමිත දිනට යාමට නොහැකිවුණොත් ඒ අයගේ ගුවන් ටිකට්පත් අවලංගු වෙනවා. ඒ අයට ප්‍රශ්නයක් ඇතිවෙනවා අලුතින් ටිකට් එකක් ගන්න ඕනද නැතිනම් තියෙන ටිකට්පතින් යන්න පුළුවන්ද කියලා. එම රටවල්වලින් කියන්නේ අලුතින් ටිකට්පතක් ගන්න ඕන කියලා. මේ අවස්ථාවේ අලුතින් ටිකට්පතක් ගැනීමේදී විශාල මුදලක් වැය කරන්න වෙනවා. ඉතා සීමිත මුදලක් ප්‍රමාණයක් අරගෙන තමයි මේ සංචාරකයන් ඇවිත් තියෙන්නේ. මේ නිසා ඔවුන් අසරණ වෙනවා. මේ පිළිබඳ සංචාරක සංවර්ධන අධිකාරියේ අවධානය යොමුවිය යුතුයි. මාර්තු මාසය සඳහාත් මගේ හෝටලයට යුක්රේන හා රුසියානු සංචාරකයන්ගෙන් බුකින්ස් තිබුණා. දැන් ඒවා අවලංගු වෙමින් යනවා. සංචාරක කර්මාන්තය අඩාළ වෙන්න පුළුවන්. යුක්රේන හා රුසියානු සංචාරකයන්ට මුදල් ගැටලු ඇතිවෙලා තියෙනවා. නමුත් මම ඔවුන්ට කිව්වා, මුදල් ප්‍රශ්නය ගැන හිතන්න එපා අපි නොමිලේ කෑමබීම, ඉඳුම්හිටුම් දෙන්නම්, මවුරටට යනකම් හෝටලයේ නතරවෙලා ඉන්න කියලා”
උණවටුන අරලිය හෝටල් සමුහ ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේනද සඳහන් කළේ අසරණ තත්ත්වයට පත්ව සිටින යුක්රේන හා රුසියානු ජාතික විදේශීය සංචාරකයන්ට පිහිට වීමට තම හෝටලය මඟින් වැඩපිළිවෙළක් සකස් කර ඇති බවය. මනුෂ්‍යත්වය යනු ජාති, ආගම් ආදී කිසිදු භේදයක් හමුවේ පරාද කළ නොහැකි උතුම් හැඟීමක් බව යුද්ධයක් වැනි අවාසනාවන්ත තත්ත්වයකදී පවා සනාථ වන්නේ එලෙසිනි.