බැතිමතුන් කුණු කූඩයට දැමූ අනුරාධපුර මහා විහාර විශ්‍රාම ශාලාව | Page 2 | සිළුමිණ

බැතිමතුන් කුණු කූඩයට දැමූ අනුරාධපුර මහා විහාර විශ්‍රාම ශාලාව

බෞද්ධ බැතිමතුන්ගේ මුඳුන් මල්කඩ වන් අනුරාධපුර ජයශ්‍රී මහ බෝධින් වහන්සේ පරිශ්‍රයේ ඇති ප්‍රධාන විශ්‍රාම ශාලාව වන්නේ මහා විහාර විශ්‍රාම ශාලාවයි. දිනපතාම පාහේ සිය ගණනක් බැතිමතුන්ද පොසොන්, වෙසක් සහ පිච්චමල් පූජාවන් විශේෂ පූජනීය උත්සව අවස්ථාවන්හිදී දුප්පත්, පොහොසත් භේදයෙන් තොරව අතිවිශාල බැතිමතුන් පිරිසක් එහි නවාතැන් ගැනීම සඳහා පැමිණෙති. මහා විහාර විශ්‍රාම ශාලාව නඩත්තුකර පවත්වාගෙන යන්නන් එමඟින් අතිවිශාල ආදායමක් උපයා ගන්නා බව නොරහසකි.

නමුත් මෙහි නවාතැන් ගෙන වන්දනා කිරීම සඳහා පැමිණෙන බැතිමතුන්ගෙන් ලබාගන්නා මුදලට සරිලන සාධාරණ සේවාවක් ලබා නොදීම කනගාටුදායක තත්ත්වයක් මෙන්ම බරපතළ ගැටලුවකි. ධනවත් පුද්ගලයන්ට වායු සමීකරණය කරන ලද හෝ නොකරන ලද විශේෂ කාමර පහසුකම් ඇතත් සාමාන්‍ය බැතිමතුන්ට ඇත්තේ අපිරිසිදු පොදු වැසිකිළි පද්ධතියක් සහිත අවම පහසුකම්වත් නොමැති කුඩා කාමර සහ විශ්‍රාම ශාලාවේ ප්‍රධාන ශාලාව පමණි.

සාමාන්‍ය ජනයාට ලබා දෙන බොහෝ කාමරවල විදුලි පංකා ඇතත් ඒවා බොහොමයක් පවතින්නේ අක්‍රිය තත්ත්වයේය. විදුලි පේනු පැවැතියද ඒවාද පවතින්නේ අක්‍රිය තත්ත්වයේයි.

බැතිමතුන්ගෙන් විශාල සංඛ්‍යාවක් ඈත දුරබැහැර සිට පැමිණෙන්නන්ය. ඔවුනගේ පහසුව සඳහා ජංගම දුරකථනයක් ආරෝපණය කරගැනීමට තැනක් තිබිය යුතුය. නමුත් කාමරවල හෝ එම පහසුකම් නොමැතිවීම බොහෝ දුෂ්කරතාවකි. ඉතාමත් ඛේදනීය තත්ත්වය වන්නේ අහිංසක, දුප්පත් බොහෝ පිරිසක් නවාතැන් ගන්නා පොදු ශාලාවයි. ජංගම දුරකථනයක් ආරෝපණයට විදුලි පේණුවක් කිසිම තැනක සවිකර නැත. මුළු ශාලාවටම ඇත්තේ එකම විදුලි පංකාවකි.

නවාතැන් ගැනීමට පැමිණෙන විශාල බැතිමතුන් ප්‍රමාණයකට උපරීම පහසුකම් ලබාදිය හැකි මෙවන් ස්ථානයක් මෙලෙස අයාලේ යන්නට ඉඩ හැර තිබීම අභාග්‍ය සම්පන්න තත්ත්වයකි. තවද මෙවන් ස්ථානයක් අනුරාධපුර නගර බලධාරින්ගේ අවධානයට ලක් නොවීම ද කනගාටුදායකය.

• එම්. සුනිල් ශාන්ත, මහරගම

Comments