ව්‍යාපාර කර බංකොළොත්ව සිට ‘බෙට්ස්කෝ’ සාදා ගොඩගිය මිනිසා | Page 2 | සිළුමිණ

ව්‍යාපාර කර බංකොළොත්ව සිට ‘බෙට්ස්කෝ’ සාදා ගොඩගිය මිනිසා

නන්ත දුක්ගැහැට මතින් ජීවිතය ජයගෙන, තමන් උපයාගත් ධනය විවිධාකාර සද්කාර්යයන් වෙනුවෙන් නොමසුරුව වැයකරමින් අප්‍රසිද්ධියේ දිවිගෙවන අපූරු චරිතයක් අපට හමුවූයේ හොරණ ප්‍රදේශයෙනි.

ඔහු නමින් පල්ලගේ ගුණසිරිය. හොරණ, කබල්ලෑගොඩ පිහිටි සුප්‍රසිද්ධ 'බෙස්ට්කෝ' පාවහන් ආශ්‍රිත කර්මාන්තයේ නිර්මාතෘ ඔහුය. මේ වනවිට 75 වන විය පසුකරමින් සිටින ගුණසිරි ජීවිතය බිංදුවෙන් ආරම්භ කර අතිශය කටුක අත්දැකීම් ලබමින් වර්තමානයේ හොරණ නගරයේ ධනවතෙකුව සිටින්නෙකි. ඔහු කෝටි ගණන් වටිනා සමාජ සද්කාර සිදු කළද ඒ කිසිවක් සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් ලබාගැනීමට කිසිවිටකත් උත්සාහ ගත්තෙකු නොවුණි.

දෙදරු පියෙකු වන ඔහු අද වනවිට ජීවිතයේ සැඳෑ සමය ගතකරමින්, සියලු ව්‍යාපාර ආදී සියලු වත්කම් දරුවන්ට බාරදී හුදකලාවට නතුව සිය ජීවිතය ගතකරන්නේ ආගම දහම කෙරෙහි සිත යොමුකරමිනි. 

හොරණ, බටුවිට ගමේ පාසලෙන් සිය මතක ආවර්ජනය ඇරඹි ගුණසිරි තම කුඩා කාලය පිළිබඳ හෙළිකළේ මෙලෙසිනි. "අපි ඒ කාලේ හරිම දුප්පත්. අම්මයි තාත්තයි දෙන්නම කළේ ගොවිතැන. ඉස්කෝලෙදි වුණත් අපේ දුප්පත්කම හින්දම නිතරම ලැබුණේ එක එක විදියේ වෙනස්කම්, කෙනෙහිලිකම්. පෝසත් ළමයි, ගුරුවරු අතර අපි හිටියෙ කොන්වෙලා වගේ. අවුරුදු 14දි මම පාසල් ගමනට තිත තිබ්බා. ඉන්පස්සේ ගොවිතැන් කළා. අවුරුදු 16 දී කොළඹ ඕදිරිස් සිල්වා එකේ රස්සාවකට ගියා. දවසෙ පඩිය රුපියල් දෙකයි. එතන පොල් ගාන මැෂින් හැදුවා අවුරුදු එකහමාරක්..." වසර හැටක් පමණ ඉහත අතීතය ඔහු සිහි කළේ අද වාගේ මතකයකිනි.

ඉන්පසු එම රැකියාවට සමුදී ඇති ගුණසිරි ගරාජයක රැකියාවක් සඳහා ගොස් ඇති අතර එහිදී ලබාගත් කාර්මික දැනුමින්ද සන්නද්ධව 1969දී කොල්ලුපිටිය ප්‍රදේශයේ පුද්ගලික සමාගමක සේවයට බැඳී තිබේ.

"එතැන පඩිය දවසට රුපියල් 5.35යි. ඔය අතරෙදි කුවේට් රටට වාහන කාර්මිකයො ඉල්ලලා තිබුණා. කුවේට් වලදී නොවිඳිනා දුකක් වින්ඳා. දවල් රෑ දෙකේම පෝරණුවක ඉන්නවා වගේ රස්නෙයි. මම නතරවෙලා හිටිය තැන ඒසී එහෙම තිබුණෙ නෑ. අවුරුද්දක් වැඩකළාම මාසයක් නිවාඩු දෙනවා පඩියත් එක්කම. ලංකාවට ආවට පස්සේ ආයෙත් ගියේ නැහැ. ඒ වෙනකොට මගේ අතේ රුපියල් හැටදාහක් විතර සල්ලි තිබුණා එහෙදි හම්බකළ ඒවා"

රුපියල් හැටදහසක් යනු ඒ කාලයේ හැටියට සැලකිය යුතු වත්කමකි. තමන් සතු මුදලින් යම් ව්‍යාපාරයක් ඇරඹීමට සිතූ ගුණසිරි සිත ඇදී ගියේ කුරුඳු කර්මාන්තය වෙතය.

" මුල් කාලේ හිතවතෙක් එක්ක එකතුවෙලා කුරුඳු මිලට ගත්තා. පස්සෙ මමම තනියෙන් ඒක කරන්න පටන්ගත්තා. කුරුඳු පිටරට යවන මට්ටමටම ව්‍යාපාරය දියුණු වුණා. ස්පාඤ්ඤයෙ විදේශිකයෙකුට මම කුරුඳු තොගයක් ණය පදනමට යවලා තිබුණේ. ලක්ෂ ගාණක කුරුඳු ණයට අරන් එයා මට මුදල් ගෙවන එක පැහැර හැරියා. ඔය අතරෙම තමා ලංකාවෙ කුරුඳු කර්මාන්තය කඩාවැටුණේත්. බැංකු ණය අරගෙන තමා මම බිස්නස් කළේ. ණය බේරන්න කියලා බැංකු වලින් කරදර කරන්න ගත්තා. කරගන්න කිසිම දෙයක් තිබුණෙ නැහැ. මගේ ඉඩමක් විකුණලා බැංකු ණය ගෙවලා දැම්මා. ආයෙත් බිංදුවටම වැටුණා මාව..." ඔහු කඩා වැටුණේය. යළිත් නැඟිසිටින්නේ කෙසේදැයි සිතමින් සිටි මොහොතක ඔහුට තම ඉඩමක රබර් අඹරන්නට සිතුවේය. ඔහු යළිත් නැගිටින්නට ඉටා ගත්තේය. "හොරණ, කබල්ලෑගොඩ පැත්තෙ ඉඩමක පරණ රබර් අඹරන මැෂින් හතරක් සවිකරලා රබර් අඹරන්න ගත්තා. මුලින්ම නම් ලාභයක් ලැබුණෙ නැහැ. ඔය අතරවාරයෙදි තමා සෙරෙප්පුවක් හදන්න මට අදහසක් ඇතිවුණේ. යාළුවෙක් එක්ක එකතුවෙලා මම සෙරෙප්පුව හදන්න ඕනෑ අච්චුව ඉන්දියාවට යැව්වා, ඒක වැඩිදියුණු කරලා ගෙන්නගන්න. මාස තුනක් ගියත් එයාලා ඒක මට ආපහු එව්වෙ නැහැ. බලා ඉඳලා තේරුමක් නැති නිසා රබර් ෂීට් හදලා පිටකොටුවට විකිණුවා. අවුරුදු එකහමාරක් විතර ගතවෙද්දි ඒ ව්‍යාපාරයත් කඩාවැටුණා. ඔය අතරවාරයෙදි ඉන්දියාවට යවපු සෙරෙප්පු අච්චුව මට ලැබිලා තිබුණා. මම හිතා ගත්තා සෙරෙප්පු හදනවා කියලා. ඒ කාලේ මම මාසෙකට සෙරෙප්පු කුට්ටම් දෙදාස් පන්සීයක් හැදුවා. මේ කිසිදෙයක් මම කොහෙන්වත් ඉගෙනගත්ත ඒවා නෙමෙයි. අත්දැකීම් වලින්ම තමා හැමදේම කළේ. දෙදාස් පන්සීයෙන් පටන්ගත්ත බිස්නස් එක සෙරෙප්පු කුට්ටම් තුන්දාහ, හාරදාහ වෙනතුරු වැඩිවුණා. ඒ අතරෙදි ලංකාවෙ 'සැහැල්ලු සෙරෙප්පු' කියන වර්ගය ජනප්‍රිය වුණා. ඔය වෙනකොට සැහැල්ලු සෙරෙප්පු හදන තාක්ෂණය තිබුණෙ නැහැ අපිට. ඒකට වෙනම මැෂින් එකක් ඕනෑ. මම මාසයක් ඒ ගැනම හිතුවා අලුත් මැෂින් ගන්නේ කොහොමද කියලා. උෂ්ණත්වය ලබාදුන්නට පස්සෙ ටොන් දාහක පීඩනයක් තත්පරයකින් යවන්න ඕනෑ මැෂින් එක හරහා. ඒ විදිහේ මැෂිමක් ගන්න මට වත්කමක් තිබුණේ නැහැ. මම හිතා ගත්තා මා ළඟ තියෙන මැෂිම දියුණු කරනවා කියලා. “

එය සෑහෙන තරමේ අභියෝගයකි. යකඩ සමඟින් වසර ගණනක් හැපුණු ගුණසිරි ඉදිරියට තැබූ පය පසුපසට ගත්තේ නැත. ලියවන පට්ටල් ගානේ ගොස් සිය දැනුමින් ඔවුන්ට උපදෙස් ලබාදෙමින් තමන්ට අවශ්‍ය යන්ත්‍ර කොටස් සාදාගත් ඔහු අවසානයේදී එම අභියෝගයද ජයගත්තේ.

"1993 දි තමා මැෂිම සවිකළේ. එදා සවිකරපු මැෂිම අදටත් වැඩ. කිසිම රෙපයාර් එකක් නෑ..." ඔහු පැවසුවේ ආඩම්බරයෙනි. පිටරට වලින් අපි මැෂින් ගෙනාවා.

ඒ කාලෙ මාසෙකට සෙරෙප්පු කුට්ටම් හැටදාහක් හැදුවා. එහෙම පටන්ගත්ත "බෙස්ට්කෝ" සපත්තු තමා අදටත් වෙළෙඳපොළේ තියෙන්නේ..." ගුණසිරි පැවසීය.

එලෙස අරඹා දියුණු වූ ව්‍යාපාරයෙන් ලද ලාභය කිසිවිටෙකත් තනියම භුක්ති විඳින්නට සිතුවේ නැත. අව්‍යාජ ගැමියෙකු වූ ගුණසිරි දුප්පත් අහිංසකයින්ගේ දහදිය සුවඳ හොඳින් හුරුපුරුදු තැනැත්තෙකු විය. තමන් පටන්ගත් තැන කිසිවිටෙක අමතක නොකළ ඔහු හැකි සෑමවිටම තමන් ලද ලාභය නොපසුබටව අන්‍යයන් වෙනුවෙන් වියපැහැදම් කළේ එනිසාය.

වසර 14කට පමණ ඉහතදී හොරණ වැඩිහිටි නිවාසයටද අංගසම්පූර්ණ ගොඩනැගිල්ලක් සාදා දුන්නේ.

හොරණ රෝහලේ 14 සහ 15 වාට්ටු සංකීර්ණය ඉදිවූයේද ගුණසිරිගේ ධන පරිත්‍යාගයන්හි ප්‍රතිඵලයක් ලෙසය. ශල්‍යකර්ම වලට ලක්කරන රෝගීන් 60කට පමණ නේවාසිකව රැඳී සිටිය හැකි ලෙස සියලු පහසුකම් වලින් සමන්විතව මෙම වාට්ටු සංකීර්ණය ඉදිකර එයින් නොනැවතුණු ඔහු රෝගීන්ට අඩුපාඩුව පැවති ඖෂධ, ශල්‍ය උපකරණ, ශීතකරණ, විදුලි පංකා, වායු සමීකරණ යන්ත්‍ර ආදී භාණ්ඩ තොගයක්ද පරිත්‍යාග කළ අතර, රුපියල් ලක්ෂ 12ක වියදමින් උගුර කන නාසය පරීක්ෂා කරන යන්ත්‍රයක්ද, ලක්ෂ 17ක වියදමින් වකුගඩු සම්බන්ධ රෝගාබාධ වලදී රුධිරය පිරිසිදු කරන යන්ත්‍රයක්ද රෝහලට පරිත්‍යාග කළේය..

පැරණිම සිංහල ගම්මානය වන පානමෙහි රුපියල් කෝටියක වියදමින් අඩි 50ක් උස හිටි බුද්ධ ප්‍රතිමාවක් ඉදිකළ ගුණසිරි රටපුරා අංගසම්පූර්ණ භාවනා ශාලා පහක්ද ඉදිකර ඇත. ඉංගිරිය මඩකඩ ආරණ්‍ය සේනාසනය, කනන්විල දෙකඳුවල ආරණ්‍යය, තිස්සමහාරාම පොත්තේවෙල ආරණ්‍යය, තිස්සමහාරාමයේ බෙරලිවෙල ආරණ්‍යය සහ නාඋයන ආරණ්‍යය සේනාසනය යන ස්ථාන වල ඔහු විසින් ඉදිකළ භාවනා ශාලා වලින් අදටත් සැලසෙන සේවය අතිමහත්ය. තිස්සමහාරාම පොත්තේවෙල ආරණ්‍යය සේනාසනයේ ලක්ෂ 75කට අධික පිරිවැයකින් ඔහු වෛත්‍යයක්ද ඉදිකළේය. ගුණසිරි විසින් ලංකාවේ සතරදිග්භාගයේ ඉදිකර ඇති බෝධි ප්‍රාකාර, බුද්ධ මන්දිර, වැසිකිළි කැසිකිළි ප්‍රමාණය කොතෙක්දැයි ඔහුටවත් මතකයේ නොමැත.

“ මේ දවස් වල හොරණ තක්ෂිලා මධ්‍ය මහා විදුහලේ ලක්ෂ 150කට අධික වියදකින් දෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකරනවා . පන්ති කාමර හයක් එක්ක, ගුරු විවේකාගාරයකුත් ඒකෙ හැදෙනවා. දරුවන්ගෙ නෙත් පාදන එක ලොකු පිනක් කියලා මට හිතුන නිසයි ඒ වගේ කටයුත්තකට අත ගැහුවේ. මේ කටයුත්තට හොරණ ප්‍රදේශයේ ව්‍යාපාරික ලයනල් ආරියරත්න මට ලොකු සහයෝගයක් දෙනවා. හැමෝම ඇහුවා ඉගෙනගත්ත පාසලට සේවයක් කළා නම් හරි නේද කියලා.

ඒත් හොරණ තක්ෂිලාව කියන්නෙ රටක් ලෝකයක් කලඹවපු විද්වතුන් බිහිකළ ඉස්කෝලයක්. ඒකයි මම ඒ පාසලම තෝරගත්තෙ”ගුණසිරි පවසන්නේ සතුටිනි.

"මගෙ සියලු වත්කම් මම දරුවන්ට පවරා දීලා ඉවරයි. මගෙ දරුවො දෙන්නා සමාජයේ හොඳ තැන්වල ඉන්නවා. ඔවුන්ට පවරාදුන් මගෙ ව්‍යාපාර වලට මම අතගහන්නෙ නැහැ. දැන් මට තවත් මුදල් හම්බකරන බලාපොරොත්තුවක් නැහැ.

අවංකව නැතිබැරි කෙනා කවුද, වංචාකාරයා කවුද කියන එක මට අමුතුවෙන් හඳුන්වලා දෙන්න අවශ්‍ය නැහැ. මේ ගෙන්දගම් පොළවේ පදම්වෙලා ඉන්න මට මිනිහෙක් දිහා බැලුවම, කතාකළාම කියන්න පුළුවන් ඒ මොනවගේ කෙනෙක්ද කියන එක.'' මෙතෙක් තමන් ව්‍යාපාර කරමින් උපයන ලද ධනයෙන් පින්දහම් කටයුතු ද කරන ගුණදාස මහතා පවසන්නේ සතුටු සිතිණී.

ප්‍රියදර්ශනී කහවල, 
ඉංගිරිය මධ්‍යම සමූහ

Comments