
මෙරට දුප්පත් ජනතාවගේ ජීවනෝපාය හා ආර්ථිකය ඉහළ නැංවීමේ අරමුණින් ආරම්භ කළ සමෘද්ධි ව්‍යාපෘතිය මඟින් මෙරට අඩු ආදායම් පවුල් ලක්ෂ 18ක පුද්ගලයන් ලක්ෂ 90ක පමණ ජීවන මට්ටම් ඉහළ නැංවීමට විවිධ අයුරින් ආධාර කරයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ හා මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ යන මහත්වරු විසින් කැබිනට් මණ්ඩලයට කරුණු ඉදිරිපත් කර අලුතින් සහන ලබාදීමට කටයුතු කළහ. ඒ අනුව මෙවර වසර 7කට පසු යළිත් සමෘද්ධි දීමනා වැඩි කර තිබේ. මේ යටතේ සමෘද්ධි පවුල් ලක්ෂ 18කට පමණ මේ වැඩි කළ දීමනා ලබාදීම දැන් සිදුකෙරේ.
සමස්ත අයවැය ලේඛනය මඟින් මෙරට රුපියල් කෝටි 5000ක් අපි සමෘද්ධි ප්‍රතිලාභීන්ට ලබාදීමට කටයුතු කරනවා. මේ නිසා අපට වසරකට අමතර රුපියල් කෝටි 1500ක් වැය වෙනවා. ඒ අනුව සමස්ත ලෙස සමෘද්ධි ප්‍රතිලාභීන්ගේ දීමනා ලෙස රුපියල් කෝටි 6500ක් වැය වෙනවා.” රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසයි.
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ බන්දුල තිලකසිරි පවසන්නේ පසුගිය සතිය ඇතුළත මෙම වැඩිවූ දීමනා රටපුරා විවිධ ස්ථානවලදී ගෙවනු ලැබූ බවයි.
“අපේ සමෘද්ධි ප්‍රජාමූල බැංකු 1073ක් රටපුරා තිබෙනවා. ඒ බැංකුවලින් මුදල් ලබාගෙන අපේ නිලධාරින් 25,000ක් විතර පසුගිය දවස්වල රටපුරා දීපව්‍යාප්ත මධ්‍යස්ථානවල කටයුතු කරලා මේ ගෙවීම් කාර්යක්ෂම ලෙස සිදුකළා. ඒ ගෙවීම් ඉදිරියටත් කිරීමටයි අපේ අපේක්ෂාව. මේ කටයුත්තේදි වෙහෙස මහන්සිවී කටයුතු කළ සමෘද්ධි බැංකු නිලධාරින් හා සමාද්ධි නියාමකයන්ට අපි ස්තුතිවන්ත වෙනවා.
මේ අනුව අපේ රටේ අඩු ආදායම් ලාභි ජනතාවට සමෘද්ධි හිමිකම් දරන අයට ලොකු ප්‍රතිලාභයක් ඇති වෙනවා. මේ පිළිබඳව ප්‍රතිලාභීන් හුඟක් සතුටට පත්වෙලා තිබෙනවා. විශේෂයෙන් රටේ ජීවන වියදම වැඩිවී ඇති මේ වකවානුවේ මෙය ඔවුන් ලොකු පිළිසරණක්.
මෙලෙස සමෘද්ධි දීමනා වැඩි කළේ වසර 7කට පසුව. 2015දි තමයි අන්තිමට සමෘද්ධි දීමනා වැඩි කළේ. මේ සැරේ පසුගිය දින 3 – 5 රටපුරාම සමෘද්ධි සංගම් වැඩි කළ මුදල ප්‍රතිලාභීන්ට ලබා දුන්නා.” නීතිඥ බන්දුල තිලකසිරි කීය.
මේ දීමනා වැඩි කිරීම් අනුව සමෘද්ධි ප්‍රතිලාභීන්ට අලුතින් වැඩි කළ සමෘද්ධි සහනාධාර ලබාදීම පසුගිය සතියේ උතුරු නැඟෙනහිර ඇතුළු රට පුරා සිදුවිය. මේ පිළිබඳව කරුණු දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂි පර්යේෂණ නිලධාරි සංගමයේ ප්‍රධාන ලේකම් ජගත් කුමාර සුමිත්‍රාආරච්චි පවසන්නේ මෙය රටේ පවතින ජීවන වියදම් ගැටලුවට මුහුණ දෙන අඩු ආදායම් ලාභීන්ට ලොකු සහනයක් බවයි. විශේෂයෙන් මේ වනවිට රට තුළ විශාල ලෙස ජීවන වියදම වැඩිවීමක් තිබෙනවා. අඩු ආදායම්ලාභී ජනතාව ඉතා අපහසුතාවට පත්වෙමින් සිටින අවස්ථාවක්.
කොරෝනා ව්‍යසනය නිසා ආණ්ඩුව පැත්තෙනුත් විශාල අපහසුතාවකට පත්වෙලා ඉන්නේ. එසේ වුවත් ජනතාව පීඩාවට පත්වෙලා තිබෙන අවස්ථාවක අඩු ආදායම් ලාභීන්ට සහනයක් ලෙස රජය රුපියල් 1000ක දීමනාවක් සමෘද්ධි ලාභීන්ට වැඩි කර තිබෙනවා. මේක සමෘද්ධි ප්‍රතිලාභීන්ට 1000ක් නෙමෙයි ඊට වඩා වැඩි වටිනාකමක් තිබෙන දෙයක්. මොකද මෙවැනි අමාරු වෙලාවක මේක ලබාදීම ඔවුන්ට ලොකු දෙයක්. ඒ වගේම මේක අපේ ජනපතිගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තවත් එක් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමක්. අපේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් පැහැදිලිව කිව්වා සමෘද්ධි සහනාධාර ලබන අයගේ ආර්ථික තත්ත්වය ගොඩනඟනවා කියලා. ඒ සඳහා අපි සවිබල ගැන්වීම හා විවිධ කටයුතු රැසක් සඳහා පසුගිය වසර තුළත් විශාල මුදලක් වෙන් කළා. පසුගිය වසරේ ඒ සඳහා රුපියල් බිලියන 10ක් වෙන්කළා. මේ වසරේ විශාල මුදල් ප්‍රමාණයක් වෙන්කර ඔවුන්ට ජීවනෝපාය නඟා සිටුවීමට වෙනම උපකරණ ලබා දුන්නා.
ඒ සමඟම යන්ත්‍ර උපකරණ හා ඔවුන්ට අඩුපාඩු යම් යම් දේවල් ලබා දුන්නා. අපි අපේ ආණ්ඩුව ආවට පස්සේ සමාජ ආරක්ෂණ අරමුදල් වැඩි කළා. ඒ අනුව සමෘද්ධි පවුලක මරණයකදි ගෙවන 15,000ක මුදල 20,000 කළා. දරු උපතකදි ගෙවනු ලැබූ 7,500 මුදල 10,000 කළා. මේ ආදි වශයෙන් සමාජ ආරක්ෂණ අරමුදලේ ප්‍රතිලාභත් වැඩි කළා.
ඒ වගේම අපි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් පැහැදිලිවම කිව්වා දෙන සහනාධාර ප්‍රමාණය වැඩි කරනවා කියලා. අලුත් සුදුසු අයටත් සහනාධාර ලබාදෙන බවත් අපි පැවසුවා. අපි හිතන්නේ ඒ පොරොන්දුව ක්‍රියාත්ක කිරීමක් විදියටයි මේ වැඩේ ක්‍රියාත්මක වන්නේ. පසුගිය කාලයේ පාර්ලිමේන්තුව තුළත් ආණ්ඩු පක්ෂයේ රැස්වීම් වලදිත්, ජනාධිපති තුමා, අගමැති තුමා, මුදල් ඇමති තුමා සිටින අවස්ථාවලදිත් විශේෂ ඉල්ලීමක් කර ජීවන වියදම වැඩිවීම නිසා අසහනයට පත් අඩු ආදායම් ලාභීන්ට සහන සලසන්න කීවා. ජීවන විදයම වැඩිවීම වැඩිපුරම දැනේන්නේ අඩු ආදායම් ලබන අයට. ඒ නිසා ඒ අයට සහනයක් ලබාදෙන්න කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටියා.
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විධියට අපි දැන්වූ ඒ ඉල්ලීමට අනුකූලතාව දැක්වීමක් ලෙස අපි මේ සමෘද්ධි දීමනා වැඩි කිරීම හඳුන්වන්න පුළුවන්.
මේකෙන් පෙනෙන්නේ මේ ආණ්ඩුව සංවේදි ආණ්ඩුවක්. ආණ්ඩුවට මොන බැරි අමාරුකම තිබුණත් ආණ්ඩුව ජනතාව වෙනුවෙන් ජනතාවගේ ගැටලු වෙනුවෙන් උපරිම ක්‍රියාමාර්ග ගන්න බවයි මෙයින් පෙන්නුම් කරන්නේ.
අපි පසුගිය දිනවල වැඩි කළ සමෘද්ධි දීමනා ලබා දුන්න ඒ වෙලාවේ ඒ සමෘද්ධි ප්‍රතිලාභීන් ජනපතිට අගමැතිට මුදල් ඇමැතිට ස්තුති කළා. අපි වෘත්තීය නායකයෙක් විධියටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විධියටත් මේ ලක්ෂ 18ක් වන සමෘද්ධි පවුල්වලට ලබාදුන් සහනය පිළිබඳව ජනපතිට, අගමැතිට හා මුදල් ඇමැති තුමාටත් ස්තුතිවන්ත වෙනවා.” පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර පවසයි.
මේ අනුව රටේ අඩු ආදායම් ලාභී ජනතාවට සහන සැලසීමට රජය ගත් මේ ක්‍රියාමාර්ගය ඉක්මණින් කාර්යක්ෂම ලෙස ක්‍රියාවට නැංවීමට ඊට අදාළ බලධාරි නිලධාරි සියලුදෙනා පූර්ණ සහාය දිය යුතු බව කිව යුතුය.