චන්ද්‍රිකා, මහින්ද එක්ක තරහ වෙන්න හේතුව මෙන්න | Page 2 | සිළුමිණ

චන්ද්‍රිකා, මහින්ද එක්ක තරහ වෙන්න හේතුව මෙන්න

පාර්ලිමේන්තුව තුළදී පසුගිය දිනක සිදු වූ විශේෂතම සිදුවීම වූයේ ප්‍රබල දේශපාලනඥයෙකු වූ අභාවප්‍රාප්ත මංගල සමරවීර සම්බන්ධයෙන් සියලුම දේශපාලන පක්ෂවල සොව පළවීමයි. සාමාන්‍යයෙන් ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවේ ශෝක ප්‍රකාශවලදී තම අදහස් පළ නොකරන අතර මංගල සමරවීර හිටපු අමාත්‍යවරයාගේ ශෝක ප්‍රකාශ යෝජනාවේ දී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මංගල සමරවීර හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් ශෝකය පළකර තිබීම විශේෂත්වයකි.

 

වසර 30 කට පසුව මහින්ද හෙළි කළ රහස

 

මංගල සමරවීර වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පැවති ශෝක ප්‍රකාශයට මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු ආණ්ඩු පක්ෂයේත්, විරුද්ධ පක්ෂයේත් ජනතා නියෝජිතයෝ විශාල පිරිසක් අදහස් දැක්වූහ.

තම ශෝකය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තු සංකීර්ණයේ දෙවැනි මහලේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයට පැමිණියේය.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ, රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ ඇතුළු ඇමතිවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ද එක්ව සිටියහ.

මේ අවස්ථාවේ දී මංගල සමරවීර වෙනුවෙන් ශෝකය පළකරන සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්නගේ කතාව මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා රූපවාහිනියෙන් නරඹමින් සිටියේය. 'රාජිතයි, මංගලයි හරිම යාළුයි නේද සර්." යනුවෙන් ඉන්දික අනුරුද්ධ රාජ්‍ය අමාත්‍යවරයා කතාව ආරම්භ කළේය.

“ඔව්, ඔව් රාජිතට කතාවක් දෙන්න ගිහිල්ලා තමයි චන්ද්‍රිකා මාත් එක්ක තරහ වුණේ“ යනුවෙන් අගමැතිවරයා ප්‍රකාශ කළේ ය.

"ඒ මොකක්ද සර් ඒ කතාව" කියමින් ඒ ගැන දැඩි කුතුහලයකින් විමසුවේ ලොහාන් රත්වත්තේය.

"එදා 90 ගණන්වල කතරගමට අපි පාද යාත්‍රාව කොළඹ ඉඳලා යනකොට මාතර එදා පාද යාත්‍රාව අවසන් වුණු වෙලාවේ රැස්වීමක් තිබුණා. පාද යාත්‍රාව අවසන් කරන සෑම දිනකම ඒ නගරයේ රැස්වීමක් තිබුණා. කොළඹ ඉඳලම අපිත් එක්ක රාජිතත් පා ගමනින් ආවා. මංගල මගෙන් ඇහුවා රාජිතට කතාවක් දෙමුද කියලා.

මං කිව්වා දෙන්න කියලා. කොහොමහරි මංගලයි, ධර්මසිරි සේනානායකයි චන්ද්‍රිකාගෙනුත් අහලා තියෙනවා. රාජිත කොළඹ ඉඳලම අපිත් එක්ක එනවා. ඒක නිසා මේ මනුස්සයට කතාවක් දෙමුද කියලා."

මගේ ඩ්‍රයිවරුත් කොළඹ ඉඳලම එනවා. එහෙනම් මගේ ඩ්‍රයිවර්ටත් කතාවක් දෙන්න ඕන කියලා චන්ද්‍රිකා නොකියා කියලා තියෙන්නේ රාජිතට කතාවක් දෙන්න එපා කියලා. මේ කතාව ආරංචි වුණු මට කේන්ති ගිහිල්ලා චන්ද්‍රිකාට බැණලා තියෙනවා." යනුවෙන් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා අතීත කතාවක මතු කළේය.

"සර්, චන්ද්‍රිකා මැඩම්ට හොඳටම බැණලා කියලා තමයි ආරංචිය. එදායින් පස්සේ තමයි චන්ද්‍රකා මැඩම් සර් එක්ක එච්චර හිත හොඳ නැත්තේ." යනුවෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රකාශ කළේය.

"කොහොම හරි රාජිත සේනාරත්නට කතාවක් දෙන්න ගිහිල්ලා තමයි චන්ද්‍රිකා මැඩම් සර් එක්ක තරහ වෙලා තියෙන්නේ. දැන් චන්ද්‍රිකා මැඩමුයි, රාජිත මන්ත්‍රීතුමයි එක පැත්තක" යනුවෙන් ඉන්දික අනුරුද්ධ කළ කතාවට සියල්ලෝම සිනාවූහ.

"දේශපාලනයේ හැටි ඔහොම තමයි" යනුවෙන් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා මඳක් සිනාසෙමින් පැවසීය.

 

වර්ජන පාලනය නොකිරීම ගැන ජනතාවගෙන් දොස්

 

පැරණි ප්‍රශ්නවලට විසඳුම් ලැබුණු, අලුතින් තව තවත් අලුත් ප්‍රශ්න නිර්මාණය වූ සතියක් ලෙස පසුගිය සතිය ආරම්භ විය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ප්‍රශ්න ගැටලු හා අර්බුද අලුත් දේවල් නොවීය. ඔහු ඒ සෑම තැනකදීම ඒ සඳහා අනුගමනය කළේ සුපුරුදු ඉවසීම හා කල්පනාකාරී විලාසයයි.

ගුරුවරුන්ගේ අර්බුදයෙන් පසුව සෞඛ්‍ය අංශය තුළින් ද එබඳුම අර්බුදයක් පැමිණෙන බව බොහෝ දේශපාලන නිරීක්ෂකයින් ජනාධිපතිවරයාට අනතුරු අඟවා තිබිණි. වැටුප් විෂමතා ප්‍රශ්නයක් මත සෞඛ්‍ය ක්ෂේත්‍රය අර්බුදයක් ඇති කරන්නට දේශපාලන බළල් අත් කිහිපයකට හැකි විය. පසුගිය දිනවල සෞඛ්‍ය සේවය අකර්මණ්‍ය කළේ එම අර්බුදයයි. එවන් වෘත්තිය අරගලයක් පැවතුණත් ජනතාව ඉන් අසහනයට පත් නොකරන්නට මේ වෙලාවේ රජයට උදව් කළ ජනතාවාදී වෘත්තීය සමිති ද නොසිටියාමත් නොවේ. එහෙත් පසුගිය සතිය වන විට වැඩ වර්ජනයේ නිරත වූ සමිති ඔවුන්ගේ දේශපාලන හාම්පුතුන්ගේ ඕනෑ එපාකම් ඉටු කරමින් පාරට බැස මහ ජනතාවගේ එදිනෙදා ජීවන කටයුතු අවහිර වන සේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සංවිධානය කරන්නට වූහ. මෙමඟින් පසුගිය සතියේ කොළඹ පාර තොටේ ඇතිවූ වාහන තදබදය නිසා පොදු ජනතාව ද සිටියේ වර්ජිත සෞඛ්‍ය වෘත්තීය සමිතීන් සමඟ දැඩි කේන්තියකය.

ඔවුන් එළිපිටම මාධ්‍යවලට කතා කරමින් මෙවන් මහජන විරෝධී රැලි පෙළපාළි හා උද්ඝෝෂණ මර්දනය නොකිරීම ගැන රජයට දොස් නගන්නට වූහ. මෙහිදී ජනාධිපති ගෝඨාභයටත් වඩා වැඩියෙන් ජනතාවගෙන් බැණුම් ඇසූ පුද්ගලයා වූයේ නීතිය හා සාමය භාර අමාත්‍යවරයකු වූ සරත් වීරසේකරයි.

 

වැඩවර්ජන ගැන කැබිනට් මණ්ඩලයේ දීර්ඝ කතාබහක්

 

"සෞඛ්‍ය අංශය මේ වෙලාවේ කරන වැඩ වර්ජනය ඉතාම අසාධාරණයි. නින්දිතයි. ජනතා විරෝධීයි. පොදු ජනතාව දැන් පාරට බැහැලා ඒක හෙළා දකින්න පටන් අරන්."

"පොදු ජනතාව අතරින්ම ඒ වගේ විරෝධයක් එන එක හොඳ තත්ත්වයක්. ඉතින් මොකක්ද තියෙන ප්‍රශ්නේ" ජනාධිපති ඇසීය.

"අපි බලයට ආවේ පහුගිය ආණ්ඩු වගේ උද්ඝෝෂණ මර්දනය කරන්න නොවෙයි" ජනාධිපතිවරයා කීවේය.

 

ලණුවලට හසුනොවන හැටි ජනපති කියයි

 

"ඔබතුමා කියන්නේ බැටන් චාජ් කරන්න, ටියර් ගෑස් ගහන්න, වෝටර් චාජ් කරන්න කියලා මට අණ දෙන්න කියලද. එහෙම කරන්න බැහැ. ඒව කරපු ගමන් ඔය මිනිස්සු වීරයො වෙනවානේ. ඔය මිනිස්සු පාරට බැහැලා දඟලන්නේත් අපට කියල ගස්සව ගන්නම තමයි. අපි ඒ ලණුවට අහුවෙන්න හොඳ නෑ. ජනාධිපති පැහැදිලි කළේය. ජනාධිපතිතුමා එසේ කියන විට බැසිල් රාජපක්ෂ ද එය අනුමත කරමින් කතා කළේය. ඔය විරෝධතාවට යන සමහරුන් ගෝල්ෆේස් ගිහිල්ලා රැල්ලක් හදලයි යන්නේ" යනුවෙන් ජනාධිපතිවරයා කීවේය.

"බැසිල් ඇමතිතුමා ගුරුවරු ස්ට්‍රයික් කරපු වෙලාවෙත් පරාජය භාර අරගෙන වැටුප් වැඩි කළා. එදා ඒ වැටුප් වැඩි නොකළා නම් අද මේ සෞඛ්‍ය ප්‍රශ්නෙ එන්නේ නෑ" සරත් කීය. "ඇමතිතුමාගේ ඒ කතාව මම අනුමත කරන්නේ නැහැ. ඔබතුමා දන්නවද? එදා අපි ගුරුවරුන්ගේ වැටුප් වැඩි කරන්න එකඟ වුණේ අපේ ආණ්ඩුව ගත්ත ප්‍රතිපත්තිමය තීන්දුවක් නිසා මිස ඒගොල්ලන්ගෙ ෆයිට් එකට බය වෙලා නෙවෙයි. ඔය මොනා කිව්වත් ඔය උද්ඝෝෂණවලට ගහන්න කියලා මම නං අණ දෙන්නේ නෑ" ජනාධිපතිවරයා ඉතා තදින් කියා සිටියේය.

 

කිතුල් මදින්නට ජනපතිගෙන් තල්ලුවක්

 

මෙම සාකච්ඡාවට සහභාගී වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා ගාල්ල බලා පිටත්ව ගියේ තවත් උත්සව කීපයකට සහභාගි වීම සඳහාය. ඒ වන විට වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය විසින් ගාල්ල අක්මීමන හියාරේ ප්‍රදේශයේ අපූරු උත්සවයක් සංවිධානය කර තිබිණි.

ලංකාවේ කිතුල් ගස ආශ්‍රිත පැණි හකුරු කර්මාන්තය අතීතයේ පටන් ගැමි ජනතාවට බොහෝ වාසි ප්‍රයෝජන අත්පත් කර දුන් කර්මාන්තයක් වුවත් පසුගිය මෑත කාලයේ නීතියේ යම් යම් සීමාවන්ට හසුවී පසුබෑමට ලක්වූ කර්මාන්තයක් විය.

එහෙත් කිතුල් කර්මාන්තය විදේශීය විනිමය පවා රටට අත්පත් කරගත හැකි ශක්‍යතා ඇති කර්මාන්තයක් යැයි හඳුනා ගැනීමෙන් පසුව 2021 මාර්තු 17 වෙනිදා කිතුල් නිෂ්පාදන සඳහා කිතුල් සංවර්ධන අධිකාරියක් ද පිහිටුවනු ලැබුවේ මෙම කර්මාන්තය නඟා සිටු වන්නටයි.

එදින හියාරේ ප්‍රදේශයේ පවත්වනු ලැබුවේ කිතුල් කර්මාන්තය සඳහා ශිල්පීන් පුහුණු කිරීමට සංවිධානය කරන ලද වැඩමුළුවක ආරම්භක උත්සවයයි. හියාරේ ප්‍රදේශයේ පිහිටි කොට්ටව රක්ෂිතයේ කිතුල් ගස් බොහෝ ඇති බැවින් එහි මෙම උත්සවය සංවිධානය කර තිබුණේ වැවිලි කර්මාන්ත ඇමති රමේෂ් පතිරණය. පහුගිය දිනවල සිය රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් වූ අරුන්දික ප්‍රනාන්දුගේ අමාත්‍යාංශයට මෙම විෂය භාරව තිබූ බැවින් ඔහු ද මෙම උත්සවයට සහභාගී වන්නට පැමිණ සිටියේය.

මෙහිදී ජනාධිපතිතුමා එක් පුද්ගලයෙක් ළඟට ගොස් ඔහුගෙන් කිතුල් කර්මාන්තය හා ඒවා‍ෙයන් ලබාගත හැකි ආදායම ගැන තොරතුරු විමසා සිටියේ තනිවමය.

"බොරු කියන්නේ මොකටද මහත්තයෝ. කෙනෙක් කිතුල් ගස් තුනක් මැද ගත්තොත් මාසෙකට රුපියල් ලක්ෂේ පැනල ආදායමක් ගන්න පුළුවන්." ඔහු දුන් උත්තරයට ජනාධිපතිතුමාගේ ද ඇස් දෙක උඩ ගියේය.

 

ගොවි මහතුන්ගෙන් ජනපතිට ප්‍රසාදය

 

මේ සංචාරයේ දී ජනාධිපතිවරයා හිනිදුම ප්‍රදේශයේ ඉදිකරන අලුත් තාක්ෂණ පුහුණු ආයතනයක් නරඹන්නට ගියේය. ඒත් සමඟ ම ඔහුට අවශ්‍ය වූ තවත් කාරණාවක් වූයේ ගාල්ල ප්‍රදේශයේ කාබනික ගොවිතැන කරනු ලැබූ කුඹුරුවල අස්වනුවල තරාතිරම දැක බලා ගැනීමයි. අස්වනු නෙළන කුඹුරු යායක් ඉදිරියේ නතර වූ ජනාධිපතිවරයා ඒ පිළිබඳව විමසා බැලීය.

අපි මුලින් මේ තරම් බලාපොරොත්තු වුණේ නෑ. ඒ වුණාට ජනාධිපතිතුමා අර ගෙනත් දීපු දියර පෝර එක ප්‍රතිඵලදායකයි. ගොයම හොඳට බණ්ඩි ගැහුණා. කෘමි සතුන්ගේ උවදුරු අඩු වුණා. කරල්වල බොල් නෑ. අස්වැන්න හිතුවට වඩා සරුයි. අක්කරයට බුසල් 80 පැනලා අපි ගත්තා. කිලෝව රුපියල් 90 ට ගන්න නිසා පාඩුවක් නෑ." ගොවියන්ගේ මේ කතාව අසා ජනාධිපතිවරයා අප්‍රමාණ ලෙස සතුටට පත්වී සිටියේය.

අවසානයේ ජනාධිපතිවරයා මෙම සංචාරය අවසන් කළේ ගාල්ල නගර මධ්‍යයේ නිමවා තිබූ ධර්මපාල උද්‍යානය සිරි විසිතුරු බැලීමෙන් අනතුරුවයි.

 

විමල්ගේ කතාවට අවධානය

 

කර්මාන්ත අමාත්‍යාංශය විසින් පවත්වනු ලැබූ, ලංකාවේ සියලුම හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ නිර්මාණ ඇතුළත් ප්‍රදර්ශනයෙන් පසු එහි සම්මාන ප්‍රදානෝත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් වෝටර්ස් ඒජ් හෝටල් පරිශ්‍රයේ දී පැවැත්විණි.

ලංකාවේ ප්‍රකටම අතිදක්ෂ හස්ත කර්මාන්ත ශිල්පීන්ට සම්මාන ලබාදීම සඳහා ජනාධිපතිවරයා සහභාගි විය.

උත්සවයේ ප්‍රධාන කතාව පැවැත්වූයේ විමල්ය. විමල් අපේ රටේ දේශීය කර්මාන්ත හා කර්මාන්තකරුවා නංවාලීම ගැන හොඳ කතාවක් කළේය.

"දේශීය කර්මාන්ත නංවාලීම සම්බන්ධයෙන් පහුගිය අර්බුදකාරී සමය තුළ අපටත් විශාල ප්‍රශ්න ආවා. විශේෂයෙන්ම අමුද්‍රව්‍ය හිඟය. කර්මාන්තවලට විදේශ රටවලින් ගෙන්වන අමුද්‍රව්‍ය ලබා ගැනීම අද මුළුමහත් රටටම විශාල ප්‍රශ්නයක් වෙලා තියෙනවා. හැබැයි මේ අර්බුදයම එක්තරා අන්දමකින් අපට ආශිර්වාදයක් වෙන්න පුළුවන්. ඒ මොකද විදේශ රටවලින් අමුද්‍රව්‍ය ගෙන්න ගන්නවා වෙනුවට ඒ සඳහා විකල්ප අපේ රටෙන්ම හොයාගන්න දැන් අපිට පුළුවන්.

වටිනා කරුණු රැසක් හෙළිදරව් වුණු විමල්ගේ කතාවෙන් පසුව සභාවේ වැඩකටයුතු අවසන් වූවත් ජනාධිපති ගෝඨාභයට ගැලවීමක් නැති වූයේ හස්ත කර්මාන්ත ශිල්පීන් ජනාධිපතිවරයා ළඟට පැමිණ සෙල්ෆි ඡායාරූප ගැනීමට පටන් ගත් නිසාය.

 

හර්ෂ, ජනාධිපතිට කිව්ව රහස ගැන ගයන්ත හා තිස්සගේ අවධානය

 

16 වැනි බදාදා පසලොස්වක දිනයේ ද ජනාධිපතිවරයාට ආගමික වැඩ රාජකාරි බහුල විය. ඒ අතරින් ගංගාරාමයේ නවම් මහා පෙරහරේ හස්තිරාජයාගේ පිට මත කරඬුව තැන්පත් කිරීමට තිබූ ආරාධනාව ප්‍රමුඛ විය. සියලු වැඩ රාජකාරි අවසානයේ ජනාධිපතිවරයා ඊට සැදී පැහැදී සිටියේය.

නිසි වේලාවට ඔහු ගංගාරාමයට යන විට ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයේත් දේශපාලනඥයෝ ගණනාවක්ම කල්වේලා ඇතිව එහි පැමිණ සිටියහ.

ජනාධිපතිවරයා පළමුවෙන්ම ගංගාරාමය විහාරගෙය ඇතුළට ගොස් විහාරාධිකාරී කිරින්දේ අස්සජි හිමියන් හමුවී කතාබස් කොට පළමුවෙන්ම කළ රාජකාරිය වූයේ ගංගාරාමයේ බෝධිය වටකොට අලුතෙන් තනා තිබූ රන්වැට විවෘත කිරීමයි. අනතුරුව පෙරහැර තිබෙන තැනට ගිය ආරාධිතයින් හස්ති රාජයන් මත ධාතු කරඬු තැන්පත් කිරීමේ කටයුත්ත ආරම්භ කළහ. ප්‍රධාන කරඬුව කණ්ඩුල හස්තිරාජයා මත තැන්පත් කිරීමේ දී ජනාධිපතිවරයා එක් පැත්තකින් පැමිණෙන විට අනිත් පසින් පැමිණ ඊට සහාය වූයේ රංජිත් විජයවර්ධන මහතාය.

හස්තිරාජයා මත කරඬුව තැන්පත් කිරීමෙන් අනතුරුව මල් පූජා කිරීම ආරම්භ විය. ඒ සඳහා ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න, රාජ්‍ය ඇමතිනී සීතා අරඹේපොල, හමුදාපතිවරු ඇතුළු පිරිසක් සහභාගී වූ අතර විපක්ෂය වෙනුවෙන් පැමිණ සිටි හර්ෂ ද සිල්වා, තිස්ස අත්තනායක, ගයන්ත කරුණාතිලක වැන්නන් මඳක් පස්සට වී සිටියහ.

එය දුටු ජනාධිපති ගෝඨාභය හර්ෂගේ අතින්ම අල්ලා මල් පූජා කිරීමේ කටයුත්තට කැඳවා ගත්තේ මෙසේ කියමිනි.

"ඔයගොල්ලො මොකද මේ පස්සට වෙලා ඉන්නේ. විපක්ෂයේ කියලා හැමදේටම විරුද්ධ වෙන්න එපා. මේ වගේ හොඳ වැඩවලටවත් එකතු වෙන්න." ඒ මොහොතේ ඔවුහු ද මල් පූජා කිරීමේ කටයුත්තට සම්බන්ධ වූහ. හර්ෂ ජනාධිපතිවරයාගේ කනටම කිට්ටු කර මොනවාද කීවේය. ගයන්තත් තිස්සත් ඒ දෙස පුදුමයෙන් මෙන් බලා සිටියහ. හර්ෂ කී කතාවට ජනාධිපතිවරයා හයියෙන් සිනා සෙනවා දැකගත හැකි විය.

නිසි සංඥාව ලැබුණු පසු නවම් මහා පෙරහර පටන් ගත්තේය. ජනාධිපති ප්‍රමුඛ පිරිස පෙරහැර බැලූවේ ඔවුන් සඳහා තනා තිබූ විශේෂ පීඨිකාව මත සිටය. මෙවර විශේෂත්වය වූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මුළු පෙරහැරම ඉවරවෙන තුරු මහත් උද්‍යෝගයකින් යුතුව නරඹා අවසන් කිරීමයි.

 

රනිල් - නාමල් කතා කළේ මොනවාද?

 

නවම් පෙරහැරේ පළමු රන්දෝලි පෙරහැර නැරඹීමේ අවස්ථාවට ද එක්සත් ජාතික පක්ෂයේ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එකතු විය. එම අවස්ථාවට අගමැති මහින්ද රාජපක්ෂ සමඟ ඇමති නාමල් රාජපක්ෂ ද එකතුව සිටියහ. නාමල් රාජපක්ෂ ඇමතිවරයා හා එජාප නායකයා බොහෝ වේලාවක් කතා බස් කරමින් සිටින ආකාරයක් එහි සිටි සැමට දැකගත හැකි වූහ.

 

දිනේෂ්, තරුණයන්ව කැඳවීමට සූදානම් වෙයි

 

මහජන එක්සත් පෙරමුණේ මධ්‍යම කාරක සභාව පසුගිය අඟහරුවාදා (08) පස්වරුවේ පක්ෂ මූලස්ථානයේදී රැස් වූයේ, පක්ෂ නායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙනි. පැය ගණනාවක් තිස්සේ පැවති එම රැස්වීමේදී පළමුව සාකච්ඡා වූයේ පක්ෂයේ දේශපාලන කටයුතු පිළිබඳවය.

"කොවිඩ් නිසා, කල් දාපු අපේ තරුණ සංවිධානයේ නියෝජිත සමුළුව, අපි ඉක්මනින් පවත්වන්න ඕනෙ." පක්ෂ නියෝජ්‍ය ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන කියා සිටියේය.

 

අගමැති හා ඇමති ඩලස් චමුදිත ගැන විමසිල්ලෙන්

 

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමට එල්ල වුණු ප්‍රහාරය සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ අග්‍රමාත්‍යවරයා දුරකථන මාර්ගයෙන් චමුදිත සමරවික්‍රමගෙන් විමසා තිබුණි. එම සිදුවීම ගැන තමා කම්පා වන බවත් සිද්ධියට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කොට තිබුණි. මේ අතර මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමට එල්ල වූ මැර ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන පොලිස් විමර්ශන ගැන ජනමාධ්‍ය ඇමති ඩලස් අලහප්පෙරුම සිටින්නේ ද දැඩි අවධානයකිනි. එතුමා ද චමුදිතගේ නිවසට ගොස් තොරතුරු විමසීය.

 

වජිර පැය 02 ක් චමුදිතගේ නිවසේ

 

මේ අතර මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවසට එල්ල වූ මැර ප්‍රහාරය සම්බන්ධව සොයා බැලීමට වජිර අබේවර්ධන පසුගිය අඟහරුවාදා දහවල් පිළියන්දල පිහිටි චමුදිතගේ නිවසට පැමිණියේය.

චමුදිතගේ නිවසට පැමිණීමට පෙර නායක රනිල් වික්‍රමසිංහයන් සහ වජිර අතර දීර්ඝ සාකච්ඡාවක් පැවැති අතර එහිදී චමුදිතගේ නිවසට එල්ල වූ මැර ප්‍රහාරය පිළිබඳව ඔවුන්ගේ අවධානය යොමු කෙරිණි. අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් සොයා බලා චමුදිත දිරිමත් කරන ලෙස නායක රනිල් වජිරට උපදෙස් ලබා දුන්නේය.

චමුදිත සමඟ නිවසේ උඩු මහලට ගොස් ප්‍රහාරය එල්ල වූ තැන් සොයා බැලූ වජිර නැවත පහත මහලට බැස චමුදිත සහ ඔහුගේ බිරිය මෙන්ම දියණිය සමඟ දීර්ඝ සාකච්ඡාවක නිරත වූයේ 1988 – 1989 භීෂණ සමයේ තමන්ට මුහුණ පෑමට සිදුවූ අත්දැකීම් පිළිබඳව කරුණු පැහැදිලි කර දී ඔවුන් ධෛර්යවත් කරමින්ය.

සිද්ධිය සැල වූ වහා නායක රනිල් වික්‍රමසිංහ තමා සමඟ සම්බන්ධ වී ඒ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව මෙහිදී චමුදිත ප්‍රකාශ කළ අතර තමන්ට ද මෙහි පැමිණ කරුණු සොයා බලන ලෙස සිය නායකයා උපදෙස් ලබාදුන් බව වජිර අනාවරණය කළේය.

Comments