කෝටි ගණ­නක් කාබා­සි­නියා කළ හිඟු­ ර­ක්ගොඩ සහල් මෝල | Page 3 | සිළුමිණ

කෝටි ගණ­නක් කාබා­සි­නියා කළ හිඟු­ ර­ක්ගොඩ සහල් මෝල

විනාශයට පත්වෙමින් තිබෙන හිඟුරක්ගෝඩ සහල් මෝල
විනාශයට පත්වෙමින් තිබෙන හිඟුරක්ගෝඩ සහල් මෝල

 

රාජ්‍ය අංශය සතු ප්‍රධාන පෙළේ සහල් මෝලක් වන හිඟුරක්ගොඩ සතොස සහල් මෝල වසා දමා මේ වනවිට වසර කිහිපයක් ගතවෙමින් තිබේ. එය ක්‍රියාත්මකව පැවැති අවදියේ මෙම සහල් මෝලේ දෛනික සහල් නිෂ්පාදනය කිලෝ 50,000ක් පමණ බව කියති. මෙයට දශක දෙකහමාරකට පමණ පෙර රජයේ සහල් සැකසුම් මධ්‍යස්ථානය යනුවෙන් මෙය ආරම්භ වන්නේ මේ රටේ විශාලතම සහල් නිෂ්පාදන ආයතනයක් ලෙසට ය. එය සතොස මඟින් පාලනය වූ අතර සාර්ථක ලෙස සහල් නිෂ්පාදනය කර ඇත.

 

මෙම සහල් මෝල ආරම්භ කිරීමට පෙර එනම් 1970 දශකයේදී ආසියාවේ විශාලතම සහල් මෝල් සංකීර්ණය ලෙස මිණිපේ හසලක සහල් මෝල ආරම්භවූ අතර එය පාලනය කරන ලද්දේ වී අලෙවි මණ්ඩලය මඟිනි. එවැනිම විශාල සහල් මෝලක් එකල පොළොන්නරුවේත් ආරම්භ කරනු ලැබූ අතර මේ සහල් මෝල් සියල්ල මේ වනවිට විනාශමුඛය කරා ගොසිනි. අහසට නැඟුණු දැවැන්ත යෝධයකු වැනි සයිලෝ නමින් හැඳින්වෙන විශාල වී ගබඩා රැසක් එම සහල් මෝල්වල තිබූ අතර ඒවායේ සමහරක් පමණක් අදටද අවශේෂ ලෙස දකින්නට තිබේ.වර්තමානය වනවිට එම සහල් මෝල් පිහිටි විශාල ඉඩම් පවා පෞද්ගලික අංශයට නතුවී හමාරය.

පළාත් පාලන සහ පළාත් සභා රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහ වරක් පොලොන්නරුවේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු මෙම සතොස සහල් මෝල වසාදමා තිබීම පිළිබඳව ප්‍රශ්න කළේය. මහා පරිමාණ සහල් මෝල් හිමියන් සහල් මාෆියාවක් ක්‍රියාත්මක කරන බවට චෝදනා කරන ඔබලා රජය සතු විශාල ප්‍රමාණයේ සහල් නිෂ්පාදන ආයතනයක්ව පැවැති හිඟුරක්ගොඩ සතොස සහල් මෝල වසා දමා තිබෙන්නේ මන්ද කියා විමසූ විට එයට පිළිතුරු දෙමින් රාජ්‍ය ඇමතිවරයා කීවේ එම සහල් මෝලේ තිබෙන්නේ නවීන යන්ත්‍රෝපකරණ නොව බොහෝ යල්පැන ගිය තාක්‍ෂණයේ ඒවා බවයි. එමෙන්ම එම සහල් මෝල අවට වෙසෙන ජනතාව සහල් මෝල ක්‍රියාත්මක කිරීම නිසා පරිසර ප්‍රශ්න ඇතිවන බවට චෝදනා කරන බවද හෙතෙම කීවේය.

එහෙත් උතුරු මැද පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකු මෙන්ම ගොවි අයිතීන් සුරැකීම සඳහා පෙනී සිටින පොලොන්නරුවේ සමාජ ක්‍රියාකාරිකයකු වන ඉන්ද්‍රානන්ද දසිල්වා පවසන්නේ මහා පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සහල් මාෆියාවට සහය පළ කිරීම සඳහා මෙම සහල් මෝල වසා දමා තිබන බවයි. ඒ හේතුවෙන් රුපියල් කෝටි ගණනක් වටිනා යන්ත්‍ර සූත්‍ර එහි දිරාපත්වන බවද හෙතෙම පැවැසීය.ඒ සම්බන්‍ධයෙන් තවදුරටත් අදහස් දක්වන ඉන්ද්‍රානන්ද ද සිල්වා “මේ සහල් මෝලේ ඉතිහාසය පිළිබඳව සොයා බැලීමේදී මෙය 1998 වසරේ ආරම්භ කරලා තියෙන්නේ. එමෙන්ම ඒ කාලයේ ඉහළම තාක්‍ෂණයෙන් යුත් සහල් මෝලක්. මේ සහල් මෝල මඟින් මුලදි තම්බන ලද සහල් නිෂ්පාදනය කරලා පසුව කැකුළු සහල් නිෂ්පාදනයට යොමු වෙලා තිබෙනවා. දිනකට සහල් කිලෝ 50,000ක් පමණ නිෂ්පාදනය කළ හැකි සහල් මෝලක් තමා මේ වසා දමා තිබෙන්නේ. මෙය ඉතාම වටිනා රාජ්‍ය දේපලක් කාගේ වුවමනාවටද මේ අන්දමට විනාශ වෙන්නට ඉඩ හැරලා තිබෙන්නේ කියන එකයි අපට තිබෙන ප්‍රශ්නය. මෙහි සේවය කළ සේවකයන් පෙන්වා දෙන්නේ වසර කිහිපයක් තිස්සේ ක්‍රියාත්මක නොවීම නිසා සුළු අලුත්වැඩියාවන් කිහිපයෙකින් පසු මේ සහල් මෝල යථා තත්ත්වයට පත්කළ හැකි බවයි. තමන්ගේ ඇස් පනාපිට මේ සහල් මෝල මෙලෙස විනාශවීම පිළිබඳව ඔවුන්ටත් ලොකු වේදනාවක් තිබෙනවා. නමුත් ඒ අය මාධ්‍යයට අදහස් දක්වන්නට හේ ප්‍රසිද්ධියේ කතා කරන්න ඉදිරිපත් වෙන්නේ නෑ. නමුත් ඇත්ත තත්ත්වය සහල් මෝල කිසිම හේතුවක් නැතිවයි වසාදමා තිබෙන්නේ. මේ සහල් මෝලේ තිබෙන යන්ත්‍ර සූත්‍ර රුපියල් කෝටි ගණනක් වටිනවා. ඒවා ක්‍රියාත්මක නොකර අත්හැර දැමීම නිසා දිරපත්වන තත්ත්වයට පත්වනවා.

ඒ වගේම මේ සහල් මෝල් සංකීර්ණයේ තිබෙන ගබඩාවල වී කිලෝ එක්කෝටි විසි ලක්‍ෂයක් පමණ ගබඩා කිරීමේ ධාරිතාවක් තිබෙන බවත් ඒ සේවකයන් පෙන්වා දෙනවා. පිටරටින් සහල් ගෙන්වන්නේ නැතිව ඇයි බැරි ආණ්ඩුවට මේ හාල් මෝලට පණ දෙන්න. අපට ලොකු සැකයක් තිබෙනවා මහා පරිමාණ සහල් මෝල් හිමියන්ගේ මාෆියාවක් ගැන කියමින් ඒවාට රුකුල් දීමක් හැටියට මේ ජාතික සම්පත විනාශ වෙන්නට ඉඩහැරලා තිබෙනවා කියලා. එහෙම නැතිනම් ඇයි රාජ්‍ය අංශය සතුව දැනට තිබෙන විශාලතම සහල් මෝල මේ තත්ත්වයට පත්වෙන්න ඉඩ දෙන්නේ. එමඟින් දිනපතා සහල් කිලෝ 40.000ක් 50,000ක් වැනි විශාල ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමේ හැකියාව තිබියදී එය දේශීය සහල් අවශ්‍යතාවය සපුරා ගැනීමට නොගන්නේ ඇයි කියන එක අපට ලොකු ගැටලුවක්.”

කෙසේ නමුත් මේ වනවිට හිඟුරක්ගොඩ සතොස සහල් මෝලට අත්ව තිබෙන ඛේදනීය ඉරණම සම්බන්‍ධයෙන් අදහස් දක්වන මහජනතාව පවසන්නේ මෙම අමිල සම්පත තවදුරටත් විනාශ මුඛයට යානොදී ආරක්‍ෂා කිරීමට අවස්ථාව තිබෙන බවකි.එමෙන්ම එමඟින් දේශීය සහල් අවශ්‍යතාවෙන් විශාල ප්‍රමාණයක් නිපදවාගත හැකි බවද ඔවුහු කියා සිටිති. රජය ගොවීන්ගේ වී අස්වනු සහතික මිලට, මිලදී ගෙන මාස කිහිපයක් ගබඩාකර ඉන් පසුව පෞද්ගලික මෝල් හිමියන්ට විකිණීමේ පිළිවෙත වෙනුවට රාජ්‍ය අංශය සහල් නිෂ්පාදන ක්‍රියාදාමයට යොමුවීම පෞද්ගලික අංශයේ සහල් මාෆියාවට තිත තැබීම සඳහා දරන කිසියම් හෝ වෑයමක් වනු ඇති බවද ඔවුහු පෙන්වාදෙති.

මින්නේරිය මහ ගොවිජනපදයට අයත් දෙවන පරපුරේ ගොවි නායකයෙකු වන කවුඩුල්ලේ ජයතිස්ස පවසන්නේ 1970 සමගි පෙරමුණ ආණ්ඩුව කාලයේ පොලොන්නරුවට ලැබුණු ප්‍රධාන නිෂ්පාදන කර්මාන්තශාලා දෙකක් ඉන්පසුව 1977 බලයට පත්වූ එක්සත් ජාතික පක්‍ෂ රජය මඟින් වසා දැමූ බවයි. ඉන් පළමුවැන්න දහස් ගණනකට රැකියා අවස්ථා සලසා දුන් මින්නේරිය පෙහෙකම්හල වන අතර දෙවැන්න සහල් නිෂ්පාදනයට අදාළව වී අලෙවි මණ්ඩලය සතුව තිබූ පොලොන්නරුවේ කුරුප්පු හන්දියේ පිහිටි වී මෝල් සංකීර්ණයයි. ඉන්පසුව 1994 බලයට පැමිණි චන්ද්‍රිකා බණ්ඩාරනායක රජය සමයේ ආරම්භ කරනු ලැබූ හිඟුරක්ගොඩ සතොස සහල් මෝල පොලාන්නරුවට අගනා සම්පතක් මෙන්ම දිවයිනේ විශාලතම සහල් නිෂ්පාදන ආයතනය බවද කීය. එවන් වටිනා රාජ්‍ය දේපළක් මේ අන්දමට විනාශ වන්නට ඉඩහැරීම ජාතික අපරාධයක් බව ඔහුගේ අදහසයි. වර්තමානයේ පෞද්ගලික අංශය සතුව පොලොන්නරුවේ මහා පරිමාණ සහල් මෝල් ගණනාවක් තිබෙන බව කී ජයතිස්ස ගොවි නායකයා පෙන්වා දුන්නේ මේ සතොස සහල් මෝල එකල පොලොන්නරුවේ පමණක් නොව දිවයිනේ විශාලතම සහල් මෝල බවය. එහි ආරම්භක අවදිය වනවිට ඒ ඇතැම් පෞද්ගලික සහල් මෝල් බිහිවී නැතැයිද ඇතැම් සහල් මෝල් සතොස සහල් මෝල අනුව යමින් ඒ තත්ත්වයට වැඩිදියුණු කරගැනීමට පෙලඹුණු බවද කීය. දේශීය සහල් නිෂ්පාදකයින් පිරිසක් ඒ අන්දමට දියුණු තත්වයට පත්ව තිබීම සතුටක් බවත් ඒ නමුත් සතොස සහල් මෝල වැනි අගනා උරුමයක් ආරක්‍ෂා කිරීම රජය සතු වගකීමක් යැයිද කීවේය.

“මේ ගොවි ජනපද ව්‍යාපාර ඇති කරලා රටේ ආහාර නිෂ්පාදනය වැඩි කරන්න මහාමාන්‍ය ඩී.එස්.සේනානායක, සී. පී. ද සිල්වා වැනි නායකයන් විශාල වැඩ කොටසක් කලා.අද මේ මින්නේරිය මහ ගොවි ජනපදයේ දෙවෙනි තුන්වෙනි පරම්පරාව භුක්ති විඳින්නේ ඒ නායකයන් විසින් දියත් කරන ලද සංවර්ධනයේ ප්‍රතිඵලයි. නමුත් පසු කාලයේ බලයට පතවුණු එක්සත් ජාතික රජයන් කාලයේ මහජනතාවට ලැබුණු යම් යම් වරප්‍රසාද අහිමි කළා. උදාහරණයක් හැටියට කිව්වොත් එදා ගොවි ජනපද ඇතිකළ එක්සත් ජාතික පක්‍ෂයේ නායකයින් මේ ගොවි ජනතාවට ගුණාත්මක බීජ වර්ග කලට වේලාවට පහසුවෙන් ලබාගැනීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සේවාවක් හැටියටයි හිඟුරක්ගොඩ බීජ ගොවිපළ ආරම්භ කළේ.නමුත් පසුකාලයේ එක්සත් ජාතික පක්‍ෂයේ ආණ්ඩුවක් යටතේ බීජ ගොවිපළ පාඩු ලබනවා කියලා පෞද්ගලික අංශයට විකුණා දැමුවා.නමුත් ඒ අයට මතක නෑ තමුන්ගේ පක්‍ෂයේම නිර්මාතෘවරුන්, නායකයන් එදා මේ බීජ ගොවිපළ අරම්භ කළේ සේවාවක් විදියට කියලා. ඒ වගේම විශේෂයෙන්ම පොලොන්නරුවේ දෙවෙනි තුන්වෙනි පරම්පරාවේ දරුවන්ට රැකියා අවස්ථා උදා කරන්න සමගි පෙරමුණ රජය යටතේ මින්නේරිය පෙහෙකම්හල ආරම්භ කළා. දහස් ගාණකට එහි රැකියා අවස්ථා ලැබුණා. 1977න් පසුකාලයේ එක්සත් ජාතික පක්‍ෂයේ රජය යටතේ ඒ කම්හල වසා දැමුවා.පොලොන්නරුවේ කුරුප්පු හන්දිය කියන ප්‍රදේශයේ තිබුණු වී අලෙවි මණ්ඩලය සතු මහා වී මෝල, එයත් සමගි පෙරමුණ ආණ්ඩුව කාලේ පොලොන්නරුවට ලැබුණු විශාල සහල් නිෂ්පාදන කර්මාන්තය. 1977න් පසුව එය වසා දැමුවා. ඉන්පසුව චන්ද්‍රිකා බණ්ඩාරනායක රජය යටතේ තමයි ආසියාවේ ලොකුම සහල් නිෂ්පාදන මෝලක් හැටියට මේ සහල් මෝල හඟුරක්ගොඩ ආරම්භ කළේ. මේ ප්‍රදේශවල ගොවි ජනතාවගේ අස්වැන්න මිලදී අරගෙන ඒවා සහල් බවට පත්කිරීම සාර්ථකව සිදු කෙරුණු බව අපි හොඳින් දන්නවා. මේ වෙනකොට අවස්ථා කීපයක් ඒ මෝල අක්‍රිය වෙමින් නැවත ක්‍රියාත්මක වෙමින් පැවැතුණා. දැන් නැවතත් ඒ දැවැන්ත සහල් නිෂ්පාදන ආයතනය වැහිලා. ඇත්තෙන්ම දැන් රුපියල් කෝටි ගණනක් වටිනා යන්ත්‍ර සූත්‍ර ගොඩනැගිලි ඇතුළු දේපළ දිරාපත් වෙමින් විනාශ වෙනවා. මේවා මේ විදියට විනාශ වෙන්නට ඉඩහැරීම ඇත්තෙන්ම ජාතික අපරාධයක්.”

Comments