පාර මැද්දේ පොලිස් යුද්දේ | සිළුමිණ

පාර මැද්දේ පොලිස් යුද්දේ

පොලිසියේ රාජකාරිය වන්නේ සාමය ආරක්ෂා කිරීමයි. සාමයට බාධාවන ලෙස යම් අයකු හෝ පිරිසක් කටයුතු කරන්නේ නම් ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමයි. එසේ සාමය ආරක්ෂා කිරීමට සිටින පොලිසිය විසින්ම නීතිය කඩ කරන්නේ නම් කුමන තත්ත්වයක් උදා වේවිද?

 

පසුගිය 29 වැනිදා රාත්‍රියේ අසන්නට ලැබුණේ එවන් කනගාටුදායක පුවතකි. ඒ මහ රෑ, මහ පාරේ ගැටුමක් ඇති කරගත් පොලිස් නිලධාරීන් පිරිසක් ගැන පුවතකි.

ගම්පහ කොට්ඨාසයේ වැටලීම් ඒකකයේ ස්ථානාධිපතිවරයා සහ ඔහුගේ මිතුරන් දෙදෙනෙක් රඹුක්කන ප්‍රදේශයේ විවාහ මංගල උත්සවයකට ගොස් ආපසු පැමිණෙමින් තිබුණි. ඒ මෝටර් රථයකිනි. එසේම තවත් පිරිසක් ද විවාහ මංගල උත්සවයකට ගොස් එසේ පැමිණෙමින් තිබුණි. ඒ අතර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ මානව සම්පත් කළමනාකරණ කොට්ඨාසයේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයකු, පොලිස් පරීක්ෂකවරයකු මාරවිල පොලිසියේ රථවාහන පොලිස් ස්ථානාධිපතිවරයාද වූහ. ඔවුන් පැමිණියේ ජීප් රථයකිනි.

අඹේපුස්ස ආසන්නයේදී පිටුපසින් පැමිණි ජීප් රථය මෝටර් රථයට ඉස්සර කර යාමට උත්සාහ දැරීය. එහෙත් මෝටර් රථය ද ඒ ගැන නොතකා ඉදිරියට ධාවනය කරන ලදී. දිගින් දිගටම ජීප් රථය නළාව ශබ්ද කරමින් මෝටර් රථයට ඉස්සර කිරීමට උත්සාහ දැරුවේය. එහෙත් මෝටර් රථයද දිගින් දිගටම ඉදිරියට ධාවනය විය. මාර්ගය පටු නිසා හා ඉදිරියෙන් එන වාහන නිසා ජීප් රථයට ඉස්සර කිරීමට නොහැකි වූ අතර අවස්ථා කිහිපයකදීම ජීප් රථය ඉස්සර කර යාමට දැරූ උත්සාහයන්ට මෝටර් රථයෙන් අවකාශ නොලැබුණි.

මේ වාහන දැඟලිල්ල වරකාපොළ 36 කන්ද ප්‍රදේශය ආසන්නය දක්වාම ඇදී ගියේය. මෝටර් රථයට ඉස්සර කළ ජීප් රිය මාර්ගය හරස් කර නැවැත්වීය.

‘‘උඹල දන්නවද අපි කවුද කියල, පාර උඹලගෙ ......... ද?‘‘ ජීප් රියෙන් බැසගත් එක් අයෙක් ඇසුවේය.

ඒ සමඟම තවත් අයෙක් ජීප් රියෙන් එළියට බැස්සේය. ‘‘දැන් වරෙන්කො චණ්ඩි‘‘

මෝටර් රථයේ පැමිණි දෙදෙනෙක්ද වාහනයේ සිටම පිළිතුරු දෙන්නට විය.

‘‘ඇයි චණ්ඩි තමයි, මොනව හරි ඕනෙද?‘‘ මෝටර් රථයෙන් බැසගත් අයෙක් විමසීය.

‘‘පාර බදු අරගෙනද යන්නෙ‘‘ අඩියක් දෙකක් ඉදිරියට ආ ජීප් රථයේ පැමිණි අයෙක් වේගයෙන් විමසුවේය.

‘‘අපිට ඕනනම් එහෙමත් පුළුවන්,‘‘ වාග් ප්‍රහාරය දරුණු වන්නට වූයේ නොරුස් වචනද එළියට එමිනි.

ඒ සමඟම ජීප් රථයේ පැමිණි තිදෙනාම එයින් එළියට බැස ගෙන තිබුණු අතර වාහන දෙක මාර්ගය හරස් කර තිබුණු නිසා නුවර පාරේ කොළඹ දෙසට යන වාහනවලට යන්නට නොහැකි විය. ජීප් රථයේ පැමිණි තිදෙනා මෝටර් රථයේ දොරවල් ඇර එහි සිටි තිදෙනාට එල්ල කළ වාග් ප්‍රහාරය වැඩි කළ අතර මෝටර් රථයේ පැමිණි පිරිසද ඊට නොදෙවෙනි විය. ජීප් රථයේ පැමිණි පිරිස විසින් විවර කළ දොරවල්වලින් බැසගත් මෝටර් රථයේ පැමිණි පිරිසද එකට එක කරන්නට පටන්ගත් අතර එය අවසානයේ ගුටි බැට හුවමාරුවක් දක්වා යන්නට ගතවූයේ විනාඩියක් වැනි සුළු කාලයකි.

ඒ අතර මාර්ගයේ පැමිණි වාහන හිමියන්ගේ දෝෂාරෝපණය නිසා ජීප් රථය මාර්ගයෙන් ඉවතට ගන්නා ලදී. මෝටර් රථයේ සිටි අයකු එළියට පැමිණි විට මාර්ගය අද්දර බිම වැටෙන තෙක් පහර දෙනු පෙනුණි.

ඔවුන් නොදන්නවා වුණාට මේ සියල්ල අසල තිබූ සීසීටීවී කැමරාවක පටිගත විය.

එහි වාහන අවහිර කරනා ආකාරය හා වාග් ප්‍රහාරය ගුටි බැට හුවමාරුවක් දක්වා දීර්ඝ වන ආකාරයත් පැහැදිලිව පටිගත වී තිබුණි.

මහ රාත්‍රියේ සිදු වූ මේ කලබැගෑනිය නිසා මාර්ගය අවහිර වීම හේතුවෙන් හා කලබැගෑනිය කොතනින් කෙළවර වේදැයි නොසිතූ අයකු විසින් පොලිස් හදිසි ඇමතුම් ඒකකයේ 119 අමතා සිද්ධිය දැනුම් දෙන ලදී.

ඒ දැනුම් දීම අනුව වරකාපොළ පොලිසියේ නිලධාරීහු එම ස්ථානයට පැමිණියහ. ඒ වන විට ජීප් රථය පිටත්ව ගොසිණි.

තමන්ට ජීප් රථයකින් පැමිණි පිරිසක් පහර දී කොළඹ දෙසට පලා ගිය බව ඔවුහු පැවසූහ.

එමෙන්ම එහි සිටි ගම්පහ දූෂණ මර්දන ඒකකයේ පොලිස් ස්ථානාධිපතිවරයා එම ස්ථානයට පැමිණි පොලිස් රථවාහන නිලධාරීන්ට තම රාජකාරි හැඳුනුම්පත පෙන්වා තමන් පොලිසියේ බව තහවුරු කෙළේය. පැමිණි පොලිස් නිලධාරීන් වහාම වරකාපොළ පොලිසිය හරහා පැමිණි ජීප් රථයේ අංකය ලබා දුන්නේය.

නිට්ටඹුව, මීරිගම පොලිසිවලට වරකාපොළ පොලිසියෙන් හදිසි පණිවුඩයන් යන්නේ ඒ අනුවය. ‘‘සර් ඇවිල්ල පොලිසියේ ඇන්ට්‍රියක් දාන්න, අපිත් කොහොමත් මේ ගැන රිපෝට් කරන්න ඕනනෙ‘‘ වරකාපොළ පොලිසියෙන් පැමිණි නිලධාරියකු ගම්පහ දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපතිරයාට පැවසුවේය. ඒ වනතෙක් එම නිලධාරියාද සිදුවූයේ කුමක්ද යන්න ගැන දැන නොසිටියේය. ඔහුට දැනුණු එකම කරුණ පොලිස් නිලධාරියාට පිරිසක් පහර දී ගිය බව පමණි. වරකාපොළ පොලිසියට ගිය පොලිස් පරීක්ෂකවරයා සහ සිවිල් පුද්ගලයන් දෙදෙනා පොලිසියේ පැමිණිල්ලක් දැම්මේය. ඒ ජීප් රියකින් පැමිණි පිරිසක් තමන්ට පහර දුන් බව කියමිනි.

ඒ අතර පොලිස් ඇමතුම නිසා මාර්ගයේ වාහන ගැන විමසිල්ලෙන් සිටි පොලිසියට වේගයෙන් පැමිණි ජීප් රථය හඳුනාගත හැකි විය. පසුව එම ජීප් රථය පොලිස් අත්අඩංගුවට පත් විය. තමන් පොලිසියේ බව පැවසුවද අදාළ නිලධාරීන් පැවසුවේ 119 හරහා ලද තොරතුරු මත ජීප් රථයේ පැමිණෙන පිරිස නවත්වා ගත යුතු බවකි.

අවසානයේ ජීප් රථයට එයින් ඔබ්බට යා නොහැකි විය.

විමර්ශන ආරම්භ කෙරුණි. ජීප් රථයේ පැමිණි පිරිස වරකාපොළ පොලිසියට කැඳවා ගෙන යන ලදී. එම පිරිස පිටත්ව ගියද පසුව මාරවිල පොලිසියේ රථවාහන ස්ථානාධිපතිවරයා මාරවිල රෝහලට ඇතුළත් විය. ඒ අතර ගම්පහ දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපතිවරයා ද වතුපිටිවල රෝහලට ඇතුළත් විය.

ගැටුමට මුල් වූ පිරිස බීමතින් සිට ඇති බවට තොරතුරු වාර්තා වුවද කිසිදු පොලිසියකින් ඒ සම්බන්ධව විමර්ශනය කර නැත.

මේ සම්බන්ධයෙන් පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුගෙන් සිළුමිණ විමසූ විට ඔහු පැවසුවේ රථවාහන අනතුරක් වූ විට හෝ පොලිස් නිලධාරීන් විසින් වාහන පරීක්ෂාවකදී හැරෙන්නට බීමතින් ගමන් කරනු ලබන පුද්ගලයන් පිළිබඳ විමර්ශනය නොකරන බවයි.

එහෙත් ඇති ගැටලුව වන්නේ වරකාපොළ පොලිසියට පැමිණිල්ල සිදු කළ පොලිස් ස්ථානාධිපතිවරයා මෙන්ම සිවිල් පුද්ගලයන් දෙදෙනා බීමතින් සිටියා නම් ඔවුන් මහා මාර්ගයේ වාහනයක් පදවාගෙන ගියේ කෙසේද යන්නයි.

එමෙන්ම ජීප් රථය පදවාගෙන ආ නිලධාරීන්ද යම් අයුරකින් හෝ බීමත්ව සිටියා නම් ඔවුන් වාහනය පදවාගෙන ආවේ කෙසේද යන්න ගැනද අපට ඇත්තේ ගැටලුවකි.

එමෙන්ම මාරවිල රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා තමන්ට තුවාල සිදුවූයේ නම් මාරවිල දක්වා ගියේ කෙසේද? ආසන්න රෝහලට ඔහු ඇතුළත් විය යුතුය. මහා මාර්ගයේ වාහනයක් පදවාගෙන ගොස් යම් දබරයක් ඇති කරගත් විට පොලිසිය පළමුව බලන්නේ ඒ පුද්ගලයා බීමතින් සිටියාද යන්නය. එහෙත් මෙහිදී ඒ නීතිය වලංගු නොමැති වීම ගැටලුවක් බවට පත්ව තිබේ. සිද්ධිය එළියට එන්නේද මාධ්‍ය හරහාය.

මේ සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ නීතිය යටතේ මෙන්ම පොලිස් විනය නීතිය යටතේද පරීක්ෂණ සිදු කරන බවය.

සිද්ධිය සම්බන්ධයෙන් වරකාපොළ පොලිසිය විසින් නීතිය ක්‍රියාත්මක කිරීම නම් අගය කළ යුතුය. ඔවුන් සිද්ධිය අධිකරණයට වාර්තා කෙළේ පහර දී පලාගිය පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඔවුන්ද සමඟිනි.

පසුගිය 2 වැනිදා වරකාපොළ මහේස්ත්‍රාත් බුවනෙක රාජකරුණා විසින් ඔවුන් දෙදෙනා ඇප පිට නිදහස් කළ අතර මේ වන විට පස්දෙනෙක් ඇප මත නිදහස්ව ඇත. නීතිය රකින්නන් විසින් නීතිය මෙසේ කඩා දමා මහ මඟ දෙනෝදාහක් ඉදිරියේ සත්ත්වයන් මෙන් හැසිරීමත් මහජනතාව පීඩාවට පත් වන අයුරික් කටයුතු කිරීමත් මහා මාර්ගය අවහිර වන සේ රථවාහන නවතා තැබීම යන කරුණු ඔස්සේද නීතිය ක්‍රියාත්මක විය යුතුය.

අදාළ පිරිස් මේ ගැටුමට මුල් වී ඇත්තේ ඔවුන් පොලිසියේ බව දැන දැනම නීතිය අතට ගනිමිනි. නීතිය යනු කාහටත් පොදු වන්නක් බව මෙයින් හෝ අවබෝධ කර දෙන්නට සමත් විය යුතුය.

 

Comments