ජවිපෙ සමු­ළුව සහ කුණු බිත්තර සෙල්ලම | සිළුමිණ

ජවිපෙ සමු­ළුව සහ කුණු බිත්තර සෙල්ලම

ප්‍රහාරයට ලක් වූ රථයක්
ප්‍රහාරයට ලක් වූ රථයක්

කුණු බිත්තර, කුණු තක්කාලි..... කාලයක් ඇතැම් ප්‍රාදේශීය සභාවල නිතර කතාබහට ලක් වුණු ප්‍රහාරයන්ය. එහෙත් ඒ සභාව තුළ නොව සභාවෙන් පිටත හෝ වෙනත් බාහිර ස්ථානයන් තුළය. පාර්ලිමේන්තුවේද වසර කිහිපයකට පෙර මිරිස් කුඩු ගෙන ඒමක් ගැන කතාබහට ලක් විය.

එහි අලුත්ම කතාව වූයේ ජනවාරි 30 වැනිදා ඉරිදා පස්වරුවේ නිට්ටඹුවට නුදුරු කළගෙඩිහේනේදී ජාතික ජන බලවේගය විසින් පවත්වන්නට යෙදුණු ‘බිඳවැටුණු මව්බිම ගොඩ නඟන විසඳුම‘සමුළුවට සහභාගිවීමට පැමිණි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකඉලක්ක කර එල්ල කළ බිත්තර ප්‍රහාරයක් නිසාය.

රැස්වීම ආරම්භ කර මඳ වේලාවකට පසුව අනුර කුමාර දිසානායක පැමිණි මෝටර් රථයට මේ බිත්තර ප්‍රහාරය එල්ල විය. බිත්තර ප්‍රහාරය එල්ල කරන විටම රැස්වීමේ ආධාරකරුවන් බිත්තර ප්‍රහාරය එල්ල කළ අය පසුපස හඹා යන්නට විය. දෙදෙනෙක් අසු විය. සෙස්සෝ පලා ගියහ. අල්ලාගත් අයට හොඳ හැටි සංග්‍රහයක් ලැබුණි. පසුව නිට්ටඹුව පොලිසියට ඔවුන් බාර කෙරිණි.

පොලිසිය පැමිණ ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීම සිදු කරන්නට වූයේ පිරිස් මැදය. අල්ලා ගත් දෙදෙනා පැවසූ විස්තර අනුව ඔවුන් පැමිණ ඇත්තේ වීරසිංහ නම් අයකු විසින් කළ දැනුම්දීමකට අනුවය. වීරසිංහ සමඟ පැමිණිය යුතු බවත් ඒ වෙනුවෙන් රුපියල් 5,000ක මුදලක් එක් අයකුට ලබා දෙන බවට වීරසිංහ පොරොන්දු වූ බවද ඔවුන් එහිදී පවසන ලදී.

තමන් එක්තරා දේශපාලඥයකු දන්නා බවක් ඔහු පොලිසියට කියූ බව සංවිධායකවරුන්ගේ ග්‍රහණයට හසුවූ අවස්ථාවේ කියූ බව ද මාධ්‍ය මඟින් ප්‍රචාරය කර තිබිණි.

ප්‍රහාරයට ලක් වූ රථයක්

අල්ලා ගත් අයකු පැවසුවේ තමන් කොළඹ ත්‍රිරෝද රථ රැකියා සිදු කරනු ලබන බවත් බිත්තර ප්‍රහාරය එල්ල කරන්නේ කාටද යන්න ගැනවත් නොදැන සිටි බවත් ය.

ඒ අතර ඇවන්ඩ්ගාඩ් සමාගම හා සම්බන්ධතාව කුමක්දැයි විමසූ විට පවසා ඇත්තේ කලකට පෙර එහි සේවය කළ බව යි.

කෙසේ හෝ මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීමට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් විසින් පසුදිනම මාධ්‍ය හමුවක් පවත්වන ලදී. එහිදී ඔහු ඍජුවම චෝදනා කෙළේ මෙය රජය දැනුම්වත්ව සිදු කළ ප්‍රහාරයක් බවකි. එමෙන්ම අනුර කුමාර දිසානායකට හෝ ඔහු පැමිණි වාහනයට හෝ බිත්තර ප්‍රහාරය එල්ල නොවූ බවද ඔහු පැවසුවේය. එහි අරමුණ වී ඇත්තේ සාමාන්‍ය ජනතාව විසින් එල්ල කළ ප්‍රහාරයක් බවට හඟවා එය ප්‍රසිද්ධ කිරීම බවද ඔහු පැවසුවේය.

පක්ෂයේ ආධාරකරුවන් විසින් අල්ලාගත් දෙදෙනාට පහර දීම ගැන සිළුමිණ කළ විමසීමකදී විජිත හේරත් මන්ත්‍රීවරයා පැවසුවේ ‘‘ බිත්තර ගහලා පැනලා දුවන අය අතගාලා අල්ලන්න පුළුවන්කමක් නැහැ. ඒ ඒ අවස්ථාවල හැටියට යම් යම් දේ කරන්නට අල්ලා ගත් අයට සිදුවන්නට ඇති. ඒ වගේම පැනලා යන කෙනා අල්ලගන්න කට්ටියක් එනකොට අල්ලන්න ඉඩදීල බලාගෙන ඉන්නෙ නැහැනෙ. ඒකෙන් මිදෙන්න ගන්න ක්‍රියාමාර්ග යටපත් කරන්න පලා යන්න දරන උත්සාහය වළක්වන්න ක්‍රියාමාර්ග ගන්න ඇති‘‘

ප්‍රශ්නය - ප්‍රහාරයේ වගකීම ඔබ පවරන්නේ කාටද?

විජිත හේරත් - ඇවන්ගාඩ් ආයතනයේ සේවකයන් තමයි මෙහි ඉඳලා තියෙන්නෙ. අල්ලගත්ත එක් කෙනෙක් ඒ කියන්නෙ ගම්පොළ පදිංචි බව කියන ආනන්ද බණ්ඩාර කියනවා ඔහු ඇවන්ගාඩ් එකේ කාලෙකට කලින් හිටිය කියලා. ඒ වුණාට මෑතදී මුඛ ආවරණ පවා පැලඳ ඉන්න පින්තූර පවා අපි මාධ්‍යයට නිකුත් කරා. ඒකෙන්ම පේනව මේ ප්‍රහාරය කාගෙ වැඩක්ද කියන එක. මෙහෙයුම කළේ ඇවන්ඩ් ගාඩ් එකෙන්. ආණ්ඩුවට පේනවා තමන්ගෙ අසාර්ථකභාවය හමුවේ ජනතාව ඈත්වෙන බව. ඒක නිසා තමයි මේ වගේ ක්‍රියාවන්ට පෙලඹෙන්නෙ.

ප්‍රශ්නය - ප්‍රහාර එල්ල කළා යැයි කියන දෙන්නෙක් පක්ෂයේ ආධාරකරුවන් විසින් අල්ලාගෙන පොලිසියට බාර දුන්නා, පක්ෂය ඊළඟට බලාපොරොත්තු වෙන දේ.....

විජිත හේරත් - අපි අනිවාර්යෙන්ම කියන්නෙ. ඒ ඉන්න දෙන්නගෙන් සියලු විස්තර දැනගෙන සෙසු අයත් අත්අඩංගුවට අරගෙන විධිමත් පරීක්ෂණයක් කරන්න කියලා. ඒ දෙන්න දන්නවනෙ කවුද මේ වැඩේ කරන්න කිව්වෙ කියල. ඒත් මේ ආණ්ඩුව යටතේ කිසිදු ආකාරයක සාධාරණ පරීක්ෂණයක් වෙයි කියල අපි හිතන්නේ නැහැ. මීට කලින් පිටකොටුවෙදි එල්ල කළ ප්‍රහාරය ගැනත් පරීක්ෂණ යටපත් වුණානෙ. දෙන්නෙක් අල්ලල දීලත් පරීක්ෂණ කරන්නෙ නැත්නම් ඒකෙන්ම පේනව නේද කාගෙ වැඩක්ද කියල මේක.

මේ සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංගට ද චෝදනා එල්ල වී තිබුණි. ඔහු පැවසුවේ මෙවැන්නකි.

‘‘පළමුවෙන්ම කියන්න ඕන මේ ප්‍රහාරය කවුරු සැලසුම් කළත් ඒක ඉතා පහත් ක්‍රියාවක් බව. ඒ වගේම මම ඒක හෙළා දකිනවා. ඕනෑම පක්ෂයකට තමන්ගේ මතය අනුගාමිකයන්ට, ජනතාවට දැනුම් දීමේ අයිතියක් තියෙනවා. ඒකට අවශ්‍ය නිදහස අණ්ඩුවෙන් ලබා දීලත් තියෙනවා.

මට අභියෝගයක් එනවා නම් ඒ අභියෝගයට මම ඍජුවම මූණ දෙන කෙනෙක්. එහෙම නැතිව හැංඟිලා ඉඳලා ගල් ගහන කෙනෙක් නෙමෙයි මම. ඒ බව මම ක්‍රියාවෙන් ඔප්පු කරලා තියෙනවා.

ඒ වගේම ගම්පහ දිස්ත්‍රික්කයේ බුද්ධිමත් ජනතාව මෙවැනි පහත් පෙළේ ක්‍රියා කිසිසේත් අනුමත කරන්නෙ නැහැ. එවන් ක්‍රියා කරන්නෙත් නැහැ. ජනාධිපතිවරයා සහ ආණ්ඩුව අතර ඇති විශ්වාසය පළුදු කිරීමේ අරමුණින් මෙවැන්නක් කරන්නට ඇත්දැයි යන සැකයත් මතුවෙනවා.

අනික් එක 3%ක ඡන්ද පදනමක් තියෙන පක්ෂයකින් මට මොන අභියෝගයක්ද? මම මේ සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් කරන්න කියල අදාළ අංශවලට දැනුම් දීලා තියෙන්නෙ‘‘

මේ වන විට ජනතා විමුක්ති පෙරමුණේ නීති අංශය විසින් පොලිසියෙන් ඉල්ලා ඇත්තේ විමර්ශන කටයුතු පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හරහා සිදු කරන ලෙසයි. ඒ අනුව ගම්පහ සහකාර පොලිස් අධිකාරිවරයා සහ පොලිස් අධිකාරිවරයා පසුගිය 2 වැනිදා නිට්ටඹුව පොලිසිය වෙත ගොස් විමර්ශන කටයුතු සම්බන්ධව සොයා බලන ලදී. ඒ ඒ බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් මතය. මේ අතර විමර්ශන කටයුතු මන්දගාමී වීම සම්බන්ධයෙන් පසුගිය 2 වැනිදා ජනතා විමුක්ති පෙරමුණ විසින් පොලිස් මූලස්ථානයට ලිපියක් බාර දුන්නේ පරීක්ෂණ කඩිනම් කරන ලෙස දැනුම් දෙමිනි.

පහර දීමේ ප්‍රධාන චෝදනාව එල්ල වන ඇවන්ගාඩ් පෞද්ගලික ආරක්ෂක සමාගමට නිසා ඇවන්ඩ්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති සම්බන්ධ කර ගැනීමට අවස්ථා කිහිපයකදී උත්සාහ කළද එය සාර්ථක නොවීය. පසුව ඇවන්ඩ්ගාඩ් සමාගමේ විධායක නිලධාරියකු ඇමතුවද එයට පිළිතුරක් නොලැබුණු නමුත් පසුව ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසා තිබුණේ ඇවන්ඩ්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති කොවිඩ් 19 ආසාදනය වී ඇති නිසා මේ අවස්ථාවේ ප්‍රකාශ නිකුත් නොකළද ඉදිරියේදී මාධ්‍ය හමුවක් පවත්වා විශේෂිත කරුණු රැසක් හෙළි කරන බවයි.

මේ සම්බන්ධයෙන් පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ කැබිනට් ප්‍රකාශක වෛද්‍ය රමේෂ් පතිරණ පැවසුවේ රජය අපහසුතාවට පත් කිරීමේ අරමුණින් මේ ක්‍රියාව කරන්නට ඇති බවයි. කෙසේ හෝ මේ සම්බන්ධ පරීක්ෂණවලදී අදාළ පුද්ගලයන් පිළිබඳ තොරතුරු හෙළිවනු ඇති බවද ඔහු පැවසුවේය.

එමෙන්ම මේ බිත්තර ප්‍රහාරය පිටුපස ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්තගේ ප්‍රකාශයක් තිබෙන්නට හැකි බවද සමාජයේ කසුකුසුවක් නිර්මාණය වෙමින් පවතී.

මීට සතියකට දෙකකට පමණ පෙර පැවැති ජනරැලියකදී කේ.ඩී. ලාල් කාන්ත පැවැසුවේ වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය හමුවේ ජනතාව ඉවසා සිටියා හොඳටම ඇති බවත් දැන් රජයට එරෙහිව ජනතාව කුණු බිත්තර හා කුණු තක්කාලි අතට ගැනීමට සූදානම් විය යුතු බවත්ය.

එහිදී පාර්ලිමේන්තුව, අරලියගහ මන්දිරය හා ජනාධිපති මන්දිරය වටකරමින් කුණු බිත්තර ප්‍රහාර එල්ල කොට, ‘‘අපේ ගැටලු විසඳපල්ලා‘‘ යනුවෙන් ආණ්ඩුවට බලකර සිටීමට ජනතාව පියවර ගත යුතු බවද ඔහු විසින් දැඩිව පවසන ලදී.

එම ප්‍රකාශය නිසා සංවිධානාත්මක පිරිසක් විසින් මෙසේ ජනතා විමුක්ති පෙරමුණේ නායකයා ඉලක්ක කර බිත්තර ප්‍රහාරයක් එල්ල කරන්නට හේතු විය හැකි බවද කියති.

ජාතික ජන බලවේගයේ මේ රැස්වීම පැවැත්වීමට අවශ්‍ය පාරිසරික වටපිටාව සැකසීමේදී කිසිදු ගැටලුවක් ද මතුව නොමැත. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීනී එම්.ජී. ධර්මවතීගෙන් සිළුමිණ කළ විමසීමකදී ඇය පැවසුවේ අත්තනගල්ල ප්‍රාදේශීය සභාවෙන් තමන් කොඩි කණු 50ක් ඉල්ලා සිටි බවත් එය නොමිලේ දෙන්නට සභාව කටයුතු කළ බවත්ය.

‘‘ඒ රැස්වීම සංවිධානය කෙළේ ජාතික ජන බලවේගයෙන් නිසා ජනතා විමුක්ති පෙරමුණ නමින් පූර්ණ සංවිධාන කටයුතු සිදු කෙරුණේ නැහැ. මම සභාව හරහා කොඩි කණු ලබා දුන්නා පමණයි. අපට සමුළුවට එන්න කියලා ආරාධනයක් ලැබුණෙත් නැහැ. ඒ නිසා මම ගියෙත් නැහැ. ජනතා විමුක්ති පෙරමුණත් සම්බන්ධ නිසා එම පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියක් හැටියට මම කෙළේ සභාවෙන් නීත්‍යානුකූලව කොඩි කණු ලබා දීම පමණයි. සභාවෙනුත් ඒ කටයුත්ත නිසි අයුරින් ඉටු වුණා‘‘

පක්ෂයක රැස්වීමකට හෝ මහජන හමුවකට බිත්තර ප්‍රහාර එල්ල කිරීම දේශපාලන සදාචාරය පහතට දැමීමකි. පොලිස් ආරක්ෂාව මැද වතුපිටිවල රෝහලට ඇතුළත් කළ සැකකරුවන් දෙදෙනාගෙන් තොරතුරු ලබා ගෙන ඉදිරි කටයුතු කළ හැකිය. එහෙත් පසුව වාර්තා වූයේ ඔවුන් දෙදෙනා රෝහලෙන් වෙනත් ස්ථානයකට මාරු කර ඇති බවයි. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නිට්ටඹුව පොලිස් ස්ථානාධිපති කේ.ඕ.අයි අබේරත්න පැවසුවේ අදාළ සැකකරුවන් සම්බන්ධව ඉදිරි කටයුතු කරන නමුත් නිසි පැමිණිල්ලක් පොලිසියට ලැබී නොමැති බවයි. සැකකරුවන් දෙදෙනා වෙනත් රෝහලකට මාරු කර යවා ඇති බව ස්ථානාධිපතිවරයා පැවසුවේය. එහෙත් වතුපිටිවල රෝහල පවසා සිටින්නේ අදාළ පුද්ගලයන් පොලිස් ආරක්ෂාෙව යටතේ සිටි අතර පසුගිය 1 වැනිදා ඔවුන් රෝහලෙන් ප්‍රතිකාර ලබා පිටව ගිය බවයි.

බිත්තර ප්‍රහාරය එල්ල කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දෙදෙනා වන්නේ කොටුගොඩ, මිරිස්වත්ත පදිංචි මහගෙදර විජය ආරච්චිලාගේ රන්මල් අසිත කුමාර විජේරත්න හා ගම්පොළ පදිංචි ආනන්ද බණ්ඩාර නම් වන අයෙකි. එයින් මහගෙදර විජය ආරච්චිලාගේ රන්මල් අසිත කුමාර විජේරත්න යන අය 2010 වසරේ නොවැම්බර් 30 වැනිදාට පෙර ඒබ්‍රියල් රන්මල් අසිතකුමාර නමින් පෙනී සිට ඇති අතර පසුව නම වෙනස් කර ඇති බව වාර්තා වේ. ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරන්නේ මේ පුද්ගලයා බරපතළ අපරාධකරුවකු බවත් අපරාධ රැසකට සම්බන්ධ අයකු නිසා මෙසේ වරින් වර නම වෙනස් කරනු ලබන ඇති බවයි.

මේ ක්‍රියාව කවුරුන් කළත් බියගුලු කටයුත්තකි. ආණ්ඩුවේම මැති ඇමැතිවරුන් කියන්නාක් සේ රජය අපහසුතාවට පත් කරන්නකි. ජනතා විමුක්ති පෙරමුණද රජයට චෝදනා නඟනු ලැබේ. එසේ නම් කළ යුත්තේ මේ කටයුත්ත සිදු කළ තැනැත්තන් කරළියට ගෙනවිත් ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමය.

කොළඹ මහ  නගර සභා­වේත් මිරි­ස්කුඩු  බිත්තර ප්‍රහා­ර­යක්

කළගෙඩිහේනේ බිත්තර ප්‍රහාරය ගැන මෙසේ කතාවෙද්දී මෙරට පළමු විධායක ජනාධිපතිවරයාගේ මුණුපුරකුටද මිරිස්කුඩු කහකුඩු ප්‍රහාරයක් එල්ල වී තිබේ. එමෙන්ම ඔහුටත් කුණු බිත්තර ප්‍රහාරයක්ද එල්ල කර ඇත.

සිදුවීමට මූලපාදක හේතුව වී ඇත්තේ කොළඹ මහා නගර සභාවේ පරිසර කමිටු සභාපති ධුරයයි.

කොළඹ මහා නගර සභාවේ පරිසර කමිටු සභාපති ධුරය සඳහා සභාපතිවරයකු පත් කර ගැනීමේ ඡන්ද විමසීම ඉකුත් 31 වැනිදා සිදු කෙරුණි.

සභාපති ධූරය සඳහා තරග වැදුණේ හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනයන්ගේ මුණුපුරකු වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නාගරික මන්ත්‍රී ප්‍රදීප් ජයවර්ධන සහ එම පක්ෂයේම නාගරික මන්ත්‍රී සමන් අබේගුණරත්නයි. එහිදී වැඩි ඡන්දයෙන් එම ධුරයට තේරී පත් වූයේ ජේ. ආර්. ජයවර්ධනගේ මුණුපුරකු වන ප්‍රදීප් ජයවර්ධනයි.

එම පත් කිරීමට විරෝධය දක්වමින් සමන් අබේගුණරත්න මන්ත්‍රීවරයා පිහියක් රැගෙන ප්‍රදීප් ජයවර්ධන මන්ත්‍රීවරයාට පහර දීමට උත්සාහ කර ඇති බව වාර්තා විය.

සමන් අබේගුණරත්න මන්ත්‍රීවරයාගේ දියණිය වන සුරේඛා අබේගුණරත්න ද කොළඹ මහා නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයක් වන අතර ඇයද ප්‍රදීප් ජයවර්ධන මන්ත්‍රීවරයාට මිරිස් කුඩු සහ කහ කුඩු ප්‍රහාර එල්ල කර තිබේ. එමෙන්ම ඇය කුණු බිත්තරවලින්ද පහර දී ඇත.

පසුව ඔවුන් දෙදෙනාම අසභ්‍ය වචනයෙන් බැණ වදිමින් නොහික්මුණු ලෙසින් කලහකාරී ලෙස හැසිරී තිබේ.

සමන් අබේගුණරත්න මන්ත්‍රීවරයාගේ දියණිය පළමුව කුණු බිත්තර, මිරිස් කුඩු සහ කහ කඩු ප්‍රහාර එල්ල කර තිබේ. ප්‍රදීප් ජයවර්ධන මන්ත්‍රීවරයාගේ කමිසය පුරා එල්ල කළ මිරිස්කුඩු හා බිත්තර වැදී තිබුණු අතර ඔහු එම කමිසය පිටින්ම ගොස් කුරුඳුවත්ත පොලිසියටද පැමිණිලි කිරීමෙන් පසුව අදාළ මන්ත්‍රීවරයා සහ මන්ත්‍රීවරිය කුරුඳුවත්ත පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 7 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇත.

 

 

Comments