අපේ එන්නත්කරණයට ලෝකෙන්ම 5 වැනි තැන | සිළුමිණ

අපේ එන්නත්කරණයට ලෝකෙන්ම 5 වැනි තැන

කොළඹ විහාරමහා දේවි උද්‍යානයේ පවත්වාගෙන යන කෝවිඩ් එන්නත්කරණ වැඩසටහන පිළිබඳව නිරීක්ෂණය කිරීමට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා එම ස්ථානයට පැමිණි අවස්ථාව. යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීහු ද මෙම අවස්ථාවට එක්වූහ.

මීට මාස පහකට පෙර එක් දිනකදී අපේ රටින් වාර්තා වූ කොරෝනා රෝගීන් ගණන 5500 ක් දක්වා ඉහළ මට්ටමක තිබිණි. නමුත් දැන් අපේ රටින් වාර්තා වෙන්නේ කොරෝනා රෝගීන් 900 - 975 අතර ගණනකි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගැයීමට ලක්වූ අපේ එන්නත්කරණ වැඩසටහන නිසා පසුගිය වසර ඇතුළත ලොව එන්නත්කරණය වඩාත් සාර්ථක වූ රටවල් පහ අතරට ද ශ්‍රී ලංකාව එක්වී තිබේ. 2021 ජූලි මස ලොව එන්නත්කරණය අතින් අපට ප්‍රථම ස්ථානය ද හිමි විය. 

කෝවිඩ් පිළිබඳ වසංගත රෝග විද්‍යා අංශයේ සංඛ්‍යා ලේඛන අනුව 2021 අගෝස්තු අවසන් සතියේ හා සැප්තැම්බර් මුල් සතියේ දවසකට මෙරටදී හඳුනාගත් සාමාන්‍ය රෝගීන් සංඛ්‍යාව 5500 - 6000 අතර විය. සමහර දිනවල ඒ ගණන 9000 ද ඉක්ම විය.

නමුත් අපේ රටේ එන්නත්කරණයේ සාර්ථක බව නිසා ම අද වනවිට දිනකට වාර්තා වන්නේ කෝවිඩ් රෝගීන් 850 - 900 ක් පමණි.

2021 අගෝස්තු අවසන් සතියේ මෙරටින් වාර්තාවූ කෝවිඩ් මරණ සංඛ්‍යාවේ සාමාන්‍ය අගය 15 - 20 අතර විය. නමුත් දැන් වාර්තා වන්නේ දිනකට මරණ 10 - 15 ක් පමණි.

මේ සියලු ජයග්‍රහණවලට ප්‍රධාන බලපෑම ලැබුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ගේ උපදෙස් පරිදි යුද හමුදාව සෞඛ්‍ය අමාත්‍යාංශය ක්‍රියාවට නැංවූ අපේ මේ එන්නත්කරණ සුවිශේෂී ක්‍රියාදාමය බව රටේ ජනතාව අමතක නොකළ යුතු ය.

අපේ රටේ කෝවිඩ් - 19 සඳහා දෙවැනි එන්නත විදීම බහුලව ආරම්භ කෙරුණේ 2021 ජූලි, අගෝස්තු මාසවල ය. තුන් වැනි බූස්ටර් එන්නත විදීම ආරම්භ වූයේ ඔක්තෝබර් මාසයේදී ය. ඒ නිසා ම 2021 සැප්තැම්බර් මුල දිනකට 5500 - 6000 ලෙස හමුවූ කෝවිඩ් රෝගීන් ගණන 2021 නොවැම්බර් 9 වනවිට දිනකට 588 විය. 2021 සැප්තැම්බර් මුල කෝවිඩ් නිසා පුද්ගලයන් 210 ක් පමණ මිය ගියහ. දැන් මිය යන්නේ 15 - 20 අතර ගණනකිි. 

අපේ රටේ කෝවිඩ් එන්නත්කරණ වැඩපිළිවෙළ 2021 ආරම්භ වූයේ ප්‍රධාන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය හා යුද හමුදාවේ මෙහෙයවීමෙනි. හිටපු සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි, වත්මන් සෞඛ්‍ය ඇමැති ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල, සෞඛ්‍ය රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන යන මැති ඇමැතිවරුන්ට ද යුද හමුදාවේ හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීහු ද මෙම වැඩපිළිවෙළට ඉහළම දායකත්වයක් දැක්වූහ.

අපේ රටේ ජනතාවට ජනවාරි 23 වැනි දින වනවිට ලබාදී ඇති එන්නත් මාත්‍රා ගණන මිලියන 35.4 කි. අපේ රටේ දැනට ගෙනැවිත් ඇති එන්නත් මාත්‍රා ගණන මිලියන 51 කි. එම ප්‍රමාණය අපේ රටේ සියලු ජනතාවට එන්නත් මාත්‍රා තුනම ලබාදීමට ප්‍රමාණවත් බව සෞඛ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල පවසයි. කෙසේ වුවත් තුන් වැනි බූස්ටර් මාත්‍රාව එන්නත් කර ගැනීමේ අඩුවක් ඇති බව අලුත් සමීක්ෂණවලින් පෙනී යයි. දැනට බූස්ටර් එන්නත ලබාගෙන ඇත්තේ මුළු ජනගහනයෙන් 23% ක් පමණි. එමෙන් ම අවුරුදු 12 ට වැඩි ජනතාවගෙන් බූස්ටර් එන්නත ලබාගෙන ඇති ප්‍රතිශතය 36% කි. වර්තමානයේ යළිත් කෝවිඩ් රෝගය විවිධ ප්‍ර භේද ඔස්සේ හිස ඔසවන මේ වකවානුවේ හැකි ඉක්මනින් මිත්‍යා මතවලට නොරැවටී බූස්ටර් එන්නත් ලබාගත යුතු බව සෞඛ්‍ය විශේෂඥයෝ පෙන්වා දෙති.

රජය ගත් අලුත්ම තීරණය අනුව පූර්ණ කෝවිඩ් එන්නත්කරණය සඳහා මාත්‍රා තුනම ලබාගත යුතු බවත් එන්නත්කරණය පිළිබඳ සහතික ලබාදීමේදී මාත්‍රා තුනම ලබා සිටීම අවශ්‍ය වන බවත් සෞඛ්‍ය ඇමැති ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල පවසයි. ඒ අනුව මේ වනවිට එන්නත් දෙකක් ලබාගෙන සිටින පිරිස් පූර්ණ එන්නත්කරණය සඳහා බූස්ටර් එන්නත ද නොවරදවා ලබාගත යුතු බව ද ඇමැතිවරයා අවධාරණය කරයි. මෙරට මුලින්ම එන්නත්කරණ වැඩපිළිවෙළ ආරම්භ කළේ 2021 ජනවාරි 29 වැනිදා අයි.ඩී.එච්. රෝහලේදී ය. 2022 ජනවාරි 29 වැනි දිනට අපේ සාර්ථක එන්නත්කරණ වැඩසටහනට වසරක් පිරෙන බවත් එයට සමගාමීව දිවයිනේ සියලු රෝහල්, ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයන්හිදී විශේෂ ආගමික හා සාමාජික වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක වන බවත් සෞඛ්‍ය ඇමැතිවරයා පවසයි. මේ යටතේ විශේෂයෙන් ජනවාරි 29, 30, 31 දිනවල ඉහත ස්ථානවලදී බූස්ටර් එන්නත්කරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ. එමඟින් දිවයින පුරා ජනගහනයෙන් සෑම ඉලක්කගත පිරිසකටම එන්නත් තුනම ලබාදීමට රටපුරා රෝහල් හා සෞඛ්‍ය මධ්‍යස්ථාන 1500 ක් එම දිනවල සූදානමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. විශේෂයෙන් මෙම වර්ෂ පූර්ණ වැඩසටහනට සමගාමීව මෙම ස්ථානයන්හි ආගමික කටයුතු මෙන් ම බූස්ටර් එන්නත් ලබාදීමේ වැඩපිළිවෙළ වඩාත් ප්‍රවර්ධනය කිරීමට සියලු කටයුතු සංවිධානය කර ඇත.

මෙහි ප්‍රධාන වැඩසටහන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂයන්ගේ ප්‍රධානත්වයෙන් 29 වැනිදා පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්වේ. ඊට සමගාමීව රටපුරා ඉහත සෞඛ්‍ය මධ්‍යස්ථාන හා රෝහල්වල මෙම වැඩසටහන ක්‍රියාත්මක වෙයි.

පොදු ස්ථාන කරා ඇතුළුවීමේදී එන්නත්කරණ කාඩ්පත අනිවාර්ය කිරීමට අදාළ ගැසට් පත්‍රය සකස් කරමින් පවතින බවත් එම එන්නත්කරණ කාඩ්පත අනිවාර්ය කිරීම ඉතා ඉක්මනින් ක්‍රියාවට නංවන බවත් ඇමතිවරයා පවසයි.

“මේ සඳහා වන නීතිමය අධ්‍යයන කටයුතුත් දැන් නිමවෙලා තිබෙන්නේ. ඊට අදාළ කේත අංකය හා යෙදුම් සැකසීම දැන් ඩිජිටල් තාක්ෂණික අමාත්‍යාංශයෙන් ක්‍රියාත්මක කෙරෙනවා. එය අවසන් වූ වහාම එන්නත්කරණ කාඩ්පත පොදු ස්ථානවලට ඇතුළුවිමේදී අනිවාර්ය කරනවා. මෙහිදී මාත්‍රා තුනම ගත් අයට පමණක් එම ස්ථානවලට ඇතුළුවීමට අවස්ථාව ලැබෙන බවත් ඇමැතිවරයා අවධාරණය කරයි.

වසරක් තුළ එන්නත්කරණය වඩාම සාර්ථකවූ ලොව පළමු රටවල් පහ අතරට පැමිණ ඇතැයි ද පවසන සෞඛ්‍ය ඇමැතිවරයා දැන් වයස අවුරුදු 15 - 19 අතර දරුවන්ට දෙවැනි එන්නත ලබාදීමේ වැඩපිළිවෙළ ද ක්‍රියාවට නංවා ඇතැයි පවසයි. අපේ එන්නත්කරණ වැඩසටහන් පිළිබඳව ආරම්භයේ සිට පෙරමුණ ගෙන කටයුතු කරන ඖෂධ නියාමනය හා ඖෂධ සැපයීම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ද පවසන්නේ විවිධ කටකතාවලට හා මිත්‍යා මතවලට නොරැවී නොමිලේ ලබාදෙන බූස්ටර් එන්නත ලබාගෙන ජීවිත සුරැකීමට කටයුතු කිරීම කාලීන අවශ්‍යතාවක් බවයි.

මෙරටට ගෙන්වා ඇති බූස්ටර් එන්නත් ජූලි මාසය වනවිට කල් ඉකුත්වීමට ඉඩ ඇති බවත් දැනට යළි කෝවිඩ් 19 වයිරසය රටපුරා දරුණු ලෙස පැතිර යන නිසාත් බූස්ටර් එන්නත හැකි ඉක්මනින් ලබාගන්නා ලෙස රාජ්‍ය ඇමැතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටී. දැනට ෆයිසර් එන්නත ඇතුළු එන්නත් මාත්‍රා ලක්ෂ 15 ක් ජනතාවට ලබාදීමට සූදානම්ව ශීතාගාරවල ගබඩා කර තිබේ.

මේ වනවිට රජයේ රෝහල්වල දැන් දැඩි සත්කාර ඒකකවල 81% පිරී ඇති බවත් එලෙස ආසාදිතව සිටින රෝගීන් බොහොමයක් බූස්ටර් එන්නත ලබා නොගත් අය බවත් මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

“බූස්ටර් එන්නත නිසා ලොකු ශාරීරික ආබාධ ඇතිවන්නේ නැහැ. සමහරු බොරු බියක් පෙන්වා අපේ එන්නත්කරණ වැඩපිළිවෙළට බාධා එල්ලකර රටේ යළිත් රෝගය ව්‍යාප්ත කරන්න හදනවා“ යැයි ඇමැතිවරයා කීය.

2021 ජනවාරි මස ආරම්භ වූ අපේ එන්නත්කරණය 2021 ජූලි මස වනවිට ඉහළම මට්ටමේ පැවතිණි. ලොව පුරා එන්නත්කරණ තොරතුරු යාවත්කාලීන කරන OUR WORLD IN DATA නම් වූ වෙබ් අඩවිය දත්ත වාර්තා අනුව 2021 ජූනි 17 වැනිදා වනවිට ශ්‍රී ලංකාව එන්නත්කරණ වේගය අතින් ලොව පළමු ස්ථානය ගෙන තිබිණි. මෙයට තවත් ඇගැයීමක් කරමින් මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය පැවසූයේ අපේ රටේ එන්නත්කරණ වැඩසටහන ලොව පළමු තැනට පත්ව ඇති බවයි.

වසංගත රෝග විද්‍යා අංශයේ අලුත්ම තොරතුරු අනුව පසුගිය ජනවාරි 26 වනවිට අපේ රටේ සිටින එක් කෝවිඩ් එන්නතක් හෝ ලබාගත් පිරිස මුළු ජනගහනයෙන් 75.3 කි. එමෙන් ම අපේ රටේ සිටින එන්නත් දෙකක් ලබාගත් පිරිස මුළු ජනගහනයෙන් 63.4 කි. තුන්වැනි එන්නත හෙවත් බූස්ටර් එන්නත ලබාගත් පිරිස 22.7 ක් වේ. දැනට බූස්ටර් එන්නත මිලියන 5 කට අධික ජනතාවකට ලබාදී ඇත. 

අපිට වඩා දියුණු ආර්ථිකයක් ඇති ඉන්දියාවේ සහ ඉදුනීසියාවේ කෝවිඩ් - 19 එන්නත් කරණය පවතින්නේ අපට වඩා පහළ මට්ටමක ය.

2022 ජනවාරි 23 වනවිට ඉන්දියාවේ එක් එන්නතක් ලබාගත් පිරිස මුළු ජනගහනයෙන් 67.3% ක් පමණි. එමෙන් ම ඉන්දියාවේ එන්නත් 2 ක් ලබාගත් ප්‍රමාණය මුළු ජනගහනයෙන් 49.4% කි. 2022 ජනවාරි 24 වනවිට ඉන්දියාවේ බූස්ටර් එන්නත ලබාදී ඇත්තේ මුළු ජනගහණයෙන් 0.6% කට පමණි.

2022 ජනවාරි 23 වනවිට ඉන්දුනීසියාවේ එක් එන්නතක් ගත්ත පිරිස 66.2% ක් පමණි. එන්නත් 2 ක් ගත් පිරිස 44.3% කි. එහි තවමත් බූස්ටර් එන්නතක් ලබාදීම ආරම්භ කර නොමැත. මේ දත්ත අනුව අපට පැහැදිලිව පැවැසිය හැක්කේ පසුගිය වසර තුළ අපේ එන්නත්කරණය ලොව දියුණු රටවල් ද පරදවා ඉතා ඉහළ මට්ටමක තිබෙන බවයි. පසුගිය බදාදා වනවිට ශ්‍රී ලංකාව තුළ කෝවිඩ් මර්දනය උදෙසා එන්නත් මාත්‍රා මිලියන 36 කට ආසන්න ගණනක් එන්නත් කර ඇත.

අපේ රටේ දැනට කෝවිඩ් එන්නත් ලබාදෙන්නේ වයස අවුරුදු 12 ට වැඩි අයට පමණි. ඒ අනුව 2022 ජනවාරි 25 වනවිට මෙරට වයස අවුරුදු 12 ට වැඩි ජනගහනයෙන් පුද්ගලයන් 93% කට එක් කෝවිඩ් එන්නතක් හෝ ලබාදී ඇත. එමෙන් ම වයස අවුරුදු 12 ට වැඩි පුද්ගලයන් 79% කට කෝවිඩ් දෙවැනි එන්නත ද ලබාදී තිබේ. බූස්ටර් එන්නත ලබාදී ඇති අපේ රටේ වයස 12 වැඩි අයගේ ප්‍රතිශතය 36% ක් බව ජනාධිපති කාර්යාලයේ සංඛ්‍යාලේඛන පෙන්නුම් කරයි. මෙරට කෝවිඩ් එන්නත්කරණය ජනවාරි 25 වනවිට ඉහළ තත්ත්වයක පැවැති දිස්ත්‍රික්ක ලෙස මාතලේ හා නුවරඑළිය හඳුන්වා දිය හැකි ය. එහි වයස 12 ට වැඩි ජනතාවගෙන් 100% මුල්ම එන්නත ලබාගෙන ඇත. ඊට අමතරව හම්බන්තොට, කුරුණෑගල, මහනුවර, මොනරාගල යන දිස්ත්‍රික්කවල ද ප්‍රථම එන්නත ලබාදීම 99.7% - 92% අතර ඉහළ මට්ටමක පවතී. මාත්‍රා දෙකක් විදගෙන ඇති වයස අවුරුදු 12 ට වැඩි වැඩිම පිරිසක් සිටින්නේ මාතලේ (91%) කුරුණෑගල (89%) හම්බන්තොට (89%) යන දිස්ත්‍රික්කවල ය. මෙරට ප්‍රථම එන්නත්කරණය අඩුම මට්ටමක ඇත්තේ කිලිනොච්චි (70.4%) හා කොළඹ (70.9%) යන දිස්ත්‍රික්කවල ය.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ කෝවිඩ් 19 ප්‍රධාන සම්බන්ධීකාරක වෛද්‍ය තාක්ෂණික සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි පවසන්නේ බූස්ටර් එන්නත නොගත් පුද්ගලයන්ට විරුද්ධව නෛතික ක්‍රියාමාර්ග ගන්නා බවයි. වත්මන් තත්ත්වය අනුව නිදන්ගත රෝග ඇති පුද්ගලයන් හා අවුරුදු 60 ට වැඩි අය බොරු ප්‍රචාරවලට නොරැවටී හැකි ඉක්මනින් ‘බූස්ටර්‘ එන්නත ලබාගන්නේ නම් කිසි ගැටලුවක් ඇති නොවන බවත් වෛද්‍යවරයා පවසයි.

එන්නත්කරණ වැඩසටහනේ ඉහත ජයග්‍රහණ ලබාගැනීමට ප්‍රධාන හේතුව වූයේ ඒ වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා පෞද්ගලිකවම ඇප කැපවී කටයුතු කිරීම නිසයි. විශේෂයෙන් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග හා යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා යන අය ද මේ කාර්යයට ජනපතිට පූර්ණ සහාය දැක්වූ හ. ඊට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ආරක්ෂක අංශවල ඉහළ නිලධාරීහු ද මෙම එන්නත්කරණ වැඩසටහනට දැක්වූ සහාය අගය කළ යුතු ය.

 

Comments