නාල­න්දයේ පිපුණු මල් කැකුළු | Page 2 | සිළුමිණ

නාල­න්දයේ පිපුණු මල් කැකුළු

නාල­න්ද විදු­හ­ල්පති තිලක් වත්තු­හේවා සමඟ සම්මාන දිනූ සිසුන් වන රන්ධීර්, සුසල් හා සිළුන
නාල­න්ද විදු­හ­ල්පති තිලක් වත්තු­හේවා සමඟ සම්මාන දිනූ සිසුන් වන රන්ධීර්, සුසල් හා සිළුන

 

කොවිඩ් ජන ජිවිතයේ බොහෝ දේ අහිමි කළේය. කාලය රන් හා සමාන වුවද, කොවිඩ් ව්‍යසනයෙන් අගනා කාලය වියැකි ගියේ යළි නොඑන්නමය. බොහෝ දෙනා කාලය නිරපරාදේ ගෙවෙන විට සියල්ල කාලයට ඉඩ දී බලා සිටියේ කොවිඩ් හමුවේ කිසිවක් කර කියා ගත නොහැකිවය.

 

පාසල් පමණක් නොව පාසල් අධ්‍යාපන කටයුතු ඔන්ලයින් තාක්ෂණය හරහා රැක ගන්නට වෙහෙසක් ගත්තද, ගෙවුණු කාලයේ අතපසු වූ අධ්‍යාපනයේ විවිධ කඩඉම් පෙර සේ යළි පණ ගැන්වීමට බොහෝ දෙනෙකුට නොහැකි විය. වසරක් පාසා විවිධ ජයග්‍රහණයන් අත් කරදුන් පාසල් දරුවන්ගේ තරග ඉසව් කොවිඩ් නිසාවෙන් වසර ගණනක් ආ පස්සට ගියේය. පාසල් පරිසර තාවකාලික විරාමයක් ගත්තේ කිසිදු සංවර්ධන කටයුත්තකට ඉඩ නොතබමිණි. ලංකාවේ 10,175 ක් පමණ වන පාසල්වල තත්ත්වය පසුගිය කාලයේ නිහඬව ගෙවුණද, ඊට වෙනස් ගමනක් යමින්, ගෙවුණු කාලයේ කොවිඩ් සමඟ කරට කර සටනක යෙදුණු පාසල්ද නැත්තා නොවේ.

කොළඹ නාලන්දා විදුහලෙන් ඇසෙන්නේ එවන් කතාවකි. කොවිඩ් වසංගතය හේතුවෙන් වැසුණු පාසල් සියල්ල සිසු දරුවන්ට යළි විවර වූයේ පසුගියදාය. එතෙක් දරුවෝ පාසල කරා පියමැන්නේ කොටස් වශයෙනි. සියලු බාධා මධ්‍යයේ නව වසරේ සිය නාලන්දා දරුවන්ගේ ගමනාරම්භය නව ආකාරයෙන් සනිටුහන් කරන්නට කොළඹ නාලන්දා විදුහලේ වත්මන් විදුහල්පති තිලක් වත්තුහේවා කටයුතු කළේ දෙමවුපියන්, ආදි සිසුන්, ගුරුවරුන් හවුල් කර ගනිමිනි. නව පාසල් ගමනේ ආරම්භය සනිටුහන් කරන්නට වෙනදා නොතිබි ක්‍රියාකාරකම් නව ආකාරයකින් අත් විඳින්නට සැලැස්වූයේ නැවුම් පාසල් ගමනක අත්දැකිම් දරුවන්ගේ සිත් සතන්වලට එක් කිරීමෙනි. එසේම සෑම වසරකම ජයග්‍රහණ පෙන්වූ නාලන්දියන් කොවිඩ් හමුවේද පාසලට ජයග්‍රහණ අත් කර දෙන්නට හැකිවීම මේ ගමනේ තවත් සුවිශේෂි සිදුවීමකි.

අධ්‍යාපන කටයුතුවලින් පමණක් නොව විෂය සමගාමි බාහිර කටයුතුවලින්ද පොහොසත් වූ නාලන්දීය දරුවෝ පසුගිය වසරේ අපූරු හැකියාවන් කිහිපයක් පෙන්නුම් කළේ ජාතික තරග තලයේදී පාසල් මාතාවට කීර්තියක් අත්කර දෙමිණි. කොළඹ නාලන්දා විදුහලේ දෙවැනි වසරේ ඉගෙනුම් ලබන සිළුන සස්මාල්, 10 වසර ඉගෙනුම් ලබන සුසල් තෙව්ජාන් ද සිල්වා හා රන්ධීර් සේනාරත්න යන සිසුන් තිදෙනා පසුගිය වසරේ කොවිඩ් වසංගතයට අභියෝගයක් කළේ වසංගත අවධියක වුවද සිය ක්‍රීඩා හැකියාවෙන් ඔප් නංවමින් ජාතික තලයේ ජයග්‍රහණ රැසක් පාසලට අත් කර දීමෙනි. පාසලට සම්පතක් බදු මේ දරුවෝ කොවිඩ් අභියෝග මධ්‍යයේ වුවද අසීරුතා රැසක් මැද පුහුණු වීම් කරමින් සිය තරග ඉසවු ජය ගත් හැටි ඔවුහු පවසන්නේ මේ ආකාරයෙනි.

කුඩා අවධියේ පටන් ශූරතා ගොන්නකට හිමිකම් කියූ මේ පුංචි හපනා 2 වැනි වසරේ සිළුන සස්මාල්ය. ජාතික රෝද සපත්තු සංගමය මඟින් මෙහෙයවන ජාතික රෝද සපත්තු 2021 තරගවලියේදි 8 න් පහළ තරග අංශයේ ජාතික ශූරතාවට හිමිකම් ලද්දේය. එසේම ස්කූටි අංශයෙන් ජයග්‍රහණ හිමිකර ගත් මේ දරුවා ජපානයේ කනගාවා හි පවත්වන චිත්‍ර තරගයෙන් හා ඉන්දියාවේ සංකර් හි පවත්වන චිත්‍ර තරගයෙන්ද ඉහළ ජයග්‍රහණ රැසක් වාර්තා කළේය.

“කුඩා කාලයේ සිටම හැකියාවන් දරුවගේ ඇඟ තුළම තිබුණා. අපි එය තේරුම් ගෙන දරුවව ඉදිරියට යැව්වා. මේ ක්‍රිඩාව ලංකාවට ආගන්තුකයි. අවශ්‍ය උපකරණ පවා ලංකාවේ මිලදි ගැනීමට නැහැ. ඒ නිසා බොහෝ දුෂ්කරතා පවතිනවා, මේ අංශයෙන් දරුවාව ඉදිරියට යැවීමට. පසුගිය කොවිඩ් කාලයේ වසර දෙකක්ම දරුවට පුහුණුවිම් කරන්න හැකිවුණේ නැහැ. ඒ කාලයේ නිවෙස් අසල පාළු පාරවල ගිහින් තමයි දරුවා මේ පුහුණුවීම් කළේ. “ ඒ සිළුන ගේ පියා හා මව වන සුනෙත් සුරංග හා කුමුදුණි මනෝෂාය.

කොව්ඩ් නිසා ආරක්ෂාවට පළමු තැන දිය යුතු වුවත් සුසල් තෙව්ජාන් ද සිල්වා මුල් තැන දුන්නේ සිය චෙස් හැකියාවන්ටය. ඒ අනුව ඔහු විසින් 2021 වසරේ චෙස් ජාතික ශූරතාවට හිමිකම් ලද්දේය. “ පුතා අවුරුදු 6 සිටයි චෙස් ක්‍රීඩාවට යොමු වුණේ. 3 වසරෙදි තමයි යෞවන චෙස් ක්‍රිඩා උළෙලට සහභාගි වුණේ. 2014 පුතා යෞවන චෙස් සංවිධානයේ චෙස් ශූරතාව දිනා ගත්තා. 2014 දකුණු අප්‍රිකාවේ, තායිලන්තයේ, රුමේනියාවේ මෙන්ම සිංගප්පූරුවේ ලෝක හා ආසියානු පාසල් චෙස් තරගාවලිවලට සහභාගි වී පළමු දස දෙනා අතරට පත්වුණා. එත් කොවිඩ් වසංගත කාලයේ පුතාට චෙස් පුහුණුවීම් කරන්න ලැබුණේ ඔන්ලයින් හරහා. ඒ විදියට ඉගෙන ගන්න අමාරු වුණත් එයා අපහසුවෙන් පුහුණුවීම් කරමින් තමයි, 2021 ජාතික ශූරතාවලිය දිනා ගත්තේ. ඒ අතර කොවිඩ් කාලයේදිම පුතා ලංකාවේ ජාතික චෙස් කණ්ඩායටම ළාබාලතම ක්‍රිඩකයා වශයෙන් තේරුණා....“ ඒ සුසල්ගේ මව, පියා වන සුරංගි කරුණාරත්න හා චානකද සිල්වාය.

කොවිඩ් අභියෝගයට අභියෝගයක් කළ නාලන්දයේ අනික් පුතණුවන් වන්නේ රන්ධීර සේනාරත්නය. ඒ 2021 වසරේ දුනු විදීමේ කනිෂ්ඨ ජාතික ශූරතාවය හිමි කර ගනිමිනි.

“පුතා දුනු විදීමේ ක්‍රිඩාව ආරම්භ කළේ 4 වසරින්. 2016 හා 2020 වසරේදි පුතා ජාතික ජයග්‍රහණ දෙකක් වාර්තා කළා. ඒ 10 න් හා 14 පහළ ශූරතාවලිය. තවමත් කිසි කෙනෙක් ඒ වාර්තා බිඳ නැහැ. එ් වගේම ඇමරිකා එක්සත් ජනපදයේ, බ්‍රිතාන්‍යයේ හා තායිලන්තයේ පැවැති දුනු විදීමේ තරගවලින් රන්, රිදි හා ලෝකඩ සම්මාන ලබා ගත්තා. පසුගිය කොවිඩ් කාලයේ පුතාගේ දුනු විදිමේ හැකියාවන් වැඩි දියුණු කර ගන්න අවස්ථාවක් තිබුණේ නැහැ. නිවසේ කොන්ක්‍රීටි වහලය උඩ සිට තමයි පුහුණුවිම් සිදු කළේ. පිට්ටනියකට ගොස් පුහුණුවිම් කරන්න ලැබුණේ නැහැ. මේ නිසා දරුවගේ විශාල පසුබැමක් ඇතිවුණා. ගෙරද කෙටි දුර පුහුණුවිම් කරලා තමයි, මේ විදියට ජයග්‍රහණ අත්කර ගත්තේ...“ ඒ රන්ධීර් පුතුගේ මව හා පියා වන සුජානි සේනාරත්න හා රොෂාන් සේනාරත්නය.

අධ්‍යාපන කටයුතු වලට සේම විෂය බාහිර කටයුතුවලට දරුවන් දිරි ගන්නවන නාලන්දීය විදු පියසද අද ආඩම්බරයෙන් පසුවන්නේ කොවිඩ් සමයේ වුවද සිය දරුවන් හැකියාවෙන් ජාතික තලය ජය ගත් නිසාවෙනි.

“ කොවිඩ් රැල්ල නිසා පාසල් විටින් විට පැවැතීම නිසා පාසල් අධ්‍යාපන කටයුතු සේම අත්‍යාවශ්‍ය විෂය සමගාමි කොටසක් වූ ක්‍රිඩා ආදිය සියල්ල නැවැතුණා. කොවිඩ් සෞඛ්‍ය නිර්දේශවලට අනුව බොහෝ ක්‍රිඩා ඉසවු කිරීමට නොහැකි වුණා. බොහෝ දරුවෝ නිවසටම කොටු වුණා. දරුවන්ට තිබුණේ ඔන්ලයින් ඉගෙනීම් කටයුතු පමණයි. ඒ සියල්ල මැද වුවත් නාලන්දාවේ දරුවෝ තමන්ගේ ජයග්‍රහණ පසුපස හඹා යාම නතර කළේ නැහැ. මේ දරුවෝ නිවසටම කොටු වුවත්, දුෂ්කරතා රැසක් මැද ඔන්ලයින් හරහා හෝ වෙනත් පුහුණුවීම් හරහා මේ ක්‍රිඩාවන් පුහුණු වුණා. ක්‍රිඩා භාර ආචාර්යවරු, දෙමවුපියන් මෙන්ම මේ දරුවන්ගේ පුහුණුකරුවන් ඒ සඳහා විශාල වෙසෙහක් ගත්තා සේම ආරක්ෂාව පිළිබඳ අවදානම අතේ තියාගෙනයි, ඔවුන් මේ ජයග්‍රහණ වාර්තා කළේ. සෞඛ්‍යාරක්ෂිතව ක්‍රීඩා කරමින් මේ දරුවෝ පාසලට ගෞරවයක් ගෙන දුන්නා සේම අනිකුත් දරුවන්ටත් එය ආදර්ශයක් වුණා ....“ ඒ නාලන්දා විදුහලේ විදුහල්පති තිලක් වත්තුහේවාය.

පාසල් සියල්ල ආරම්භ වන විට නාලන්දාවට නවීන ආකාරයේ පුස්තකාල හිමිවිය. ඒ බිඳ වැටුණු දරුවන්ගේ මනස ශක්තිමත් කරන්නට නවීන තාක්ෂණයෙන් යුතු අගනා පුස්තකාල දෙකක්ය. විදුහල්පතිතුමාගේ උපදෙසින් එහි මුල් පියවර වශයෙන් ලීමා ක්‍රියේෂන් ආයතනය විසින් ජ්‍යෙෂ්ඨ අංශයේ පුස්තකාලය නවීකරණය විය. පසුගියදා නවීන තාක්ෂණික අංගයන්ට අනුව කනිෂ්ඨ අංශ පුස්තාකලය අලුත් වැඩියා වූයේ රුපියල් මිලියන 4.2 ක වියදමිනි. ඒ දෙමවුපිය දායකත්වයෙනි.

“පාසල් පුස්තකාල තුනම දරුවන්ට කියවීමට යෝග්‍ය පරිදි සැකසීමට අපිට අවශ්‍ය වුණා. ඒ සියල්ල කොවිඩ් අභියෝග මධ්‍යයේ වුවද ඉදිකර අවසන් කරන්නට අපිට හැකිවුණා. ඉදිරියේදි මේවා ඩිජිටල් පුස්තකාල මට්ටමට පත් කරනවා. නවීන තාක්ෂණයත් සමඟ මුසු වෙමින් දරුවන්ට ඉදිරියට යන්න අවස්ථාව ඒ හරහා නාලන්දයේ දරුවන්ට ලබා දීමට සුදානම්. ......“ ඒ නාලන්දා විදුහල්පති තිලක් වත්තුහේවාය.

සේයාරූ - දුෂ්මන්ත මායාදුන්න

Comments