
මගේ අහිංසක දරුවට වුණ දේ තවත් කිසිම දරුවකුට සිදුවෙන්න දෙන්න එපා.නිරපරාදේ මැරුණ මගේ දරුවට සාධාරණය ඉටු කරලා දෙන්න. මගේ දරුවට මෙවැනි සහගහන අපරාධයක් කළ අයට උපරීම දඬුවම් දුන්නොත් ආයෙත් කවදාවත් කිසිම කෙනෙක් මේ වගේ වැරැදි කරන එකක් නෑ..."
ඒ ඉෂාලිනිගේ මව රාජමානික්කම් රංජනි නඟන අඳෝනාවයි. ඇයගේ දියණියගේ අබිරහස් මරණයට සාධාරණයක් ඉටුකරන ලෙසට ඉල්ලමින් රංජනි පසුගියදා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවටද පැමිණිල්ලක් ඉදිරිපත් කළාය. එදින රාජමානික්කම් රංජනි පැවැසුවේ,
"ඇමැතිතුමාගේ ගෙදර වැඩට කීවම අපි බය වුණේ නෑ... ඒ ගෙදර හොඳ ආරක්ෂාවක් තියෙයි කියලා හිතුවේ... ඒකයි දුවව ඒ ගෙදර වැඩට එව්වෙ... නමුත් අපි හිතපු දේ බොරු... ඇමැතිතුමාගේ ගෙදරදීම මට මගේ අහිංසකීව නැති වුණා..."
හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්ගේ කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ, නො. 410/16 දරන නිවෙස මේ දිනවල මාධ්‍යයන්හි ප්‍රධානතම දසුනකි. ධවල වර්ණයෙන් යුතු පෙනුමකින් පිටතට පෙනුණත් එම නිවෙස අභ්‍යන්තරයේ සිදුවී ඇත්තේ නම් අහස පොළොව නුහුලන අපරාධ ගොන්නකි.
එකී නිවෙසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිලිස්සි මිය ගියාද නැතිනම් පුලුස්සා මිය ගියාද යන්න තවමත් නිශ්චිත ලෙස අනාවරණය නොවන ඉෂාලිනිගේ මරණය මෙරට ඉතිහාසයට එක්වූ තවත් එක් කළු පැල්ලමක් වී අවසානය. එසේම එම නිවෙසේ සිටි මෙහෙකාර දැරියන් කිහිපදෙනෙකුටම රිෂාඩ්ගේ බිරිය ඇතුළු පිරිස දස වධ දී ඇති බව හෙළි වෙමින් පවතී.
පසුගිය ජූලි 03 වැනිදා පෙරවරු 6.45ට පමණ හිටපු අමාත්‍ය රිෂාඩ්ගේ නිවෙසේදී සිරුරෙන් සියයට 70කට වඩා පිලිස්සී කොළඹ ජාතික රෝහලේ 73 වාට්ටුවේ දින 12ක පමණ කාලයක් බරපතළ තත්ත්වයෙන් පසුවූ ඉෂාලිනි පසුගිය 15 වැනිදා උදෑසන මරණයට පත්වූවාය.
ඉෂාලිනි පිලිස්සී රෝහල්ගතව සිටියදී ඇය විසින්ම පුළුස්සා ගත් බව සඳහන් වීම නිසා පොලිස් පරීක්ෂණද මන්දගාමීව සිදුවිණි. එහෙත් ඇයගේ මරණයත් සමඟ පොලිස් විමර්ශන කණ්ඩායම් කිහිපයක් ඔස්සෙ සිදුකළ විමර්ශනවලින් දිනෙන් දින අනාවරණය වන කරුණු මෙන්ම නිරන්තරවම මාධ්‍යය ඒ ගැන සෝදිසියෙන් සිටීම නිසා ඉෂාලිනිගේ මරණය මේ වන විට රටෙහිම ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකොට අවසානය. වතුකරයේ බොහෝ ස්ථානවල ඇගේ මරණයට සාධාරණය ඉටුකරමින් වැරැදිකරුවන්ට උපරීම දඬුවම් පමුණුවන ලෙසට සිදුවන උද්ඝෝෂණවලද දින දින ඉහළ යාමක් පෙන්නුම් කෙරිණි.
![]() |
රිෂාඩ් බදුර්දීන්ගේ කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ, නො. 410/16 දරන නිවෙස |
දැරිය පිලිස්සුණු දින සිට බොරැල්ල පොලිසිය විමර්ශන සිදුකළත් ඇගේ මරණයත් සමඟ විමර්ශන කණ්ඩායම් කිහිපයක් එක්කිරීමට ප්‍රදේශය බාර උසස් පොලිස් නිලධාරීහු කටයුතු කළහ. එලෙස පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන සිදුකරමින් සිටියදී දැරියගේ මරණය පිළිබඳව සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වූයේ ඇයව දීර්ඝ කාලයක සිටම ලිංගිකව අපයෝජනයට ලක්ව සිටි බවයි.
ඒ අනුව ඇයව ලිංගිකව අපයෝජනයට ලක්කළ පිරිස් පිළිබඳවද පුළුල්ව විමර්ශන ආරම්භ කෙරිණි. එලෙස ඉෂාලිනිගේ අබිරහස් මරණය පිළිබඳ විමර්ශන සිදුවෙද්දි රිෂාඩ්ගේ බිරිය ඇතුළු පාර්ශ්වයන් රැසකගෙන්ම අවස්ථා කීපයකදීම විමර්ශන කණ්ඩායම් ප්‍රකාශ සටහන් කරගැනීම්ද සිදු විණි. එම ප්‍රකාශ සටහන් කරගත් පිරිස අතර රිෂාඩ්ගේ බිරිය කිදර් මොහොමඩ් ෂියාබ්දින් අයිසා, ඇයගේ පියා ඉබ්‍රාහිම් සායිබු කිදර් මොහොමඩ් ෂියාබ්දීන් සහ අයිසාගේ මව මෙන්ම නිවෙසේ මෙහෙකාර සේවයේ යෙදි සිටි 19 හැවිරිදි තරුණයෙක් ඇතුළු කිහිප දෙනෙක්ම වූහ.
එම ප්‍රකාශවලදී අයිසාගේ පියා මොහොමඩ් ෂියාබ්දින් සඳහන් කර තිබුණේ එදින පාන්දර කෑගසන ශබ්දයක් ඇසි නිවෙසේ දොර විවරකර බලද්දී නිවෙසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි දැරිය සිරුරට ගිනි තබාගෙන කෑගසමින් තමා ඉදිරියට පැමිණෙන ආකාරය දුටු බවයි. අනතුරුව ඇගේ සිරුරට ඇඳ ඇතිරිල්ලක් දමා අසල වූ ජල පොකුණකට බස්වා තැබු බවත් පසුව 1990 සුවසැරිය ගිලන් රථ සේවාවට කතාකොට ඇය කොළඹ ජාතික රෝහලට යැවීමට කටයුතු කළ බවයි.
කෙසේ හෝ මෙකී පුද්ගලයන් සුඛෝපභෝගී මෝටර් රථ කිහිපයක්ද ඒවායේ සේවයෙහි නිරත රියැදුරන්ද සිටියදී මුළු සිරුරටම පාහේ පිලිස්සි සිටි දැරිය නිවෙසේ සිට කිලෝමීටරයක් පමණ දුරින් පිහිටි ජාතික රෝහලට යවා තිබුණේ ගිනි ගැනීමෙන් පසු පැය එකහමාරකට පමණ පසුය. එනම් එදින පෙරවරු 8.20ට පමණය. රිෂාඩ්ගේ මාමණ්ඩිය විසින් දැරිය රෝහලට ඇතුළත් කරන විටදීත් ඉතාම වංචනික ලෙස ඇයගේ නාමය ලබාදී ඇත්තෙද සිංහල නමක් ලෙස 'ඉෂිනි' ලෙසත් ඇගේ වයස 18ක් ලෙසත් සඳහන් කරමිනි.
ඒ අතරේ රිෂාඩ්ගේ බිරිය, ඉෂාලිනිගේ මවුපියන්ට දැරියගේ පිලිස්සීම පිළිබඳව පවසා තිබුණේ දැරිය නූලක් පත්තු කිරීමට ගොස් සිරුරට ගිනි ඇවිළි ඇති බවයි. ඒ අනුව දැරිය පිලිස්සුණු මොහොතේ සිටි නිවැසියන්ගේ ප්‍රකාශවලින් විවිධ පරස්පරතා මතු වන බව විමර්ශන නිලධාරින්ට මනාව වැටහිණි.
එම නිසාවෙන් පසුගිය 22 වැනිදා පස්වරුවේ බොරැල්ල පොලිසියට කැඳවූ රිෂාඩ්ගේ බිරිය 46 හැවිරිදි අයිසා සහ ඇගේ පියා 70 හැවිරිදි මොහොමඩ් ෂියාබ්දින් දෙදෙනා සමඟ දැරිය රිෂාඩ්ගේ නිවෙසට රැගෙන ආ තැරැව්කාර ඩයගම පදිංචි 64 හැවිරිදි පොන්නයියා පණ්ඩාරම් හෙවත් ශන්කර් නමැත්තාද අත්අඩංගුවට පත්වූයේ බොරැල්ල පොලිස් නිලධාරින් විසින් පැය 10කට අධිකට කාලයක් පුරා සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් පසුවයි. ඒ අනුව ඔවුන් අත්අඩංගුවට ගැනුණේ පසුගිය 23 වැනි සිකුරාදා අලුයම හතරට පමණය.
ඒ අතර විමර්ශන නිලධාරින්ට හෙළි වූයේ රිෂාඩ් අමාත්‍යවරයකුව සිටි සමයේ සිට ඔහු විසූ නිල නිවාස ඇතුළුව ඔහුගේ පවුලේ විවිධ පාර්ශ්වයන්හි නිවෙස්හි 2010 වසරේ සිට තරුණියන් 11 දෙනෙකු පමණ මෙහෙකාර සේවයේ යෙදි සිට ඇති බවයි. ඉන් එක් දැරියක කලෙකට පෙරදී බම්බලපිටියේදී දුම්රියට පැන දිවි නසාගෙන ඇති බවත් තවත් දැරියක්ද අබිරහස් ලෙස මියගොස් ඇති බවයි. එසේම ඉෂාලිනිට පෙර රිෂාඩ්ගේ නිවෙසේ සේවය කළ ඩයගම ප්‍රදේශයේම තවත් තරුණියන් දෙදෙනකුගෙන් ප්‍රකාශ ලබා ගැනීමටද විමර්ශන නිලධාරිහු සමත් වූහ.
![]() |
රිෂාඩ් බදුර්දීන්ගේ නිෙවසේ සේවයේ යෙදි සිටියදි පිළිස්සී මිය ගිය ඉෂාලිනිගේ දේහය සම්බන්ධයෙන් යළිත් පශ්චාත් මරණ පරීක්ෂණයක් (සේයාරුව හැටන් මධ්‍යම විශේෂ) |
මේ වන විට එම තරුණියන් දෙදෙනා 22 හැවිරිදි සහ 32 හැවිරිදි වියේ පසුවන්නීය. ඔවුන් දෙදෙනාගෙන් 22 හැවිරිදි තරුණිය 2015 වසරේ සිට 2019 වසර දක්වා රිෂාඩ් අමාත්‍යවරයකුව සිටියදී ඔහුගේ නිල නිවෙස වූ කොළඹ හත, මැකෙන්සි පාරේ නිවෙසේ මෙහෙකාර සේවයේ යෙදුණු බව හෙළි කළාය. එහිදී ඇය පොලිස් නිලධාරින් මවිත කරමින් ප්‍රකාශ කර සිටියේ රිෂාඩ්ගේ බිරියගේ සහෝදරයා වන මැදවච්චියේ පදිංචි 44 හැවිරිදි මොහොමඩ් ෂියාබ්දින් ඉස්මදින් නමැත්තා දෙවරක්ම ඇයව දූෂණය කළ බවයි. එම ප්‍රකාශයත් සමඟින් ඉස්මදින්ද පසුගිය 23 වැනි සිකුරාදා අලුයම මැදවච්චියේදී අත්අඩංගුවට ගැනිණි.
ඉෂාලිනි දැරිය ක්‍රෑරත්වයට පත්කිරීම, තැනැත්තන් වෙළෙඳාම වැනි වැරැදි මත එම පිරිස අත්අඩංගුවට පත්වෙද්දී ඉෂාලිනිව ලිංගික අපයෝජනයට ලක්කළ පිරිස් මෙන්ම සෙසු මෙහෙකාර දැරියන්ද සොයා පොලිස් නිලධාරීහු ඩයගම ප්‍රදේශයට ගොස් විමර්ශනද ආරම්භ කළහ.
එම විමර්ශන සඳහා ළමා හා කාන්තා හිංසන පිළිබඳ විමර්ශනවලට අතිදක්ෂ නිලධාරිනියක වන මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනී ප්‍රධාන පොලිස් පරීක්ෂිකා වරුණි බෝගහවත්ත ප්‍රමුඛ කණ්ඩායමක්ද මාතර සිට මෙකී විමර්ශනවලට කැඳවීමට පොලිස්පති චන්දන වික්‍රමරත්නගේ නියෝග මත බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් උපදෙස් ලබා දී තිබුණේය. වරුණි බෝගහවත්ත ප්‍රමුඛ කණ්ඩායමට ඉෂාලිනි කොළඹට රැගෙන ගිය තැරැව්කරුගේ පවුලේ සමාජිකයන්ගෙන් සහ රිෂාඩ්ලාගේ නිවෙස්හි මෙහෙකාර සේවයේ යෙදි සිටි කාන්තාවන් කිහිප දෙනකුගෙන්ම ප්‍රකාශ ලබා ගැනීමට හැකි වූවාය. එම තරුණියන් රිෂාඩ්ගේ නිවෙසේ සේවයේදී විඳි වධ වේදනා පිළිබඳ නිලධාරින්ට සියල්ල හෙළිකර තිබුණාය.
මේ අතර ඉෂාලිනිගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් පිරිස පසුගිය 26 වැනිදා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය වෙත ඉදිරිපත් කරමින් එතෙක් පොලිසිය සිදුකළ විමර්ශනවල ප්‍රගතිය පිළිබඳව පිටු 08කින් යුත් වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් දැරියගේ මරණය සම්බන්ධයෙන් කරුණු රැසක් අනාවරණය කළේය.
දැරිය පිලිස්සීමට ලක්වූ නිවෙසේ ගෘහමූලිකයා ලෙස හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් කටයුතු කර ඇති බවත් එම නිසා ඔහුද මෙකී නඩුකරයේ සැකකරුවකු ලෙස ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කරන බව එදින නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පැවැසීය.
එසේම දැරියගේ මරණය සියදිවි නසාගැනීමක් ද? එසේ නැත්නම් මිනීමැරීමක් ද? යන බරපතළ සැකයක් හටගෙන ඇතැයි සඳහන් කළ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා දැරිය පිලිස්සී තිබුණේ ජූලි 03 වැනිදා උදෑසන 6.45ට වුවත් ඇය රෝහල්ගත කර ඇත්තේ පෙරවරු 8.20ට පමණ බව විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයි පැවසීය.
එසේම රිෂාඩ් බදුර්දීන්ගේ නිවසේ සීසීටීවී කැමරා අටක් ක්‍රියාත්මක වුවද මෙම මරණය සිදුවූ දින පෙරවරු 6.30න් පසුව ඉන් කැමරා හයක් අක්‍රියව තිබූ බව පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙයද බරපතළ සැකයකට තුඩුදී ඇති හෙයින් ඒ පිළිබඳවද විමර්ශන සිදුකරන බව දන්වා සිටියේය.
එදින සැකකරුවන් සිවුදෙනා ලබන 9 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටද අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කළ අතර පොලිසිය සිදුකළ ඉල්ලීම අනුව භූමිදාන කළ ඉෂාලිනිගේ දේහය නැවත ගොඩගෙන ජ්‍යෙෂ්ඨ අධිකරණ වෛද්‍ය නිලධාරි මඬුල්ලක් හමුවේ නැවත පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකර අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසටද නියෝගයක් නිකුත් කළාය.
ඒ අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ නම් කිරීම මත නීතිපතිවරයාගේ නිර්දේශයෙන් දේහය ගොඩගැනීමට කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය ජින් පෙරේරාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිපුද්ගල විශේෂඥ අධිකරණ වෛද්‍ය මණ්ඩලයක් පත් කෙරිණි.
ඩයගම වත්තෙ බටහිර ප්‍රදේශයේ තුන්වැනි කොටසේ මිහිදන් කර තිබූ ඉෂාලිනිගේ දේහය නුවරඑළිය මහේස්ත්‍රාත්වරයා සහ විශේෂඥ අධිකරණ වෛද්‍ය මණ්ඩලය ඉදිරියේ පසුගිය සිකුරාදා (30) වැනිදා පෙරවරුවේ ගොඩගෙන පේරාදෙණිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරය වෙත රැගෙන ගියහ.
පොලිස් විමර්ශනවලදී අනාවරණය වූයේ ඉෂාලිනි මෙහෙකාර සේවයට පැමිණ ඇත්තෙ 2020 නොවැම්බර් 18 වැනිදා බවයි. එම කාලය තුළදී රිෂාඩ් බදුර්දින් පොලිස් අත්අඩංගුවේ පසුවූවත් ඔහු 2020 දෙසැම්බර් 11 වැනිදා ඇප මත නිදහස්ව නිවසට පැමිණ 2021 අප්‍රේල් 24 දක්වා මාස හතරහමාරක පමණ කාලයක් නිවෙසේ ගතකර තිබුණේය. එම කාලය තුළදී එකී නිවෙසේ මෙහෙකාර සේවයේ යෙදුණු ඉෂාලිනි විඳි අපාදුක්වලට රිෂාඩ්ද ඍජුවම වගකිව යුතුව ඇත. ඉෂාලිනිගේම වයසේම දරුවන් සිටින ජනතා නියෝජිතයෙක්ගේ නිවෙසේ එලෙස දැරියක මෙහෙකාර සේවයේ යෙදවීම මොනතරම් ඛේදනීය අපරාධයක් ද? ඉෂාලිනි මරණයට පත්වූ මොහොතේ සීඅයිඩීය බාරයේ සිට කොළඹ ජාතික රෝහලට ඇතුළුවූ රිෂාඩ් 'බොරු' ලෙඩකට රෝහල්ගතව ඇති බව තහවුරු වූයේ වෛද්‍යවරුන් නිර්දේශ කර තිබූ ඖෂධ පෙති වැසිකිළියට ගොස් විසිකරද්දී පොලිස් බුද්ධි නිලධාරින් අනාවරණය කරගැනීමත් සමඟිනි. අනතුරුව රිෂාඩ් නැවතත් රෝහලෙන් සීඅයිඩීය වෙත මාරු කෙරිණි.
2004 නොවැම්බර් 12 වැනිදා උපන් ඉෂාලිනි ජූඩ් කුමාර් දරුවන් සයදෙනෙකුගෙන් යුත් පවුලේ තෙවැන්නාය. ඇය, අවිස්සාවේල්ලෙ පුවක්පිටිය දෙමළ පාසලෙන් හත ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලැබ තිබුණාය. ඉෂාලිනිගේ මව රාජමානික්කම් රංජනී නාවලපිටියේ වත්තක සේවය කළ තැනැත්තියකි. අනතුරුව ඇය ඩයගම වත්තට ගොස් තිබුණේ ජූඩ් කුමාර් හා දෙවැනි විවාහයෙන් අනතුරුවයි. ඒ, ඉෂාලිනි ඇතුළු දරුවන් තිදෙනා සමඟිනි. ජූඩ් හා විවාහයෙන්ද ඉෂාලිනිගේ මවට දරුවන් තිදෙනෙකි.
පසුගිය කොවිඩ් සමයේ ජූඩ් කුමාර්ට සහ ඉෂාලිනිගේ වැඩිමහල් සහෝදරයා වන 21 හැවිරිදි තිරු ප්‍රසාද්ට රැකියා අහිමිව නිවෙසේ ආදායම් නැත්තටම නැතිවීය. ඉන් ඉෂාලිනිගේ මව රංජනි නොයෙක් දෙනාට ණයතුරුස් වූවාය. එලෙස ණයගත්තවුන් නිවෙසට පැමිණ දිනපතා රණ්ඩු වීම සුලබ දසුනක් විණි. ඒ බව කන වැකුණු පොන්නයියා පණ්ඩාරම් හෙවත් ශන්කර්, රංජනිට රුපියල් තිස්දහසක මුදලක් ණයට දුන්නෙ ණයතුරුස් පියවීම සඳහායි.
"අන්තිමට මට ඒ ණය ගෙවාගන්න බැරිව හිටියේ... මං ශන්කර් අයියාට කිව්වා මට රස්සාවක් හොයලා දෙන්න කියලා... ඔහු කිව්වා රිෂාඩ් ඇමැතිතුමාගේ ගෙදර රැකියාවක් හොයලා දෙන්නම්... ඒත් මට ඒ රස්සාවට යන්න හැකියාවක් ලැබුණේ නෑ... පොඩි දරුවො නිසා... ලොකු දුව තමයි යවන්න හැදුවේ... පස්සෙ ඉෂාලිනි යන්න කැමැති වුණා..."
ඉෂාලිනි ඇතුළු රිෂාඩ්ගේ නිවෙස් සඳහා ඩයගම ප්‍රදේශයේ දැරියන් 11 දෙනාම සැපයීමේ තැරැව්කරුවා ශන්කර්ය. එම දැරියන්ගේ මාසික වේතන ලබා දී ඇත්තේද ශන්කර්ගේ අාගරපතන බැංකුවක වූ ගිණුමකට බැර කරමිනි. ඔහු විසින් මුදලක් තමා සන්තකයේ තබාගෙන එම දැරියන්ගේ නිවෙස්වලට මුදල් ලබා දී තිබුණේ කලෙක සිටම සිදුකළ ජාවාරමක් ලෙසිනි. පොලිසිය ශන්කර්ගේ එම ගිණුමද විමර්ශනයට ලක් කළහ. එයට ලක්ෂ ගණනින් මුදල් බැරවී ඇති බවටද අනාවරණය විය.