කලාවෙන් ඈත් වෙලා ඉන්න ලෝබයි | සිළුමිණ

කලාවෙන් ඈත් වෙලා ඉන්න ලෝබයි

 

 

තමන් ගොඩනැඟූ මාවතේ දරුවන් සාර්ථකව පිය මනිනු දැකීම මවුපියන්ට සතුටකි. ප්‍රවීණ රංගන ශිල්පී ගාමිණි හෙට්ටිආරච්චිද දිවි සැරිය නිම කරන්නට පෙර සිය දරුවන් යන මාවත දැක සතුටූවූ එවන් පියෙකි. ඔහුගේ දියණිය ප්‍රතිභා හෙට්ටිආරච්චි රංගනයේ සිය සාර්ථකත්වය ගොඩනඟා ගන්නේ ද මවුපියන් ගොඩනැඟූ මාවත ඔස්සේ පරෙස්සමට පියනඟමිනි. පසු ගිය කාලයේ පුංචි තිරයෙන් නෙපෙනුණු ඇය යළි පුංචි තිරයෙන් අප හමුවට එන්නේ වසර හයක පමණ විරාමයකිනි.

 

ප්‍රතිභා, කාලෙකට පස්සේ පුංචි තිරයෙන් මුණගැහෙන්නේ ?

මගේ දරුවෝ දෙන්නා පොඩි කාලේ ඔවුන් වෙනුවෙන්ම මම කැප වුණා...වැඩි කාලයක් වෙන් වුණේ දරුවන්ගේ කටයුතු වෙනුවෙන්. ඒ නිසා අවුරුදු හයක් විතර පුංචි තිරයේ නිර්මාණවලට සම්බන්ධ වෙන්න මට බැරිවුණා. දැන් පුතාට අවුරුදු හයයි දුවට අවුරුදු තුනයි. දැන් මට රංගනය වෙනුවෙන් යම් කාලයක් යොමු කරන්න පුළුවන් නිදහසක් ලැබිලා තියෙනවා. අපි පොඩි කාලේ ඉඳන් ජීවත් වුණේ කලාව එක්ක නිසා ඒකෙන් ඈත් වෙලා ඉන්න ලෝබයි.

 

දැන් දිගටම රංගන කටයුතුවල නියැළේවීද?

පුළුවන් තරම් කලාවේ රැඳෙන්න උත්සාහ කරනවා. නමුත් අනවශ්‍ය ලෙස කාර්යබහුල නොවී නිදහසේ හොඳ නිර්මාණ තෝරාගෙන වැඩ කරන්න මම කැමැතියි.

 

පවුල සහ අනෙකුත් වෘත්තීමය කටයුතු එක්ක රංගනය වෙනුවෙන් කාලය කළමනාකරණය කරගන්න පුළුවන් වේවිද ?

ඒක තමයි අභියෝගය. මම දැන් බාහිර කථිකාචාර්යවරියක් විදිහට වැඩකරන ගමන්ම අයියා එක්ක එකතු වෙලා වෙළෙඳ දැන්වීම ආයතනයකුත් කරගෙන යනවා. ඒ සියල්ල ට කාලය කළමනාකරණය කරගන්නේ පවුලේ වගකීම් සහ යුතුකම්වලට මූලිකත්වය දීලා. කාලය කළමනාකරණය මම ඉගෙන ගත්තේ මගේ මවුපියන්ගෙන්. ඔවුනුත් කලාවේ නියැළුණේ රැකියාවල නිරතවෙන ගමන්. නමුත් ඒ කිසිම වැඩක් නිසා මගෙයි අයියාගෙයි වැඩ කටයුතු පැහැර හැරියේ නෑ.

මගේ සැමියාගෙනුත් මට උපරිම සහයෝගය ලැබෙනවා. ඔහු කවදාවත් මගේ දේවල්වලට තහංචි දාන්නේ නෑ. ඒ සහයෝගය මට ගොඩක් වටිනවා.

 

කාලෙකට පස්සේ ප්‍රතිභා ප්‍රේක්ෂකයන් අතරට එන්න තෝරා ගෙන තිබෙන්නෙත් වෙනස්ම නිර්මාණ දෙකකින් ?

මම සම්බන්ධ වුණ 'සත් වර්ෂා' ටෙලි නාට්‍ය දැන් විකාශය වෙනවා. 'පෝක් වීදිය' ටෙලි නාට්‍යයත් ඇරඹෙනවා. කාර්යබහුල ජීවිතය තුළ මවුපියන්ට දරුවන්ව මඟහැරෙන පසුබිමක ගලායන චරිතයක් තමයි 'සත් වර්ෂා' ඔස්සේ මම නිරූපණය කරන්නේ. 'පෝක් වීදිය' නර්මදා කියන චරිතයෙන් නිරූපණය වෙන්නේ පවුල ගෙනියන්න විඳන දුක් කම්කටොලු එක්ක ජීවිතය.

 

නිහඬව සිටි කාලය සමඟ ඔබ රංගනය තුළ ගොඩනඟා ගෙන තිබූ අනන්‍යතාවේ වෙනසක් වෙලා ද?

අපේ හැකියා දවසින් දවස දියුණු කරගන්න අවශ්‍යයි. ඒ දියුණුව එක්කයි අපේ පැවැත්ම තීරණය වෙන්නේ. වෙනස් හොඳ දේවල් කළොත් කාලයක් පවතින්න පුළුවන්. ඕනෑම ක්ෂේත්‍රයක රැඳෙන්න නම් හැදෑරීමක් එක්ක වෙනසක් කිරීම වැදගත්. එකම විදිහට පේන්න හිටියොත් පැවැත්මක් නෑ. තාත්තා මට මතකයි ලොකු මුදලක් හම්බුණේ නැතත් නිර්මාණයක් වෙනුවෙන් උපරිම කැපවුණා. ඉස්සර තාත්තා නාට්‍ය කරද්දී අපිත් පෝස්ටර් ගහන්න ඒ පස්සෙන් යනවා. ප්‍රායෝගික අත්දැකීම් වගේම පොත් පත කියවලා, නිර්මාණ බලලා හොඳ අවබෝධයක් ලබා ගන්න ඕනෑ.

ස්ථීර පිටපතක් හෝ නොමැතිව දිගු නිර්මාණ කෙරෙන සමයක ඔබ නිර්මාණ පිටපත ගැන සැලකිලිමත් වෙනවාද?

මම වැඩියෙන්ම කැමැති මුලක් අගක් තියෙන කොටස් අඩු ප්‍රමාණයක නිර්මාණවලට සම්බන්ධ වෙන්න. නිර්මාණයක මුල මැද, අග පිළිබඳ හරි අවබෝධයක් ලැබෙනවා නම් රංගනයේ යෙදෙන්නාට ඒ චරිතය ගොඩනඟා ගැනීමට පහසුයි. 'පෝක් වීදිය' කියන්නෙත් මෙගා නිර්මාණයක් නෙමෙයි. මෙගා නිර්මාණයක වුණත් හොඳ පිටපතක් තිබෙනවා නම් බාරගන්නවා. නමුත් නිර්මාණයක් ඕනෑවට වඩා ඇදෙද්දී දියාරු වෙන්න පුළුවන්.

 

ඔබ රංගනය තුළ අරමුණු ඇතිව වැඩ කරන කෙනෙක්ද?

මම සාමාන්‍ය ජීවිතේවත් අරමුණු තියාගෙන වැඩ කරන කෙනෙක් නෙමෙයි. නොයෙක් අරමුණු හා ඉලක්ක එක්ක අපේ ගමන යන්න පටන් ගත්තොත් සමහර දේවල් අපට මඟ හැරෙන්න පුළුවන්. හැබැයි මම කරන දේ හරියට කරන්න මහන්සි වෙන කෙනෙක්.

 

ප්‍රතිභා ගේ රංගන ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය වුණු නිර්මාණ මොනවද?

රෙජිනෝල්ඩ් ජයමාන්න මහත්මයාගේ 'සැණකෙළියයි මායා' නිර්මාණයෙන් මට සම්මානනීය වෙන්න ලැබුණා. සන්තුෂ ලියනගේ කළ 'භාව තීර්ථ' ටෙලි චිත්‍රපටය වෙනුවෙනුත් හොඳ ප්‍රතිචාර ලැබුණා.

 

රංගනයේ මෙතෙක් ලැබුණු අවස්ථා ගැන තෘප්තිමත් ද ?

සන්තුෂ ලියනගේ, රෙජිනෝල්ඩ් ජයමාන්න වැනි හොඳ අධ්‍යක්ෂවරු යටතේ මට වැඩ කරන්න ලැබුණා. එදිරිවීර සරත්චන්ද්‍ර මහත්මයාගේ නාට්‍ය කණ්ඩායමට සම්බන්ධව වැඩ කළා. දයානන්ද ගුණවර්ධනයන්ගේ 'නරි බෑනා' නාට්‍යයට සම්බන්ධ වුණා. එවැනි ප්‍රවීණයන් යටතේ රංගනයේ යෙදෙන්න ලැබීම මට ලැබුණු ලොකු අවස්ථාවක්. ඒ ගැන මම බෙහෙවින් තෘප්තිමත්. පුංචි දුකකට තියෙන්නේ මම තවම චිත්‍රපටවලට සම්බන්ධ වෙලා නෑ.

 

රිදී තිරයට ඔබව මඟහැරුණ ද ?

පසු ගිය කාලේ සිනමා නිර්මාණවලට ආරාධනා ලැබුණා. ඒ නිර්මාණවල රූගත කිරීම් තිබුණේ දුෂ්කර පළාත්වල නැවතිලා. ඉතිත් තාත්තා කැමැති වුණේ නැහැ මම ඒ නිර්මාණ වෙනුවෙන් දුර පළාත්වලට යනවට. ඒ නිසා මට ඒ නිර්මාණ මඟහැරුණා. නමුත් නැවත මට ගැළපෙන සිනමා නිර්මාණයක් ලැබෙනකල් බොහොම කැමැත්තෙන් බලන් ඉන්නවා ඒ අත්දැකීම ලබා ගන්න.

 

දැන් පෙරට වඩා රංගන ජීවිතය තුළ පනවා ගත් සීමා තිබෙනවා ද ?

දැන් මම බිරියක්, මවක් වගේම දරුවන්ට උගන්නන කෙනෙක්. මගේ පෞද්ගලික ජීවිතයට හා වෘත්තීමය ජීවිතයට හානියක් නොවෙන විදිහටයි මම චරිත තෝරා ගන්නේ.

 

පසුගිය කාලේ ඔබේ සහෝදරයා එක්ක එකතුවෙලා මවගේ සැඟවී තිබුණු හැකියාවකුත් එළියට ගත්තා?

තාත්තා නැති වුණාට පස්සේ අම්මා ගොඩක් දුකෙන් හිටියේ. අම්මා ඇගේ තරුණ කාලෙදී ටෙලි නාට්‍යවලත් රඟපා තිබුණා. අයියායි මමයි ලැබුණට පස්සේ අම්මා රඟපෑම නැවැත්තුවා. ඇය ලිවීමටත් දක්ෂයි. නමුත් ඒ හැකියාව එළියට අරගෙන තිබ්බේ නෑ. ඒ නිසා පහු ගිය කාලේ අයියයි මමයි අම්මව ලියන පැත්තට යොමු කළා. ඒ ඔස්සේ තමයි අම්මගේ තිස් වසරක ගුරු ජීවිතයේ සත්‍ය සිදුවීම් ඇසුරින් 'ගුරුවරුන්ට නං වරුවයි' කියන පොත ලිව්වේ. ඒ කෘතියට හොඳ ප්‍රතිචාර ලැබුණා.

Comments