
අසුනක් වෙනුවෙන් උතුරේ සටනක්
කොළ පාටියේ ඇත්තන්ට ඉකුත් සමයේ රජ ගෙදර රැකගන්න බොහොම ශක්තියක් වෙච්ච උතුරු පළාතේ පාටියේ නායකයන් මේ දිනවල ලොකු අවුලක කියලයි ආරංචිය.
යහපාලනය අවුරුදු පහක් ම රැකගන්න උදවු කරපු මේ පාටියේ නායකයින්ට තමන්ගේ පාටිය රැකගන්න බැරිවෙලාලු. කොටි ත්‍රස්තවාදය මෙරටින් විනාශ කර දමා වසර දහයකට වැඩි කාලයක් ගතවී ඇතත් මේ පාටියේ බොහෝ දෙනෙකු තවමත් එම ත්රස්තවාදීන්ගේ මතය දරන බවයි පැවසෙන්නේ.
කොහොම කොහොම හරි මේ පාටියෙන් මෙවරත් දියවන්නාවට පැනගන්න කිහිප දෙනෙකුම හැකි වුණත් ජාතික ලැයිස්තුව සඳහා දියවන්නාවට තෝරන හාදයා ගැන ලොකු ගැටලුවක්ලු.
අවස්ථා කිහිපයකදීම මේ ඇත්තන් මේ වෙනුවෙන් ඇන කොටා ගත්තා කියලයි ආරංචිය.
කොළ පාටියේ ළඟම හිතවතුන් ලෙස පෙනී සිටි මේ පාටියේ නායකයින් දැන් දැන් පුතාණෝගේ ළඟට කිට්ටු වෙනවයි කියලයි කියන්නේ.
ඇමැතිලාට නින්ද යන්නෙ නැතිලු
ජනතාව වෙනුවෙන් ගොඩක්ම ගොඩක් මහන්සිවෙලා දියවන්නාවට පැනගත්ත පොහොට්ටු පාටියේ ඇත්තන් අතර හැත්තෑ දෙනකුටම මේ දිනවල නින්ද යන්නේ නෑ කියලයි කියන්නේ.
ඒ වෙන කිසිම දෙයක් නිසා නොවෙයි. මේ හැත්තෑ දෙනාටම ඇමැතිකම් හිමිවුණු නිසා කියලයි ආරංචිය.
ඇමැතිකම් ලැබුණට තමන්ට නිල මන්දිරයක් නොලැබෙනු ඇතැයි මේ අය බිය වෙලාලු. මෙන්න මේ නිසාත් ඇමැතිවරුන්ට නින්ද යන්නේ නෑ කියලයි කියන්නේ.
හැත්තෑ දෙනකු ඇමැතිවරුන් ලෙස තේරී පත් කළත් ඔවුන්ට නිල මන්දිර 35 පමණක් තියනවා කියලයි ආරංචිය. මහ රජුටයි, යුවරජුටයි මේ ගැන විටින් විට කරදර කරන්න මේ ඇමැතිවරු පටන් අරන් කියලයි කියන්නේ.
පුතාණෝගේ සමගිය අසමගියක් වෙලා
දියවන්නා තරගය නිම වීමත් සමඟ එම සටනේ සිටි කොළ, නිල්, ඇතුළු පාටි කිහිපයකම අර්බුද රැසක්ම ඇතිවෙලා කියලයි ආරංචිය.
මේ අතර ලොකුම අර්බුදයට පත්ව ඇති පුතාණෝගේ පාටියේ බොහෝ දෙනකු පුතාණෝ සමඟ විරසක වෙලාලු.
පාටි කිහිපයක් ම එකතුවෙලා දියවන්නා සටනට ගිය පුතාණෝගේ සමගි කණ්ඩායම කෙටි කාලයක් තුළදී අසමගිවීම නිසා තමන් දියවන්නාවේදී තනිවම සිටින බව පුතාණෝ සමඟ එක්ව ඇති නායකයින් කිහිපදෙනකුම කියනව කියලයි ආරංචිය.
කොළ පාටියෙන් ඉවත්ව තනිවම සිට නැවත කොළ පාටියට එකතු වී කොළ පාටියෙන් පුතාණෝගේ පාටියට පැන්න නැගෙනහිර පළාතේ නායකයෙකු පුතාණෝ සමඟ නිතර නිතර ඝට්ටන ඇති කරගන්නවා කියලයි ආරංචිය.
මැති ඇමැතිකම් රැසක්ම හෙබවූ මොහු වසර විසි පහකට වැඩි කාලයක් දියවන්නාවේ සාමාජිකත්වය දරන අතර මෙවරත් දියවන්නාවට පැන ගන්නට සමත් වූයේ පුතාණෝගේ පිහිටෙන් කියලයි කියන්නේ.
ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීකමක් මොහුගේ පාටියට නොදුන් නිසා පුතාණෝට ගේමක් ගහන්න මේ හාදයා තැන තැන සාකච්ඡා පවත්වනවා කියලයි කියන්නේ.
කොළ පාටියේ නායකයා බිය වෙලාලු
කොළ පාටියේ කිසිවෙකුට දියවන්නාව මෙවර තරණය කරන්න නොහැකි වීමත් සමඟ කොළ පාටියේ අර්බුදය එන්න එන්නම අවුල් සහගත තත්ත්වයට පත් වෙලා කියලයි කියන්නේ.
කොළ පාටිය දියවෙන්නම නොදී රැකගත යුතු බව එහි සිටි ජ්‍යෙෂ්ඨ නායකයින් රැසක් ම කොළ පාටියේ නිල දරයන්ට ප්‍රකාශ කර තිබේ.
කොළ පාටිය නියෝජනය කරමින් දියවන්නාවේ ප්‍රධාන ආසනයේ සිටි ගම්පහ දිස්ත්‍රික්කයේ නායකයෙකු කොළ පාටියේ නායකත්වය භාර ගන්න කැමැත්තක් දක්වනවා කියන්නේ.
කොළ පාටියේ නායකතුමන් මේ ප්‍රකාශයට ගොඩක් බය වෙලා.
කොළඹ පිහිටි ස්ථාන තුනකදීම කොළ පාටියේ නායකතුමන් රහස් සාකච්ඡා පවත්වලා තමන්ගේ බලය රැක ගන්න දැවැන්ත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරලයි කියල ආරංචියි.
කළුතර කටකාරයා කට හින්දා නාගනී
අලි පාටියේ ලොකු රංගනයක යෙදුණු කළුතර දිස්ත්‍රික්කය කටකාරයා නැවතත් කට ඇරලයි කියල ආරංචියි.
අලි පාටියෙන් පුතාණෝගේ පාටියට පැනලා මෙවරත් දියවන්නාව ජයගත්ත මොහු අලුත්ම සෙල්ලමක් ආරම්භ කරලලු.
මේ කටකාරයාගේ පුත්‍ර රත්නය තාත්තාට නොදෙවෙනි ලෙස බොරුබේගල් ඇද බානවා කියලත් ප්‍රසිද්ධයි. පුතාත් මෙවර දියවන්නා සටනට තරග කළාට ඔහුට දියවන්නාවට පනින්නට බැරි වුණාලු.
කටකාරයා තවත් කණ්ඩායමක් සමඟ එක්ව රජ ගෙදරට මඩ ගහන අලුත් ව්‍යාපාරයක් ආරම්භ කළා කියලත් කියනවා. රජගෙදරින් දියවන්නාවට ගෙන එන්න ලෑස්ති කරපු 20 ට විරෝධය පාමින් 19 දිගටම තියන්න කියලා මේ කණ්ඩායම ජනමාධ්‍යවලින් කියාගෙන යනවලු.
මේ අය එකතුවෙලා ජනතාවගේ මතය විමසූ බව සඳහන් කරපු ලිපියකුත් ලක ලෑස්ති කරා කියලයි කියන්නේ.
රජකමක් ගන්න දුර ඇමතුම්
දේශපාලනඥයන්ට කාලෙන් කාලෙට නොයෙක් ආකාරයේ නාමයන් ආරූඩ කරන බව මෙරට වැසියන් හොඳින් දන්නා කාරණයකි.
කැලණිය පැත්තෙන් පොඩි දුටුගැමුණු කෙනෙකු එක වර මතුවෙලා මුළු රටේම ප්‍රසිද්ධ වුණා.
නිල් පාටියේ පාටිය මේ චරිතය දේශපාලන ඉතිහාසය තුළ වැඩිම කතාබහට ලක්වූ චරිතයකි. නිල් පාටියෙන් අලි පාටියට පැන ගත්ත මේ හාදයා මෙවර දියවන්නා සටනට පුතානෝගේ පාටියෙන් තරග කරාලු.
අප්පච්චි මළා කිව්වම අද මුළු රටම දන්නවානේ. ඒ තව චරිතයක්. මේ දිනවල මුහුණු පොත ඇතුළු සමාජ සමාජ මාධ්‍යවලින් දුටුගැමුණු රජතුමාට සමාන චරිතයක් පිළිබඳව දැඩි කතාබහක් ඇති වෙලා කියලයි ආරංචිය.
පුතාණෝගේ පාටියෙන් මෙවර දියවන්නාවට කුරුණෑගලින් තරග කරපු කට කාරයෙක් පුතාණෝව දුටගැමුණු ලෙස සලකන්න කියලා ඉල්ලීමක් කරලාලු.
මේ කතාබහ කන වැකුණු කිහිපදෙනෙක් මේ කටකාරයාට දුරකථන ඇමතුම ලබාදී තමන්ටත් රජකමක් ලබාදෙන්න කියලා ඉල්ලීම් කරනවා කියලයි ආරංචි.