
ඩ්‍රෝන කැමරාවක් යොදගෙන කොළඹ අධි ආරක්ෂිත කලාපය වීඩියෝ කළ චීන ජාතිකයෙක් පසුගිය සෙනසුරාදා (22) කොල්ලුපිටිය පොලිසියෙන් අත්අඩංගුවට ගත්තේය. මේ චීන ජාතිකයා ඩ්‍රෝන කැමරාව පියාසර කරවමින් වීඩියෝ කිරීම් කර තිබුණේ අරලියගහ මන්දිරය ආසන්නයේ මහල් 35කින් යුතු හෝටලයක ඉහළ මාලයේ සිටය. අනතුරුව ගුවන් හමුදාවට ලද තොරතුරක් අනුව ගුවන් හමුදාව විසින් මේ තැනැත්තා අත්අඩංගුවට ගෙන කොල්ලුපිටිය පොලිසියට බාර දී තිබිණි.
අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු රුපියල් පනස් දහසක ශරීර ඇපයක් මත නිදහස් කළේය. නඩුව විභාග වෙමින් පවතී.
පසුගිය ජූලි මස 20 දා යුක්‍රේන ජාතිකයෙක් නුවර බහිරවකන්ද පුද්ගලික තානායමක සිට මහනුවර රාත්‍රී දර්ශන අනවසරයෙන් වීඩියෝ කරමින් සිටිය දී ඩ්‍රෝන කැමරාව මහනුවර ජනාධිපති මන්දිරය භූමියට ඇද වැටුනේය. සංචාරක වීසා මගින් රට තුළ රැඳී සිටි මේ තැනැත්තා ජූලි මස 20 දා මහනුවරට පැමිණි දින සිට නුවර රාත්‍රී දර්ශන වීඩියෝගත කර තිබිණි. ජනාධිපති මන්දිරයට කැමරාව ඇද වැටුණු පසු මහනුවර සංචාරක පොලිසිය විසින් මේ තැනැත්තාව අත්අඩංගුවට ගත්තේය. ඔහුව උසාවියට ඉදිරිපත් කළේය. මේ වනවිටත් මේ යුක්‍රේන ජාතිකයා සිටින්නේ බන්ධනාගාරගතවය. මේ සිදුවීම් දෙකම ජාතික ආරක්ෂාව සම්බන්ධව ගැටලු ඇති කළේය. යුද්ධය අවසන් වූ පසුත් බිහිසුණු අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරයකට ලක්ව සිටින රටක් ලෙස ඒ සිදුවීම් සම්බන්ධව වෙනත් මානයකින් සිතන්නට රටට බල කර තිබිණි.
අතීත සිදුවීම්
මෙවැනි සිදුවීම් විටින් විට වාර්තා වූයේය. ඩ්‍රෝන කැමරා භාවිතයෙන් වීඩියෝගත කිරීම සම්බන්ධ සිද්ධි කිහිපයක් මෑත වකවානුව තුළ රට තුළ ආන්දෝලනයක් ඇති කළේය. ඉන් මතකයට නැගෙන ප්‍රධානම සිදුවීම වූයේ වර්ෂ 2017 ජනවාරි මාසයේ දී රුවන්වැලි සෑයේ කප්රුක් පූජාවක් ඩ්‍රෝන තාක්ෂණයෙන් වීඩියෝගත කිරීමට ගිය තරුණයෙකුගේ ඩ්‍රෝන කැමරාවක් පාලනයෙන් මීදී සෑයේ කොත් කැරැල්ලෙහි ගැටීමය. අනතුරුව එය හතරැස් කොටුවේ වැදී ගර්භය මත පතිත වෙමින් සලපතල මලුවට ඇද වැටුණේ දෙනෝ දාහක් බැතිමතුන් බලා සිටිය දී ය. රටේ සංස්කෘතියේ මෙන්ම ඉතිහාසයේ ප්‍රධානම සංකේතයක් වූ රුවන්වැලි සෑ රදුන්ට යම් භෞතික හානියක් සිදුකළ මේ සිදුවීම සමාජය තුළ විශාල කතිකාවක් ඇති කළේය.
ඒ සතියේම දිනක හම්බන්තොට චීන ශ්‍රී ලංකා සහයෝගීතාවයෙන් ආරම්භ කරන්නට යෙදුණු කර්මාන්ත පුරයේ සමාරම්භක අවස්ථාව වාර්තා කරන්නට ගිය පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් විසින් අනවසරයෙන් යැවූ ඩ්‍රෝන කැමරාවක් අගමැති ආරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත්තේය.
සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ගේ සිරුර බොරැල්ල කනත්තේ දී යළි ගොඩගත් අවස්ථාවේ දී එය වාර්තා නොකරන ලෙසට පවුලේ ඥාතීන් ඉල්ලා සිටියේය. එබැවින් පොලිසිය මාධ්‍යයට එම අවස්ථාව වාර්තා කිරීම වැළැක්වූයේය. නමුත් එක්තරා මාධ්‍ය ආයතනයක් විසින් මේ අවස්ථාව වීඩියෝ කිරීමට ඩ්‍රෝන කැමරාවක් ගුවන්ගත කළේය. ආරක්ෂකවලටත් කර කියාගත හැකි දෙයක් නැති විය. ඩ්‍රොන කැමරාව සොයා ගැනීමටවත් ඔවුන්ට හැකි වූයේ නැත. මේ සිදුවීම් දෙකම ඩ්‍රෝන කැමරා භාවිතයේ දී මාධ්‍ය අනුගමනය කළ යුතු සදාචාර සීමා පිළිබඳ රටේ අවධානය යොමු කළේය.
ඉන් අනතුරුව ඩ්‍රෝන කැමරා භාවිතය සම්බන්ධ නීති හා ආචාරධරම ගැන දැනුවත් කිරීමේ වැඩ මුළුවක් මාධ්‍යය වෙනුවෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් සැලසුම් කළේය. එහිදී ලංකාවේ ඩ්‍රෝන යානා භාවිතය සම්බන්ධව නෛතික රාමුව සම්බන්ධව ප්‍රමාණවත් දැනුවත් කිරීමක් සිදු විය.
බලාත්මක වන නීති
දැනට ඩ්‍රෝනවලට අදාළව ශ්‍රී ලංකාවේ බලාත්මක වන්නේ ඉතාම සීමිත නීතිමය රාමුවකි. ඩ්‍රෝනයක් භාවිතා කරන අය එය අනිවාර්යයෙන් සිවිල් ගුවන්සේවා අධිකාරියේ ලියාපදිංචි කළ යුතුය. එම ලියාපදිංචි කිරීම ක්‍රියාවලිය ඉතා පහසු එකකි. ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ වෙබ් අඩවියට පිවිස ඒ පිළිබඳ තොරතුරු පහසුවෙන් ලබා ගත හැකිය. එහෙත් විනෝදාංශයක් වශයෙන් හෝ අධ්‍යාපනික අරමුණු සඳහා 200g කට අඩු බරකින් යුත් කැමරාවක් හෝ වෙනයම් රූගත කිරීමේ උපකරණයක් සවි කර නොමැති ඩ්‍රෝන යානයක්, තම ගෙවත්තේ අඩි 150 කට අඩු ගුවන් පරාසයක් තුළ ගුවන් ගත කිරීම සඳහා අවසරයක් හෝ ලියාපදිංචි කිරීමක් අවශ්‍ය නැත. දැනට ඇති නෛතික රාමුව තුළ ඩ්‍රෝනයක් යොදාගෙන පොදු ජනතාවට එසවිය හැකි උපරිම බර ප්‍රමාණය කැමරාවක බර පමණි.
ඩ්‍රෝනයක් භාවිත කළ යුත්තේ කෙසේද යන කාරණය සම්බන්ධයෙනුත් හඳුනාගත හැකි සීමා කිහිපයක් ඇත. උදාහරණයක් හැටියට මීටර 100 කට වඩා ඉහළ උසකට ඩ්‍රෝනයක් ඔසවන්නට නීතියෙන් අවසරයක් නැත. එසේම ධාවනය කරන පුද්ගලයාට පෙනෙන සීමාවෙන් ඔබ්බට ඩ්‍රෝනයක් ධාවනය කිරීමත් නීතියෙන් තහනම්ය.
ඩ්‍රෝන යානාවල ඉතිහාසය
ස්වාධීනව පාලනය වන හෝ දුරස්ථ පාලක ආධාරයෙන් හැසිරවිය හැකි රොබෝ නිෂ්පාදනයක් වශයෙන් මේ වනවිට සුලභව ඇති ඩ්‍රෝන යනාවක සංකල්පීය අතීතය මිනිසාගේ චින්තන පරිණාමයේ ආරම්භක අතීතතට දිවෙන්නකි. ගුවනින් යන යාත්‍රා පිලිබඳ සංකල්පය ශිෂ්ඨාචාරවත් වූ මිනිසුන්ගේ පරිකල්පනා තුළ සහශ්‍ර ගණනකට කලින් ඇතිවන ආකාරය දේව කතා ආශ්‍රිත ආගමික සාහිත්‍යයේ ගැබ් වී තිබිණි. එහෙත් එම සංකල්ප ප්‍රායෝගික වන්නේ පසුගිය සියවස මුල් භාගයේ දී ය.
ගුවන් ආකෘතියක් පොළොවෙන් ඉහළට එසවූ මුල්ම නිර්මාපකයන් වන්නේ ලුවි බ්‍රෙග්‍යුට් සහ ජැක් බෙග්‍යුට් දෙසෝයුරන්ටය.ඔවුන් සිය පළමු ගුවන් ගමනේ දී සිය යානය අඩි දෙකක් ඉහළට එසවූහ. ගුවන්ගත යානයක් පිළිබඳ මුල්ම ප්‍රායෝගික ආරම්භය වූයේ එය ය. වර්ෂ 1917 දී රයිට් සහෝදරයන් විසින් ගුවන් යානා පියාසැරිය යථාර්ථයක් කර වසර 16කට පසුව නිකොලායි ටෙස්ලා විසින් හඳුන්වා දුන් ගුවන්විදුලි සන්නිවේදන තාක්ෂණය වැඩි දියුනු කරමින් නියමුවෙක් රහිත ගුවන් යානයක් නිර්මාණය වූයේය. එය නිර්මාණය වූයේ ඉලක්ක හඹායන පියාසර බෝම්බයක් ලෙසය. මෙම නිර්මාණය එවකට යුද්ධයකදී භාවිත වූයේ නැත. එහෙත් මෙය වර්තමාන මිලිටරි ඩ්‍රෝන තාක්ෂණයට ප්‍රායෝගික ප්‍රවේශයක් ලබා දුන්නේය. දෙවන ලෝක යුද්ධ වකවානුුවේ , වර්ෂ 1943 දී ජර්මානු හමුදා විසින් මුල්ම දුරස්ථ පාලක අවිය දැවැන්ත නැව් ගිල්වීම සඳහා භාවිත කළේය. එය රාත්තල් 2300ක් බර බෝම්බ සහිත දුරස්ථ පාලක යානයකි. වර්තමාන මිලිටරි ඩ්‍රෝන යානා සහ මිසයිල සම්බන්ධදැවැන්තම ප්‍රායෝගික රූපණයේ ප්‍රථම අවස්ථාව මෙයය.
1960 දශකයේ ට්‍රාන්ස්සිටර් තාක්ෂණයේ දියුණුව ඩ්‍රෝන තාක්ෂණික සංකල්පය නව මගකට ගෙන ආවේය. මෙම තාක්ෂණය සන්නද්ධ ඩ්‍රෝන යානාවක් දක්වා වර්ධනය වී එය ප්‍රහාර සඳහා මුල්වරයට යොදවා ගන්නේ වර්ෂ 2001 -9 -11 ප්‍රහාරයත් සමගය. සී.අයි.ඒ සංවිධානය විසින්ඇෆ්ගනිස්ථානයට එරෙහිව ප්‍රහාර සඳහා සන්නද්ධ ඩ්‍රෝන යානා යොදා ගත්තේය. ඔසාමා බින් ලාඩන් යැයි සැක කරන පුද්ගලයෙක් ඉලක්ක කරගැනීම සඳහා මිනිසුන් රහිත ප්රෙඩියේටර් ඩ්‍රෝන යානයක් ඇමරිකාව විසින් භාවිත කළේය. යානාව සිය ඉලක්කය සොයා ගත්තේය. වර්ෂ 2002 පෙබරවාරි මස එල්ල වූ මෙම ඩ්‍රෝන ප්‍රහාරයෙන් ඉතිහාසයේ මුල්ම ඩ්‍රෝන යානා මිනී මැරීම සී.අයි.ඒ . සංවිධානය විසින් සිදුකළේය. කාලකණ්ණි ඇත්ත වූයේ සී.අයි.ඒ කාරයන් ලෝක ඉතිහාසයේ මුල්ම ඩ්‍රෝන ප්‍රහාරයෙන් මරා දැම්මේ ඔසාමා බින් ලාඩ්න් නොව සීරියම් ලෝහයඑකතු කරමින් සිටි දරාස් ඛාන් නම් අහිංසක මිනිසෙකු වීමය.
ලංකාවේ ඩ්‍රෝන තාක්ෂණය භාවිතය
මේ වනවිට ලෝකය ඩ්‍රෝන යානාවල විපුලත්වය අත්දකිමින් හිඳින්නේය. එය අතිශයින්ම ප්‍රයෝජනවත් මෙවලමක් වී තිබෙන්නේය. අප නොදන්නවාට එම තාක්ෂණය ඵලදායී ලෙස යොදා ගත හැකි ආකාරය සම්බන්ධව මේ වනවිට රටේ නවෝත්පාදකයෝ පර්යේෂණ පවත්වමින් සිටිති. දැනට බහුලවම ඩ්‍රෝන තාක්ෂණය භාවිත වන්නේ ඡායාරූප හා වීඩියෝකරණය සඳහාය. පුද්ගලික හා රාජ්‍ය අංශද්වයෙහි භූමි සමීක්ෂණය හා තක්සේරුකරණය වැනි අවශ්‍යතා සඳහා වැදගත්වන තාක්ෂණිය ඡයාරූප හා දත්ත එක් රැස් කරගැනීමට ලංකාවේ දී ඩ්‍රෝන යානා යොදා ගත් අවස්ථා තිබේ. මෙම තාක්ෂණික ක්‍රමවේද වැඩි දියුණු කරගත හැකි ආකාරය ගැන පර්යේක්ෂකයෝ අවධානය යොමු කිරමින් සිටිති. එමෙන් ලෝක ආදර්ශ ගුරුකර ගනිමින් ලංකාවේ ප්‍රමුඛ සමාගම් කීපයක් වෙරළ තීරය දිගේ ඉතා කුඩා අයිතම බෙදා හැරීම පහසු කරන ජාලයක් සකස් කිරීම අරඹා ඇත. එමෙන්ම ලංකාවේ කෘෂි කර්මාන්තයට සම්බන්ධ ප්‍රමුඛ සමාගම් දෙකක් කිලෝ ග්‍රෑම් දහයක ධාරිතාවක් සහිත කෘෂිකාර්මික ඩ්‍රෝන මෙහෙයවීම හා නඩත්තු කිරීම සම්බන්ධව අවධානය යොමු කර තිබේ. ඩ්‍රෝන තාක්ෂණය සම්බන්ධව දැනට පවතින නෛතික රාමුව සම්බන්ධ සාධනීය සංශෝධන ප්‍රමාණයක් එක්වීමෙන් මේ තාක්ෂණික ප්රවේශයන් ප්‍රායෝගික වනු ඇත. දැනටමත් එම සමාගම් වෙත මහජනතාව වෙත පනවා ඇති සම්ම්ත බර ප්‍රමාණයට වඩා වැඩි බර ප්‍රමාණයක් ඩ්‍රෝන මගින් එසවීමට අවසර ලබා දී තිබේ.
එමෙන් ජාතික ආපදා තත්වයන්හි සිදු කර පිරික්සුම් කටයුතු වලදී ඩ්‍රෝන තාක්ෂණය අපේ ඇත්තෝ භාවිතා කර තබුණහ. හදිසි තත්වයක දී සිදුවී ඇති හානිය පිළිබඳ පූර්ව තක්සේරුව, නිවැරදි ප්‍රායෝගික එළඹුම් සම්බන්ධ අදහසක් ලබා ගැනීමට වර්ෂ 2018 ගං වතුර අවස්ථාවේ දී රතුකුරුස සංවිධානය විසින් ඩ්‍රෝන යානා කිහිපයක් යොදා ගත්තේය.
ලෝකයේ විශිෂ්ටතම තාක්ෂණික මෙවලම් භාවිතයේ විපුලත්වය සමාජයට ලැබෙන්නේ එම තාක්ෂණික මෙවලම් හසුරුවන්නන්ගේ අපේක්ෂා අරමුණු හා පරිකල්පනාවන් තුළය. මේ සම්බන්ධව සංවාදයක් ලොව පුරා ඇති වී තිබේ
“අහස යනු ඉතා විශාල අවකාශයකි. එකට ජීවත්වීම නියාමනය කිරීම සඳහා අහස පරිහරණය කිරීමේ උපාය මාර්ගයක් අවශ්‍යය. ඒ සඳහා ඩ්‍රෝන තාක්ෂණය වැදගත්. “ ලෝ ප්‍රකට තාක්ෂණික සමාගමක ප්‍රධානියෙක් වූ බුස්ෆෙල්ඩ් වරෙක කියා තිබිණි.
ලෝ ප්‍රකට ස්විස්කොම් සඟරාවේ කතුවරයා කියා තිබුණේ ඩ්‍රෝන යනු සෙල්ලම් බඩු නොවන බවය. මේ ඉතා ප්‍රයෝජනවත් මෙවලම ප්‍රයෝජනවත් භාවිතයක් සඳහා ලෝකයට නීති අවශ්‍ය බවත් එය භාවිත කරන්නන් සතුව විනයක් බුද්ධියක් හා සමාජ ජීවිතයට ගෞරව කිරීමක් අවශ්‍ය බවත් ඔහු පෙන්වා දී තිබුණේය.
“ වර්තමාන නෛතික තත්වයන් අනුව ඩ්‍රෝන භාවිතාවන් බොහෝවිට පුද්ගලිකත්වය උල්ලංඝණය කිරීමකි. මා සිතන ආකාරයට ඔබේ ගෙවත්තේ වෙඩි තැබීමක් ඔබට අවශ්‍ය නැත.“ ස්විස්කොම් කතුවරයා කියා තිබුණේය.
ඩ්‍රෝන තාක්ෂණය භාවිත කරන අපට එහි වගකීම සම්බන්ධව මීට වඩා යහපත් පූර්ව කථනයක් නොවේ.
ඔබේ ගෙවත්තේ මිනීමැරුමක් නොවන ආකාරයට මේ තාක්ෂණය පරිහරණය කරන්න....