
රටක් කෙමෙන් සංවර්ධනය වීමේදී දළ ජාතික නිෂ්පාදනය, සාක්ෂරතාව, ඒක පුද්ගල ආදායම ආදිය පිළිබඳව සැලකිල්ලට ගනිමින් නිර්නායක ගොඩනඟන බව පෙනෙන්නට තිබෙන කරුණකි. එමෙන්ම ඒ අතරම භෞතික සම්පත් ගොඩනැගීමද ක්‍රමිකව සිදුවේ. ගොඩනැඟිලි ඉදිකිරීමේදී බහුල ලෙසින් වැලි හා පස් යොදා ගැනීම සිදුවනවා මෙන්ම ඉදිකිරීම් සිදුකරන ස්ථානයන්ගෙන් ඒවා ඉවත් කිරීමට සිදු වන අවස්ථාද පෙනෙන්නට තිබෙන කරුණකි. නමුත් මේ හා සම්බන්ධව ඉදිකිරීම් කටයුතු මූලික කරගනිමින් බොහෝවිට සිදුවූයේ අනවසරයෙන් බලපත්‍ර රහිතව වැලි ගොඩ දැමීමත් ඒවා ප්‍රවාහනය වැනි කටයුතු සිදුවීමත් ය.
මේ ආකාරයට මතුව ආ ගැටලු කාලයක් මුළුල්ලේම දේශපාලන භේදයකින් තොරව පැවති සියලු රජයන් යටතේ නොයෙක් ආකාරයෙන් මතු ව තිබුණි. කෙසේ වෙතත් බලපත්‍ර රහිතව වැලි සහ පස් ප්‍රවාහනය කරන පුද්ගලයන් සියල්ලන්ටම එරෙහිව නෛතිකමය වශයෙන් පියවර ගත යුතුය යන්න වැඩබලන පොලිස්පතිවරයා වෙත නියෝගයක් නිකුත් කරමින් පසුගිය 17 වැනිදා අභියාචනාධිකරණය ප්‍රකාශ කර සිටියහ. එසේ සඳහන් කර සිටීමට හේතුව වූයේ පස් හා වැලි ප්‍රවාහනය කිරීමට පනවා තිබූ බලපත්‍ර ක්‍රමය අහෝසි කිරීමට ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය සහ හේමන්ත විතානගේ මහතා ගොනු කර තිබූ පෙත්සම මූලික කර ගනිමිනි.
මේ ආකාරයට පෙත්සමක් ඉදිරිපත් කිරීමට හේතු වූයේ 2019 දෙසැම්බර් මාසයේ රැස්වූ කැබිනට් මණ්ඩලය විසින් එතෙක් පැවති නීතියට අනුව නොව එතැන් සිට බලපත්‍ර රහිතව වැලි පස් හා මැටි ප්‍රවාහනය කළ හැකිය යන්න නීතියක් ලෙසින් ඉදිරිපත් කිරීමට කටයුතු කළ නිසාය. නමුත් යම් නීතියක් නිවැරදි ආකාරයෙන් නීතිගත වීමට නම් එය පාර්ලිමේන්තුවට යොමු කළ යුතු අතර පාර්ලිමේන්තුවේ සම්මත වීමෙන් පමණක් එය නීතියක් විසින් පිළිගනු ලැබෙයි. 1992 අංක 33 දරන පතල් හා ඛණිජ ද්‍රව්‍ය සම්බන්ධ පනත බිහි වන්නේ ලෝකය පුරා කතාබහට ලක්ව ඇති තිරසාර භාවිතය යන සංකල්පය පදනම් කරගනිමිනි. මෙකී පතල් හා ඛණිජ ද්‍රව්‍ය පනත තුළ රට පුරා විසිර පවතින ඛණිජ ද්‍රව්‍ය ප්‍රවාහනය, ගවේෂණය, ගැනීම ආනයනය කිරීම, වෙළඳාම මූලික කර ගැනීම ආදිය සම්බන්ධයෙන් මෙම පනත නීතිගතව පවතී.
පසුගිය 17 වැනිදා අභියාචනාධිකරණ සභාපති විනිසුරු පී.එච්. එම්. ඩී. නවාස් සහ අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා හමුවේ කැඳවන ලද මෙම පෙත්සම සම්බන්ධයෙන් හේමන්ත විතානගේ පවසන්නේ පවතින නීතියට අනුව වැලි හා පස් ප්‍රවාහනයට බලපත්‍ර තිබිය යුතු අතර ඒවා නැති නම් පොලිසියට මේ සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාව පවතින බවයි. එමෙන්ම සිදුවෙමින් පැවතියේ කැබිනට් තීරණය මත බලපත්‍ර අවශ්‍ය නැති බව පෙන්නුම් කරමින් කරුණු කාරණා සිදුවෙමින් පැවතීම බවයි. තවද ඔහු පවසන පරිදි පරිසර ඇමතිතුමා යම් ප්‍රකාශයක් කළ විට එය නීතියක් ලෙස සලකා කටයුතු කරනු ලබන යම් රාජ්‍ය සේවක පිරිසක් සිටින බවත් කට වචනයෙන් කෙනකු ප්‍රකාශ කළ විට ම එය නීතියක් ලෙස ගෙන කටයුතු කිරීමට නොහැකි බවත්ය. එම නිසා මෙය අනිවාර්යයෙන්ම වැලි හා පස් ප්‍රවාහනය සඳහා බලපත්‍ර ලබාගෙන තිබිය යුතු බවත් ඔහු ප්‍රකාශ කරයි. තවත් කරුණක් ලෙසින් හේමන්ත විතානගේ දක්වා සිටින්නේ නීතිය සැමට සමාන ලෙසම ක්‍රියාත්මක විය යුතු බවත් ඇමතිතුමා විසින් ලිපි මගින් දන්වා තිබුණද ඒවා නීති විරෝධී බවයි.
කෙසේ වෙතත් මෙම නීතිය ක්‍රියාත්මක වීමත් සමඟ එක් අතකින් සාමාන්‍ය ජනතාවද අසාධාරණයට ලක් වන පිරිසක් ලෙසින් සඳහන් කළ හැකිය. එනම් තම ඉඩම් තුළ අත්තිවාරම් කපා ඉවත් කරන පස් වෙනත් ස්ථානයකට ප්‍රවාහනය කිරීමට සිදුවන අවස්ථාවන් වලදීය. ඒ සම්බන්ධයෙන් හේමන්ත විතානගේ අදහස් දක්වමින් ප්‍රකාශ කරනු ලබන්නේ 2019 වසරේ සිටි පාරිසරික ලේකම්වරයා විසින් සඳහන් කර ඇති පරිදි කියුබ් 35 කට වඩා අඩු අගයක් ගන්නා ප්‍රමාණයක් ග්‍රාමසේවක අනුමැතිය මත ප්‍රවාහනය කිරීමට හැකි බවත් කියුබ් 50 කට වැඩි ප්‍රමාණයක් ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතිය ඇතිව ප්‍රවාහනය කිරීමට හැකියාව ඇති බවත්ය. නමුත් එයින් පරිසරයට හානියක් නොවිය යුතු බවද ඔහු පවසයි.
2009 අංක 66 දරන සංශෝධිත පනත ට අනුව පතල් හා ඛණිජ ද්‍රව්‍ය පනතේ 63 වන වගන්තියේ සඳහන් වන අයුරින් යම් කිසිවකු තමා සතුව බලපත්‍රයක් නොමැතිව ඛණිජ සම්පත් ප්‍රවාහනය කිරීමේ දී නීතියේ රැහැනට හසුවුවහොත් ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසු මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ යුතුය. ඉන් වරදකරුවකු වීමෙන් පසුව අදාළ දඩ මුදලකට යටත් කරනු ලබන අතර නැතිනම් වසර දෙකක සිර දඬුවමකට යටත් කරනු ලබන බවයි. නොඑසේ නම් දඬුවම් දෙකටම යටත් කරනු ලැබේ. මෙකී වරද යමකු නිරන්තරයෙන් කරනු ලබන්නේ නම් මහේස්ත්‍රාත් අධිකරණයේ වරදකරුවකු බවට පත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ එකහමාරේ සිට ලක්ෂ 20 දක්වා වූ දඩ මුදලකට යටත් කිරීමේ හැකියාව පවතී. නැතිනම් වසර දෙකක සිර දඬුවමකටද එසේ නොමැති නම් මේ දඬුවම් දෙකටමද යටත් කිරීමේ හැකියාවෙන් යුක්තය.
මෙහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා ප්‍රකාශ කරන්නේ වනජීවි ඇමතිවරයා විසින් වැලි හා පස් ප්‍රවාහන බලපත්‍ර අවශ්‍ය නොවන බව ප්‍රකාශ කර ඇති බවත් එම උපදෙස් මත භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශ සභාපතිවරයා පොලිස්පතිවරයා වෙත ලිපියක්ද යොමුකර ඇති බවයි. කෙසේ වෙතත් නීතිය සැමට එකසේ ක්‍රියාත්මක විය යුතු බව පවසන දාබරේ 28 වගන්තියට අනුව ඛණිජ ද්‍රව්‍ය ප්‍රවාහනය, ගබඩා කිරීම, ගවේෂණය, අපනයනය වැනි කටයුතු සඳහා බලපත්‍ර ළඟ තබාගැනීම අනිවාර්ය බව පවසන අතර බලපත්‍ර නොමැතිව නීති විරෝධීව සිදුවන කටයුතු සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාවද පවතින බව සඳහන් කරයිිි.
මේ සම්බන්ධව ජ්‍යෙෂ්ඨ පරිසරවේදී ජගත් ගුණවර්ධන පවසන්නේ මෙකී කටයුත්ත සඳහා මූලික අවදියේ සිටම තමා විරුද්ධ වූ බවත් මේ සම්බන්ධව මුලින් අදහස් දැක්වූවන් පසුකාලීනව මුනිවත රැකීම කනගාටුවට කරුණක් වන බවයි. තවදුරටත් අදහස් දක්වන ජ්‍යෙෂ්ඨ පරිසරවේදී ජගත් ගුණවර්ධන ප්‍රකාශ කරන්නේ මේ මොහොතේ පැවති නීතිය ක්‍රියාත්මක වුව ද පසුකාලීනව යළිත් පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසු එය සම්මත කරගැනීමෙන් ඔවුනට වැලි හා පස් ප්‍රවාහනයට බලපත්‍ර නොමැතිව සිදුකළ හැකිය යන්න නීතියක් බවට පත් කර ගැනීමේ හැකියාවද පවතින බවයි.
2018 වර්ෂයේ භූ විද්‍යා හා පතල් කැණීමේ කාර්යාංශයේ දත්තයනට අනුව ලංකාවේ වැලි මංකඩ 5600ක් පමණ ක්‍රියාත්මක වූ බවත් මේ ආශ්‍රිතව විසිපන්දහසක පමණ මිනිස් ශ්‍රමයක් ක්‍රියාත්මක වූ බව මෙන්ම ඒ තුළින් පවුල් 30,000කට ආසන්න ප්‍රමාණයක් යැපුණු බවද සඳහන්ය. කෙසේ වෙතත් වැලි ඇතුළුව ඛණිජ කැණීම් බල පත්‍ර ලබා ගැනීමෙිදී ඒ සඳහා මූලික වී කටයුතු කරනුයේ භූ විද්‍යා හා පතල් කාර්යාංශයයි. මෙම බලපත්‍ර භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය විසින් නිකුත් කරනු ලබන්නේ 1992 අංක 33 දරන පනත යටතේය. බලපත්‍ර නිකුත් කිරීම වර්ග තුනක් යටතේ සිදුවන අතර එය කැණීම්, ගවේශන, වෙළඳාම යන කරුණු මුල්කර ගනිමින් ඉදිරිපත් කරයි. මේ අනුව බලපත්‍ර හිමියන්ට එම බලපත්‍රය යටතේ ලබා දී ඇති සියලු ඛණිජ වර්ග ගවේෂණය කිරීමේ පූර්ණ අයිතිය හිමි වව අතර හෙක්ටයාර දහයකට නොවැඩි ප්‍රදේශයක් තුළ මීටර් 25කට නොවැඩි ගැඹුරක් දක්වා කැණීම් කර ගැනීමේ හැකියාවක් මොවුන් සතු වේ. නමුත් ඒ සඳහා යන්ත්‍ර සූත්‍ර භාවිත නොකළ යුතුය. එක් මසක නිෂ්පාදනය ඝන මීටර්, මිහි විදමනය ගැඹුර ආදී වශයෙන් කොන්දේසි කිහිපයකට ම යටත් විය යුතුය.
ජනාධිපතිවරයාගේ තීරණයකට අනුව මෙම බලපත්‍ර ක්‍රමය තුළ සාමාන්‍ය ජනතාවට සහන මිලකට වැලි ලබා ගැනීමට නොහැකි නිසා යම් සහන ක්‍රමයක් ලබා දීමට මූලික විය. වැලි මිල ඉහළ යෑමට එක් කාරණාවක් සරලව කියතොත් පසුගිය කාල වකවානුවේ පොළොන්නරුවේ සිට කොළඹට වැලි ලොරියක් පැමිණීමේ දී ස්ථාන 20ක පමණ තිබෙන මුරපළ මගින් පරීක්ෂාවට ලක් කරන අතර රියදුරන් පුරුදු වී සිටියේ ඒ සෑම ස්ථානයකටම මුදල් ලබාදීමට නිසා වැලි මිල ඉතා ඉහළ අගයක් ගැනීම වළක්වා ගත නොහැකි වූ බවත් එය උදාහරණයක් පමණක් බවද ඔහු පවසයි.
කෙසේ වෙතත් පසුගිය දාහත් වැනිදා අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුව අනුව එතැන් පටන් වැලි හා පස් මැටි ප්‍රවාහනය කිරීමේදී අනිවාර්යෙන්ම බලපත්‍රයක් ළඟ තිබිය යුතු අතර එසේ නැති වුවහොත් පොලිසියට නීතිය ක්‍රියාත්මක කිරීමට බාධාවක් නැති බව ද පෙනී යයි. මෙම තීරණය සම්බන්ධයෙන් පරිසරවේදීන්, පරිසර සංවිධාන මෙන්ම සොබාදහමට ආදරය කරන බොහෝ දෙනකු ද තම ස්තූතිය ප්‍රකාශ කරමින් සිටී.