
මෙතෙක් සාර්ථකව මර්දනය කර තිබුණු කොරෝනා වසංගතය යළි ව්‍යාප්ත වීමේ අවදානමක් පසුගිය ජූලි 07 වැනිදා මතු විණි. එනම් දින 70 කට පසුව වැලිකඩ බන්ධනාගාරයෙන් කොරෝනා ආසාදිතයකු හමු වුණේය. මෙම ආසාදිතයා නඩු කටයුත්තකට වැලිකඩ බන්ධනාගාරයට පැමිණෙන්නේ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙනි. මෙම ආසාදිතයා හමුවීමත් සමඟ වැලිකඩ බන්ධනාගාරය, වැලිකඩ බන්ධනාගාර රෝහල, පොළොන්නරුව බන්ධනාගාරය සහ ජුනි 27 තෙක් රඳවා සිටි කන්දකාඩු මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රඳවා සිටින අය සහ කාර්යය මණ්ඩලයේ අය පී.සී.ආර්. පරීක්ෂණවලට ලක් කරනු ලැබීය.
මේ අතරේදී ජූලි 09 වැනිදා නාත්තන්ඩිය කොට්ටරාමුල්ල ප්‍රදේශයේ තරුණියක කොරෝනා ආසාදිතයකු වශයෙන් තහවුරු කර ගැනිණි. ඈ කන්දකාඩු මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිකාර සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශිකාවකි. ඈ නිවාඩු ලබා ගෙන නිවසට පැමිණියේ අසනීප වූ නිසාය. ඇගේ පවුලේ අය සහ අසල්වැසි පවුල් 4ක් යුද හුමදාවේ නිරෝධායන මධ්‍යස්ථානයකට රැගෙන ගොස් ඇත. ඈ අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබද්දී ඈ ආ ගිය තැන් සොයා ස්වයං නිරෝධායනයට ලක් කෙරිණි. ඇගෙන් කොරෝනා ආසාදනය වූ අය ගැන තවමත් වාර්තා වී නැතත්, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවයේ නිරත වී නිවාඩුවට ගම්රටවල් බලා ගිය කීපදෙනකුගෙන් ඔවුන්ගේ පවුල්වල කීපදෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී තිබේ.
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවයේ යෙදුණු යුද හමුදා උපදේශකවරයකු නිවාඩු ලබා සිය ගම වන රාජාංගණයට ගිය අතරේදී ඔහු ගමේ අවමංගල්‍යයකට සහ සත් දවසේ දානමය පින්කමට සහභාගි වූයේ කොරෝනා වයිරසය ඔහුට ශරීරගත වී ඇති බව හාංකවිසියක්වත් නොදැනය. එහෙත් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කාර්යය මණ්ඩලයේ අය යළි කැඳවා පී.සී.ආර්. පරීක්ෂණ සිදු කිරීමේදී ඔහු කොරෝනා ආසාදිතයකු බව හෙළි විය. ඉන්පසුව ඔහුගේ සමීපතමයන් සහ ඇසුරු කළ අය පරීක්ෂණයට ලක් කිරීමේදී ඔහුගේ බිරිඳ, 11 හැවිරිදි පුත්‍රයා සහ අවු: 1 1/2 ක් වයසැති පුත්‍රයා ද කොරෝනා ආසාදනය වූ අය ලෙස තහවුරු කෙරිණි. 11 හැවිරිදි පුත්‍රයා ඒ වන විට පාසල් ගොස් තිබූ බැවින් එකී දරුවාගේ පන්තිවල සිසුන් හා ගුරුවරුන් 70 දෙනකු නිරෝධායනයට ලක් කරනු ලැබීය. සිසුවකුට කොරෝනා වැළඳුණු ප්‍රථම අවස්ථාව ලෙස රාජාංගණයේ මෙම පාසල් සිසුවා හඳුනාගෙන තිබේ. මේ වන විට රාජාංගණයේ 300 දෙනකු පමණ ස්වයං නිරෝධායනයට ලක්කර ඇත. ගිරිබාවේ පවුල් 16ක 47 දෙනකු නිරෝධායනය කර තිබේ. යාය එක, යාය තුන, නවසිරිගම හා යාය පහ ප්‍රදේශ හුදකලා ප්‍රදේශ ලෙස නම් කර තිබේ. 12,000ක් පමණ මෙහි ජීවත් වෙති.
මීට අමතරව හෝමාගම කැන්දලන්ද සහ ගොඩගම පදිංචි යුද හමුදා නිලධාරින් දෙදෙනකුට කොරෝනා ආසාදනය වූ බවට තහවුරු වීමත් සමඟ ඔවුන්ගේ සමීපතමයන් 35 දෙනකු ස්වයං නිරෝධායනයට ලක් විය. රත්නපුර, කුරුවිට සහ ඇහැලියගොඩ පදිංචි යුද හමුදා නිලධාරීන් තිදෙනකුට කොරෝනා ආසාදනය වීමත් සමඟ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ඇතුළු සමීපතමයන් 72 දෙනකු නිවෙස් තුළම නිරෝධායනයට ලක්කර තිබේ. ඔවුන් තිදෙනාගෙන් එක් නිලධාරියකු පැල්මඩුල්ල කිරිවැල්දෙණිය විහාරයට ගොස් තිබූ බැවින් එම විහාරයේ භික්ෂූන්වහන්සේලා පස්නමකට ද ස්වයං නිරෝධායනය වීමට සිදු විය. තවත් නිලධාරියකු කහවත්ත ඇන්දාන ජම්බුගස්ගුලන ප්‍රදේශයේ පිහිටි බිරියගේ නිවසේ දින කීපයක් ගත කළ නිසා ඒ ප්‍රදේශයේ නිවාස 4ක වෙළෙඳසැල් 2ක පුද්ගලයන් 20 දෙනකු පමණ නිරෝධායනයට ලක් කරනු ලැබීය.
ගාල්ල හබරාදූවේ පදිංචි යුද හමුදා උපදේශකවරයකු නිවාඩු ලබා නිවසට පැමිණීමෙන් පසුව කොරෝනා ආසාදිතයකු ලෙස හඳුනාගත් නිසා පවුලේ සාමාජිකයන් ඇතුළු සමීපතමයන් 17 දෙනකු නිරෝධායනයට ලක් කර තිබේ. ඔහුගේ බිරිඳ ගුරුවරියක් වූ නිසා ඈ සේවය කරන පාසලේ පිරිසකුත් නිරෝධායනය කෙරිණි. මොනරාගල ඇතිමලේ සියඹලාආණ්ඩුව සහ බුත්තල පදිංචි කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කරන ආරක්ෂක නිලධාරින් දෙදෙනකුට කොරෝනා වැළඳීමත් සමඟ පුද්ගලයන් 8 දෙනකු නිරෝධායන මධ්‍යස්ථානවලට රැගෙන ගොස් ඇත. තවත් 60 දෙනකු නිවෙස් තුළම නිරෝධායනය කර තිබේ.
ගම්පහ බණ්ඩාරවත්තේ සහ වැරැල්ලවත්තේ ටිකිරිරාජ මාවතේ පදිංචි කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කරන නිලධාරීන් දෙදෙනකු නිවාඩුවට පැමිණ සිටිය දී ඔවුන් කොරෝනා ආසාදිතයන් බව හඳුනා ගැනීමත් සමඟ පවුල් 13කට අයත් පුද්ගලයන් 50 දෙනකු පමණ නිරෝධායනය කෙරිණි. උපදේශකවරයකු ලෙස සේවය කරන බණ්ඩාරවත්තේ පදිංචි නිලධාරියා දානමය පින්කමකට ද සහභාගි වී තිබේ. වැරැල්ලවත්ත පදිංචි රියදුරකු ලෙස සේවය කරන යුද හමුදා සාමාජිකයා ගම්පහ දිසා අධිකරණයේ පැවැත්වෙන නඩුවක සාක්ෂි දීමට ද ගොස් ඇති අතර ප්‍රිය සම්භාෂණයකට ද සහභාගි වී ඇත. මේ වන විට ගම්පහ අංක 2 දිසා අධිකරණයේ දිසා විනිසුරුවරිය හා අධිකරණ කාර්යය මණ්ඩලයේ සහ නීතිඥවරුන් කීපදෙනෙකු නිරෝධායනයට ලක් කර ඇත.
තංගල්ල පට්ටියපොළ ප්‍රදේශයේ පදිංචි, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කරන අයකු නිවාඩුවට ගමට පැමිණීමෙන් අනතුරුව කොරෝනා ආසාදිතයකු බවට තහවුරු විය. ඒ සමඟ ඔහු ආගිය වෙළෙඳසැල් 17කුත් නිවෙස් 8ක 15 දෙනකු සහ ඔහුගේ නිවසේ 6 දෙනකු නිරෝධායනය කෙරිණි.
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයකු ලෙස සේවය කරන යුද හමුදා මේජර්වරයකු මහනුවර කුණ්ඩසාලේ පිහිටි නිවසට පැමිණි පසුව කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු විය. ඔහු රෝහල්ගත කෙරුණු අතර ඔහුගේ බිරිඳ ඇතුළු පවුලේ සාමාජිකයන් නිරෝධායනයට ලක් කර තිබේ. කුණ්ඩසාලේ කෘෂිකර්ම විද්‍යාලයේ ගුරුවරුන් හා ළමයින් ද මේ වන විට නිරෝධායනයට යොමු කර සිටින්නේ ඔහුගේ බිරිඳ එම පාසලේ ගුරුවරියක නිසාය.
උණවටුන ප්‍රදේශයේ පදිංචි වී සිටින, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කරන උපදේශකයකු නිවාඩුවට පැමිණි පසුව කොරෝනා ආසාදිතයකු බව හඳුනා ගැනිණි. ඒ සමඟම ඔහුගේ මව, බිරිඳ අසල්වාසින් ඇතුළු 27 දෙනකු නිරෝධායනය කිරීමට පියවර ගැනිණි. මීට අමතරව උණවටුනේ පදිංචි කොරෝනා ආසාදිත උපදේශකවරයා ඇසුරු කළ උණවටුන දුම්රිය ස්ථානයේ ස්ථානාධිපති ස්වයං නිරෝධායනයට ලක් වී සිටින බැවින් උණවටුන දුම්රිය ස්ථානය වසා දැමීමට සිදු විය.
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කරන යුද හමුදා සාමාජිකයකු පිටබැද්දර සිය නිවසට පැමිණ අසල පැවැත්වූ දේශපාලන රැස්වීමකට ද සහභාගි වී ඇති අතර ඔහු ද කොරෝනා ආසාදිතයකු ලෙස වාර්තා වීමත් සමඟ ඔහුගේ මව, පියා ඇතුළු ඥාතින් 10 දෙනකු සහ පවුල් 25ක පුද්ගලයන් 60 දෙනකු නිරෝධායන මධ්‍යස්ථානයකට ගෙන ගොස් ඇත.
රාගම පිහිටි පුද්ගලික රෝහලක් වසා දැමීමට සිදු වූයේ එම රෝහලේ සාමාන්‍යාධිකාරිවරයා කොරෝනා ආසාදිතයකු බවට තහවුරු වීමත් සමඟය. රෝහල් කාර්ය මණ්ඩලය සහ නේවාසික රෝගින්ගේ පී.සී.ආර්. පරීක්ෂණ සිදු කිරීමෙන් පසුව ඔවුන් කිසිවකුට කොරෝනා ආසාදනය වී නොමැති බවට තහවුරු වී ඇත.
ජූලි 15 වැනිදා වන විට කන්දකාඩු කොරෝනා පොකුර ආශ්රයෙන් පී.සී.ආර්. පරීක්ෂණ 3000ක් පමණ සිදු කර ඇත. ඊට රාජාංගණ ප්‍රදේශයේ 395 දෙනකු අයත් වන අතර ඔවුන්ට කොරෝනා ආසාදනය වී නැති බව තහවුරු වී තිබේ. කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය කේන්ද්‍ර කර ගනිමින් දිස්ත්‍රික් 16ක් පුරා පැතිරී ගිය කොරෝනා රෝගින්ගේ ව්‍යාප්තිය සලකා බැලීමේදී රාජාංගණයෙන් වාර්තා වූ ආසාදිතයන් ගණන 16 කි. මීට අමතරව කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආරම්භ කර ඇති ප්‍රතිකාර මධ්‍යස්ථානයේ 358 දෙනෙක් ප්‍රතිකාර ලබති.
රත්නපුර ප්‍රදේශයේ සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව 320කි. කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය කේන්ද්‍ර කර ගෙන ජූලි 17 වන විට කොරෝනා රෝගින් 542ක් හඳුනාගෙන ඇත. ඔවුන්ගේ පවුල්වල සමීපතමයන් 25කි. මේ වන විට දිස්ත්‍රික් 16ක් පුරා ව්‍යාප්ත වූ කන්දකාඩු කොරෝනා පොකුර සිව්වැනි වළල්ල දක්වා සොයා ගෙන තිබේ. කොරෝනා ආසාදිතයන් හා ඔවුන්ගේ සමීපතමයන් ද ඔවුන් ඇසුරු කළ අයද සොයා නිරෝධායනයට ලක් කර ඇත. ඔවුන් ආ ගිය ස්ථාන ද වසා දමා ඇත. ජනතාවට බිය වීමට අවශ්‍ය නොවන්නේ මේ වන විට කොරෝනා පොකුර සම්පූර්ණයෙන් ම පාලනය කර ඇති බැවිනි.
මේ ලිපිය ලියන මොහොත වන විට ශ්‍රී ලංකාව තුළ තහවුරු කළ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 2687කි. එයින් රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන් ගණන 664කි. තවත් රෝගීන් 99ක් වෛද්‍ය අධීක්ෂණ යටතේ පසුවෙති. කොරෝනා හේතුවෙන් මෙතෙක් මරණයට පත්වූ සංඛ්‍යාව 11කි. මෙවන විට රෝගීන් 2012ක් සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් තිබේ.