සටන් කලාවේ මිනිස් මාත්තුව ප්‍රින්ස් ගුණසේකර | Page 3 | සිළුමිණ

සටන් කලාවේ මිනිස් මාත්තුව ප්‍රින්ස් ගුණසේකර

මහා බ්‍රිතාන්‍යයේදී මිය ගිය ප්‍රින්ස් ගුණසේකර සිය ජීවිතයේ අවසාන තිස් වසර බ්‍රිතාන්‍යයෙහි ජිවත් විය. ඔහු 1950-80 යන දශක හතර තුළ ලාංකේය දේශපාලනයේ සුවිශේෂි චරිතයකි. හබරාදූව පාර්ලිමේන්තු මන්ත්‍රී ලෙස ජාතික දේශපාලනයට පිවිසි හෙතෙම, කීර්තිමත් පුවත්පත් කලාවේදියකු, විශිෂ්ට ලේඛකයකු, ග්‍රන්ථ කර්තෘවරයකු, ජ්‍යේෂ්ඨ නීතිඥයකු විය. 1989 භිෂණයට මැදිව, එසමයෙහි දේශපාලන රැකවල් අපේක්‍ෂාවෙන් විදේශ ගතවූ ඔහු මිය යන විට, 94 වියෙහි පසු විය.

1924 ජූලි මස 17 වෙනි දින ගාල්ල කතළුවේදී උපන් ප්‍රින්ස් ගුණසේකර කොළඹ ගෙන්දගම් පොළොවේ දූෂිත දේශපාලනය පෝෂණය කළ අයකු නොවීය. ප්‍රින්ස් ලන්ඩන් බි. ඒ. උපාධිය ලබා, කෙටි කලක් ගුරු වෘත්තියේ යෙදිණි. ඩී.බී. ධනපාලගේ මෙහෙයවීම යටතේ පුවත්පත් කලාවට පිවිසි ඔහු 1955දී නීතිඥ වෘත්තියට පිවිසියේ ය. සිය ජීවිතයේ තිස් වැනි විය පිරෙද්දී ඔහු රටේ දේශපාලනයට එක් විය. 1956දී රට දිනා ගත් මහජන එක්සත් පෙරමුණේ සහකාර ලේකම් වරයකු ලෙස ප්‍රින්ස් ක්‍රියා කළේය.

පැරණි වාමාංශිකයන් වැපුරූ සමාජවාදය වර්තමානයේ විකෘති සහ බොහෝ ප්‍රතිරෝධයන්ට ගොදුරු වී පවතී. පවුල් වාදයට ඉඩ සලසමින්, 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට පැරණි වාමාංශිකයන් අත් එසවීම එක් විකෘතියකි. අද වම යනු ඩිව් ගුණසේකර නොවේ.

1935දී සමසමාජය ආරම්භ වනවිට ප්‍රින්ස් ගුණසේකර එකොළොස් හැවිරිදි දරුවෙකි. වමේ පණිවිඩයට අනුගත වූ ලංකාවේ මුල් ම පරපුරට ප්‍රින්ස් ගුණසේකර ද අයත් වේ. සමසමාජ බලපෑම මුල් වරට භූමියෙහි පුපුරා ගියේ 1953 අගෝස්තු හර්තාලය සමඟ ය. එවකට 29 හැවිරිදි තරුණයකු වූ ප්‍රින්ස් ලංකාදීප කාර්තෘ මාණ්ඩලිකයකු ලෙස මේ ඓතිහාසික සංසිද්ධියට දායක විය. මේ කාලයේ ලේක් හවුසිය එජාපයේ සේනානායක දේශපාලනය දරා සිටි බවට අවලාද නැඟිණි. සමකාලීන සියලු ප්‍රගතිශීලි සටන් පිළිබඳ අනාවැකි, පණිවිඩ මෙන්ම සතුට ද ලංකාදීපය හරහා රට පුරා බෙදා හැරිණි. තරුණ ප්‍රින්ස්ලා එහි භාරය දැරූහ.

ලංකාදීපය, එකල ලංකා දේශපාලනයේ කේන්ද්‍රස්ථානයක් විය. 1953 වනවිට ප්‍රින්ස් ගුණසේකර සමඟ එහි සේවය කළෝ පසු කලෙක රටේ ප්‍රකට චරිත බවට පත් වූහ. 1926-10-26 දින උපන් නිමල් කරුණාතිලක, 1922-09-18 දින උපන් රත්න දේශප්‍රිය සේනානායක 1925-07-11 දින උපන් ධර්මසිරි ජයකොඩි ඒ අතර වූහ. ඔවුන් අතර සිටි දැනුමැතියා 1913-06-19 දින උපන් ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ විය. සත්තකින් ම මේ කණ්ඩායම එදා පෙනී සිටියේ ජනතාවාදි මතයක් වෙනුවෙනි; පුද්ගලාභිවාදනයක් එහි නොවීය. මානවසිංහ උගුර ලේ රහ වෙන තෙක් දියසේන පහළ වුණා කියමින් බණ්ඩාරනායක සමඟ රට වටේ ගියේය. ලංකාදීපයේ නිමල් කරුණාතිලක මාතලෙන් පාර්ලිමේන්තුවට පත් විය. ප්‍රින්ස් 56 සටනේදී පිලිප් ගුණවර්ධනගේ ලේකම් වරයා විය. අගමැති බණ්ඩාරනායක බලයට පත්ව එක් වසරක් තුළ අසාර්ථක විය. බණ්ඩාරනායක දිය බැහැපු සේන ලෙස නම් කරන තරමට, මානවසිංහ සාහසික විය; නිමල් කරුණාතිලක විපක්‍ෂයේ වාඩි විය.

1960 මාර්තුවේදී පිලිප් සමඟ පාර්ලිමේන්තු ගිය දස දෙනා අතර, හබරාදුව මන්ත්‍රී ලෙස ප්‍රින්ස් ගුණසේකර ද, විය. රත්නසිරි වික්‍රමනායකද ඒ දස දෙනාගෙන් කෙනෙකි. 1960 ජූනියේදී ප්‍රින්ස් අසාර්ථක විය. 1963දී පිලිප් ඇන්. ඇම්, එස්.ඒ. වික්‍රමසිංහ ත්‍රිත්වය පෙරටු කොට ගත් වාමාංශික එක්සත් පෙරමුණ බිහි කිරීමට ප්‍රින්ස්ලා වෙහෙසිණ. එදා කොළඹට රැස්වූ ජනකාය දුටු මැතිනිය, ශ්‍රීලනිපයේ දේශපාලන අනාගතය ගැන තැති ගත්තාය. ඇය ඇටවූ උගුලේ පැටලුණ ඇන්ඇම් කොල්වින් දෙදෙනා පිලිප් එස්.ඒ. වික්‍රමසිංහ දෙදෙනා අතරමං කොට වමේ නැඟිටීම විනාස කළහ. මෙතැන් සිට පිලිප් තනිව හිතන්නට පටන් ගත්තේය. ඇන්. ඇම්ලා මෙන්ම, පිලිප් ද පාර වරද්දා ගත් බව තේරුම් ගත් ප්‍රින්ස්, තමන්ට අනන්‍ය දේශපාලනය තුළ තනි ගමනක් ආරම්භ කළේය.

සමසමාජය පිහිටුවන විට, එකොළොස් හැවිරිදිව සිටි ප්‍රින්ස්ලා නවසිය හැට ගණන්වලදී වාම වාදයේ දේශීය දැක්ම නිර්මාණය කළහ. 1965දී පිලිප් මඑපෙන් අවිස්සාවේල්ල ජය ගනිද්දී, ප්‍රින්ස් ස්වාධීන අපේක්‍ෂකයකු ලෙස ශ්‍රීලනිප එජාප අපේක්‍ෂකයන් දෙදෙනාම පරදවා හබරාදුව ජය ගත්තේය. පිලිප් 1965 ඩඩ්ලිගේ කැබිනට් මණ්ඩලයේ කර්මාන්ත ඇමති විය. 1965 මැතිවරණයේදී නිමල් කරුණාතිලක කෑගල්ලට එජාපයෙන් තරග කර පරාද විය. රත්න දේශප්‍රිය 1965දී ඩඩ්ලිට ආණ්ඩුව බාර නොදෙන ලෙස මැතිනියට බල කරමින් වීදි බැස්සේය. මේ සාරාංශ කිරිම හරහා, ප්‍රින්ස් ගුණසේකරගේ දේශපාලනය කියැවිය හැකිය.1965 සිට 1977 තෙක් දොළොස් වසරක් ඔහු ඒ හුදෙකලාව තුළ අඛණ්ඩ ව පාර්ලිමේන්තුව නියෝජනය කළේය. ඒ කිසි තැනක ප්‍රින්ස් පාවාදීම් ද්‍රෝහිකම් කළේ හෝ වම දකුණ මාරු කර ගත්තේ නැත. 1965 වනවිට ප්‍රින්ස් ගුණසේකර යනු වේගවත් හුදෙකලා හීයක් වෙමින් තම මතය දිනවන දේශපාලනයක නිරත විය. ප්‍රින්ස්ගේ දේශපාලනය අධීරාජ්‍ය විරෝධි එකක් විය; මනුෂ්‍යත්වයට ගරු කළ එකක් විය. 1972 ජනරජ ව්‍යවස්ථා විවාදයට සහභාගි වෙමින්, රැජින නමින් දිවුරනවාට වඩා අම්මාපල් කියා දිවුරුම් දීම සතුටක් බව ප්‍රින්ස් කීය.

ප්‍රින්ස් 1966 ජනවාරි 8 වෙනිදා එජාපය ගෙනා 1966 දෙමළ භාෂා විධිවිධාන පනතට එරෙහිවූ විපක්‍ෂය මෙහෙයවූ කොළඹ අරගලය හෙළා දැක්කේය. මේ කියන ප්‍රින්ස් ගුණසේකර 1970දී රත්න දේශප්‍රිය සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට එක් විය. ඔහු එවරද, හබරාදුව ජය ගත්තේය. එහෙත් 1971 කැරැල්ලට බද්ධ තරුණයන් රැකීමට ඉදිරිපත් වෙමින් කෙටි කලක් තුළ ප්‍රින්ස් ශ්‍රීලනිපයෙන් ඉවත් විය.

1975 වනවිට මැතිනියගේ තුනෙන් දෙකේ ආණ්ඩුව අඩපණ විය. යකා සමග එක්ව හෝ රට ගලවා ගැනීමට සිදුවිය. එදා ජන ජවය ජේ.ආර්.ජයවර්ධන සමඟ පෙළ ගැසිණ. ලේක් හවුස් පත්තර වර්ජනයත් සත්‍යග්‍රහ ව්‍යාපාරයත් පෙළ ගැස්වූ ජේ.ආර්. සමඟ පවත්නා රජයට එරෙහිව ප්‍රින්ස් ගුණසේකර හිට ගත්තේය. ප්‍රින්ස්ගේ මේ නිර්භීත භාවය දෙස ඇන්ඇම්ලාත් බලා සිටියේ මවිතයෙනි. කළු ඔක්තෝබරයේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් රනිල්ගේ තීරුව සමඟ රාජපක්‍ෂ විරෝධී ලංකාවම පෙළ ගැසිණ. ප්‍රින්ස් ගුණසේකරගේ දේශපාලනය ගැන අසා ඇත්නම් වීරවංශලා ජනතා විමුක්ති පෙරමුණට රතු අලි කියන්නේ නැත.

නවසිය පනස් ගණන් වල සිට, ජේ.ආර්.ජයවර්ධන අධ්‍යයනය තේරුම් ගෙන සිටි ප්‍රින්ස් 1975 දී එජාපය සමඟ සිට ගත්තේ ය. එහෙත් ප්‍රින්ස් එදා කළේ කඩේ යෑමක් නොවන බව ජේ.ආර්.ජයවර්ධනට එරෙහි වීමෙන් තහවුරු කළේය. ප්‍රින්ස් ගුණසේකර සත්තකින්ම 1989දී පිටුවහල් විය.

ප්‍රින්ස් කාලයට අනුගත මිනිසෙකි. ඔහු 1977දී ජේ.ආර්. සමඟ පෙළ ගැසුණේ කාලයට අනුගත වෙමිනි. කාලයට අනුගත නොවූ චරිත ඉතිහාසයෙන් ප්‍රතික්‍ෂේප වන බව ප්‍රින්ස් ගුණසේකර අපට උගන්වා ගිය පාඩමකි.

 

Comments