දරු සෙනේ වෙනුවෙන් කිරළුන් දමන මායම් | Page 2 | සිළුමිණ

දරු සෙනේ වෙනුවෙන් කිරළුන් දමන මායම්

තල්ගහ දිගන වැව, වන­පෙ­තක් මධ්‍ය­යට වෙන්න හුදෙ­ක­ලා­වෙම පිහි­ටලා තියෙන ලස්සන වැවක්. සතුන් ගැන ඉගෙන ගන්නවා නම් යා යුතු කදිම තැනක් . මේ වැව පිහි­ටලා තියෙන්නේ ලුණු­ග­ම්වෙ­හෙර ජාතික උද්‍යා­නය තුළයි. ඉතින් ඒ සමී­පයේ ගත කරන සෑම හෝරා­ව­කම මුහුණ දීමට සිදු වෙන්නේ නවමු වන­ගත අත්දැ­කී­ම­කයි. වැවක් කියන්නේ වනය ජීව­යෙන් පුර­වන වන දරු­වන් ගැන ලියැ­වුණු දැනුම් පුස්ත­ක­යක්. කැලය ඇතු­ළට වෙන්න තියෙන මේ වගේ වැව්වල මඩ පිරුණු වැල්ලේ හැම තැන­කම දැක ගන්න ඇත්තේ වතුර බොන්න ආ සතුන්ගේ අඩි සල­කු­ණුයි. ඒ සල­කුණු වලින් කියැ­වෙන්නේ කැලයේ ජීව­ත්වෙන කැලය පුරා හක්ක­ලන් කරන වන වාසීන් ගේ වග­තු­ගයි. වැව්දිය මඩ කඩිති සත්තුන් ගේ හැසී­රීම් ගැන ලියපු වාර්තා සට­හ­නක් වගෙයි. සතකු දකි­න්නට බැරි වුණත් උන් කළ කී දේ සට­හන් වුණු නිහඬ සාක්ෂී වෙන්නේ මේ සත්ව සල­කු­ණුයි. ආන් ඒ ගැනත් සිහි­පත් කර­මින් කැලේ - කොළේ ඇවි­දි­න­ව­නම් කැලය ගැන ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුළු­වන්.

මඩ සහිත වැල්ලේ ගැඹු­රට එරී සට­හන්ව ඇති වංගෙඩි පතුල් හා සමාන අලි පා සට­හන් වැව් පිටියේ මඩ සහිත වැල්ලේ එම­ටයි.

කුර සල­කුණු

විම­සි­ලි­මත්ව වතුර බීපු මුව රැළ­කගේ කුර සල­කුණු වැව දෙපැ­ත්තෙම ඉවුරු පුරා සට­හන් වෙලා. මුවන්ගේ විම­සි­ලි­මත් බව, සාමූ­හි­ක­ත්වය, කල­බ­ල­කා­රී­ත්වය, කෙළි­ක­වට විලා­සය කියන හැම හැසි­රීම් රටා­වක්ම මේ පා සට­හ­න්වල ඇතු­ළත්. මුව කුර සට­හ­න්ව­ලට සාපේ­ක්‍ෂව ප්‍රමා­ණ­යෙන් විශාල පිය­වුණු කුර සට­හන් ඇත්තේ ගෝන්නු­න්ටයි. ඒ අතර වට­කුරු කුර සට­හ­නින් කියැ­වෙන්නේ කුළු, මී, ගව සාමා­ජි­ක­යින් වැව් පිටියේ ඇවි­දි­මින් තණ කොළ බුදපු ආකා­ර­ය­කුයි.

ඌරාගේ පට ඇරුණු කුර සට­හන ගෝනා ගේත්, මුවා ගේත් කුර සට­හ­නින් වෙන් කර හඳුනා ගන්න පුළු­වන්. මොකද හැම වෙලා­ව­ක­දීම ඌරා ගේ කුර සට­හන පිටි­ප­ස්සට වෙන්න බොරු නිය සට­හන ද දැක ගන්න පුළු­වන්.

මුළු මනින්ම යටි පතුල් සට­හන් වෙන්නේ වලසා, රිලවා, ඉත්තෑවා කියන සතුන් ගෙයි. වල­සාගේ යටි පතුලේ සල­කුණ කුඩා දරු­වෙකු ගේ යටි පතුලේ පා සල­කු­ණට සමා­නයි. ඉත්තෑ­වාගේ පා සල­කුණ පැහැ­දි­ලිව අඳුන ගන්න හැකි වෙන්නේ ඒ පා සල­කුණ ළගම සට­හන් වෙන වලි­ගයේ පසු පස ඉත්තෑ කූර බිම ඇති­ල්ලීමේ සල­කු­ණෙ­නුයි.

විම­සි­ලි­මත්ව වැවට ඇවිත්, වැව් දියට නොදැ­නෙන්ට හොර රහ­සේම දිය බිදක් තොලගෑ බළල් පවුලේ සාමා­ජි­ක­යින් ගේ පා සල­කුණු හැම සත්ව ඛාණ්ඩ­ය­කින් ම වෙන් කර හඳුනා ගන්න පුළු­වන්. මොකද කොට්ට­යක් වගේ යටි පතු­ල්ධාරී මොවු­න්ගේත්, සුනඛ පවුලේ සාමා­ජි­ක­ය­කු­වන ‘කපටි හිවලා’ගේත් පා සල­කුණු ප්‍රමා­ණ­යෙන් වගේම නිය සට­හ­න්වල පිහි­ටීම හර­හාත් වෙන්, වෙන්ව හඳුනා ගන්න පුළු­වන්.

කිරළ මායම්

වැවේ දිය සීමා­වට මදක් ඔබ්බට වෙන්න පිහිටා තියෙන පුංචි ගොඩැල්ල වෙතට මගේ අව­ධා­නය යොමු වුණේ ඒ ආස­න්න­යේම ගැව­සෙ­මින් මහ හඩින් කෑ මොර ගහන කිරළ යුව­ළක් හින්දයි. උන් ගේ කෑ මොරයේ ගැබ් වුණේ අඳෝ­නා­වක්. හරි­ය­ටම “මෙන්න එනෝ... අපිට බයෝ...” වගේ බසක් තමයි කිරළ හඬෙන් මට ඇහුණේ. “ඩිඩ්... හී.. ඩූ.. ඉට්” - “ඩිඩ්... හී.. ඩූ.. ඉට්”

තල්ග­හ­දි­ගන වැව් තෙර මාගේ ගැව­සීම ගැන මෙතෙක් විම­සි­ල්ලෙන් පසු වූ කිරළ යුවළ වෙතින් මේ මොහොතේ නම් පළ­වන්නේ විරු­ද්ධ­ත්ව­යක් වගෙයි. යුව­ළක් ලෙසට මෙතු­වක් ගැව­සුණු යටි රත් මල් කිර­ළු­න්ගෙන් එක් කිර­ළෙක් එක් වරම වැව් පිටිය දෙසට දිව යන්න වුණේ මා පුදු­ම­යට පත් කර­ව­මින්. පුදු­මය කියන්නේ මේ වෙලාවේ මෙයාගේ හඬේ ගැබ් වෙලා තියෙන්නේ කෑ මොර­යක්, අඳෝ­නා­වක් නෙමේ ආයා­ච­න­යක්.

“අනේ!...මගේ ගාවට එන්න...” වගේ අයැ­දු­මක්. එබ­දුයි.

මම කිර­ළාගේ පස්සෙන්ම ගියා

මං ඌගේ කිට්ටු­වට ළං වෙද්දි කිරලා තමන්ගේ ගමන නැව­ත්තුවා. මං නැව­තු­ණ­හම ඌ ආයෙ­මත් දුවන්න පටන් ගත්තා. ආන්න ඒ විදිහේ ප්‍රයෝ­ග­ය­කින් වැව් ඉවුර මත උන්නු මා කැලය දිහා­වට අර­ගෙන ගිය කිරළා එතැන සිට මා උන්නු තැනින් ආර­ක්ෂිත දුර­කට දුව ගිහින් එක පාර­ටම ඉගි­ළුණා. ඒ ජය­ග්‍රාහී හඬ­කින් කෑ ගස­මි­නුයි. ඒ හඬේ තිබුණේ “ස්තුතියි...”, “ස්තුතියි...” කියන්නා වැනි වූ කෘත ගුණ පළ කිරී­ම­කුයි.

කැලය මායිමේ තනි වූ මා සිනා­මුසු මුහු­ණින් ඌ ඉගිළ යන දිහා බලා උන්නේ කිරළා කළ රඟ­පෑම සිහි­පත් වීමෙ­නුයි.

ආර­ක්ෂිත චර්යා රටා

කිර­ළුන්ට පොදු වූ ආර­ක්ෂිත චර්යා රටා­වක් ගැනයි මම මේ කියන්න යන්නේ. ආන්න ඒ ආර­ක්ෂිත උපා­යට තමයි මමත් අහු වුණේ. කිර­ළාගේ කැදලි ජලාශ (බොහෝ විට වැව් ඉවුරු) ඇසුරේ තමයි හමු වන්නේ. තමන්ගේ කැදැල්ලේ ඇති බිත්ත­ර­ව­ලට වෙනත් සත­කු­ගෙන් ඇති­විය හැකි හානි දුරු කර ගන්න තමයි මේ වගේ රඟ­පෑම් කරන්න කිරළා පෙල­ඹෙන්නේ. තම කැදැල්ල ඇති ඉස­ව්වෙන් හානි­දා­ය­කයා ගේ අව­ධා­නය තමන් කෙරෙහි යොමු කර කැදැල්ල ආරක්ෂා කර ගැනී­ම­ටයි කිර­ළුන් මෙවැනි රැඟුම් රඟන්නේ.

තමන්ගේ කැදැල්ල සමී­පයේ ඇති සැක සහිත සිදු වීම් ගැන කිර­ළුන් සිටින්නේ නිර­න්තර අව­ධා­න­යෙන්. කැදැ­ල්ලට හානි­යක් බව හැඟුණ සැණින් අත්ත­ටු­වක් බිඳී තුවාල වූ බවක් හඟ­ව­මින් ඉව­තට දිව යන්න­ටත්, එවැනි වූ හැසි­රී­මක් පෙන්න­මින් තමන් හානි­කා­ර­ක­යාට ගොදුරු වීමට සූදා­නම් බවක් ඇඟ­වී­ම­ටත්, එවිට හානි­කා­ර­කයා තමන් වෙත සමීප වූ පසු මෙතෙක් කළ බොරුව හඟ­ව­මින් හානි­කා­ර­කයා විස්ම­යට පත් කර­මින් එක්ව­රම ඉගිළ යාමත් කිර­ළුන් උප­යෝගී කර ගන්න දක්ෂ ආත්මා­ර­ක්ෂක පිළි­වෙ­තක්. තම කැදැල්ලේ බිත්තර හෝ අලුත උපන් පැට­වුන් ආරක්ෂා කර ගන්න තමයි කිර­ළුන් බොහෝ විටදී මෙවැනි වු උපාය මාර්ග­යන් අනු­ග­ම­නය කරන්නේ.

බිත්තර දැමි­මට මේ පක්ෂින් භාවිත කරන්නේ බිම වළක් හා සමවූ කැදැ­ල්ලක්. එහෙත් එය අනෙක් පක්ෂීන් තනන සොබා­වික අමු­ද්‍රව්‍ය උප­යෝගී කර ගෙන සකස් කර ගන්නා කැදැ­ල්ලක් වගේ නම් නැහැ. කිරළ කිරි­ල්ලිය කරන්නේ බිත්තර දාන්න කිට්ටු­වෙද්දි තමන් ජිවත් වන ජලා­ශ්‍රිත පරි­ස­ර­යේම ගල් ගොඩැලි සහිත බිමෙ­හිම බිජු ලෑමයි. බිත්ත­රත් හරි­ය­ටම පසු බිමේ විසි­රුණු ගල් ගොඩැලි හා සමා­නයි. එක්ව­රම හඳුනා ගැනීම අප­හ­සුයි. ඒ බිත්තර කැදැ­ල්ලේන් පෙරළී යැම වළ­ක්වන්න සොබා­ද­හ­මෙන් මේ අයට දිලා තියෙන්නේ අපූර්ව වූ පිහි­ටී­මක්. ගෝපක වර්ණ­යෙන් සම­න්විත බිත්තර වල සුමුදු වට­කුරු බව වෙනු­වට ඇත්තේ බිත්ත­රයේ එක් පැත්තක් රවුම් සහ අනෙක් පැත්ත ඊට සාපේ­ක්ෂව උල් හැඩ­යක්. පිහිටි බිමෙ­හිම දෙපා ආධා­ර­යෙන් පුංචි­යට වළක් තනා ගෙන ඒ මත බිජු දමා බිත්තර රකින කිරළ මවු­පි­යන් හදි­සි­යේ­වත් කැදැ­ල්ලෙන් පිට­තට යන්නේ නම් බිත්ත­ර­වල උල් පැත්ත ඇතු­ළ­ටත්, මොට පැත්ත පිට­ත­ටත් පිහි­ටන විදි­හට තමයි බිත්තර ගොනුව සකස් කරන්නේ. ඒ බිත්තර පෙර­ළි­ගොස් හානී වීමෙන් ආරක්ෂා කර ගන්නයි. බිත්ත­ර­වල පැහැ­ය­ටම සමාන කෝටු - බෝටු වටේට අහු­රන්නේ බිත්ත­ර­ව­ලට එල්ල විය හැකි තර්ජන අවම කර ගන්නයි. කිර­ළුන් තමන්ගේ බිත්තර වෙස් ගැන්වු­මට කෙත­රම් නම් සමත්ද යත් ඔවුන්ගේ බිත්තර අස­ලින් නරි­යන්, ඌරන් වැනි සතුන් යද්දී ඒ සෑම විටෙ­ක­දීම ඒ සතුන්ගේ අව­ධා­නය දිනා ගනි­මින් කෑ මොර දෙනු මම නිරී­ක්ෂ­ණය කර ඇත්තෙමි. මේ අය වර­කට බිත්තර 02 - 04 දක්වා දම­තත් කෙතෙක් බිත්තර පරි­ස්සම් කළත්, උප­දින පැට­වු­න්ගෙන් බොහෝ විට දී පරි­ණත වන්නේ එක් පැට­වකු පම­ණයි. අලුත උපන් පැට­වුන් ටික දිනක් ගත වන තුරු දුර්ව­ලයි. වෙන සතුන්ට ගොදු­රු­විමේ සම්භා­වි­තා­වද වැඩිය. ඒ බව දන්නා කිරළ මව්පි­යන්ද වැඩි අව­ධා­නය යොමු කරන්නේ ශක්ති සම්පන්න පැටවා වෙතයි.

කකුල් අහ­සට

කිර­ළුන් බිත්තර රකින්නේ කකුල් ඉහ­ළට ඔසවා ගෙනයි කියන කියුම අපේ ජන සමා­ජයේ ප්‍රකට කියු­මක්. මේ පක්ෂින්ගේ කකුල් දිගුයි. එබැ­වින් බිත්තර රැකි­මේදී ඒවා නවා ගැනී­මට අප­හසු බවක් පෙනු­ණත් උන්ට තම දිගු දෙපා අවශ්‍ය විදි­හට පාල­නය කර ගන්න පුළු­වන්. දිගු දෙපා නමා ගෙන බිත්තර රකින්නේ අහස කඩා වැටෙයි කියන බය­කට නොව තම බිත්ත­ර­ව­ලට නපුරු සතුන් වින කටියි කියන නිර­න්තර බියට බව­නම් සැබෑය.

අහස තමන්ගේ බිත්තර මතට වැටී ඒවා විනශ වේවිය කියන අනි­යත බිය හේතු­වෙන් කිර­ලුන් සොබා­ද­හ­මත් සමඟ ජීවත් වූ අපේ පැරැ­නි­යන් යමක් කිව්වේ පරි­ස­ර­යෙන් ඉගෙන ගෙනයි. මේ පුංචි කුරුල්ලා තමන්ගේ හිස මතට අහස කඩා වැටු­ණත් පුංචි පා පොඩි අහ­සට දගු කරන්නේ දැඩි අධි­ෂ්ඨා­න­ය­කින්. තමන්ගේ දරු­වන් ආරක්ෂා කර ගැනීමේ අදි­ට­නින්.

සේයාරූ - රෝහිත ගුණ­ව­ර්ධන
සඳ­මල් රශ්මී ශ්‍රී බුද්ධික

Comments