
තල්ගහ දිගන වැව, වනපෙතක් මධ්‍යයට වෙන්න හුදෙකලාවෙම පිහිටලා තියෙන ලස්සන වැවක්. සතුන් ගැන ඉගෙන ගන්නවා නම් යා යුතු කදිම තැනක් . මේ වැව පිහිටලා තියෙන්නේ ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානය තුළයි. ඉතින් ඒ සමීපයේ ගත කරන සෑම හෝරාවකම මුහුණ දීමට සිදු වෙන්නේ නවමු වනගත අත්දැකීමකයි. වැවක් කියන්නේ වනය ජීවයෙන් පුරවන වන දරුවන් ගැන ලියැවුණු දැනුම් පුස්තකයක්. කැලය ඇතුළට වෙන්න තියෙන මේ වගේ වැව්වල මඩ පිරුණු වැල්ලේ හැම තැනකම දැක ගන්න ඇත්තේ වතුර බොන්න ආ සතුන්ගේ අඩි සලකුණුයි. ඒ සලකුණු වලින් කියැවෙන්නේ කැලයේ ජීවත්වෙන කැලය පුරා හක්කලන් කරන වන වාසීන් ගේ වගතුගයි. වැව්දිය මඩ කඩිති සත්තුන් ගේ හැසීරීම් ගැන ලියපු වාර්තා සටහනක් වගෙයි. සතකු දකින්නට බැරි වුණත් උන් කළ කී දේ සටහන් වුණු නිහඬ සාක්ෂී වෙන්නේ මේ සත්ව සලකුණුයි. ආන් ඒ ගැනත් සිහිපත් කරමින් කැලේ - කොළේ ඇවිදිනවනම් කැලය ගැන ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුළුවන්.
මඩ සහිත වැල්ලේ ගැඹුරට එරී සටහන්ව ඇති වංගෙඩි පතුල් හා සමාන අලි පා සටහන් වැව් පිටියේ මඩ සහිත වැල්ලේ එමටයි.
කුර සලකුණු
විමසිලිමත්ව වතුර බීපු මුව රැළකගේ කුර සලකුණු වැව දෙපැත්තෙම ඉවුරු පුරා සටහන් වෙලා. මුවන්ගේ විමසිලිමත් බව, සාමූහිකත්වය, කලබලකාරීත්වය, කෙළිකවට විලාසය කියන හැම හැසිරීම් රටාවක්ම මේ පා සටහන්වල ඇතුළත්. මුව කුර සටහන්වලට සාපේක්ෂව ප්‍රමාණයෙන් විශාල පියවුණු කුර සටහන් ඇත්තේ ගෝන්නුන්ටයි. ඒ අතර වටකුරු කුර සටහනින් කියැවෙන්නේ කුළු, මී, ගව සාමාජිකයින් වැව් පිටියේ ඇවිදිමින් තණ කොළ බුදපු ආකාරයකුයි.
ඌරාගේ පට ඇරුණු කුර සටහන ගෝනා ගේත්, මුවා ගේත් කුර සටහනින් වෙන් කර හඳුනා ගන්න පුළුවන්. මොකද හැම වෙලාවකදීම ඌරා ගේ කුර සටහන පිටිපස්සට වෙන්න බොරු නිය සටහන ද දැක ගන්න පුළුවන්.
මුළු මනින්ම යටි පතුල් සටහන් වෙන්නේ වලසා, රිලවා, ඉත්තෑවා කියන සතුන් ගෙයි. වලසාගේ යටි පතුලේ සලකුණ කුඩා දරුවෙකු ගේ යටි පතුලේ පා සලකුණට සමානයි. ඉත්තෑවාගේ පා සලකුණ පැහැදිලිව අඳුන ගන්න හැකි වෙන්නේ ඒ පා සලකුණ ළගම සටහන් වෙන වලිගයේ පසු පස ඉත්තෑ කූර බිම ඇතිල්ලීමේ සලකුණෙනුයි.
විමසිලිමත්ව වැවට ඇවිත්, වැව් දියට නොදැනෙන්ට හොර රහසේම දිය බිදක් තොලගෑ බළල් පවුලේ සාමාජිකයින් ගේ පා සලකුණු හැම සත්ව ඛාණ්ඩයකින් ම වෙන් කර හඳුනා ගන්න පුළුවන්. මොකද කොට්ටයක් වගේ යටි පතුල්ධාරී මොවුන්ගේත්, සුනඛ පවුලේ සාමාජිකයකුවන ‘කපටි හිවලා’ගේත් පා සලකුණු ප්‍රමාණයෙන් වගේම නිය සටහන්වල පිහිටීම හරහාත් වෙන්, වෙන්ව හඳුනා ගන්න පුළුවන්.
කිරළ මායම්
වැවේ දිය සීමාවට මදක් ඔබ්බට වෙන්න පිහිටා තියෙන පුංචි ගොඩැල්ල වෙතට මගේ අවධානය යොමු වුණේ ඒ ආසන්නයේම ගැවසෙමින් මහ හඩින් කෑ මොර ගහන කිරළ යුවළක් හින්දයි. උන් ගේ කෑ මොරයේ ගැබ් වුණේ අඳෝනාවක්. හරියටම “මෙන්න එනෝ... අපිට බයෝ...” වගේ බසක් තමයි කිරළ හඬෙන් මට ඇහුණේ. “ඩිඩ්... හී.. ඩූ.. ඉට්” - “ඩිඩ්... හී.. ඩූ.. ඉට්”
තල්ගහදිගන වැව් තෙර මාගේ ගැවසීම ගැන මෙතෙක් විමසිල්ලෙන් පසු වූ කිරළ යුවළ වෙතින් මේ මොහොතේ නම් පළවන්නේ විරුද්ධත්වයක් වගෙයි. යුවළක් ලෙසට මෙතුවක් ගැවසුණු යටි රත් මල් කිරළුන්ගෙන් එක් කිරළෙක් එක් වරම වැව් පිටිය දෙසට දිව යන්න වුණේ මා පුදුමයට පත් කරවමින්. පුදුමය කියන්නේ මේ වෙලාවේ මෙයාගේ හඬේ ගැබ් වෙලා තියෙන්නේ කෑ මොරයක්, අඳෝනාවක් නෙමේ ආයාචනයක්.
“අනේ!...මගේ ගාවට එන්න...” වගේ අයැදුමක්. එබදුයි.
මම කිරළාගේ පස්සෙන්ම ගියා
මං ඌගේ කිට්ටුවට ළං වෙද්දි කිරලා තමන්ගේ ගමන නැවත්තුවා. මං නැවතුණහම ඌ ආයෙමත් දුවන්න පටන් ගත්තා. ආන්න ඒ විදිහේ ප්‍රයෝගයකින් වැව් ඉවුර මත උන්නු මා කැලය දිහාවට අරගෙන ගිය කිරළා එතැන සිට මා උන්නු තැනින් ආරක්ෂිත දුරකට දුව ගිහින් එක පාරටම ඉගිළුණා. ඒ ජයග්‍රාහී හඬකින් කෑ ගසමිනුයි. ඒ හඬේ තිබුණේ “ස්තුතියි...”, “ස්තුතියි...” කියන්නා වැනි වූ කෘත ගුණ පළ කිරීමකුයි.
කැලය මායිමේ තනි වූ මා සිනාමුසු මුහුණින් ඌ ඉගිළ යන දිහා බලා උන්නේ කිරළා කළ රඟපෑම සිහිපත් වීමෙනුයි.
ආරක්ෂිත චර්යා රටා
කිරළුන්ට පොදු වූ ආරක්ෂිත චර්යා රටාවක් ගැනයි මම මේ කියන්න යන්නේ. ආන්න ඒ ආරක්ෂිත උපායට තමයි මමත් අහු වුණේ. කිරළාගේ කැදලි ජලාශ (බොහෝ විට වැව් ඉවුරු) ඇසුරේ තමයි හමු වන්නේ. තමන්ගේ කැදැල්ලේ ඇති බිත්තරවලට වෙනත් සතකුගෙන් ඇතිවිය හැකි හානි දුරු කර ගන්න තමයි මේ වගේ රඟපෑම් කරන්න කිරළා පෙලඹෙන්නේ. තම කැදැල්ල ඇති ඉසව්වෙන් හානිදායකයා ගේ අවධානය තමන් කෙරෙහි යොමු කර කැදැල්ල ආරක්ෂා කර ගැනීමටයි කිරළුන් මෙවැනි රැඟුම් රඟන්නේ.
තමන්ගේ කැදැල්ල සමීපයේ ඇති සැක සහිත සිදු වීම් ගැන කිරළුන් සිටින්නේ නිරන්තර අවධානයෙන්. කැදැල්ලට හානියක් බව හැඟුණ සැණින් අත්තටුවක් බිඳී තුවාල වූ බවක් හඟවමින් ඉවතට දිව යන්නටත්, එවැනි වූ හැසිරීමක් පෙන්නමින් තමන් හානිකාරකයාට ගොදුරු වීමට සූදානම් බවක් ඇඟවීමටත්, එවිට හානිකාරකයා තමන් වෙත සමීප වූ පසු මෙතෙක් කළ බොරුව හඟවමින් හානිකාරකයා විස්මයට පත් කරමින් එක්වරම ඉගිළ යාමත් කිරළුන් උපයෝගී කර ගන්න දක්ෂ ආත්මාරක්ෂක පිළිවෙතක්. තම කැදැල්ලේ බිත්තර හෝ අලුත උපන් පැටවුන් ආරක්ෂා කර ගන්න තමයි කිරළුන් බොහෝ විටදී මෙවැනි වු උපාය මාර්ගයන් අනුගමනය කරන්නේ.
බිත්තර දැමිමට මේ පක්ෂින් භාවිත කරන්නේ බිම වළක් හා සමවූ කැදැල්ලක්. එහෙත් එය අනෙක් පක්ෂීන් තනන සොබාවික අමුද්‍රව්‍ය උපයෝගී කර ගෙන සකස් කර ගන්නා කැදැල්ලක් වගේ නම් නැහැ. කිරළ කිරිල්ලිය කරන්නේ බිත්තර දාන්න කිට්ටුවෙද්දි තමන් ජිවත් වන ජලාශ්‍රිත පරිසරයේම ගල් ගොඩැලි සහිත බිමෙහිම බිජු ලෑමයි. බිත්තරත් හරියටම පසු බිමේ විසිරුණු ගල් ගොඩැලි හා සමානයි. එක්වරම හඳුනා ගැනීම අපහසුයි. ඒ බිත්තර කැදැල්ලේන් පෙරළී යැම වළක්වන්න සොබාදහමෙන් මේ අයට දිලා තියෙන්නේ අපූර්ව වූ පිහිටීමක්. ගෝපක වර්ණයෙන් සමන්විත බිත්තර වල සුමුදු වටකුරු බව වෙනුවට ඇත්තේ බිත්තරයේ එක් පැත්තක් රවුම් සහ අනෙක් පැත්ත ඊට සාපේක්ෂව උල් හැඩයක්. පිහිටි බිමෙහිම දෙපා ආධාරයෙන් පුංචියට වළක් තනා ගෙන ඒ මත බිජු දමා බිත්තර රකින කිරළ මවුපියන් හදිසියේවත් කැදැල්ලෙන් පිටතට යන්නේ නම් බිත්තරවල උල් පැත්ත ඇතුළටත්, මොට පැත්ත පිටතටත් පිහිටන විදිහට තමයි බිත්තර ගොනුව සකස් කරන්නේ. ඒ බිත්තර පෙරළිගොස් හානී වීමෙන් ආරක්ෂා කර ගන්නයි. බිත්තරවල පැහැයටම සමාන කෝටු - බෝටු වටේට අහුරන්නේ බිත්තරවලට එල්ල විය හැකි තර්ජන අවම කර ගන්නයි. කිරළුන් තමන්ගේ බිත්තර වෙස් ගැන්වුමට කෙතරම් නම් සමත්ද යත් ඔවුන්ගේ බිත්තර අසලින් නරියන්, ඌරන් වැනි සතුන් යද්දී ඒ සෑම විටෙකදීම ඒ සතුන්ගේ අවධානය දිනා ගනිමින් කෑ මොර දෙනු මම නිරීක්ෂණය කර ඇත්තෙමි. මේ අය වරකට බිත්තර 02 - 04 දක්වා දමතත් කෙතෙක් බිත්තර පරිස්සම් කළත්, උපදින පැටවුන්ගෙන් බොහෝ විට දී පරිණත වන්නේ එක් පැටවකු පමණයි. අලුත උපන් පැටවුන් ටික දිනක් ගත වන තුරු දුර්වලයි. වෙන සතුන්ට ගොදුරුවිමේ සම්භාවිතාවද වැඩිය. ඒ බව දන්නා කිරළ මව්පියන්ද වැඩි අවධානය යොමු කරන්නේ ශක්ති සම්පන්න පැටවා වෙතයි.
කකුල් අහසට
කිරළුන් බිත්තර රකින්නේ කකුල් ඉහළට ඔසවා ගෙනයි කියන කියුම අපේ ජන සමාජයේ ප්‍රකට කියුමක්. මේ පක්ෂින්ගේ කකුල් දිගුයි. එබැවින් බිත්තර රැකිමේදී ඒවා නවා ගැනීමට අපහසු බවක් පෙනුණත් උන්ට තම දිගු දෙපා අවශ්‍ය විදිහට පාලනය කර ගන්න පුළුවන්. දිගු දෙපා නමා ගෙන බිත්තර රකින්නේ අහස කඩා වැටෙයි කියන බයකට නොව තම බිත්තරවලට නපුරු සතුන් වින කටියි කියන නිරන්තර බියට බවනම් සැබෑය.
අහස තමන්ගේ බිත්තර මතට වැටී ඒවා විනශ වේවිය කියන අනියත බිය හේතුවෙන් කිරලුන් සොබාදහමත් සමඟ ජීවත් වූ අපේ පැරැනියන් යමක් කිව්වේ පරිසරයෙන් ඉගෙන ගෙනයි. මේ පුංචි කුරුල්ලා තමන්ගේ හිස මතට අහස කඩා වැටුණත් පුංචි පා පොඩි අහසට දගු කරන්නේ දැඩි අධිෂ්ඨානයකින්. තමන්ගේ දරුවන් ආරක්ෂා කර ගැනීමේ අදිටනින්.
සේයාරූ - රෝහිත ගුණවර්ධන
සඳමල් රශ්මී ශ්‍රී බුද්ධික