නෙඵම් විල | සිළුමිණ

නෙඵම් විල

නැවතීමේ කලාව

කළු පැහැ විල්ලුද ඇති­රු­වාක් මෙන් අලුත් පාර­වල් හැදී තිබේ. හැදෙ­මින් ද තිබේ. ඒවායේ අලුත් වාහන සිය දහස් ගණ­නින් ඉගි­ල්ළෙයි.

වාහන ඉබේ නොඉ­ගි­ල්ළෙයි. ඒවායේ නැගී ඉගි­ළෙන්නේ මිනි­සුන් ය.

මම ද මගේ ජීවි­තයේ එක්තරා කාල­යක මෙසේ ඉගි­ළු­ණෙමි. වේග­යෙන් රිය පද­වා­ගෙන යෑම මගේ ආශාව ද පුරුද්ද ද විය.

මා රිය පැද­වී­මට පුරුදු වූයේ බාල වියේදී ය. යොවුන් වියේ දී මට පියා­ගෙන් රියක් තිළිණ විය. මා වේග­වත් සේ ම පරි­ස්ස­ම්කාරී ධාව­ක­යකු බව පියා දැන සිටියේ ය.

තරුණ වියේ දී මා වේග­යෙන් රිය පැද­වූයේ අන්‍ය­යන් ආක­ර්ෂ­ණය කර ගනු පිණිස ය. මා විදුලි වේග­යෙන් ඇදී යන විට ඔවුන් දෑස් අයා බලා සිටීම මට ආස්වා­ද­නීය විය.

තරුණ විය ගෙවී ගියේය. ඒත් මම වේග­යෙන් ගියෙමි. ඒ පුරු­ද්දට ය.

දැන් මම මැදි වියට එළඹ සිටිමි. එහෙත් රියට නැගුණු විට මට මගේ වයස අම­තක වෙයි. රිය ඉගිළෙන්නට ගනී. මා දැන් වැඩි­හි­ටි­ය­කුය යන හැඟීම ඒ සමඟ හිතට එයි. මම වේගය පාල­නය කර ගතිමි.

මැදි­වි­යට ළඟා වන විට මිනිස්සු තැන්පත් වෙති. හැම දේම එක්තරා විදි­ය­කින් පාල­නය කර ගැනී­මට උනන්දු වෙති. ජීවි­තයේ අරුත තේරුම් ගැනී­මට පටන් ගනිති. බොළඳ දෙයින් බැහැර වී බරක් ඇති දේ, හර­යක් ඇති දේ සමීප කර ගනිති. ඥාන­ව­න්ත­යන් ලියූ පොත පත කිය­වී­මට පටන් ගනිති. එබඳු අය ඇසුරු කිරී­මට පෙල­ඹෙති. මෙය මට ද පොදු විය.

තරුණ කල මා වේග­යෙන් යන විට දුටුවේ වේගය ම පමණි. ලෝකය නොපෙ­නිණි. දැන් මම වේගය පාල­නය කර ගෙන සිටිමි. දැන් මට ලෝකය පෙනෙයි. ඇතැම් විට මම සුන්දර තැනක නැවතී එහි සිරිය විඳිමි. ගහ කොළ මල් අතු රිකිලි ඇළ දොළ විඳිමි.

ඉද්ද මල් යාය­ක් දැක මම නැව­තු­ණෙමි. මල් යායේ හිමි­කරු එතැන සිටි වග මට අම­තක විණි.

‘මල් ඕනෑ?’ ඔහු ඇසුවේ ය.

‘නෑ’ මම කීමි.

‘එහෙනං මහ­ත්තය බැලුවෙ?’

‘ලස්සන’

ව්‍යාපා­ර­යක් හැටි­යට මල් වගාව කරන ඔහුට මල්වල ලස්සන නොපෙනේ. එය මට පෙනේ.

මම ඔහුට තුති පිදීමි. ඔහු ව්‍යාපා­ර­යක් කළ ද පරි­ස­රය සුන්දර කරයි. එහෙ­යින් මා ඊට තුති පිදිය යුතු ය.

මම යළිත් රියට නැගු­ණෙමි. වාහන මා පසු කර ඉගි­ල‍්ලෙයි. මම ඒවාට ඉඩ දී නිවී සැන­සිල්ලේ යමි.

ඊයේ පෙරේදා කියවා අව­සන් කළ පොතක තිබූ යමක් මට සිහි­පත් වෙයි. එය එක්තරා දේශක හිමි නමක හා ගෝල හිමි නමක අතර කෙරුණ සංවා­ද­යකි.

ගෝලයා චිත්‍ර ශිල්පි­යෙකි. ඔහු දේශක හිමි­ය­න්ගෙන් මෙසේ අසයි.

‘මම කලා­ක­රු­වෙක්මි. මගේ කලා­වට ප්‍රයෝ­ජ­න­වත් වන විදි­යට මා මලක් දෙස බලන්නේ කෙසේද?’

දේශක හිමියෝ මෙසේ පිළි­ව­දන් දෙති.

‘ඔබ මල දෙස ඒ ආකා­ර­යෙන් බැලු­වොත් ඔබට මල හා සම්බන්ධ විය නොහැ­කියි. ඔබ මලෙන් ප්‍රයෝ­ජ­න­යක් ගැනීමේ අද­හ­සින් ‍තොරව මල දෙස බලා සිටි­යොත් ඔබට මල හා සම්බන්ධ විය හැකියි. මල රස විඳීමේ කලාව තිබෙන්නේ එතැ­නයි.’

සංවා­දය තවත් දිග් ගැසෙයි.

‘ඒත් මා පුරුදු වී සිටින්නේ ඇස ගැසෙන හැම දෙය­කින් ම මට ප්‍ර‍යෝජ­න­යක් ලබා ගන්නයි. යාළු­වෙක් දුටු­වොත් ඔහු ගෙන් ලබා ගත හැකි ප්‍රයෝ­ජ­නය කුමක් ද කියා මා හිත­නවා. ඒක වැරදි ද?’

‘යාළු­ව­න්ගෙන් ප්‍රයෝ­ජන ගන්නත් පුළු­වනි. ඒත් යාළුවො කියන්නෙ ප්‍රයෝ­ජන ගෙන දෙන්න ඉන්න අය නෙමේ. ඊට වඩා වැඩි අය. උද­ව්වක් උප­කා­ර­යක් ඉල්ලන්නෙ නැතුව යහ­ළු­වන් ඇසුරු කිරීම කලා­වක්. ඔබ මලක් මලක් හැටි­යට දකින්න නම් නැවතී මල දෙස බැලිය යුතු යි. යාළු­වෙක් යාළු­වකු හැටි­යට දැකී­ම­ටත් නැව­තීමේ කලාව දැන ගත යුතු යි. අප යමකු සමඟ සිනා­සිය යුත්තේ ඔහු­ගෙන් වාසි­යක් ලබන උප­ක්‍ර­ම­යක් හැටි­යට නොවෙයි. අප ඔහු සමඟ සිනා­සිය යුත්තේ අවං­ක­ව­මයි. ජීව­ත්වීමේ කලාව තිබෙන්නේ එතැ­නයි.”

මම හෙමි­හිට ගොස් තවත් සුන්දර තැනක නතර වීමි. එතැන කන්ද උඩ පන්ස­ලක් තිබෙන බව මා දුටුවේ එවිට ය. එහි විසල් බුදු පිළි­මයේ මුව මඬල තුරු වැල් අත­රින් දිස්වේ. මම එදෙස බලා සිටි­යෙමි.

අඟු­ල්ම­ලුන් කඩු­වක් ද ගෙන බුදුන් ලුහු­බැඳ ආ හැටි මට සිහි­පත් විය. එසේ ලුහු­බැඳ එන අතර ඔහු ‘නව­තිනු!’ යි බුදුන්ට කීවේ ය.

‘මම නැවතී සිටිමි. ඔබ නව­තින්න!’ බුදුහු කී හ.

සැබ­වින් ම ඒ බුදු වදනේ මහ අරුත දැන් මට වැට­හෙයි.

ම සිත පහන් වෙයි.

අන­න්‍ය­තාව සඟවා සිටී­මට කැමැති සිළු­මිණ පාඨ­ක­යකු විසින් යොමු කරන ලද ලිපි­යක් ඇසු­රෙනි.


යස දෙබස

ඓති­හා­සික ස්ථාන­යකි.

එහි බැම්මක් මත ගිමන් හරි­මින් සිටින හුදෙ­කලා විදේ­ශීය සංචා­ර­ක­යෙකි.

ඔහු කරා එන අපේ තරුණ පිරි­සකි.

සංචා­ර­කයා ඔවුන් වෙත හැරෙයි. මුවේ මඳ­හ­සකි.

සංචා­ර­කයා - “ඔබලා මේ ස්ථාන­යට ඇවිත් මොන­වද කළේ?”

පිරිසේ කෙනෙක් - “සිතු­වම් නැර­ඹුවා. ගල් පුව­රුවේ ලියා ඇති දේවල් බැලුවා. අපිත් කොහො­ම­හරි යමක් ලිව්වා. අපි කළේ ඒවා. ඔබ මොන­වද කළේ?”

සංචා­ර­කයා - “මුලින්ම මම සිය­ල්ලම නැර­ඹුවා. නැරඹූ දේවල් ගැන විස්ත­ර­ය­කුත් ලියා ගත්තා. ඊට පසු මෙතැ­නට ඇවිත් ගිමන් නිවා ගත්තා. අවට පරි­ස­රය අප­විත්‍ර කර ඇති බව මට පෙනුණා. කුණු කසළ හැම තැනම දමා තිබුණා. මේක වටිනා ස්ථාන­යක්. මේ ස්ථානය අප­විත්‍ර නොකළ යුතුයි. මා ඒ කුණු කසළ එකතු කර ඒවා බැහැර කෙරෙන ස්ථාන­යට ගෙන ගොස් දැමුවා. ඒ කට­යුත්ත වෙහෙ­ස­කර වුණා. විඩා­වක් දැනුණ නිසා නැව­තත් මෙහි පැමිණ ගිමන් නිවා ගන්නට සිතුවා ඒවා තමයි මම කළේ!”

තරුණ පිරිසේ මුහුණු මත රැඳී තිබුණු සිනාව අතු­රු­ද­න් වෙයි. ඔවුහු මුහු­ණට මුහුණ බලා ගනිති. තව­දු­ර­ටත් රැඳී සිටි­න්නට අප­හසු සෙයකි. ඔවුහු වහ වහා පිටව යති.

සංචා­ර­කයා හැරී ඔවුන් දෙස බලා සිටියි.

පෙර පරි­දිම මුවේ මඳ­හ­සකි.

වත්තල, හැඳල අ.ද. සුනිල් මහතා විසින් යොමු කරන ලද ලිපි­යක් ඇසුරෙනි.

නෙළුම්විල
සිළුමිණ,
ලේක්හවුස්,
කොළඹ 10.

Comments