
කඩුගන්නාවේ සිට රේල් පාර දිගේ පල්ලම් බැස්ස අප දැන් සිටින්නේ හතර කෝරළයේ කෑගල්ල දිස්ත්රික්කයේය. අප පාගමනින් යන දුම්රිය මඟ දැන් කෙමෙන් කෙමෙන් ආසන්න වන්නේ රඹුක්කනටය. මේ ප්‍රදේශයේදී රඹුක්කන මාවනැල්ල මාර්ගයත්, දුම්රිය මාර්ගයත් එකිනෙකට සමාන්තරව ආසන්නයෙන් ඇදී යන නිසා ගමනාගමන පහසුකම් සුලභය. මේ නිසා ගෙවතු වගා, පදිංචි නිවාස සහ කුඩා පරිමාණ රබර් වගාබිම් මේ ප්‍රදේශයේදී දැකගත හැකිය.
මොහොතකින් පොද වැස්සක් වැටෙන්න ගත්තද, අපට නොතෙමී නවතින්න තරම් ආවරණයක් ළඟ-පාතක නොවූයෙන් වැස්සේ තෙමෙමින්ම පල්ලම් බසින්නට සිදු විය.
ඊළඟට අපට හමු වන්නේ විශාල කළුගල් කණ්ඩියකි. එය අඩි විස්සක් පමණ උස්ය; දිගින් මීටර් හැටක් පමණය. තාක්ෂණය අද මෙන් දියුණු නොවූ අවධියක, මේ ගල් බැමි පුපුරුවාගෙන, පාර මට්ටම් කොට, සිල්පර එළා, පීලි දමා දුම්රිය මාර්ගය ඉදි කරන්නට කර ඇති කැප වීම ගැන නම් ඇති වන්නේ විස්මයකි.
“මේ පාර හදාගෙන එන දවස්වල නිතර නිතර ගල් පුපුරුවන්න වෙලා තියෙනවා… ඒත් නිතර වහින වැස්සත්, අනතුරුවලින් ආරක්ෂාවත් ඕනෑ නිසා මේ ගල් පුපුරුවන්න අවශ්‍ය වෙඩි බෙහෙත් ගබඩා කරලා තියෙන්නේ විශේෂ ගබඩාවල. මුල්ම දවස්වල රඹුක්කන ඉඳන් තමයි වෙඩි බෙහෙත් ගෙනත් තියෙන්නේ. පස්සේ දුර වැඩි වෙන කොට වෙඩි බෙහෙත් ගබඩාව හදල තියෙන්නේ බැද්දේවෙල හරියේ… ඔන්න ඔය කෙහෙල් කොටුව ගාවින් පහළ බැස්සහම ඒ ගබඩාවේ නටබුන් බලන්න පුළුවන්...” ඒ අපට මඟ පෙන්වන්නට පැමිණි නිපුන ඉඳුනිල්ගේ හඬය.
රේල් පාරේ සිට දළ බෑවුමක මීටර් සියයක් පමණ පල්ලම් බැස්ස විට හමු වන්නේ පෙරළී ගිය ගඩොළු බැමි කිහිපයකි. දැන් එහි වෙඩි බෙහෙත් ගබඩාවක් නැත; ඇත්තේ කඩා දැමූ ගඩොළු බිත්ති කිහිපයක් පමණි.
“මුලින්ම මේකෙ දොර හොරු ගලවගෙන ගියා… ඊට පස්සෙ වටපිටාවේ ගෙවල් හදන අය බිත්තිවල ගඩොළු අරෙගන ගියා... තව ටික දවසකින් මේ ටිකත් නෑ!”
වෙඩි බෙහෙත් ගබඩාවේ නටබුන් දැකගත් අප යළි දුම්රිය මඟට පිවිසියේ සමු දීමකට සූදානමිනි. අපට සමු දෙන්නට සිදු වන්නේ මාකෙහෙල්වල දෙකිඳ බෝක්කුවේ සිට කිලෝමීටර දෙකක පමණ දුරක් මඟ සලකුණු කියා දෙන්නටත්, විස්තර සපයාගැනීමට අවශ්‍ය සබඳකම් සලසා දෙන්නටත් දිවා රෑ නොබලා අප සමඟ පැමිණි මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරී එච්.එම්. නිපුණ ඉඳුනිල් මහතාටත්, ඔහුගේ පියා වූ විශ්‍රාමික දුම්රිය ස්ථානාධිපතිවරයකු වූ එච්.එම්. විජේසිරි මහතාටත්ය. හීන වී යන පොද වැස්සේම සමු ගන්නා ඔවුනට ස්තුති කරමින් අපි යළිත් ඉදිරියට පියමැන්නෙමු.
ඊළඟට අපට පසු කර යන්නට සිදුවන්නේ අලගල්ල කන්දේ නිසරු බෑවුම් පෙදෙසකි. එක් කඳු වැටියක් වුවද එහි අලගල්ල, පූජාගල සහ ඉඟුරුගල යනුවෙන් කඳුමුදුන් තුනකි. පූජාගල මුදුනේ මෑතකදී නිමැවූ චෛත්‍යයක්ද සිරිපතුල් සටහනක්ද පවතින බව අසන්නට ලැබුණත්, දුම්රියේ යන්නකුට චෛත්‍යයේ කොත යාන්තමින් හෝ දැකගන්නට ලැබෙන්නේ අප පාගමනින් යන බැද්දේවල පෙදෙසේදීය. ඊට අමතරව විමසිල්ලෙන් බලන අයකුට රඹුක්කන දුම්රිය පොළේදීද අලගල්ල කඳුවැටියේ පූජාගල මුදුනේ ඇති චෛත්‍යය හඳුනාගත හැකිය. මෙකල සංචාරකයන් අතරද, ප්‍රදේශවාසීන් අතරද අලගල්ල කන්ද නැඟීම විනෝද ඉසවුවක් වී ඇති නමුදු අතීතයේ වටපිටාවේ ගම්වැසියන් අලගල්ල කන්ද නැංගේ නිදහස් දිනයට පමණි. ඒ අපූරු පුරුද්ද ඇරඹී ඇත්තේ සුද්දන්ගෙන් මෙරටට නිදහස ලැබෙන ආරංචිය අලගල්ල බෑවුමේ වූ තුම්පනේ නම් ගමෙහි මිනිසුන්ට ආරංචි වීමෙන් පසු හැසිරී ඇති ආකාරය නිසාය.
එතරම් උගත්කමක් නොතිබුණු මෙගම්වැසියන් සමච්චලයට ලක් කරන අතීත කතා ගොන්නක තවත් කතාවක් ලෙස මේ පුවත පැතිර තිබේ. සුද්දාගේ පාලනයට නතුව සිටින ඔවුන්ට, කොළඹදී සුද්දා නැවැත රට භාර දෙන ආකාරය ගැන තිබී ඇත්තේ කුතූහලයකි. උස් කඳු මුදුනක් වන අලගල්ල මුදුනේ සිට අහස පැහැදිලි දිනෙක කොළඹ මුහුදු තීරය පවා පැහැදිලිව දැකගත හැකි නිසා, නිදහස ලැබීමත් සමඟ කොළඹදී සිදු වන විශේෂ විපර්යාසයක් වේ නම් ඒ සිද්ධිය දැකගැනීමේ අදිටනින් එදා මෙගම්වැසියන් නිදහස ලැබෙන දා අලගල්ල මුදුනට නැඟ තිබෙන බව මේ ජනප්රවාදයෙන් පැවසේ!
1948 පෙබරවාරි 04 දා උදේ සිට හවස් වන තුරුත් කන්ද මුදුනේ සිට බැලූවද කිසිදු වෙනසක් දැක නැති ඔවුන්, කන්ද නොනැඟි බොහෝ දෙනාට නිදහස ලැබෙන සැටි දුටු අයුරෙන් රස කර පැවැසූ බවත්, ඒ නිසා පසුකාලීන නිදහස් සැමැරුම් දිනවලට මේ කන්ද නැඟ, එහි විනෝදයෙන් ගත කර ආපසු පැමිණීම පුරුද්දක් වූ බවත් සඳහන්ය. දැන් තුම්පනේ වැසියන්ගේ තනියට වළගොඩ, හේන්පොල, බැද්දේවල, මාකෙහෙල්වල, බඹරගල ආදි අලගල්ල බෑවුමේ අනෙක් ගම්වල ජනයාද නිදහස් සමරුව දා අලගල්ල නඟිති.
රේල් පාර දිගේ පල්ලම් බසින අපිට ඊළඟට හමු වන්නේ ‘වන්නම් බොක්කුව’යයි. අලගල්ලත්, පූජාගලත් අතර නිම්නයෙන් පහළට ගලා එන දිය පහරක් රේල් පාරට යටින් රිංගා යන්නේ මේ බෝක්කුවෙනි. කොළඹ සිට සැතැපුම් 58 ¼ කණුව ඇත්තේ මේ වන්නම් බෝක්කුවට නුුදුරෙනි. මේ ස්ථානයේ සුවිශේෂත්වය වනුයේ වැසි රහිත සමයට සිහින්ව ගලන දිය පහර මඳ වැස්සකදී පවා චණ්ඩව පහළට ගලා ඒමයි. එහිදී විශාල ගල් පවා පහළට ගලා එන බව පැවසෙන අතර, ඒ ගල්වලින් දුම්රිය මාර්ගයේ බෝක්කුවට හානි වීම වළක්වනු පිණිස දුම්රිය මාර්ගයට තරමක් ඉහළින් ඇළ හරහා රේල් පීලි ළංළංව තබා තිබෙනු දැකිය හැකිය. ගම්වාසීන් ‘දිය හෙණ’ නමින් හඳුන්වන කාලගුණ තත්ත්වයන් මේ ඇළ පාර ආශ්‍රිතව නිතර ඇති වන බැවින් වැසි වේලාවල මේ ස්ථානයෙන් පාගමනින් යෑම අනතුරුදායක වේ.
කුලවාදය ගැන උනන්දුවෙන් සලකන දෙමළ ජනයාගේ විශ්වාසය අනුව රෙදි සේදීම ජීවිකාව කරගත් පිරිසක් මේ බෝක්කුවට පහළින් ඇළ පාරේ රෙදි සෝදා ඇති නිසා මේ බෝක්කුවට ‘වන්නම් බොක්කුව’යි කියනු ලැබේ.
වන්නම් බෝක්කුව ගැන කතාව අපට කීවේ ඒ අසල ඉඩමක රබර් කිරි කපමින් සිටි හැට හැවිරිදි චන්ද්‍රදාස් මහතාය. ඔහුගේ මුත්තා රේල්පාර ඉදි කිරීමට ඉන්දියාවෙන් මෙරටට ආ කම්කරුවකු බවද, සීයා ‘පැට්‍රොල් මාරිමුත්තු’ නමින් ප්‍රසිද්ධව සිටි දුම්රිය මාර්ග අංශයේ සේවකයකු බවද අප සමඟ පැවැසුවේ ආඩම්බරයෙනි.
වන්නම් බෝක්කුව පසු කර තවත් මීටර් පන්සියයක් පමණ පහළට ගමන් කරන විට හමු වන්නේ ‘ගංගොඩ’ උප-දුම්රියපළයි. රඹුක්කන කඩුගන්නාව අතර මාර්ග කොටසේ හමු වන එකම උප-දුම්රියපළ මේ ස්ථානයයි. ගංගොඩ උප-දුම්රියපළ වන්නට පෙර එතැන තිබී ඇත්තේ බැද්දේවල වත්තේ වතු වේදිකාවයි. සතියකට වතාවක් දෙකක් මේ වතු වේදිකාවෙන් රබර් ශීට් පටවාගෙන කොළඹ ගිය බඩු දුම්රියක මතකය ඒ ගමේ බොහෝ දෙනකුට තිබේ. එහෙත් බැද්දේවෙල වත්තේ කම්කරු ජනයා සහ පහළ ගංගොඩ ජනයා වෙනුවෙන් මෙහි මඟී දුම්රියක් නවත්වාගන්නට උත්සාහයක් ගත්තද අසූවේ දශකය වන තුරු ඒ ඉල්ලීම පල දරා නැත. අසූවෙන් පසු සමයේ එක් දුම්රියක් දෙකක් නැවැත්වූ ‘හෝල්ට්’ එකක් බැද්දේවෙලට ලැබුණු අතර, කඩිගමුවේදී හෝ ඉහළ කෝට්ටේදී ප්‍රවේශපත් ගෙන ගමන යන්නට අවස්ථාව ඔවුන්ට ලැබී තිබේ.
1990 දශකයේ බැද්දේවෙල තරුණ සංවිධානයේ සභාපති වූ එම්.කේ. රාජන් නම් තරුණයාගේ අප්‍රතිහත ධෛර්යය නිසා තමන්ට දුම්රියපළක් ලැබුණු බව සදහන් කළ ගම්වාසීහු, අපට ඔහු මුණගස්වන්නට කටයුතු කළහ. ඉතා කෙටි වේලාවකින් එහි පැමිණි රාජන් මහතා තමන් දුම්රියපළ ලබාගැනීමට කළ කැප වීම හෙළි කළේ මෙලෙසිනි:
“මේ ගමේ පවුල් පණහකට වැඩියි. පහළ ගංගොඩේ පවුල් එකසිය පණහකට වැඩියි. මේ හැමෝම රඹුක්කනට යන්න, කඩුගන්නාවට යන්න පුදුම දුකක් වින්දේ… නැවැත්තුවේ ඉස්කෝල කෝච්චිය විතරයි… ඒකෙත් ටිකට් ගන්න බෑ… මම තරුණ කාලේ ඇමැතිවරුන්ට ලියුම් ලියල, දවස් ගණන් හමු වෙන්න ගිහින් 1992දි ස්ටේෂම අනුමත කරගත්තා… අද තරුණ දරුවන් කොළඹ රස්සාවලට යනවා, ඉගෙනගන්න යනවා… මට හරි සතුටුයි…”
දැන් දවසට දුම්රිය දහයක් පමණ නවත්වනු ලබන ගංගොඩ දුම්රිය ස්ථානයේ උප-දුම්රිය ස්ථානාධිපතිවරයාද අපූරු නිර්මාණකරුවෙකි. අප එහි යන විට දුම්රියයන් අතර ඔහුට ලැබෙන විවේකය උපයෝගි කරගනිමින් අත්කම් නිර්මාණයක යෙදෙන’යුරු දැකගන්නට හැකි විය. භාවිත කළ දුම්රිය ටිකට් පත් යොදාගනිමින් ඔහු නිර්මාණය කර තිබුණේ දුම්රිය එන්ජිමක ආකෘතියකි. සැබෑ දුම්රිය එන්ජිමක ලක්ෂණ ඒ අයුරින්ම මතු කරමින් නිමවා තිබූ ඒ දුම්රිය එන්ජිමට සවි කර තිබූ රෝදවලින් චලනය කිරීමටද හැකියාව තිබිණි.
නමින් සුරංජන් මංගල නම් වූ ඔහු තම රාජකාරිය ගැන පැවසුවේ මෙවැන්නකි. “මම ඉගෙනගන්නවා… ඒ සඳහා අවශ්‍ය විවේකයත් ලැබෙන නිසා මේ රස්සාව තෝරාගත්තා… උදේට හවසට තමයි සෙනඟ වැඩි… අනෙක් වෙලාව නිදහසේ ඉන්නවා… පාඩම් කරනවා… තවත් වෙලාව ඉතිරි නම් මේ වගේ නිර්මාණත් කරනවා… තවත් හදපු නිර්මාණ ගෙදර තියෙනවා!”
අප ගංගොඩ දුම්රිය ස්ථානයේ සිටින විට ඊළඟට එහි ළඟා වන ටිකිරි මැණිකේ දුම්රියට ගොඩ වන්නට පැමිණි මඟීන් අතර සිටියේ ‘සංචාරක වෙළෙන්දෙකි’. කොළඹ -නුවර දුම්රිය මාර්ගයේ නිතර යන-එන මඟීන්ට හුරු-පුරුදු ඔහු, රඹුක්කන හා කඩුගන්නාව අතර ගමන් ගන්නා මඟීන්ට නම් ආගන්තුකයෙක් නොවේ. කෙසෙල් කොළවල එතූ ඉඳිආප්ප මුල්ද, හැලපද මේ මාර්ග කොටසේ දුම්රියවලට නැඟ අලෙවි කිරීම ඔහුගේ රැකියාවයි.
“මම ඩී.එම්. ප්‍රේමසිරි. ගම බැද්දේවෙල. වැඩිය ඉගෙනගෙන නෑ… බැන්දායින් පස්සේ මේ රස්සාව පටන් ගත්තා… දැන් අවුරුදු දහයක් විතර. දවසකට රුපියල් දෙදහක් විතර හොයනවා… ගෙදරම තමයි කෑම හදන්නේ... බඩුවලට ගණන් තිබ්බහම රුපියල් දාහකට කිට්ටුව ලාභයි. රේල්ලුවෙන් දඩ ගැහුවම තමයි අවුල… නැත්නම් කිසිම කරදරයක් නෑ…”
මොහොතකින් ගංගොඩට පැමිණි ටිකිරි මැණිකේ දුම්රිය එක්රැස්ව සිටි විස්සක පමණ පිරිස රැගෙන කොළඹ බලා පල්ලම් බැස්ස පසු අප යළිත් පා ගමන ආරම්භ කළේ අතරමඟ සුවිශේෂතා දැකගනිමින් ඉදිරියට යෑමේ අටියෙනි.
ගංගොඩ දුම්රියපළේ සිට මීටර සියයක් පමණ දුරින් දුම්රිය මඟට ඉහළින් ඇත්තේ ආරුක්කුවකි. ඒ ආරුක්කුවට ඉහළින් දිවෙන්නේ රඹුක්කන-මාවනැල්ල ප්‍රධාන මාර්ගයේ සිට බැද්දේවෙල වත්තට යන ජීප් රථ මාර්ගයයි. මේ ආරුක්කුව සුවිශේෂ වන්නේ එය මට්ටම් කළ ගල් කුට්ටි සිර කිරීමෙන් පමණක් ඉදි කර ඇති නිසාය. මේ ඉදිකිරීම සඳහා සිමෙන්ති බිඳක් වත් භාවිත කොට නැති අතර, පසුකාලනව සිදු වූ අනතුරු කිහිපයක් නිසා ඇති වූ පළුදු ප්‍රතිසංස්කරණය සඳහා පමණක් සිමෙන්ති භාවිත කොට තිබේ. මේ පාලමේ සිට පහළට යන විට හමු වන්නේ ආන්දෝලනාත්මක දුම්රිය අනතුරක් සිදු වූ ප්රදේශයකි. ඒ අනතුරේ විස්තර සමඟ ඊළඟ සතියේ හමු වෙමු.
ස්තුතිය - අවසර ගැනීම් සම්බන්ධීකරණය කළ ජ්‍යෙෂ්ඨ දුම්රිය රියැදුරු සමන් ගුණවර්ධන මහතාට, දුම්රිය දෙපාර්තමේන්තුවේ පරිපාලන නිලධාරී (සම්බන්ධිකරණ ලේකම්) විරාජ් නානායක්කාර මහතාට, තොරතුරු තහවුරු කරගැනීමට සහාය වූ කොටුව දුම්රිය මාර්ග අධීක්ෂණ කළමනාකරු ඇන්ටන් වික්‍රමරත්න මහතාට, නාවලපිටිය ප්‍රවාහන අධිකාරි කාර්යාලයට සහ ගමන ගවේෂණ කණ්ඩායමට.