හිර ගෙදර මට ගුරු ගෙද­ර වුණා | සිළුමිණ

හිර ගෙදර මට ගුරු ගෙද­ර වුණා

• ඔබ ඉපදුනේ, පාසල් ගියේ...?

මගේ ගම බලංගොඩ, ඕලුගස්තොට. ඒක බොහොම සුන්දර ගමක්. අපේ ගෙදර තියෙන්නේ වලවේ ගඟ ගලා බසින මිටියාවතේ. මේ ගමේ හිටියෙ බොහොම දුප්පත් මිනිස්සු. මගේ තාත්තා වඩු බාස් කෙනෙක්. අපි සරල ජීවිත ගත කළේ. පාසල් කාලය දුෂ්කරතා මැද ගෙවුණේ. මං ඉස්සෙල්ල ම ඉස්කෝලෙ ගියේ බලංගොඩ බුද්ධ ජයන්ති විද්‍යාලයට. එතැනින් මූලික අධ්‍යාපනය අවසන් කරලා බලංගොඩ මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළු වුණා. උසස් අධ්‍යාපනයට යොමුවීමත් එක්ක ම මට හිරගෙදරට යන්න සිදුවුණා. ඒ තමයි මගේ ජීවිතයේ සන්ධිස්ථානය.

 

• ඒ, 1971?

71’ කැරැල්ල ඇතිවෙන කොට මට වයස අවුරුදු 22යි. ඒ කාලෙ ලංකාවේ වයස අවුරුදු 20 - 25 අතර සියලු තරුණයො වගේ මේකට යොමුවුණා කියල මං හිතනවා. ඒ තරම් මහා කැරැල්ලක් තිබුණා. මමත් ඉතාම ආස්වාදනීයව ඊට ඇදිලා ගියා. ඒ වනවිට රටේ සහ ජාත්‍යන්තරයේ තිබුණු සමාජ - දේශපාලන පසුබිමත් මීට බලපෑවා. වියට්නාම යුද්ධය කෙරෙමින් තිබුණා. ඇමෙරිකන් අධිරාජ්‍යවාදය පරාජය කරමින් වියට්නාමය ජයග්‍රහණය කළා. කියුබානු විප්ලවය, රුසියානු විප්ලවය, චීන විප්ලවය වගේ මේ ඉතිහාස සිදුවීම් වල ආස්වාදය නිසා ලෝකය පුරා සමාජවාදී රැල්ලක් තිබුණා. විශේෂයෙන් හොඳ අධ්‍යාපනයක් සහිත තරුණයන් අතර මේ නැඹුරුව පැවැතුණා. කිසියම් උගත්කමකුත් එක්ක සමාජවාදය පිළිබඳ උනන්දුවක් ඇතිවුණාම සමාජවාදී ලංකාවක් ගොඩනැඟිය හැකිය කියන අවංක හා පවිත්‍ර චේතනාව අප තුළත් ඇතිවුණා. මේ සිතුවිල්ලත් එක්ක එවැනි අනෙක් ඕනෑම අයෙක් වගේ ම මමත් ඊට කැපවී වැඩ කිරීමට පෙලඹෙනවා. ඒ‍කෙ ප්‍රතිඵලය වුණේ මාව අත්අඩංගුවට ගැනීම. ඊළඟට සිරිගෙදරට යන්න සිදුවුණා.

 

• ඔබ යොමු කළේ කොෙහ්ට ද?

කිහිප තැනක ම සිටියා. මුලින් ම වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයට ගි‍ෙය් රිමාන්ඩ් සිරකරුවෙක් හැටියට. ඊළඟට මැගසින්, අනුරාධපුර, කොග්ගල, බෝගම්බර බන්ධනාගාරවල සිටියා. රිමාන්ඩ් කාලයේ දඬුවම් නොකර අවුරුදු 3ක් විතර සිටියා. ඊට පසුව නඩුව විභාග කර බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කළා. ජම්පරය ඇඳගෙන අවුරුදු 3ක් බෝගම්බර හිරගෙදර ගෙවා දැම්මා.

 

• මේ මිනිසකු ගේ ජීවිතයේ අගනා අවධියක්?

ජීවිතයේ එවැනි කාලයක සිර දඬුවමක් විඳීම ඛේදවාචකයක්. ඒත් සිරගෙදරට වැටුණා කියල අපි මානසිකව කඩා වැටුණේ නෑ. මොකද අපි සමූහයක් එකට සිටියෙ. ඔවුන් බොහෝවිට සම වයස්කරුවන්. ඒ වගේමයි මේ කාටත් වගේ අනාගත අපේක්ෂා තිබුණා. සතුටින් හිරගෙදර සිටියා කියනවා නෙවෙයි, ඒත් අපි පොත්පත් කියෙව්වා, ඉගෙනගත්තා, නිර්මාණාත්මක දේවල් කළා. මේ නිසා ඒ කාලය ගතවුණේ බොහොම විනෝදකාමීව. මෙහෙම ‍දේකුත් වුණා. තරුණයො විසිදහසක් විතර හිරේ හිටියෙ. රජය පැත්තෙන් ගත්තා ම මේ ප්‍රශ්නය විසඳන්නත් ඕන. පුනරුත්ථාපන වැඩසටහනක් ක්‍රියාත්මක කළා. මේක හුඟාක් දුරට ම සාර්ථකයි කියල මට හිතෙනවා. ඒ කියන්නෙ ඇතුළෙ ඉන්න අයට පොත පත කියවන්න ක්‍රීඩා කරන්න වගේ හුඟක් පහසුකම් තිබුණා. මේ සමඟ දැඩි පීඩන කාලය නිමා වෙනවා. ඊට පසුව අපට නිදහසේ ඉන්න තරම් පහසුකම් ලැබුණා.

 

• චිත්‍ර අඳින්න පටන් ගත්තෙ කොයි කාලෙද?

පුංචි සන්දියේ පටන් ම මම චිත්‍රවලට දක්ෂයි, ආසාවකුත් තිබුණා. මෙන්න මේ දක්ෂතාව සිරගෙදර ඇතුළෙදි ඉබේ ම ඉස්මතු වුණා. බෝගම්බර අවුරුදු 2ක් විතර ඉන්නකොට එතැන අප සමඟ සිටි සිරකරුවො කියන්නෙ කලාකරුවො. මේක පුදුම දෙයක්. මිනීමරුවෝ, භයානක අපරාධකාරයො වෙන්න පුළුවන් අය සිරගෙදරදි පෙන්ඩන්ට් හැදුවා. පොල් කෙඳි මාල හැදුවා. චිත්‍ර ඇන්ඳා, බිත්ති සැරසිලි හැදුවා. මේ යොමුවීම අපට සිතාගන්නත් බැරි තරම්. සිරගෙදරටත් නිර්මාණකරුවො අවශ්‍යයි. මගේ තිබුණු හැකියාව ඉස්මතු වුණේ එතැනදි. ඔය විදිහට අප අතරින් බිහිවුණු චිත්‍ර ශිල්පීන් කිහිප දෙනාගෙන් එක්කෙනෙක් මම.

බෝගම්බර පාලනාධිකාරය මේ චිත්‍රකාරයන්ට වෙනම පාටියක් හැදුවා. ඒකට ඒ අය දීපු නම “හොබික්ලාස්”. කලින් මම හිටියෙ ‘කුස්සිපාටියෙ’ ඒකෙන් මේ ‘හොබික්ලාස්’ එකට දැම්මා. එතකොට මගේ සිර දඬුවම වුණේ චිත්‍ර ඇඳීම. මට දවසම කරන්න තිබුණේ ඒක. මේ නිසා ඒක ආස්වාදජනකව විඳින්න හැකිවුණා. නිලධාරීන්ට චිත්‍රයක් ඇඳගන්න ඕනැ කළා ම, මම ඒක කරල දුන්නා. මේ විදිහට අපි අතර යහළු මිත්‍රකමකුත් ඇතිවුණා. හිරගෙදරදි නිර්මාණකරුවෙක් වීම නිසා මගේ චිත්‍ර ශිල්පීය හැකියා දියුණු වුණා. ඒ සමඟම මම පොත් විශාල සංඛ්‍යාවකුත් කියෙව්වා.

 

• හිරගෙදර පොත් පත් තිබුණා ද?

තිබුණා. ඊට අමතරව අපිව බලන්න එන ඥාතීන්ට, යහළුවන්ට කියලත් පොත් ගෙන්වා ගත්තා. සාමාන්‍ය ජීවිත කාලයේදී කියවගන්න බැරි තරමේ මහා පොත් කන්දරාවක් හිරගෙදරදි කියෙව්වා. චිත්‍ර කලාවට සම්බන්ධ පොත පත වැඩියෙන් කියවීම නිසා, ස්වයං චිත්‍ර කලා අධ්‍යාපනයකුත් ලැබුවා.

ඔය අතර තවත් දෙයක් සිදුවුණා. හිරගෙදර ඇතුළාන්තය, සිරකරුවන්ගේ ජීවන සංසිද්ධීන් චිත්‍රයට නඟන්න ඕනැ කියලා මට හිතුණා. ලෝකයේ කිසි ම චිත්‍ර ශිල්පියෙක් එහෙම දෙයක් කරලා නැතිව ඇති. නමුත් මට එවැනි සිතුවිල්ලක් පහළ වුණා. ඉතින් මම කළේ සිරගෙදර කුස්සිය, නාන තැන, විවිධ පාටි වල වැඩ කරන අය , පුද්ගල චරිත, එල්ලුම් ගස ආදිය චිත්‍රයට නැඟුවා. අපි ඉන්න කාලෙ එල්ලුම් ගහ ක්‍රියාත්මකයි. ඒ දිනවල පස්දෙනෙක් එල්ලා මැරූ බවත් මතක තියෙනවා. ‘මරු සිරා’ එල්ලා මැරුවෙත් අපි සිටියදී. මේ විදිහට චිත්‍ර 30 ක කට්ටලයක් මම නිම කළා.

 

• මේක ප්‍රසිද්ධ වුණාද?

මේ වැඩේ කළේ රහසිගතව. අහුවුණා නම් අත්අඩංගුවට ගන්නවා. මේ ඇඳපු චිත්‍ර ටික මං හොරෙන් ම එළියටත් ගෙනාවා. 1979 දි මං හිරෙන් නිදහස් වුණා.

 

• ඊට පසුව ඔබ ගුරු විද්‍යාලයටත් යනවා?

ඔව්. මම ගිරාගම සෞන්දර්ය ගුරු විදුහලේ ඉගෙනගෙන කථිකාචාර්යවරයෙක් වශයෙනුත් කටයුතු කළා. චිත්‍ර විෂය ගැනමයි. විශ්‍රාම ලබන තෙක් ම අවුරුදු 15 ක් සේවය කළා.

 

• චිත්‍ර ප්‍රදර්ශන කීයක් විතර කළා ද?

චිත්‍ර ප්‍රදර්ශන 10 ක් විතර කළා. ලයනල් වෙන්ඩ්ට් රඟහල, කලාභවන වගේ තැන්වල සෑම අවුරුද්දකට දෙකකට වරක් චිත්‍ර ප්‍රදර්ශනයක් කළා. මේකෙන් මගේ චිත්‍ර කලා හැකියාවන් දියුණු කර ගත්තා. පොත පත කියවමින් තවත් දැනුම ලැබුවා. ගුරු විදුහලේදී ඉගැන්වුවේ ගුරුවරුන්ට. ඊට පුළුල් දැනුමක් අවශ්‍යයි. හොඳම නිදසුන, එක්වතාවක් චිත්‍ර කලා විෂය නිර්දේශය සංශෝධනය කරලා අලුතෙන් නූතන චිත්‍ර කලාව ඇතුළත් කළා. උපස්ථිතිවාදය, ගනික වාදය වගේ දේවල් ඇතුළු වුණා. මේවා ගැන උසස් පෙළ සිසුන්ට තබා ගුරුවරුන්ට දැනුමක් තිබුණෙත් නෑ. විශාල දැනුමක් ඔවුන් මගෙන් බලාපොරොත්තු වුණා. ඒ නිසා මේවා ගැන දැනුම්වත් වෙන්න මට ස්වභාවය විසින් ම බලකෙරුණා. මං ලේඛන කලාවට පිවිසුණෙත් මෙතැනින්. ගිරාගම ගුරු විදුහලේත්, විශ්වවිද්‍යාලයේත් තියෙන පොත් පත් රැසක් ම හදාරලා පොත් කිහිපයක් ම ලිව්වා. ඒ අතරින් වැදගත් ම පොත “නූතන චිත්‍ර ප්‍රවේශය” එය අදටත් ජනප්‍රියයි. මුද්‍රණ 9 ක් විතර ගියා. චිත්‍ර ශිල්පියෙක් වන අතර ම චිත්‍ර කලා අධ්‍යාපනය වෙනුවෙනුත් යමක් කරන්න ලැබුණා කියල හිතනවා.

 

• මේ චිත්‍ර අලෙවි කළා නම් ඔබට අමතර ආදායමක් උපයන්නත් තිබුණා?

නෑ. මං එතැනට පත්වුණේ නෑ. එක හේතුවක් එය මගේ වෘත්තිය නොවීම. රැකියාවක් නොතිබුණා නම් චිත්‍ර ශිල්පියකුට චිත්‍ර විකුණන්න වෙනවා. ඒත් මට රැකියාවක් තිබුණා. මා තුළ පැවැති සමාජවාදී අදහස් හා සමාජය පිළිබඳ තිබූ සංවේදී සිතිවිලි නිසා මම මගේ චිත්‍ර කලාව භාවිත කළේ පොදුජන යහපත වෙනුවෙන්. ඒකෙන් සමාජ මෙහෙවරක් කිරීම මගේ පළමු පරමාර්ථය. ඒ වෙනුවෙන් ගිරාගම ගුරු විදුහලේදී මම සංවිධානයකුත් පිහිටුවා ගත්තා. ඒ, ‘සමස්ත ලංකා චිත්‍ර කලා අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංවිධානය’. ‘සෝලියස් මැන්දිස් චිත්‍ර කලා පදනම’ කියල තවත් සංවිධානයක් බිහි කළා. දැනට අවුරුදු 18 ක් තිස්සේ චිත්‍ර කලාවෙන් සමාජ සත්කාරක වැඩසටහන් කරගෙන යනවා. ළමා චිත්‍ර තරගයක් පවත්වනවා. සෑම වර්ෂයක ම චිත්‍ර කලාවට දස්කම් ඇති ළමයින් 300 - 500 ක් පමණ තෝරාගෙන ඒ දස්කම් අගය කරලා සම්මාන ප්‍රදානය කරලා ඔවුන් දිරිගැන්වීම අවුරුදු 15 ක් තිස්සේ කරනවා.

රටේ විවිධ ප්‍රදේශවලට ගිහින්, වැඩසටහන් කරනවා. උදාහරණයක් හැටියට නැගෙනහිර පළාතේ චිත්‍ර ගුරුවරුන්ට චිත්‍ර කලාව ගැන එහෙම නිසි දැනුමක් තිබුණේ නෑ. ඒ අයට දැනුම දීමට අපේ සංගමය නොමිලේ වැඩමුළු පැවැත්වුවා. මේ වගේ අප්‍රකට වුණත් සමාජ මෙහෙවරක් කරන්න ලැබුණා.

 

• චිත්‍ර වලින් ලෙඩ රෝග සුව කිරීම ගැනත් ඔබේ අවධානය යොමුවුණා නේද?

මේකට කියන්නෙ මනෝ සායනික චිත්‍ර කලාව කියලා. එක වැඩසටහනක් කළා පල්ලෙකැලේ එළිමහන් සිර කඳවුරේ. රැඳවියන් 160 ක් වෙනුවෙන් මේ වැඩසටහන් කළා. එවකට එහි අධිකාරිවරයා වුණේ මගේ මිත්‍රයෙක්. මේ වැඩසටහන කළේ ඔහු‍ෙග් ඉල්ලීමට. ඒ අනුව අපි එහාට ගිහින් මේ තරුණ සිරකරුවොත් එක්ක දවසක් චිත්‍ර ඇන්දා. ඒක පුදුමාකාර අත්දැකීමක් කවදාවත් පැන්සලක්, පින්සලක් අල්ලා නැති අයත් එතැන සිටියා. සිරකරුවො ඉස්සෙල්ල ම කිව්වෙ, අපට චිත්‍ර බෑ කියලා. ඔවුන් සමඟ කතා කරලා කැමැති කරවා ගත්තා. පසුකාලය වෙන කොට ඔවුන් චිත්‍ර ඇඳීම නතර නොකරන තරමට ම තත්වය වෙනස් වුණා. ඒක බන්ධනාගාරයටත් ප්‍රශ්නයක් වුණා. මොකද සවස 5 ට එය වැසිය යුතුයි. ඒ නිසා තමයි මේක නතර කළේ.

 

• ඔබ පිළිකා රෝහලේත් වැඩසටහනක් කළා?

පිළිකා රෝහලේ වෛද්‍යවරයකු ගේ ඉල්ලීමක් මත ප්‍රතිකාර ප්‍රතිකාර ලබන ළමයි වෙනුවෙන් ඔවුන්ගේ මනස සුවපත් කිරීමට චිත්‍ර කලා වැඩසටහන් කළා. වෛද්‍යවරයා මගෙන් ඉල්ලුවේ මේක පිළිකා රෝගීන් වෙනුවෙන් කරන්න. ඒත් ඔවුන්ට මේ වැඩේ කරන්න බෑ. පුංචි ළමයි නම් මම බාර ගන්නම් කියලා තමයි මම මේ සඳහා යොමුවුණේ. 2008 අවුරුද්දෙ ළමයි 100ක් විතර එක්ක අපි මාසයක් චිත්‍ර ඇන්දා. ඒකෙ විද්‍යාවකුත් තියෙනවා. පිළිකාව සුවකරන බෙහෙත් දැන් තියෙනවා. ඒ එන්නත් ශරීරගත කිරීමේදී ඒවා සෛල දක්වා ගමන් කිරීමට නම් හදවත හොඳින් ක්‍රියාත්මක විය යුතුයි. ඒකට මනස සතුටින් තිබිය යුතුයි. මනස ප්‍රීතිමත්ව තබා ගැනීමට වෛද්‍යවරුන්ට ක්‍රමයක් තිබුණේ නෑ. ඒ වැඩේ කරල දෙන්න කියලයි ඔවුන් අපෙන් ඉල්ලුවේ. චිත්‍ර ඇඳීම මඟින් දවස පුරා අපි කළේ ඔවුන්ව ක්‍රියාශීලීව මේ වැඩවල නිරත කරවීම.

පරීක්ෂා කළාම වෛද්‍යවරු දැනගත්තා නොදැනුවත්වම ළමයින්ගේ හදවත් ඒ වෙලාවෙ ඉතා ක්‍රියාශීලී වූ බව. ලේ ගමනාගමනය හොඳ වීම නිසා ඒ එන්නත ශරීරය පුරා හොඳින් ගමන් කළ ළමයි 18 දෙනෙක් සුව වෙලා ගෙදර ගියා ඒ කාලය තුළ පමණක්. චිත්‍ර කලාවයි, වෛද්‍ය ප්‍රතිකාරයි දෙකම එකතු වුණාම විශාල ප්‍රගතියක් ඇති වුණා. මේ අත්දැකීම අපි නොයෙක් තැන්වලදි භාවිත කළා.

 

• ඒවත් සාර්ථක වුණා ද?

මහනුවර සිටි අග්‍රගන්‍ය චිත්‍ර ශිල්පියකු අංශභාගය නිසා අසනීප තත්ත්වයට පත්වුණා. කතා කරන්න - ඇවිදින්න බැරිව ගියා. චිත්‍ර ශිල්පය මඟින් ම ඔහුගේ ධෛර්යය අධිෂ්ඨාන ශක්තිය වැඩි කළ යුතුයි කියල අපි කල්පනා කළා.

සෝලියස් මැන්දිස් ළමා චිත්‍ර තරගයේ සම්මාන උත්සවයට අපි ඔහුට ආරාධනා කළා. ආවේ රෝද පුටුවෙන්. සම්මාන ප්‍රදානය කළේ ඔහු. මේ ලබපු උත්තේජනය නිසා ඔහුගේ තත්ත්වය හොඳ අතට හැරුණා. දවසක් ඔහුගේ දුව මට කතා කරල කිව්වා, දැන් තාත්තා ඇවිදිනවා කියලා. ඊළඟ අවුරුද්දෙ දවසක ඔහු මට දුරකථනයෙන් කතා කළා. ඒ; ඔහුගේ ඊළඟ චිත්‍ර ප්‍රදර්ශනයට ආරාධනා කරන්න. මහනුවර තිබුණු ඒ ප්‍රදර්ශනය විවෘත කළේ මම. චිත්‍ර කලාවෙන් මනස සුවපත් කිරීම ගැන මේක ප්‍රබල උදාහරණයක්.

මේ වගේ, යුද්ධයෙන් බිඳුණු සිත් සුවපත් කිරීම සඳහා 2010 - 2011 වසරවලදී නැගෙනහිර පළාතේ දෙමළ, මුස්ලිම් දරුවනුත් සම්බන්ධ කරගෙන වැඩසටහන් කළා. ඒවාත් හරිම ඵලදායකයි.

 

• සිරගතව සිටි කාලයේදී ලැබූ සංවේදී අත්දැකීම් ගැන මතක් කළ හැකි ද?

හැම මාසෙම අම්මා මාව බලන්න එනවා. බලංගොඩ ඉඳන් බෝගම්බර. කොග්ගල පවා ආවා. කොහොම එනවද කොහේ ඉන්නවද මම දන්නෙ නෑ, කිසි දවසක මඟ නොහැර මාසයකට වතාවක් අම්මා මේ ගමන ආවා. අපිව බලන්න අවසර තිබුණේ මාසයකට එක් වතාවයි.

එක දවසක් මට හරි කණගාටුදායක සිද්ධියක් වුණා. අම්මා මාව බලන්න එද්දි, විශ්වවිද්‍යාලයේ සිටි මගේ නංගිත් එක්ක වෙන කෙනෙක් මාව බලලා. නංගිත් එක්ක යාළුවො මාව බලන්න ආවා. එදා එහෙම ආ බව මට ගෙදරට කියන්න බැරි වුණා. අම්මා ඇවිත් මාව නොබලාම ආපහු ගෙදර ගිහින්. අයියා මට හිරගෙදරට ලියුමක් එව්වා. මීට පස්සෙ නම් එහෙම කරන්න එපා. අම්මා එන නිසා විසිට් කාඩ් එක වෙනත් කාටවත් දෙන්න එපා කියල ඒ ලියුමෙන් ඉල්ලලා තිබුණා. එදා අම්මා ගෙදර ආවෙ හරිම දුකෙන් මට ඒ මූණ දැක්කම වේදනාවක් ඇතිවුණා කියල අයියා ටිකක් තදින් කියල එව්වා. අම්මා ඇවිත් ගිය බව මම දැනගත්තේ මේ ලියුමෙන්. අම්මා අඬනවා මං දැක්කෙ නෑ. අම්මා අපට පේන්න කඳුළු සලන්නෙත් නෑ. ඇය තුළ තිබුණු මේ චිත්ත ධෛර්යය මටත් විශාල පන්නරයක් වුණා කියල මම හිතනවා. දැන් ඇය බොහොම වයස්ගතයි. අපිත් සමඟ ජීවත් වෙනවා.

 

• ඔබ විශ්‍රාම ලැබුවේ?

සෞන්දර්ය අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙක් හැටියට මම රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලැබුවා. දැන් මට වයස අවුරුදු 68 ක්.

 

• ඔබ කලා මණ්ඩලයේ සභාපති වශයෙනුත් කටයුතු කළා.

ඔව්. කලක් කටයුතු කළා. මේ කාලයේදි යාපනය පුස්තකාලයට පොත් ලොරි 2 කුත් යවන්න පුළුවන් වුණා.

 

• ඔබ කෘතීන් කිහිපයක් ම රචනා කර තිබෙනවා?

මං ලේඛකයෙක් නෙවෙයි, චිත්‍ර ශිල්පියෙක්. ඒත් චිත්‍ර විෂයයට අදාළව කෘතීන් කිහිපයකුත් සිරගතව ගෙවූ කාලය ඇසුරින් “සිපිරිගෙයක වසර හයක්” කෘතියත් මා අතින් ලියැවුණා.

මගේ පළමු නවකතාව, “පිටස්තරයෝ” ලබන 15 වැනිදා එළිදැක්වෙනවා. එය මගේ ජීවිත අත්දැකීම් හා මට සම්බන්ධ සිදුවීම් හා අවස්ථා ද ඇසුරු කර ගනිමින් ලියැවුණු ප්‍රබන්ධයක්.

මම කවියෙක් නොවුණත් මගේ පළමු කාව්‍ය සංග්‍රහය, “ඉබේ ලියැවුන කවි” ත් එදින ම එළිදැක්වෙනවා. ඒ කවි අවුරුදු 40 ක් තිස්සේ මා අතින් ඉබේ ලියැවුන කවි.

 

• ‍ඔබේ පවුලේ තොරතුරු කොහොමද?

මගේ බිරිය ලාලනී චන්ද්‍රිකා. අපේ විවාහය ප්‍රේම සම්බන්ධතාවකින් සිදුවුණේ. අපට දරුවො දෙදෙනයි. දුව, මිතිලා ඔස්ට්‍රේලියාවෙ ඉන්නෙ. පුතා, නිරංග කලාවට සම්බන්ධ ව්‍යාපාරයක් කරනවා. අපි සරලව, සතුටින් ජීවත් වෙනවා. මගේ විශ්‍රාමික ජීවිතය චිත්‍ර අඳිමින්, පොත් ලියමින් සහ පුවත්පත්වලට ලිපි සපයමින් නිදහසේ ගත වෙනවා. 

Comments