නෙළුම් විල | Page 6 | සිළුමිණ

නෙළුම් විල

නගරයේ දී හදිසියේ ම මට ඔහු හමු විය. විශාල සිරුරකින් යුතු ඔහු වයසට වඩා තරුණ ය.

‘කළු මහත්තය!’ මම ඔහු ඇමතීමි.

ඔහු එක වර ම හැරී මවෙත තියුණු බැල්මක් හෙළුවේ ය.

‘මාව අඳුරනවද?’ මම ඔහුට ළං වීමි.

‘නෑ’ ඔහු ගත් කටට ම කීවේ ය. මට ලජ්ජාවක් ඇති විය.

‘මේ ළඟදි දවසක මායි, යාළුවෙකුයි ඔයාගෙ ගොවිපොළට ගියා එළවළු ගන්ඩ. අර‍ කොළ පාට ත්‍රීවිලර් එකෙන් ගියේ! මතක ද?’

ඔහු ගේ මුහුණේ හිනාවක් ඇඳී ගියේ ය.

‘හරි! මතකයි!’ ඔහු මගේ උරහිසට තට්ටුවක් දැම්මේ ය.

‘අලුත් එළවළු ටිකක් ගන්ඩ ළඟදි දවසක අපි ආයෙත් එනව.’ මම කීමි.

‘එන්ඩ! එන්ඩ! මල්ලි, ඔයාට හදිස්සිද?’

‘නෑ. එච්චර හදිස්සියක් නෑ’

‘එහෙනං එන්ඩකො පොඩ්ඩක් වාඩි වෙන්ඩ.’ යි කී ඔහු පසෙක නවතා තිබූ සිය ත්‍රිරෝද රියට මා නංවා ගත්තේ ය.

‘මල්ලි, මං පොඩ්ඩක් සප්පායම් වෙලා ඉන්නෙ. සාමාන්‍යයෙන් හැන්දෑවට මං එහෙමයි මගෙ ලෝකෙ ඉන්නෙ. ඒ වෙලාවට මට කාවත් පේන්නෙ නෑ. මීට පස්සෙ මල්ලි මාව දැකල මං අඳුරන්නෙ නෑ වගේ හිටියොත් ‘අයියෙ’ කියල කතා කරන්ඩ ඕනෑ හොඳ ද?’

ඔහු තරමක් මත් වී සිටින වග මට වැටහුණේ මෙවිට ය.

‘මට තේරුණා!’ මම කීමි.

‘අන්න මල්ලිට තේරුණා!’ යි කී ඔහු හඬ නගා සිනාස‍ුණේ ය. මනාව පිහිටි දත් පෙළ මුහුණට සුන්දරත්වයක් ගෙන දුන්නේ ය.

ඔහු දිගින් දිගට ම දොඩමලු විය. මම ඔහුට කන්දීගෙන සිටියෙමි.

‘මල්ලි, මට මගෙ පැන්ෂන් එක එනව. මං මේ ත්‍රීවිලර් එක හයර් කරනව. හැබැයි ඒ හවසට විතරයි. උදේට මං මගෙ ගොවිපොළේ වැඩ කරනව. ඒකට ඇවිත් එළවළු ගන්ඩ පුරුදු වෙච්ච කට්ටියක් ඉන්නව. ඒකෙන් මං දවසකට දෙයියනේ කියල රුපියල් දෙදහක් පන්නල ආදායමක් ගන්නව. හවසට මේක හයර් කරල තවත් ගාණක් හොයා ගන්නව. ඉතින් මට හොඳට ම ඇතිනෙ මල්ලි. ඒ හින්ද මං හැන්දෑවට ටිකක් ගන්න එක වරදක් නෙමේනෙ මල්ලි’

‘ඔව් ඉතින් අයිය උදේ හිට ඇඟපත මහන්සි කරල වැඩ කරන කෙනෙක්නෙ. හිතට වගේ ම ඇඟටත් පොඩි විනෝදයක් තියෙන්ඩ එපායැ’

‘අන්න මල්ලිට තේරුණා!’ ඔහු යළිත් උස් හඬින් සිනාසුණේ ය.

‘මල්ලි, මං මගෙ දරු පවුලට සුවාමි පුරුෂයෙක් හැටියට, තාත්ත කෙනෙක් හැටියට යුතුකම් සියේට සීයක් ම ඉෂ්ට කරලයි තියෙන්නෙ. දරුවො ලොකුයි. ඒගොල්ලො රක්ෂා කරනව. මගෙ නෝනත් සතුටින් සනීපෙන් විවේකෙන් ගෙදරට වෙලා ඉන්නව. අපි ගේ ‍දොර හොඳට හදාගෙන තිෙයනව. යන්ඩ එන්ඩ මට ත්‍රීවිලර් එක තිෙයනව. ඉතින් මං හැන්දෑවට ටිකක් සතුටු වෙනව. මෙතෙන්ට වෙලා ඉඳල වඩයක් දෙකක් කාල කටේ සැර ටිකක් අඩු කරගෙන හෙමීට ගෙදර යනව. ඒක පවුලෙ සංහිඳියාවටත් හොඳයිනෙ.’

‘ඒක ඇත්ත!’

‘අන්න මල්ලිට තේරුණා! යළිත් සිනාසුණු ඔහු යාබද වඩේ කරත්තයෙන් වඩේ උරයක් ගෙන මගේ අතේ තිබ්බේ ‘කන්ඩ මල්ලී’ යි කියමිනි.

මම වඩයක් හපන්නට වීමි. ඔහු වක්කඩ කැඩුවාක් මෙන් කතා කරන්නට වූයේ ය.

‘මල්ලි, මේ ර‍ෙට් ලෝකෙ මිනිස්සු ‍මොනව කෙරුවත් මට වැඩක් නෑ. මං ඒ මිනිස්සුන්ගෙ දේවල් හොයන්ඩ යන්නෙ නෑ. මං උදේ පාන්දර නැගිට්ට, හොඳ වතුර වීදුරුවක් බිව්ව, උදැල්ලත් අරං ගොවිපොළට ගියා! ඉන්පස්සෙ අට වෙනකං ගොවිපොළෙ වැඩ! ඕං එතකොට අපේ නෝන වැටට එහා පැත්තෙන් පෙනී හිටිනව. එබිකං කොරනව. ඒක තමයි සංඥාව. එතකොට මං අත පය හෝදගෙන ගෙදර ගිහිං උදේට කනව. ඒ කාල විටක් හප හප ආයෙත් ගොවිපොළට එනව. ඇයි පෝර දාන්ඩ, වතුර දාන්ඩ ති‍යනවනෙ. ඕං එත‍කොට මිනිස්සුත් එන්ඩ පටන් ගන්නව. මං කියනව ‘ඔය කූඩයක් අරගෙන ඇවිදල බලල තමන්ට වුවමනා දේවල් වුවමනා ප්‍රමාණෙට කඩා ගන්ඩ කියල. මං කඩන්ට යන්නෑ. මොකද මට වැඩ තියනවනෙ. සමහරු ආසයිනෙ එළවළු නෙළන්ඩ. ඉතිං ඒගොල්ලො බොහොම සතුටින් තමන්ට වුවමනා කරන බටු, මිරිස්, බණ්ඩක්කා, පිපිඤ්ඤා, කැකිරි, මෑ කරල්, වැටකොළු, පතෝල, දඹල, තක්කාලි නෙළනව. සමහරු බතල ටිකක් හාර ගන්නව. මඤ්ඤොක්කා පඳුරක් උගුල්ලා ගන්නව. සමහරු ඉතිං ඔය වැඩේට කැමතිනෑ, මට ම කියල කඩෝ ගන්නව. ගොටුකොළ, මුගුණවැන්න, කංකුං, නීරමුල්ලිය වගේ පලාවක් ඕනැ කිව්වොත් මං මිටියක් දෙකක් කපල දෙනව. අන්තිමට කරන්ඩ තියෙන්නෙ බඩු ටික කිරල සල්ලි ටික ගන්න එකනෙ. දැන් බලන්ඩ රටේ එළවළු මිල ගණන්! මං ළඟ ඔය අසාධාරණේ නෑ. මහ පොළොවෙ වැවෙන දේ. පෝර ටිකටයි, මගෙ මහන්සියටයි කීයක් හරි තියා ගත්ත ම මට ඇති. මං සාධාරණ මිලකට තමයි විකුණන්නෙ. ඒකනෙ මිනිස්සු මාව හොයාගෙන එන්නෙ...’

‘ඉතිං ඊට පස්සෙ’

‘ආ ඔව්. ඉතිං ඊට පස්සෙ මං ඉර මුදුන් වෙනකං ගොවිපොළේ වැඩ කරනව. තේ බොන්ඩ යන්නෑ. ඒකට හරියන්ඩ මං වතුර කළයක් පුරෝල ගෙනත් තියලයි තියෙන්නෙ. වතුර බොනව. වැඩ කරනව. වතුර බොනව. වැඩ කරනව. එත‍කොට හොඳට දාඩිය පිට වෙනව. අව්ව සැර වුණාට හීල් හුළං පාර එනවනේ. මහන්සියක් නෑ. ඒ තියා හිතේ සතුටින්නෙ වැඩ කරන්නෙ. ඔහොම වැඩ කරකර ඉඳල ඉර මුදුන් වෙන‍කොට එළවළු ටිකකුත් කඩාගෙන ගෙදර ගිහිං හොඳට නා ගන්නව. ඊට පස්සෙ අපි දෙන්න ම බත් ඩිංගක් කාල හොඳට ඉදිච්ච ගස් ලබු ගෙඩියකුත් දෙකට කපල බාගෙ බාගෙ කාල දානව. ඉන් පස්සෙ විනාඩි පහක් ඇලවෙලා ඉන්නව. එතකොට ඕං මට හයර් යන්ඩ කෝල් එනව. ඊට පස්සෙ ‘මං ගියා’ කියල වීල් එකට නැග්ග ම හැන්දෑ වෙනකං පුතෙය මහ පාරෙ තමයි. ඔය විදිහට එක සීරු හැන්දෑවෙ හය වෙනකං දුවනව ම තමයි. හයර් වැඩි වෙච්ච දවස්වල රෑ වෙනකනුත් දුවනව. හැබැයි අටෙන් පස්සෙ දුවන්නෙ ලෙඩෙක් ඉස්පිරිතාලෙ ගෙනියන්ඩ වගේ නොකර ම බැරි වැඩකට විතරයි. ඉන් පස්සෙ ගෙදර ගිහිං ඇඟ පත හෝදගෙන කාල නෝනත් එක්ක රූපවාහිනිය එහෙම පොඩ්ඩක් බලල ඇඳට වැටිච්ච ම මළා වගෙ තමයි මල්ලි නින්ද යන්නෙ. එළිවෙනකං දන්නෙත් නෑ.’

‘එතකොට ගෙදර අය එක්ක ඇවිදින්ඩ එහෙම යන්නෙ නැද්ද?’

‘එයා දරුවො එක්ක යනව. ඒ ගොල්ලන්ගෙ වාහන තියනවනෙ. හැබැයි පෝය දවස්වලට මාත් එක්ක තමයි ඔය පන්සලකට දෙකකට යන්නෙ. එයා ඉතිං වඳිනව. මං පන්සල් සිරිය විඳිනව. හැබැයි මල්ලි පෝය දාකටවත් අපි පන්සලකට යන්ඩ ඕනැ. මොකද ඒක මහ අමුතු තැනක්. කෙනෙකුගෙ හිත නිවා ගන්ඩ කියාපු තැනක්.’

‘ඇත්තට ම සතුටුයි. කළු මහත්තය වගේ අය අද ගම්වල හිඟයි’

‘අන්න මල්ලිට තේරුණා. මට මල්ලි ඔය අනුන්ගෙ ඕප දූප වැඩක් නෑ, අනුන්ගෙ ජීවිතවලට හොට දාන්ඩ මට ඕන නෑ. ඒ ගැන මං මල්ලිට හොඳ උපමාවකින් පැහැදිලි කරල දෙන්නං. හරියට කුරුල්ලෙක් වගේ. කුරුල්ලො ඇවිත් අපේ ගෙවල් ළඟ ගස්වල වහල ඉන්නවනෙ. උං අපේ ගෙවල්වල කටයුතුවලට හොට දාන්නෙ නෑනෙ. ඕපදූප අහං ඉන්නෙ නෑනෙ. නොදැක්ක, නාහපු ගාණට ඉගිල්ලිලා යනවනෙ. අන්න එහෙම තමයි මාත්.’

‘හ්ම්’

‘මං ඉස්සර රස්සාව කරන කාලෙ සිගරැට් බිව්ව. දැන් නෑ. බුලත් විටික් දෙකක් හපනව. හැන්දෑවට පොඩ්ඩක් විතර ගන්නව. එච්චරයි. බෞද්ධයො හැටියට ඒක වරදක් තමයි. කාටවත් කරදරයක් නැත්තං මනුස්සයො හැටියට වරදක් නෙමේනෙ’

මට හිනාවක් ගියේ ය.

‘අන්න මල්ලිට තේරුණා!’ ඔහු මගේ උරහිසට මුදු මොළොක් පහරක් ගැසුවේ ය.

 

අනන්‍යතාව සඟවා සිටීමට කැමැති සිළුමිණ පාඨකයකු විසින් යොමු කරන ලද සටහනක් ඇසු­ෙරනි. 

නෙළුම්විල
 සිළුමිණ,
 ලේක්හවුස්,
 කොළඹ 10.

Comments