
ඒ පැමිණි අමුත්තා ජයමාල් ගේ සිත විමතියට පත් කළේය.
“හා... නේ... රදීශ් අයියා! ඔයා මොකද මෙහේ..”
ජයමාල් ගේ හඬින් අවන්හලේ කීප දෙනෙකුම හැරී බලනවා මලින්ද දකියි.
රදීශ් මෝටර් සයිකලයේ හෙල්මටය අමුණා ඉදිරියට ආවේ මඳ සිනා ඇතිවය. තම පියාගේ අක්කාගේ පුත්‍රයා වන ජයමාල් මෙන්ම තම පියාගේ අයියාගේ පුත්‍රයා වන මලින්ද ද තමන්ට හමුවන්නේ කාලයකට පසුවය. රදීශ්ගේ මුහුණේ උපහාස හිනාවකි.
“හා... මං ගියානෙ.. ඉතින් ‘ශ්‍රී ජය වලව්වට... එහේ වලව් ඇත්තො කීවා බාල පුතණ්ඩියා ගැන ටිකක් බලන්නය කියලා. මං ඒ ගමන ක්ලාස් එකට ගියා... එතැනදි දැනගත්තා පුත්‍රයා ක්ලාස් එකට පොලු තියලා... කියලා... මං මේ නිකමට ආවේ... හන්දිය පැත්ත... මං හිතුවේ කෙල්ලෙක්වත් මාට්ටු කරගෙන කියලා... බැලින්නම්... නෑදෑයො හොයාගෙනනෙ මේ කට්ටි පැනලා තියෙන්නෙ.. ඇයි මල්ලි මොකද?”
“හා.. මෙහෙන් වාඩිවෙන්නකො අයියෙ... බොමුකො මොනවා හරි... මේ මලින්ද අයියලගෙ ප්‍රශ්නයක්.. ඒකයි මාව හම්බවෙන්න ආවෙ..”
“කොහොම වුණත් මල්ලි... එග්සෑම් කටේ තියාගෙන ඔය ක්ලාස් කට් කරන එක නම් මම මොහොතකටවත් අනුමත කරන්නෙ නෑ හරිද?”
එහෙම කියාගෙන හරි බරි ගැහී වාඩිවූ රදීශ් දෙන අවවාද ජයමාල් ඉවසුවේ උපේක්ෂාවෙනි.
“මං දන්නවා අයියෙ ඔයාගෙ අප්පච්චි ජයසුන්දර මාමා නිසා තමා අපේ අයියටත් කැම්පස් යන්න පර්මිෂන් ගන්න පුළුවන් වුණේ.. නැත්නම් අයියගෙ කැම්පස් ගමනත් හබක් නේ..”
“මලින්ද අයියා.. මං දන්නවා ඔයාලගෙ අක්කගෙ ප්‍රශ්නෙ.. දැන් ඒක අහවරයි නේද? දැන් සමන්තිලා දැහැමින් සෙමෙන් වැජඹෙනවා නේද? හා... හා... අපෙ අප්පච්චි කීවා දැන් ගේකුත් හදන්න ඩග්ලස් මාමලා උදව් කරනවා කියලා. බලන්න මොන තරම් හොඳද කියලා.. ඒ වගේ සමගි සම්මුතියකට ආපු එක...”
දැන් ජයමාල්, මලින්ද දෙස බලන්නේ අමුතු බැල්මකි. මේ දැන් උණු උණුවේ අහන්නට ලැබුණු අලුත් ම ප්‍රවෘත්තිය, ජයේන්ද්‍ර සම්බන්ධ ප්‍රවෘත්තිය... තම හිස දෙදරවන තරම්ය. නමුත්... මලින්දගේ ඇස්වල තිබූ ඉඟිය කීවේ.. එය දැන්ම නොකියන ලෙසය.
රමේශ්ගෙන් අම්මාට... ඊළඟට ජයසුන්දර මාමාට... ඊළගට.... ජයසුන්දර මාමා තම අක්කණ්ඩිය වන නිර්මලා මැණිකේට එය නොකියා ඉඳීවිද? ඊළඟට ශ්‍රී ජය වලව්ව පුපුරා යන තරම් උග්‍ර ප්‍රශ්නයක්....?
ජයමාල් ඒ දුරට හිතා නැවත සිතුවිලි හකුලා ගත්තේ දැඩි ආයාසයකිනි.
“මගෙ සම්බන්ධයත් ගෙදරට ප්‍රශ්නයක් වේවි රදිශ් මල්ලි...” මලින්ද කතාව හැරෙව් නිසා රදීශ් ගේ කුහුල නතර විය. ජයමාල් මොහොතකට සැනැසුම් සුසුමක් හෙලා වේලාව බැලුවේ හදිසියෙනි.
“අපි දැන් එහෙනම් පොඩ්ඩක් ඇවිදලා කරලා... මල්ලිගෙ ක්ලාස් ඇරෙන වෙලාව අල්ලලා... මං ඔයාව ගෙදරට ගිහිල්ලා බස්සන්නම්...”
මඳ වේලාවක් කතාබහ කිරීමෙන් අනතුරුව අන්තිමට රදීශ් කීවේ අසුනින් නැගී සිටින ගමන්ය.
“මල්ලි... ඔයත් කොහොම හරි අයියා වගේ කැම්පස් යන්න ඕන... මට කැම්පස් යාගන්න බැරිවුණේ ඒ කාලෙ මම පිස්සුවක් නටපු නිසා.. දැන් තමා තේරෙන්නෙ ඒ මොඩකම්වල රඟේ...”
සහෝදරයන් තිදෙන අවන්හලින් පිටවුණේ එකිනෙකා කෙරෙහි ඇති සහෝදර ප්‍රේමය තවදුරටත් සිත් තුළ ධාරණය කරගෙන වගේය.
**********
උදේ වරුවේ දේශන වලින් පසුව එළැඹි විරාමයේදී ශ්‍රීමාල් මේඛලා සමඟ බර කතාබහකය. හිතට කරදර දෙවන ප්‍රශ්න මාලාවල් අතරේ හිර නොවී විහිළු තහළුවලට ද සැහැල්ලු සිනහවට ද ආදරවන්ත හිත්වල ඉඩකඩ සැලසෙයි.
“කවදාහරි දවසක ඔයාගෙ අප්පච්චිලා මේ ගැන දැනගත්තදාට අදහාගන්න බැරිවේවි නේද?”
“මොකක්ද? බලන්නකො... මේ ගස් අපට මොනතරම් සිසිල් හෙවණක්ද දෙන්නෙ... ඒත් අපෙන් මේ ගස්වලට මොනවද ලැබෙන්නෙ... අඩු ම ගානෙ වතුර ටිකක්වත්...!”
ශ්‍රීමාල් බිම වැටුණු රොබරෝසියා මලක් අහුලා මේඛලා ගේ හිසේ ගසන්නේ සිනාසෙමින්ය. මේඛලාගෙ මුහුණේ සිනා නැත. ඇය ඔහුගේ කනින් අල්ලා සොලවයි.
“ඔයා ප්‍රශ්නවලින් පැනලා යන්න හරි දස්සයිනේ...?”
ශ්‍රීමාල්ට හොඳටම හිනා යයි. ඔහු මඳක් ඉදිරිපසට නැමී ආචාර ඉරියව්වක් පායි.
“හපෝයි නෑ දේවිය.. මේ කොල්ලා කවදාවත් ප්‍රශ්නවලින් නම් පැනලා යන කොල්ලෙක් නෙමෙයි හා... දන්නවද ඔයා මෙන්න මෙහෙම කවියක් තියෙනවා... ඒක කියලා තියෙන්නේ පැළෑෙණ් වජිරඥාන හාමුදුරුවෝ...
“කරතොත් කරපන් හරියට
නැතිනම් පලයන් අහකට
අතපත ගාමින් වටපිට
බලමින් ළතැවෙන්නෙ කුමට...!”
ශ්‍රීමාල් පෑ ඒ අභිනයෙන් ද ගායනයෙන් ද මේඛලා විනෝද වෙයි. ඒ එක්කම ඇසෙන්නේ සිරිනාත ගේ කටහඬය.
“අප්පා.. මූ දැන් මාර කවිකාරයෙක් වෙලානේ... හහ්හා! ඒ මදිවාට මූ දැන් අපේ සංජයා වගේ නාට්‍ය කෑලි දාන්නත් පටන් අරන්... අනේ අනේ.. කෙල්ලො දාගන්න කොල්ලො කරන උප්පරවැට්ටි ආ...”
සිරිනාතට ඒ විහිළුවෙන් හිනාවෙද්දීම ගීතා ද එතැනට එයි.
“ඔව්. ඔව්.. අම්මේ... ඒක නම් ඇත්ත... කෙල්ලෙක් දාගන්න කොල්ලෙක් නොදාන උප්පරවැට්ටියක් නෑ!”
“වැඩේමයි.. හහ්.. මේ වෙග් ඒවා දාගන්න.. උප්පරවැට්ටි ඕන නෑ බං... උරචක්කර මාලේ වගේ ඉබේම කරේ එල්ලෙද්දි... හහ් හා...!”
ඒ විහිළුවට හිනාව පැතිරෙද්දී ගීතාට තරහා ගිහින් ඇය ගස්සාගෙන යද්දී... සිරිනාත ඈ පසුපස හඹා ගොස් කරේ අතක් දමාගෙනම නැවත හැරී එයි.
“මම අද දෙකට මලින්ද අයියාව හම්බවෙන්න යනවා බං... මලින්ද අයියාට ලොකු ප්‍රශ්නයක්.. ඒත් එක්කම මට ගෙදරට කෝල් එකක් ගන්නත් ඕන... අපේ මලයාත් මොන මොන විජ්ජුම්බර දානවාද දන්නෙ නෑ. එයා ගැනත් අම්මා හරිම බයෙන් ඉන්නේ...”
“උඹලා බයවුණාට ජයමාලයා එහෙම නරක වැඩවලට වැටෙන එකෙක් නෙමේ බං.. කට තිබුණට... ඌ හොඳ එකා..”
“මාත් හිතන්නෙ නම් එහෙම තමා.. ඒත් මටත් ප්‍රශ්නයක් තියෙනවා උදේ මම එයාලගෙ සර්ට කතා කළා... අපේ මේ පොඩි වැඩකට.. එතකොට එයා නිකමට කිව්වා අද ජයමාල් ඇවිල්ලා නෑ කියලා... මට ඒකත් චෙක් කරගන්න ඕනෑ. අද කාලෙ කොල්ලෙකුට නරක්වෙන්න වැඩි කාලයක් ඕන නෑ..”
“අපි යමු එහෙනම් නේද... උඹලට ලෙක්චර්ස් නේ දැන්..” ගීතා මේඛලා සමඟ පිටත්වෙන ගමන් කියන්නේ සංජයට සහ සිරිනාතටය.
**********
රදීශ් ජයමාල් මල්ලී කැටිව ශ්‍රී ජය වලව්වට එද්දී එහි ආලින්දය අමුතු වෙසක් අරගෙනය. නිර්මලා මැණිකේ ඇස්දෙක නළලට අරගෙන ඔසරිපොට දකුණතින් අරගෙනය. විල්ප්‍රඩ් රත්නසේකර එක අතකින් සරම පිටිපසින් අල්ලාගෙන අනෙක් අතින් බස්තම දික්කරගෙන බිත්තියට ගසාගෙනය. සිරියා හිස් පිඟානක් අතින් අරගෙන ඒ දෙන්නාට පිටිපස්සෙන්ය. ජන්තු කුරුළු තටුවට දාන්න ඉදිච්ච කෙහෙල් ඇවරියක් අතේ අරගෙනය. කරුණාදාස මිදුලේ නවතා තිබූ කාරයට අත තබාගෙන කට බලියාගෙනය.
සද්ද නගමින් කන්ද නැග ආ මෝටර් සයිකලය දඬු මොනර යන්තරයක් වගේ පෝටිකෝව යට නතර වුණි. කට්ටියගේ ඉරියව් දැකලා ජයමාල්ට හිනායයි.
“මොකෝ අයියෙ මේ හරියට තොරණ බලන්න වගේ කට්ටිය.”
“හා.. හා... බැහැපං... බැහැපං... විහිළු ඇති. අප්පච්චිලා ටිකක් බයවෙලා හිටියෙ ඔයා කරුණාදාසට එන්න එපා කියාපු එකට...!”
ජයමාල්ගේ මුහුණට ආවේ කේන්තියකි. තමාට හරියට ගෑනු දරුවෙකුට වගේ සලකන එක මොන නින්දාවක්ද!
“මොකෝ අම්මෙ මේ කට්ටිය තුෂ්ණිම්භූත වෙලා...?” ඔහු ඇසුවේ අම්මාගෙනි. ඒ ආලින්දයේ තරප්පුවට දකුණුපය තබන ගමන්ය.
“තුෂ්ණිම්භූත වෙන වැඩමතමා දැන් සිද්ධ වෙන්නෙ. ඒත් උඹලා දැනගනිල්ලා අපිව තුෂ්ණිම්භූත කරන්න හිතාගෙන ගිනි විජුම්බර දැම්මොත්... අන්තිමට උඹලාට ගල්භූත වෙලා තමා නතර වෙන්න වෙන්නෙ...!”
බස්තම ඔසවා කරකවමින් එහෙම ගෝරනාඩු කළේ විල්ප්‍රඩ් හාමුය.
“මම යන්නද එහෙනම් මාමෙ... දැන් මල්ලිව එක්ක ආවානෙ...” රදීශ්ට එසේ කියා කට ගන්ට ලැබුණේ නැත.
“කොහෙ යන්නද... ඔහොම ඉන්නවා පොඩ්ඩක්... දැන් කියනවා බලන්න කොහෙන්ද මෙයාව අහුල ගත්තෙ...?”
ලබන සතියට...