
ජයමාල් බේබිව හවස පංතියට ඇරලූ කරුණාදාස වාහනය හරවා ගත්තේ සිතේ කුහුලින්ය. තමාව රැගෙන යන්න එන්නට එපා යැයි ඔහු කී කතාව කරුණාදාසට ඇල්ලුවේ නැත. අනේ මන්දා මේ බේබි හාමුලා මොන මොන ජල්ලි අල්ලනවාද කියලා.. අපිටයි මේවාට උත්තර දීලා නිවනක් නැත්තේ..
මං මොකක්ද දැන් හාමු මහත්තයාට කියන්නේ..
ශ්‍රීමාල් දෑස් කුඩා කරගෙන දුරකතනයට පිළිතුරු දෙන ආකාරය දුටු හැමදෙනාටම සිතුණේ මහා කරදරයක් ගැන කියැවෙන බවකි. ඒ ඇමතුම මේඛලාගෙන් නම් වෙන්ට බැරිය.
“මට තේරෙනවා උඹ ලොකු අවුලක බව මලින්ද අයියා.. මම මොකක්ද කරන්න ඕන.. කියන්න.. හැබැයි මම එකක් කියන්නම් ඔයා ඕනැවට වඩා කලබල ඇතිවෙන විදියට හැසිරෙන්න එපා... ඒකෙ පාඩුව ඔයාටමයි.”
නැවතත් එහා පැත්තෙන් දීර්ඝ විස්තරයක්. ආයෙත් ශ්‍රීමාල් කතාකරන්නේ පැසුණු බුද්ධියක් ඇතියකු සේය.
“මෙහෙමයි මලින්ද අයියේ... ඕක ඔයා මේ හදිසියේ ම ප්‍රසිද්ධ කරන්න ගන්න එපා. ඔයාම දන්නවනේ ගෙදර සිද්ධ වෙච්ච දේ... සමන්ති අක්කට සමාව දීපු කාරණාව ඔයා ගන්න ඕන උපේක්ෂාවෙන්. මොකද ඒ පිටටම ඔයාගෙ සම්බන්ධෙ ගැන අම්මා අප්පච්චිලා දැනගන්න එක එයාලගෙ හිත වාවන්නෙ නැති දෙයක් වේවි. දන්නවනේ එයාලගෙ මානසිකත්වය ගැන... ඔයා පොඩ්ඩක් හිතන්නකෝ.. මෙච්චර අපටත් උපදෙස් දෙන ඔයාට ඒක තේරුම් ගන්න බැරි එක පුදුමයි...!”
ආයෙමත් එහා පැත්තෙන් යමක් කියැවෙයි.
“මොකක්...? ඒ මොකක්ද?”
ශ්‍රීමාල්ගේ නොසන්සුන්තාවට උදාර හා සංජය දෙදෙනා ම තිගැස්සෙයි.
“මෙහෙම කතා කරන්න බෑ? අපි හම්බවෙමු හෙට.. ඔව්.. කීයටද.. හා... හවස දෙකට.. හරි මලින්ද අයියා.. බුදු සරණයි..”
දුරකතනය සාක්කුවේ දමාගන්නා ශ්‍රීමාල් වට පිට බලන්නේ තිගැස්මෙන්. මුහුණේ තිබූ කෙළිලොල් ගති කිසිම විදියකින් නැත. වෙස්මූණක් දැම්මා මෙන්ය.
“මොකෝ බං.. මලින්දට වෙලා තියෙන්නෙ...?”
ගීතයක සමූහ ගායනා කොටසක් වගේ දෙදෙනාගේ ම මුවින් පිටවෙයි.
“ඒක උඹලට තේරෙන්නේ නෑ.. පොඩි ප්‍රශ්නයක් වෙලා බං... ඕවා මං පස්සෙ කියන්නම්කො..”
දෙයියනේ මං කොහොමද මේවා මුන්ට කියන්නෙ. ශ්‍රීමාල්ගේ හිත එසේ කොඳුරද්දී මිතුරන්ගේ කතාබහ මැද බෝඩිමට ඇදුණේ දෙලොවක් අතර තනිවෙමින්ය.
*******
සමන්ති තම සැමියා ජයේන්ද්‍ර සමඟ ලොකු කතාබහකය. ඒ එක්ක ම හිතට විශාල බරක් දැනෙයි. ඒ දැනට ගෙදර ඇති වී ඇති අර්බුදකාරී තත්වය නිසා ය.
චන්ද්‍රලතා නම් හිත කරදරවලින් නිදහස් වෙලා වගේ හරිම සතුටකින්ය. එකත් පුංචි මුනුපුරාගේ හුරතලයය. අනික තම පුතා සහ ලේලිය වෙනුවෙන් ඉදිවන නව නිවසේ ආඩම්බරයය. ජයතිස්සත් හැකි හැම වෙලාවෙම නිවස ඉදිවෙන තැනට දුවගෙන විත් මොකක් හෝ වැඩපළක් කරදී බාසුන්නැහෙලාට උදව් වෙන එක ගැන ගොඩලියද්ද විරුද්ධ වූයේ නැත. ජයතිස්සටත් චන්ද්‍රලතාටත් මේ සිදුවීමත් තවමත් හරියට සිහිනයක් වගේය. තමුන්ගෙම කියා විශාල ගෙදරක වාසය කරන්ට ලැබීම තම ජයේන්ද්‍ර පුතාගේ වාසනාවය.
“මට හරිම දුකයි ජයේ අපේ අම්මා ආයෙත් ලෙඩ වෙයිද කියා... මම නිසා අම්මා අසනීප වෙලා යන්තම් ගොඩ ආවා විතරයි.. දැන් මල්ලි ගැන අම්මා තිස්සෙ දෙවේලේ මට කෝල් කර කරා අඩන එක තමා එයා කරන්නේ...”
“මලින්ද බේබිගෙ මොකක්ද ඔය ප්‍රශ්නේ.. කියන්නකෝ...” ජයේන්ද්‍ර කියන්නේ කරුණාවෙනි.
ඒ දෙන්නා එසේ කතාබහ කරද්දි චන්ද්‍රලතා හෙමිහිට තම සැමියාට ඇඟිල්ලෙන් අනියි.
“මං මෙයාට කියලා තියෙනවා දැන් ඔය බේබි කෑල්ල අයින් කරගන්න කියලා.. බේබි කියන්න ඕන නෑනෙ.. දැන් ඉතිං තමුන්ගෙම මස්සිනා වෙච්ච...”
ජයතිස්ස එබසට තම බිරිඳ දිහා බලන්නේ කේන්තියෙනි.
“කමක් නෑ ඒ විදියට ම කතා කරපුදෙන්.. ආයෙ මොකෝ දත් හැලෙනවායැ කෙනෙකුට නම්බු දීලා කතා කොරාට... හහ්...!”
චන්ද්‍රලතාට හිනාය. බලි ඇරියත් ඉතිං මේ මනුස්සයින්ගෙ වලව් ගැතිකම් අරින්න බෑ.. බලමු තව ඉස්සරහට.. වෙන දේ.. අපේ චන්ද්‍රානි දුවත් කවදාක හරි ඉහළ තැනකින්ම පෙළවහක් කරගත්තු දාට කට්ටියටම තරු පෙනෙයි.
චන්ද්‍රලතා හිතින් කටපත්ත අදියි. ඒ එක්කම ආයෙත් යමක් මතක් වෙලා වගේ අදහසක් ඉදිරිපත් කරයි.
“සමන්ති දුවේ.. දරු පැටියත් අරන් අම්ම අප්පච්චිලා බලලා එන්න කාරිය ගියොතින් හොඳයි නේද? එයාලාම මෙහේ එනකං ඉන්න ඕන නෑනේ.. ඕවා යුතුකං නේ..!”
චන්ද්‍රලතාගේ මෙවැනි සූත්තර වැඩවලට ජයතිස්ස කැමති නැත. ගතානුගතික වලව් සේවකයෙකු වන ඔහුට ගොඩලියද්ද හාමුලාට ඇති ස්වාමි භක්තියෙන් මිදෙන්නට වුවමනා නැත. කොහොමද වැඩේ? ඔයාගෙ මස්සිනා වුණේ ගොඩලියද්ද හාමු.. චන්ද්‍රලතා මුල් දිනවල තමාට විහිළු කරද්දිත් ඔහු ඒ විහිළු ඉවසුවේ නැත.
“දැන් ගෙයි වැඩ ගොඩාක් දුරටම ඉවරයි.. ලබන මාසෙ දිහාට ගෙවදින්න පුළුවන් වෙයි. තාත්තා ඒ බව ලොකු හාමුටත් දන්නලා තියන්නකො.. හාමුලා සතුටුවෙයි. මෙච්චර ඉක්මනට වැඩ ටික ඉවර කරගන්න පුළුවන් වෙච්ච එකට...”
“ඔව් ඔව් මම කේන්දර උන්නැහෙ හම්බවෙලා හොඳ නැකතක් හදවගෙන.. පිරිත් ටිකක් එහෙම කියලා ම ගෙට ගෙවදින්න ඕනෑ..”
චන්ද්‍රලතා මුනුපුරාව හුරතල් කරමින් කියන්නේ තාලෙටය.
“නේද... මයෙ පැටියෝ.. ආ..!”
පුංචි දරුවා කට උල්කරමින් ඕ.. ඕ ගාන්නේ මිත්තණිය ගේ කතාව අනුමත කරන්නට වගේය.
“දැක්කනේ.. අපේ චූටි හාමු මහත්තයත් ඒ වැඩේ අනුමත කළා..”
චන්ද්‍රාවතී හරි ම සතුටින් දරුවා ඔසවාගෙන එහාට මෙහාට යයි. සමන්ති හිනාවෙවී දරුවාට අත පායි.
“පව් ඉතිං කොයි අම්මත් පුංචි කාලෙද දරුවා තමන්ගෙ කරගෙන තමා හදන්නේ.. කවන්නෙ පොවන්නෙ තමුන්ට කැමති ඒවා..! අන්දන්නෙ තමුන්ට කැමති ඒවා..! ඒත් ලොකු වුණාට පස්සෙ.. ඒවා බෑ..
එහෙම හිතුවේ සමන්ති බේබිලාගේ වැඩට උදව්වට සිටිනා කොයින් අම්මාය. වත්තේ ගෙදරක සිටින ඇයව සමන්ති දූලාගේ උදව් සඳහා පංගාර්තු කළේ ද ගොඩලියද්ද හාමු ය. ඇය චන්ද්‍රාවතී දිහා බලා මඳ සිනාවක් පෑවේ හිතවත්කමට ය.
*********
ජයමාල් බේබිව හවස පන්තියට ඇරලූ කරුණාදාස වාහනය හරවා ගත්තේ සිතේ කුහුලින්ය. තමාව රැගෙන යන්න එන්නට එපා යැයි ඔහු කී කතාව කරුණාදාසට ඇල්ලුවේ නැත. අනේ මන්දා මේ බේබි හාමුලා මොන මොන ජල්ලි අල්ලනවාද කියලා.. අපිටයි මේවාට උත්තර දීලා නිවනක් නැත්තේ.. මං මොකක්ද දැන් හාමු මහත්තයාට කියන්නේ.. එසේ සිතමින් ඔහු වලව්ව දක්වා වාහනය පදවද්දී ජයමාල් හෙමිහිට හොර පාරෙන් හන්දියට ගියේ මලින්ද අයියාව හමු වන්නටය.
“මල්ලි මම අද හවස ශ්රීමාල්වත් මුණ ගැහෙනවා... මට හරිම අප්සෙට් දේවල් ටිකක් තියෙනවා. ඔයාලා එක්ක කතා කරන්න මේ ටිකේ මම හිටියත් ඉන්නේ මෙලෝ සිහියකින් නෙමේ...”
අවන්හලක අසුනක වාඩිවෙන ගමන් ඔහු කතා කළේ හතිලමිනි.
“අනේ සොරි මල්ලි මං හින්දා ඔයාගෙ ක්ලාසුත් කට්වුණා.”
“කමක් නෑ අයියේ කියන්න.. ඔයාට ගර්ල්ගෙ ප්‍රශ්නයක් ද?”
“මම තරංගා එක්කත් මේවා කියලා තියෙන්නේ.. මල්ලී...” මලින්ද කල්පනාබරිතව කියමින් සිසිල් බීම වීදුරුව වටේ ඇඟිලි යවයි. දැන් ජයමාල්ට පුදුමය. හිතාගෙන හිටියේ තරංගා ගේ ප්‍රශ්නයක් නිසා මේ සියලු අර්බුද ඇතිවී ඇත කියාය.
“මල්ලි ඔයාට පුදුම හිතේවි මල්ලි මේවා ඇහුවාම...”
“මොකක්ද අයියේ කියන්නකො ඉතිං...”
“අපේ අප්පච්චිලාගෙ නාහෙට නාහන වැඩ හින්දා අපිටයි ලජ්ජාවෙ පාරෙ බැහැලා යන්න බැරිවෙලා තියෙන්නෙ..”
ඒ කතාව එක්ක ම ජයමාල්ට එකවරම මතක් වුණේ දවසක් හන්දියේ කඩේ ළඟදි ගමේ එකෙක් වලව්වල හාමුලා ගැන කියාපු ඇනුම්පදයකි. එබසට උරණවූ තමා ඔහු සමඟ බහින්බස් වූ හැටිත්.. අන්තිමට ඔහුගේ කට නවත්වන්ට ගුටියක් අනින්ට සිදුවූ හැටිත් මතකය. එදා අප්පච්චිත් අම්මාත් දෙන්නාම දොස් කීවේ ද තරවටු කළේ ද තමාටය. ඒ තමාගේ හැසිරීම ගැනය.
නමුත් අප්පච්චිලා ගේ ජීවිතවල යම්යම් අහුකොන් ඇති බව පහුගිය දවසක වත්තෙන් පන්නාපු සේවකයෙකුගෙන් ද අසන්නට ලැබුණි. එහෙත් තමා ඒවා සියේට සියයක් ම විශ්වාස කෙළ් නැත. ජයමාල් තම සොහොයුරාට ඒ සියල්ලම නොවළහා කියද්දී මලින්ද සිටියේ කලකිරුණ මුහුණෙන්ය.
“ඔයා දන්නෙ නෑ මල්ලි මිනිස්සු කතා වෙනවා... අපේ සමන්ති අක්කා බැඳපු ජයේන්ද්‍ර...”
දැන් මලින්දට උගුර හිරකරවන කැස්සක් එයි. නමුත් ජයමාල් ගේ සීමාවක තිබුණු ඉවසීම කෑගැහිල්ලක් වී එළියට එනවාය.
“කියන්නකො මලින්ද අයියෙ තෙපර නොබා..!”
“ඒ ජයේන්ද්‍ර... විල්ප්‍රඩ් රත්නසේකර හාමුගෙ පුතෙක් කියලා..” ඉවසුම් නැතිව ජයමාල් නැගී සිටියි. ඒ දුන්නක් වගේය.
“මොනා...? මේ අපේ අප්පච්චිගෙ...?”
“වාඩිවෙන්න මල්ලි කලබල වෙලා වැඩක් නෑ මේවට. අපිට වෙලා තියෙන්නෙ මිනිස්සු කියන කතා අහගෙන ඉන්න විතරයි. මේවා දන්නා මිනිස්සු අපිත් එක්ක මූණට මූණිච්චාවට හිනා වුණාට අපේ පස්සට උඩපැන පැන කොක් හඬලලා හිනාවෙනවා ඇති.”
“එහෙනම්.. ඒක තමයි අපේ අප්පච්චි සාම නියෝජිතයෙක් වෙලා ඒ යුද්ධෙ හමාර කළේ.. හෝ.. මට දැනුයි තේරෙන්නේ.. ඉතිං අපේ අම්මලා දන්නෙ නැද්ද මේ ගැන...?”
මලින්ද, ජයමාල්ගේ උද්වේගතර හැඟීම් පිරි මුහුණ දිහා බැලුවේ කනගාටුවෙනි. පව් මේ අවුරුද්දෙ විභාගෙට ලියන්න ඉන්නා කොල්ලා.. මෙයා ඔළුව අවුල් කරගනියිද? ඒ එක්කම හන්දියේ කඩේ අද්දරට එක හැල්මේ ආ මෝටර් බයිසිකලයක ආ කෙනෙක් තම හෙල්මටය ගලවන්නට හදද්දීම ජයමාල්ට පුදුමයෙන් කෑගැසෙයි.
ලබන සතියට...