
මුදල් නෝට්ටුව
මම ඒ පෞද්ගලික බැංකුවට ගොස් පෝරමයක් පුරවා පෝලිමට එක්වීමි.
පෝලිම තරමක් දිගු විය. දහ දොළොස් දෙනෙක් සිටියහ.
පෝලිමේ ඉන්නා මගේ දෑස ඔරලෝසුව වෙත දිවීය. පෙරවරු දහය පසු වී ඇත.
පැය කාලකට පමණ පසු මගේ වාරය ආවේය. මම පුරවන ලද පෝරමය, හැඳුනුම් පත සහ මුදල් නෝට්ටුව රැඳවූ මගේ බැංකු පොත අදාළ නිලධාරිනියට දිගු කළෙමි.
ඇය සිනාමුසු මුවින් එය රැගෙන සිය රාජකාරිය ඇරඹුවාය.
මා මීට පෙර මැය දැක නැත. අලුත් කෙනෙකු විය යුතුය. කලක පටන් බැංකුවෙන් ගනුදෙනු කරන බැවින් එහි මුහුණු මට මතකය.
මා ලියු පෝරමය නිවැරදි දැයි පිරික්සූ ඇය මගේ අනන්‍යතාව පිරික්සා බලා කිසියම් සටහනක් ද යොදා මා දුන් මුදල් නෝට්ටුව තමා ඉදිරියේ ඇති යන්ත්‍රයට තබා එහි බොත්තම එබුවාය. එහෙත් එය ක්‍රියාත්මක නොවිණ.
එවිට ඇය නෝට්ටුව යළිත් පිටතට ගෙන නැවත ද පරිස්සමට ඇතුළු කොට බොත්තම එබුවාය. එවර ද එය ක්‍රියාත්මක නොවීය.
ඊළඟට ඇය කළේ නෝට්ටුව පිටතට ගෙන යාබද විදුලි පහනට අල්ලා පිරික්සීමය. අනතුරුව ඇය සිය අසුන ද පිටුපසට රූටවා නෝට්ටුව නැවතත් අර යන්ත්‍රයේ මුව විට තබා බොත්තම එබුවාය. එහෙත් නෝට්ටුවේ මුල් කොටස යන්ත්‍රයට ඇතුළු වන විටම එය අක්‍රීය විය.
ඇය වේගයෙන් නෝට්ටුව පිටතට ඇද්දාය. ඉන් පසු සිය අතැඟිලිවලින් එය හොඳින් පිරිමැද නැවතත් යන්ත්‍රයේ මුව විට තබා ඊට තට්ටුවක් ද දමා බොත්තම එබුවාය. එවරද නෝටුව ඇතුළට නොගියේය.
කටයුත්ත අතහැර දැමූ ඇය මොහොතක් මා දෙස බලා සිටියා ය. ඊළඟට නෝට්ටුව සියතට ගෙන අසුනින් නැගිට වීදුරු කුටියේ දොර හැර කාර්යලය තුළට ගියා ය.
එතැන බරපතළ පෙනුමක් ඇති බවලතියක් සිටියා ය. මැය ඇයට නෝට්ටුව දී යමක් කීවාය. බවලතිය උපැස් සඟළට උඩින් මා දෙස බැල්මක් හෙළා නෝට්ටුව සිවිලිමෙන් විහිදෙන එළියට අල්ලා පිරික්සුවාය.
මේ සිදුවීම් දාමය ඔස්සේ මට තේරුම්ගත හැකි දෙය වූයේ මා දී ඇති මුදල් නෝට්ටුව හොර නෝට්ටුවක් ලෙස සලකා මේ අය කටයුතු කරන බවය.
මට අපහසුතාවක් දැනිණ. මම වට පිට බැලීමි. දුටු දෙයින් වඩාත් වික්ෂිප්ත විමි.
පෝලිමේ සිටි සියල්ලත් පමණක් නොව ශාලාවේ සිටි හැමෝම වාගේ මා දෙසත්, අර නිලධාරිනියන් දෙදෙනා දෙසත් මාරුවෙන් මාරුවට බලමින් පසු වූහ. බැංකුවේ ආරක්ෂක නිලධාරීන්ද සූදානම් ශරීරයෙන් යුතුව මා දෙස බලාගෙන සිටින හැටි මට පෙනිණ.
මා හොර මුදල් නෝට්ටුවක් දී ඇති බවත් එහෙයින් මා කොටු වී ඇති බවත් ඔවුන් සිතන බව මට පැහැදිලි විය. ඊළඟට සිදු වනු ඇත්තේ කුමක් ද යන කුහුල ද ඔවුන් වෙතින් දිස් විය.
මට බිය වීමට හේතුවක් නොවීය. අදාළ නෝට්ටුව මේ නගරයේම රාජ්‍ය බැංකුවකින් මා ලබා ගත්තේ මීට දින කිහිපයකට පෙර බව මට හොඳින් මතකය.
පෝලිමේ මට පිටුපසින් සිටි මැදිවියේ පුද්ගලයා මා දෙස බලා අහක බලා ගත්තේ ලාදුරු රෝගියකු දෙස බලන බැල්මෙනි. සමාජය වැරදි තීරණ ගැනීමට මෙතරම් ඉක්මන් වන්නේත්, සාහසික වන්නේත් ඇයි ද යන්න මට හිතා ගැනීම අපහසු විය.
ඉතින් ඒ නිමේෂයේ මම සමාජය ඉදිරියේ බරපතළ චෝදනාවකට මුහුණ දෙමින් විත්ති කූඩුවේ ලැග සිටියෙමි.
දැන් මේ ‘තක්කඩියාට’ කළ යුතු දේ බැංකු නිලධාරීන් තීන්දු කරමින් සිටිනවා විය යුතුය. තව ටිකකින් නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් පැමිණ මා අල්ලා ගනු ඇත. මට බැල්මෙන් පහර දෙමින් සිටි ගනුදෙනුකාර භවතුන් එසේ සිතනවා ඇතැයි මට දැනිණ.
එහෙත් එසේ නොවීය.
නැවත බැංකු සේවිකාව මුව පුරා සිනා සෙමින් සිය අසුන කරා පැමිණ මට අදාළ රාජකාරියෙහි නියැළුණාය. ඉක්බිති ඇය මගේ හැඳුනුම් පතත්, ලදු පතේ කොපියක් රිංගවන ලද මගේ බැංකු පොත මට ආපසු දුන්නේ කිසිත් නොවු ගාණට සිනාවක් පාගෙනය.
මම එය අතට ගත්තු ගමන් ඇගෙන් මෙසේ ඇසිමි.
‘මිස් අර මං දුන්නු නෝට්ටුවෙ මොකක් හරි ප්‍රශ්නයක් තිබුණද ?’
‘නෑ. මගෙ මැෂින් එකේ පොඩි වැරැද්දක් වෙලා. ඒකයි. නෝට්ටුව මැෂිමේ හිරවෙනව. නෝට්ටුවෙ වරදක් නෙමේ. ඇය සිනාවෙන් යුතුව ම කීවා ය. එහි ලජ්ජාවක් මුසු වී තිබිණ.
මම ආපසු හැරෙන ගමන් බැංකුවේ සිටි ගනු දෙනු කරුවන් මගේ නිරීක්ෂණ දෘෂ්ටියට හසු කර ගතිමි. ඔවුහු කිසිවක් නොවූ ගාණට තම තමන්ගේ ලෝකවලට රිංගා සිටියහ.
මා වරදක් කර නැති බැවින් අවසානයේ මගේ ගෞරවය රැකුණු බව සැබෑය. එහෙත් අදාළ කාලසීමාව තුළ මම ඔවුන්ගේ මනෝලෝකවල වැරදිකරුවකු බවට පත්ව සිටියෙමි. එසේ වූයේ බැංකු නිලධාරීන්ගේ බැල්මේ තිබු අයහපත් ප්‍රතිචාරය නිසා ය.
ඔවුන් තමන්ගේ ගනුදෙනු කරුවකු වූ මගේ ගෞරවය රැකෙන පරිදි පිරික්සුම් කටයුතු රහසේ සිදු කළා නම් මා සමාජය ඉදිරියේ මානසික ගර්හාවට පත්වන්නේ නැත.
කෙනෙකුට වදනින් පමණක් නොව බැල්මෙන් ද පහර දිය හැකිය.
අනන්‍යතාව හෙළි කිරීමට අකැමැති කළුතර ප්‍රදේශයේ සිළුමිණ පාඨකයකු විසින් යොමු කරන ලද ලිපියක් ඇසුෙරනි.
සරල ගැඹුර
මවත්, පියාත් සිය කුඩා පුතු සමඟ පන්සල් ගියහ.
වැලි මළුවේදී පුතා මවගේ අතින් මිදී දුවන්නට වූයේය. මළුව පුරා දුවමින් දඟ කළේය.
මව දුව ගොස් ඔහු අල්ලා ගත්තාය.
‘පුතේ, පන්සලේ ඔහොම දඟ කරන්න බෑ. ලොකු සාදු දැක්කොත් බනී!’
පුතා බියෙන් සැකෙන් වට - පිට බැලුවේය. ඉක්බිති මව සමඟ බුදු ගෙට ගියේය.
මාපියෝ මල් දෝවනය කර බුදු පුදට සැරසුණාහ.
මල්සුන දෙස බලා සිටි දරුවා වහා ඉන් මල් මිටක් රැගෙන විසුරුවා හළේය.
මාපියන්ගේ ඇස් ලොකුවිය.
‘පුතේ, මොකක්ද ඔයා මේ කළේ?
බුදු සාදු දැක්කොත් ඔයාට බණියි .
දරුවාට බයක් හිතිණ. ඔහු වහා මව ළඟ හිඳ ගත්තේය.
ඒ පෝය එසේ ගෙවිණ.
ඊළඟ ආවේය.
මව පුතුට පන්සල් යෑමට කතා කළාය.
‘අනේ අම්මේ මට පන්සල් යන්ඩ බෑ’
පුතු ගත්කටටම කීවේය.
‘ඇයි?’
‘ලොකු සාදුයි, බුදු සාදුයි දෙන්නම මට බණී!’
වත්තල, හැඳල, අ.ද. සුනිල් මහතා විසින් යොමු කරන ලද ලිපියක් ඇසුෙරණි.
නෙළුම්විල
සිළුමිණ,
ලේක්හවුස්,
කොළඹ 10.