
තවත් තැනක මඟ නැගී ඇත්තේ ගුහාවක් ඇතුළතින්ය. මේවා හිතට නුහුරු ය. නෙතට නුපුරුදු ය. නව අත්දැකීම් එකතු වන්නේ එවිට ය. අපූර්වත්වයෙන් සපිරි අත්දැකීම් සමුදායකින් පිරෙන දිවිය හිස් නො වේ. මල් පිපී ඵල දරන්නේ ඒ නිසා යැයි සිතේ. ඒත් දැන් නම් ගමන එතරම් පහසු නැත.
උදා අහස අඳුරු වී තිබේ. විලිරුදාවෙන් පෙළෙන වලා කුසෙන් තව මොහොතෙන් වැහි අැද හැලෙනු ඇත. එහෙත් පෙරට තැබූ පය පසු පසට ගන්නට හිත ඉඩ නොදෙයි. පැමිණියේ ගම්පහට ය. මාර්ග අංක 205 ගම්පහ - කිරිඳිවැල බසයට ගොඩ වුණෙමි. බසය මිරිස්වත්ත හන්දියෙන් කොළඹ නුවර පාරට පැමිණ, වතුරුගම පාරට ඇතුළු වී ගමන් කරන විට මාලිගාතැන්නෙන් බැස ගතිමි. ගම්පහ සිට මාලිගාතැන්නට කි.මී. 10 ක් පමණ වෙයි. මා යන පින්බිමට මෙතැන් සිට කි.මී. 1 ක දුරක් තිබේ. මේ මාර්ගයේ යන්නට පොදු ගමනා ගමන පහසුකම් නොමැති බව දැන ගත් විට මම පුදුම වීමි. යා යුතු ගමන යා යුතුම ය. මා දැන් ගමන් කරන්නේ අඩු තරමින් මෑත ඉතිහාසයේ එක්දහස් අටසිය අග භාගයේ හෝ එක්දහස් නවසිය ගණන් වලදී තැනූ මඟක නොවේ. අඩි පාරක, කරත්ත පාරක නොවේ. කදිමට කාපට් දමා සැකසූ මාර්ගයක ය. දෙපස පාළු නැත - නිවාස සෑදී තිබේ. පොදු ප්‍රවාහන පහසුකම් නොමැතිව පිඩාවට පත් වන්නේ අසරණ මගීන් ය. අපහසුතා මධ්‍යයේ සංචාරයේ යෙදෙන අප වාගේ මිනිසුන් ය.
නුවර පාරේ යක්කල හන්දියෙන් මාර්ග අංක 231 බසයේ නැගී කිරිඳිවැල මාර්ගයේ අඹගස්පිටිය හන්දියට පැමිණ දකුණට ඇති මාලිගාතැන්න මඟේ කි.මී. 03 ක පමණ පැමිණිය යුතුය.
මාලිගාතැන්න පුණ්‍ය භූමිය නිර්මාණය වී ඇත්තේ කඳු බිමක් ආශ්‍රයේ ය. පටන් ගැන්ම ශෛල තලාවකි. පුළුල්ව විහිදී තිබේ. එය ආරෝහණය වෙයි. ගලින් නෙළු පියගැට පෙළකි. අඩුව පිරිමහන්නට බදාමයෙන් සැකසූ පඩි ද පයට පහසුව සලසයි.
මේ පියගැට අපූරු අත්දැකීමක් වින්දනයට මහත් පුරාවෘත්තයක් කියැවීමට මා ගත ඉහළට ඔසවගෙන යයි. මම සිතමි. හිත් පිත් නැති පුළුල් ගල් තලයක මෙතරම් මහන්සියෙන් පිය ගැට සැකසුවේ ඇයි දැයි කියා. හිත් පිත් ඇති මුදු මෙළෙක වූ හිත් තනා ගන්නට අවැසි තැන මෙතැනයැයි පෙන්වන්නට ය. වින්දනීය ඉසව් පෙන්වන්නට ය. ප්‍රඥාවේ ආලෝකය දල්වා ගන්නට අවැසි විවේක සුවය - විවේක බුද්ධිය සලසා ගන්නට සුදුසු ස්ථානයක් පෙන්වා දෙන්නට ය.
වාහල්කඩින් ඇතුළු වෙමි. පල්ලේමාලේ නමින් හැඳින්වෙන පර්වත පරිශ්‍රයකි. නොවූස් වූ ද, උස් වූ ද වේදිකා සැකසී තිබේ. වම්පස තවත් නැග්මක බෝ වෘක්ෂයකි. එතැනින් ඉහළ කඳු ගැටයක පරිසරයට සරිලන කුඩා ස්තූපයකි. ඉදිරිපිටම ඇත්තේ බුද්ධ මන්දිරය ද, ධර්මශාලාව ද එක් තැන් කළ ගුහාවකි. තුන්බෝධිය සහිත මේ භූමියේ හිස් අවකාශයන්ගෙන් නැගෙන උස් රුක් පෙළ. අපව වන අරණක් තුළට කැඳවාගෙන යයි. පත් සෙලවෙයි පවන් සලයි - සිසිල ගෙනෙයි සෙවණ සදයි. සොබාව ධර්මයේ රමණීය සිතුවමට සෞම්‍ය සදැහැති පැහැය පින්තාරු කර ආගමික පසුබිමක් නිර්මාණය කර තිබේ. දැහැමෙන් සෙමින් පිවිස විහාරයේ දොර හැර ගතිමි. එතැන බුදු මැදුර යි. පඩි කීපයක් බැස ධර්ම ශාලාවට ඇතුළු වුණෙමි. සමහර තැනකදී කෙළින් හිටගැනීමට නොහැක ශෛලමය සීලිමෙහි හිස වදියි. මෙය මොල්ලියක් උඩ තුළනය කළ ගල් කුට්ටි දෙකකි. ඇතුළත හෑරී ගුහාවක් බවට පත් වී තිබේ. ශෛලමය ගුහාව වටලන ලෙස පිටතින් කෙටූ කටාරම් ලකුණු වඩාත් දිගු වෙයි. පුරා විද්‍යාඥයන් පවසන්නේ මෙතරම් දිගු කටාරම් සටහන් වෙනත් මෙවැනි තැනකදී දකින්නට නො හැකි තරම් ඉතා විරළ දසුනක් බව ය. මාලිගාතැන්න පුරා වෘත්තය පවසන්නේ වළගම්බා රාජ්‍ය සමයේ දී මේ කටාරම් සටහන් කළ බව ය.
මේ ගුහාවේ 2000 කට පමණ ඉඩ පහසුව සැලසී තිබෙන බව කියැවෙන නිසා විශාලත්වය කොතෙක් දැයි දළ හැඟීමක් ඇති කර ගැනීම පහසු ය.
එතැනින් නැගෙන පඩි පෙළ දිගේ ඉහළට නගිමි. වම්පස තවත් කටාරම් සහිත කුඩා ලෙනකි.
තවත් තැනක මඟ නැගී ඇත්තේ ගුහාවක් ඇතුළතින්ය. මේවා හිතට නුහුරු ය. නෙතට නුපුරුදු ය. නව අත්දැකීම් එකතු වන්නේ එවිට ය. අපූර්වත්වයෙන් සපිරි අත්දැකීම් සමුදායකින් පිරෙන දිවිය හිස් නො වේ. මල් පිපී ඵල දරන්නේ ඒ නිසා යැයි සිතේ. ඒත් දැන් නම් ගමන එතරම් පහසු නැත.
අපහසු ගිරිදුර්ග මතින් මේ මහ කන්දේ තවත් එක් මර්මස්ථානයක් වෙතට පැමිණෙමි. මෙතැනට ‘දෙගල්දොරුව’ වශයෙන් හඳුන්වයි. ‘කුරුබිලි ගල් අඩිපාර’ වශයෙන් ද හඳුන්වන්නේ මෙය ම ය. මහ කළුගල් පර්වතය දෙබෑකර අඩිපාරක් සකසා දී ඇත - පාදමේ සිට බලන විට සිතෙන්නේ මේ මහා දෙබොක්කාව මධ්‍යයේ දී සිරුර හිර කර ගමන නවතාවිද කියා ය.
ගිරි සිරසෙහි කුඩා ස්තූපයකි.
මා දැන් සිටින්නේ මුහුදු මට්ටමින් අඩි 850 ක් පමණ උස් වූ කඳු මුඳුනක ය. එසේත් නැතිනම් බස්නාහිර පළාතේ ඇති උසම ස්ථානයේ ය. සිහින් වැහි පොද වැටෙමින් වලාකුළු ඔබ මොබ පාවී යමින් අනන්ත අපරිමාණ පහත් බිම් වක්‍රය බොඳ කර තිබේ. මා නෙත්මානයෙන් ද වලාකුළු පාවී ඇදී යයි. දැන් උදා වී ඇත්තේ නිබඳව අත් විඳිය නොහැකි විශේෂ පාරිසරික තත්ත්වයක් බව සිතෙයි. මේ සොඳුරු අත්දැකීම තව නිමේෂයකින් වෙනස් විය හැකිය. හෙට මෙය අතීත ස්මරණයකි. සදාතනික සුවය ඇත්තේ කොතැන ද? මෙතැන හුළං කපොල්ලේ දී රහත් ඵලය ලද අමිතාසභ නම් භික්ෂූන් වහන්සේ පිළිබඳ මතකය අවදි වෙයි.
මෙතෙක් මා ඔබ සමඟ දොඩමලු වූයේ වර්තමාන ගමන් මෙග් සැරි සරමින් ය. වර්තමානය ද අනාගතය ද පෙහොසත් වන්නේ අතීත පෙළ ගැස්ම අභිමානවත් වන තරමට ය.
අතීත වංශ කතාව සැකසීමට පැරණි ලේඛන ඉතිහාස ග්රන්ථ, ජනශ්රැතීන් පුරා විද්‍යාත්මක සාධක විභාග කරමින් වඩාත් නිවැරදි නිගමනයකට එළැඹිය යුතු වෙයි.
මාලිගාතැන්න විවේකාශ්‍රමයේ වැඩ වසන ශ්‍රාස්ත්‍රවේදී මාලිගාතැන්නේ සුසීම තරුණ භික්ෂූන් වහන්සේ මාගේ ගැටලු වලට පිළිතුරු සපයති.
සුසීම හිමියන් පවසන්නේ පුරා විද්‍යා ගවේෂණයන් මඟින් මෙහි කාල නිර්ණය කර, ක්‍රි.පූ 01 වැනි සියවස තෙක් සාධක සොයාගෙන ඇති බවකි. මෙය ක්‍රි.පූ. 01 වැනි සියවසේ වළගම්බා රජතුමාගේ ආරක්ෂක බළකොටුවක් වූ බව කියැවෙයි. ඒ යුගයේ මෙය හඳුන්වා ඇත්තේ වටගල නමිනි.
වංශ කතාවන්ට අනුව වසර 07 මෙහි වැඩ වාසය කළ මිත්තාසභ භික්ෂූන් වහන්සේ උඩ මළුවේ සුළං කපොල්ලේදී රහත් ඵලයට පැමිණි බවක් ද කියැවෙයි.
වළගම්බා රජතුමා රාජ සභාව මෙන් ම සේනාව රැස් කළ සුවිසල් ලෙන ද මෙහිදී දැක ගැනීමට පුළුවන.
ක්‍රි.ව. තෙවැනි සියවසේ දී පමණ මුගලන් කුමරු සැඟවී සිටියේ මේ ආරක්ෂිත ස්ථානයේ බවත් ඉන්දියාවේ සිට සේනාව රැගෙන පැමිණියේ ද මේ බළකොටුවට බවත් කියැවෙන අතර ම එතුමා සෑදූ වෙද හලක නටබුන් මෙහි දකින්නට ලැබෙන බව ද පැවසෙයි. මෙහි ඇති ඇඹරුම් ගල් එයට ප්‍රබල සාක්ෂි සපයයි.
එම යුගයේ නෙළන ලද හිටි පිළිමයක පද්මාසනය ද යන්ත්‍ර ගල ද, මුලසුන ද ඉතිහාස කියැවීමට අවශ්‍ය අක්ෂර පෙළකි. අවශ්‍ය වන්නේ නිසි තැනට ගොනුකර පැහැදිලි සටහනක් සැකසීම පමණි.
ක්‍රි.ව. 1215 දී පමණ කාලිංග මාඝ ආක්‍රමණයන්ගෙන් ආරක්ෂා කිරීමට දන්තධාතුන් වහන්සේ මෙතනට රහසින් රැගෙන එන ලද්දේ දිඹුලාගල මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ තුන්වන ශිෂ්‍ය වාචීස්වර සංඝරාජ මහ තෙරුන් වහන්සේ බව ද වංශ කතාවලින් තහවුරු කරගත හැකි බව සුසීම හිමියෝ පවසයි.
කෝට්ටේ රාජ්‍ය සමයේ 06 වැනි පරාක්‍රමබාහු රජතුමාගේ යුගයේ දී මෙහි තිබී ඇත්තේ අවි ගබඩාවකි.
කෝට්ටේ යුගයේ සකලකලා වල්ලභ නම් ප්‍රාදේශීය පාලකයකු මේ භූමිය විනෝදාස්වාදය වෙනුවෙන් උද්‍යානයක් ලෙස සැකසූ බවක් ද කියැවේ. උඩ මළුවේ අෂ්ටාකාර මන්දිරයක් ගොඩ නගා ආරක්ෂාවට දෙගල්දොරුව පටු මඟ සාදා අනෙකුත් පිවිසුම් මාර්ග ආවරණය කළ බවක් ද පැවසෙයි. තවත් යුගයක මාලිගාතැන්න හඳුන්වා ඇත්තේ කෙහෙල්වේරුගල යන නමිනි. තිසර සන්දේශයේ ඒ පිළිබඳ සඳහන් වෙයි.
කෝට්ටේ යුගයේ දන්ත ධාතූන් වහන්සේ ගේ භාරකාරත්වය දැරුවේ කීරගල දියවඩන නිලමේ තුමා විසිනි. ඒ යුගයේදී මෙය හඳුන්වා ඇත්තේ උයන්බඩකන්ද වශයෙනි. පෘතුගීසි ආක්‍රමණයන්ගෙන් පසු රූකඩ රජකු බවට පත් වූ දොන් ජුවන් ධර්මපාලගේ අභාග්‍ය සම්පන්න යුගයේ දී කීරවැල්ලේ නිලමේ තුමා දිනක රාත්‍රියක දී සිහිනයක් දුටුවේ ය. සිහිනෙන් ඇවිදින් ඔහුට පැවසුවේ
“කෝට්ටේ කලාලේ කිසිල්ලේ - දත මැදගන් රාළේ” කියාය.
කෝට්ටේට කළ ආලය පසෙකලා දන්ත ධාතූන් වහන්සේ රට මැදට ගෙන යන්න යැයි එහි අරුත විය. කීරවැල්ලේ නිලමේ තුමා මෙම ප්‍රදේශයේ කෙනකු වූ බැවින් ඉණේ බැඳි හවඩියේ සඟවා ගත් දන්ත ධාතූන් වහන්සේ දෙල්ගමු රජමහා විහාරය වෙත රැගෙන යෑමට ප්‍රථම දින කීපයක් සඟවා තබා ගෙන තිබුණේ ඒ වන විට උයන්බඩකන්ද ලෙස නම් වූ මෙම ස්ථානයේ වූ උඩමළුවේ මාලිගය තුළ ය. මාලිගාකන්ද වශයෙන් අද හඳුන්වන නම පටබැඳුණේ උඩමළුවේ වූ මේ මාලිගාව නිසා ය.
පෘතුගීසි පූජකවරයකු වූ ක්වේරොස් ගේ ‘ලංකාවේ පෘතුගීසි ප්රයත්නය’ ග්‍රන්ථයේ සඳහන් කරන්නේ පෘතුගීසීන් විසින් උයන්බඩ කන්ද නම් වූ මෙම භූමිය ගිනිබත් කළ බව ය.
මෙය විවිධ යුගවලදී බළකොටු වශයෙන් ද වනවාසී භික්ෂු ආරාමයක් මෙන් ම දන්ත ධාතූන් වහන්සේ වැඩ සිටි පූජනීය ස්ථානයක් ලෙස ද ප්‍රකට වෙමින් ඉතිහාසයේ වංශ කතාවට සුවිශේෂ පරිච්ඡේදයන් කීපයක් එක්කළ ජාතික ආගමික උරුමයේ සැමරුම් සිහිවටනයකි. වසර 1600 පමණ වන විට ගිනිගත් භූමිය පෝෂණය වූයේ කටු කොහොලිනි - වන වදුලෙනි - වසර 300 කට පමණ පසු 1924 වසරේදී මැණික් දිවෙල දේවානන්ද නාහිමියන්ට පින් සිදුවන්නට නැවතත් විවේක සේනාසනයක් බවට පරිවර්තනය විය. ඒ වන විට නොයෙකුත් නොපනත්කම් වලින් පිරුණු මේ බිමේ ලෙන් විවිධ මිනිසුන්ගේ නිවාස බවට පත් වී තිබිණි. එවකට මෙහි විසූ කඳුමුල්ලේ - ගොරොක්ගහදෙනිය වලව්වේ එස්.ඊ.ආර්. ගුණසේකර මුහන්දිරම් ලොකු රාලහාමි මාලිගාතැන්න පින් බිම පවිත්‍ර කළේ තම ඉඩකඩම් පවා මේ බිම ආක්‍රමණය කළ මිනිසුන්ට පරිත්‍යාග කරමිනි.
දහඅටපොළක ඉර හඳ ලකුණු සටහන් කර හතර දෙසින් වඩිනා මහා සංඝරත්නයට අතපැන් වත්කර මේ බිම නැවත පූජා කළ මුහන්දිරම් රාලහාමි ගේ නාමය නිශ්චිත මෑත ඉතිහාසය විසින් ලියා තබනුයේ පරිත්‍යාගශීලී උත්තමයකුට කරනා උපහාර පූජාවක් ලෙස ස්වර්ණමය අක්ෂරයෙනි. කටාරම් සටහන් ඇති ලෙන් 15 කින් පමණ සමන්විත මෙම භූමිය අද අක්කර 75 කට පමණ ලගු වී තිබේ. පරිසරයට කරනා විපත් නිසා පෙරදා නොසිඳුණු දිය උල්පත් සිඳී යමින් පවතින බව අසන්නට ලැබිණි.
ජනක වෙත්තසිංහ