ඡන්දෙ ඉල්ලන ඇළි මිනිස්සු | Page 3 | සිළුමිණ

ඡන්දෙ ඉල්ලන ඇළි මිනිස්සු

ලෝකයේ දිළි­ඳුම රාජ්‍ය­යක් වන මලා­විහි ඇළි මිනි­සුන් විඳින්නේ ජීවි­ත­යත් මර­ණ­යත් අතර සට­නකි. ඒ යන්ත්‍ර, මන්ත්‍ර හදි හුදි­යම්වලට ඔවුන්ගේ ශරීර කොටස් යොදා ගන්නා නිසාය. මලා­වියේ මහා මැති­ව­ර­ණය පැවැ­ත්වෙන්නේ ලබන වස­රේය‍. ඒ සඳහා ඇළි පුද්ග­ලයෝ තරග කරති. මේ එම කතා­වයි.

මලාවි රාජ්‍යයේ මහා මැති­ව­ර­ණය ලබන වසරේ මැයි මාස­යේදී පවත්වන්නට කට­යුතු සංවි­ධා­නය කෙරේ. ලොව අති­ශ­යින්ම දරීද්‍ර රාජ්‍ය ලෙස සැල­කෙන මලා­වියේ මේ මැති­ව­ර­ණය, කාරණා කිහි­ප­යක් නිසා ලෝක­යාගේ අව­ධා­න­යට පාත්‍ර වී තිබේ. ඒ අතර වඩාත් වැද­ගත් සහ ප්‍රබ­ලම කාර­ණය වන්නේ ඇළි බවින් පීඩා­වට පත් පුද්ග­ල­යන් හය­දෙ­න­කුත් මේ මැති­ව­ර­ණ­යට තරග කිරී­මට නාම­යෝ­ජනා ලබා­දී­මයි. මෙය, මලාවි ඉති­හා­සයේ මින් පෙර කිසි­දි­නෙක සිදු නොවූ තත්ත්ව­යකි. ඇත්තෙන්ම, එය ඇළි බවින් පෙළෙන මලාවි ජාති­ක­යන් විශාල පිරි­ස­කගේ හිත­සුව වඩ­වන ප්‍රවෘ­ත්ති­යක් ද වන්නේය. අප එසේ කියන්නේ, ඇළි මිනි­සුන්ට ජීව­ත්ව­න්නට මෙලොව ඇති අනා­ර­ක්ෂි­තම ස්ථානය කිහි­ප­යෙන් එකක් ලෙස මලා­වි­යත් හංවඩු ගැසී තිබීම නිසයි.

වාර්තා­වන්හි සඳ­හන් වන අන්ද­මට ඇළි මිනි­සුන් සාමාන්‍ය සමා­ජ­යට උසුලා දරා­ගත නොහැකි පිරි­සක් වී තිබෙන්නේ ගුප්ත ඇදු­රන්ගේ කියුම් කෙරුම් සහ විශ්වාස හේතු­වෙනි. ඇළි බැවින් පීඩා විඳින මිනි­සුන්ගේ දේහ කොට­ස්වල මැජික් බල­යක් ඇතැයි කියන සිතු­විල්ල සමා­ජය තුළ පතු­රුවා හැර තිබෙන්නේ එකී යකැ­දු­රන් ය. ඔවුන්ගේ මේ අම­නෝඥ පෙන්වා දීම කෙත­රම් තුච්ඡ ලෙස සමා­ජ­ගත වී ඇතැ­දැයි කියා කිව­හොත් ඇළි මිනි­සුන්ගේ ශරීර කොට­ස්ව­ලට විශාල ඉල්ලු­මක් ද පැන නැඟී තිබේ. ඇළි මිනි­සුන්ගේ දේහ කොටස් කළු කඩ තුළ අලෙවි වන තරමේ ඇද­හිය නොහැකි තත්ත්ව­ය­කුත් මලා­විය තුළ මේ නිසාම ඇති වී ඇත. එනම් මිනි­ස­කුගේ දේහ කොටස් තවත් මිනි­ස­කුගේ යහ­පත වෙනු­වෙන් කෙරෙන යාග, පූජා කර්ම සඳහා යොදා ගැනෙන ම්ලේච්ඡ­ත්ව­යයි. එය මේ සිය­වසේ ජීවත් වන කෙන­කුට ඇද­හිය නොහැකි තරමේ ක්‍රෑර­ත්ව­යකි.

ඇම්නස්ටි ජාත්‍ය­න්ත­රය පෙන්වා දෙන අන්ද­මට ඇළි බැවින් පීඩා විඳින මිනි­සුන්ට මලා­වි­යේදී එල්ල­වන ප්‍රහාර 2014න් මෙහා පැත්ත කාල­යේදී බෙහෙ­වින්ම ඉහළ ගොස් තිබේ. 2015 වස­රේදී පම­ණක්, ඇළි පුද්ග­ල­යන් 115කට සිදු වුණු පහර දීම් ගැන තොර­තුරු ලැබී ඇත. එයින් 20 දෙනෙ­කුට වැඩි පිරි­සක් ඝාත­න­යන්ට ලක්වී ඇතැයි කියා ඇම්නස්ටි ජාත්‍ය­න්ත­රය පව­සයි. පහර කෑම්ව­ලට ලක්වුණු පිරි­සෙන් හත­ලිස් ගණ­න­කට, පසුව අත් වූ ඉර­ණම ගැන කිසිදු තොර­තු­රක් සොයා ගන්නට බැරිව ගොස් තිබේ. එහෙම පරි­ස­ර­යක් තුළ ඇළි බැවින් පීඩා විඳින දරු­වන්ව පාසල් යැවී­ම­ටත්, ඇළි වැඩි­හි­ටි­යන්ට මඟ තොටේ බැස රස්සා­ව­කට යන්නට එන්න­ටත් බැරි තත්ත්ව­යක් මලා­වියේ උද්ග­තව ඇත. මලා­වියේ ඇළි මිනි­සුන්ගේ දෛවය මෙවන් බිහි­සුණු තැනෙක පව­තින්නේ අන් කවර කාර­ණ­යක් නිසා­වත් නොව, එහි ක්‍රියා­ත්මක වන නීති රීති­වල පණ නැති­කම නිසා ය.

මධ්‍යම මලා­වියේ පාස­ලක උග­න්වන ගුරු­ව­ර­යකු වන ක්ලෙමෙන්ට් ග්වෙසා අති­ශ­යින්ම වේද­නා­වට පත්වුණේ තමන්ගේ පන්තියේ ඉගෙ­නුම ලැබූ ඇළි දරු­වකු 2016 වසරේ අ‍‍ප්‍රේල් මාස­යේදී ඝාත­න­යට ලක් වීමත් සම­ඟයි. සිසුවා, මේ අවා­ස­නා­වන්ත ඉර­ණ­මට මුහුණ දුන්නේ පාසල අව­සන් වී පෙරළා නිවෙ­සට යමින් සිටි­යදී බැව් දැක්වේ. මරා දමනු ලැබූ සිසු­වාගේ දේහය මලා­වි­යට අස­ල්වැසි මොසැ­ම්බික් රාජ්‍ය­යට රැගෙන ගොස් ඇතැයි කියා පසුව අනා­ව­ර­ණය විණ.

“... තවත් ඇළි ළම­යෙක් මගේ පන්තියේ ඉගෙ­නුම ලබ­නවා. මම එයාට දැඩිව අව­වාද කළා; තනි­වම ගමන් බිමන් නොයන ලෙස. විශේ­ෂ­යෙන්ම රාත්‍රි­යේදී. ....” කියා ක්ලෙමෙන්ට් ග්වෙසා පව­සයි.

මලා­වියේ ඈත එපිට ගම්මා­න­යක ජීව­ත්වුණු විට්නි නමැති දෙහැ­වි­රිදි ඇළි දැරිය නැති­වුණේ ඈ පැදුරේ නිදි සුව විඳිද්දී ය. දැරිය නැති වී දින කිහි­ප­යක් යන­විට අස­ල්වැසි ගම­කින් දැරි­යගේ හිස් කබල, දත් සහ දැරි­යට පොරවා තිබුණු රෙදි මතු විණ. ඒ ගමේම හැරී නමැති නව හැවි­රිදි ඇළි දරු­ව­කුත් ඝාත­න­යට ලක් වූ බව මානව හිමි­කම් සංවි­ධාන වාර්තා­වන්හි දැක්වේ. හැරී නිවෙ­සින් පැහැ­ර­ගෙන ගොස් ඇතැයි කියා සොය­න්නට පටන් ගන්නා විටත් ඔහුව ඝාත­නය කෙරී තිබිණ. හැරීගේ අතු­රු­දන් වීමෙන් පැය කිහි­ප­යක් ඉක්ම යන්නට පෙර ඔහුගේ හිස සිරු­රෙන් වෙන් කෙරී ඇති බව මලාවි බල­ධා­රීහු තහ­වුරු කර­ගත්හ. විට්නි මෙන්ම හැරීත් තමන්ගේ ඇළි බව නිසා ජීවි­තය පූජා කළ අහිං­ස­ක­යෝ ය. ඔවුන්ගේ දේහ කොටස් ගිනි ගණ­නට යකැ­දු­රන්ට අලෙවි වුණු බව නම් සත්‍ය­යකි. මේ අප­රාධ දෙක පිටු­ප­සම සිටියේ විට්නිගේ සහ හැරීගේ ඥාතීන් බව බල­ධා­රීහු පව­සති.

තිස් හැවි­රිදි වියේ පසු­වුණු ජෙනි­ෆර් නමු­සියෝ හදි­සි­යේම අතු­රු­දන් වුණේ ඇයම යතුරු පැදි­යක් පද­වා­ගෙන මලා­වියේ ෆලො­ම්බේහි ගමන් කර­මින් සිටි­යදී ය. ඇගේ නිවෙස තිබුණේ ෆලො­ම්බේහි ග්වෙම්බෙරෝ නමැති ගම්මා­නයේ ය. ජෙනි­ෆර්ගේ අතු­රු­ද­න්වීම සැල­වී­මත් සම­ඟම ඇයව සොයා ඇගේ ඥාතීහු ගම්මා­නයේ හිස් ලූ ලූ අත දිවූහ. පාරක් අයිනේ විසි කර දමා ගොස් තිබුණු ෆෙනි­ෆර්ගේ දේහය මේ පිරි­සට පැය කිහි­ප­ය­කට පසුව හමු විණ. ඇගේ දේහ­යට ආස­න්න­යෙන්ම ඈ පද­වා­ගෙන යතු­රු­පැ­දි­යත් විසි­කර දමා තිබෙනු දක්නට ලැබු­ණේය. ජෙනි­ෆර්ගේ දේහය පරික්ෂා කර බැලූ විට තහ­වුරු වූයේ ඇගේ පිය­යුරු යුගල එහි නැති බවකි. එමෙන්ම ඇගේ දෑසත් ඝාත­ක­යන් ගල­වා­ගෙන ගොස් තිබිණ. ජෙනි­ෆර් මරා දමා තිබුණේ තියුණු අවි­ය­කින් ඇනී­මෙන් බව තහ­වුරු වූයේය. ඇගේ ඝාත­න­යට වග­කි­ව­යුතු කිසි­වකු ගැන හෝඩු­වා­වක් සොයා ගන්නට බැරි විණ. එසේ වුවත් ඈ ඝාත­නය කෙරුණේ ඇගේ ඇළි බව නිසාය යන්නට කිසි­ව­කුට තව­දු­ර­ටත් රහ­සක් නොවිණ.

ඇළි බව ඇති­වන්නේ කෙනෙ­කුගේ ආවේ­ණික ද්‍රව්‍ය­ය­යන්හි තිබෙන විකෘති තත්ත්ව­යක් නිසයි. එකී විකෘ­තිය හේතු­වෙන් එම පුද්ග­ල­යාගේ සමෙහි, රෝම­වල, හිස කෙස්වල මෙන්ම ඇස්ව­ලද ඇති වර්ණක සම්පූ­ර්ණ­යෙන්ම හෝ කොට­සක් හෝ නැති වී යයි. එවිට එම පුද්ග­ලයා සාමා­න්‍ය කෙනෙ­කුට වඩා සුදු පැහැ­යෙන් යුත් කෙනෙකු ලෙස කැපී පෙනෙයි. මේ විධි­යට ශරී­රයේ වර්ණක අඩු­වීම වාස­නා­වක් හෝ සුබ­දායි තත්ත්ව­යක් හෝ නොවේ. එහි මැජික් බල­යක් ද නැත. ඇළි බවින් පීඩා විඳින කෙනෙක්, දැඩි හිරු එළි­යෙන් ඇති­කෙ­රෙන පිලිස්සීම් නිසා පවා වේද­නා­වට පත් වෙයි. එමෙන්ම ඔවූහු ඉතා ඉක්ම­නින්ම වාගේ චර්ම පිළි­කා­ව­ල­ටත් ගොදුරු වෙති. උප­තින්ම ඇති­වන ජාන විකෘ­ති­යක් නිසා මේ අන්දමේ තත්ත්ව­යන්ගේ පීඩා විඳි­මින් ජීව­ත්වන කෙනෙකු සමා­ජ­යේදී වෙන­ස්ක­ම්ව­ලට ලක්වීම කෙත­රම් අභාග්‍ය සම්පන්න කාර­ණ­යක් ද?. තමන් මුහුණ දෙන දුෂ්ක­රතා මැද ජීව­ත්වීම සඳහා ඔවුන් අප­මණ අර­ග­ල­යක් කරද්දී අනෙ­ක්වුන් ඔවුන් වෙත කඩා පැන ඔවුන්ගේ ජීව­ත්වීමේ අයි­තිය පවා පැහැර ගැනීම යුක්ති යුක්ත දෙයක්ද?. අනෙක් අතට එවැනි මිනි­සුන්ගේ ශරීර කොටස් යොදා­ගෙන යාග හෝම, යන්ත්‍ර මන්ත්‍ර කිරීම සහ කරවා ගැනීම මේ සිය­වසේ ජීව­ත්වන මිනි­සුන්ට තරම් වන ක්‍රියා­වක් ද?. ඒ අස­ර­ණ­යන්ගේ ජීවි­ත­ව­ලට සාධා­ර­ණ­යක් ඉටු කර­න්නට, 2019 මලාවි පාර්ලි­මේන්තු මැති­ව­ර­ණ­යෙන් තේරී පත්වන ඇළි බවින් පෙළෙන ජනතා නියෝ­ජි­ත­යන්ට හැකි වුව­හොත් එය මේ සහ­ශ්‍රයේ විජ­ය­ග්‍ර­හ­ණ­යකි.

 

Comments