
බළන්ගොඩ මැණික් පොළ කී සැණින් නොදන්නා කෙනෙක් නැත. එය එපමණටම ජනප්‍රියය. කලකට පෙර දහස් ගණනේ සිට කෝටි ගණන් දක්වා මැණික් වෙන්දේසි කෙරුණද අද එවැනි ව්‍යාපාරික පසුබිමක් එහි නැත. අවුරුදු හතළිස් ගණනක් මැණික් විකුණූ පබිලිස්ගේ සිට සියල්ලන් කියන්නේ එම කතාවයි.
පබිලිස් මුදලාලි සොයා ගෙන ඒ උදෑසන අපි බළන්ගොඩ ඕලුගන්තොටින් හැරී ඉහළ මණ්ඩාවල ප්‍රදේශයට යන්නට වීමු. ප්‍රධාන මාර්ගයෙන් හැරී පටු මාවතක් ඔස්සේ ගිය අපි අවසානයේ ගුරු පාරකට හැරුණෙමු. එහි වාහනයක ගමන් කිරීම අසීරුය. වේලාව උදෑසන අට පසුවී විනාඩි ගණනක් ඉකුත්ව තිබෙන්නට ඇත.
“ටික දවසකින් මුදලාලි පාර පැත්තට එනවා දැක්කේ නැහැ. ගෙදර දොරවලුත් වහලා. බලමු කතා කරලා...”
මැටි බිත්තියෙන් සෑදූ තහඩු හෙවිල්ලූ නිවෙසක් ඉදිරියේ නතර වූ ආරියසිංහ, පබිලිස් මුදලාලි සොයන්නට විය.
“අවුරුදු හතළිස් ගණනක් තිස්සේ මැණික් විකුණන කෙනෙක් ඉන්නේ මේ ගෙදර?”
මසිත කුතුහලයෙන් පිරෙයි.
ආරි, දොර ජනෙල්වලට තට්ටුකරමින් කතාකරයි. ගතවූයේ ස්වල්ප මොහොතකි. බ්රාස් හඬින් ඇරුණු අබලන් දොරින් එළියට ආවේ ලෙඩ පෙනුමැති කෙසඟ වයෝවෘද්ධ මිනිසෙකි. ඔහු නිදි පැදුරෙන් අවදි වූ ගමන්ය.
"මම මාසයකට වැඩියි අසනීප වෙලා. දැන් තමයි ටිකක් හොඳ වේෙගන එන්නේ. බිස්නස් ගියෙත් නැහැ. එමුකෝ ඇතුළට. වාඩිවෙලාම කතාකරමු."
පබිලිස් මුදලාලි ඔහුගේ නිවෙස තුළට අපව කැඳෙව්වේය. මම කාමරය සිසාරා බලන්නට වීමි. නිවෙසටම ඇත්තේ කොටස් දෙකක් පමණි. එක් කොටසක් නිවෙසේ සාලයත් කාමරයත් ලෙසින් පාවිච්චි වේ. එහි අබලන් ඇඳක්, ප්ලාස්ටික් පුටු දෙක තුනක් හා පා පැදියක් හැරුණු විට ඇත්තේ කාමරයේ ඒ කොන මේ කොන යා කෙරුණ රෙදි වැලකි. එහි රෙදි කඩමාලු කිහිපයක් මෙන්ම සුදු සරොම් හා කමිස කිහිපයක්ම වනා තිබිණි.
”අවුරුදු හතළිස් ගණනක් තිස්සේ මැණික් විකුණලත් මෙහෙම ද ඉන්නේ?”
පබිලිස් මුදලාලිගේ වත්කම් දුටු මොහොතේ මට පහළ වූ සිතුවිල්ලය ඒ.
“මගේ වයස අවුරුදු හැත්තෑ අටයි. අවුරදු හතළිස් පහක් තිස්සෙම මම කරන්නේ මැණික් ගල් මිලට ගන්න එක විකුණන එක තමයි. මම ඉගෙන ගත්තේ ඉස්කෝලේ හයේ පන්තියට විතරයි. අම්මයි තාත්තයි ගොවිතැන් වැඩ කෙරුවේ. මට පුතෙක් ඉන්නවා ඔහු විවාහ වෙලා වෙනම පදිංචි වෙලා හිටියේ. මීට වසර කිහිපයකට පෙර බිරිය මිය ගියා. නිදහසේ ඉන්න ඕනෑ නිසා මම මේ ගෙදරට වෙලා ඉන්නවා. දවස් ගානකින් බිස්නස් යන්නත් බැරි වුණා. මම ඒ කාලේ ගම්වල ඇවිදලා මැණික් ගල් මිලට ගන්නවා. ඒ ගල් ගෙනැල්ලා බළන්ගොඩ ටවුමෙදි විකුණනවා. කොහොමත් දවසට රුපියල් දෙතුන් දාහක ලාභයක් තියෙනවා. මම මේ කියන්නේ ඒ දවස්වල. දැන් තත්වය ඊට වෙනස්. බළන්ගොඩ ටවුමට ගිහිල්ලා බලන්නකො උදේට. මැණික්කාරයෝ නැහැ. ඔය දෙතුන් දෙනෙක් පුරුද්දට එනවා ඇරෙන්න.”
පබිලිස් මුදලාලි පවසන්නේ හිතේ අමාරුවෙනි.
"දැන් මැණික් ගල් නැද්ද?"
පබිලිස් මුදලාලි අබලන් ඇඳේ කොට්ටය ඔසවා ඒ යටින් මතුකර ගත්තේ පොදියකි. ඔහු එය මා අත තැබුවේය.
"බිස්නස් යන්න කියලා ගෙනාවේ. එත් යන්න බැරි වුණානේ. මේවා මේ ඔප කරපු ගල් නෙමෙයි. මේ ටිකට කියන්නේ ලොට් එකක් කියලා මේ ටික රුපියල් දාහක් විතර වටිනවා. හැම වෙලේම ගල් තියන්නේ වතුර එක්ක. මට ළඟදි ඔට්ටුවක් ලැබුණා. ඒක රුපියල් පහළොස්දාහකට ඉල්ලුවා. ඒත් ඊට වඩා වටින නිසා ඒ වෙලාවේ ඒක විකුණුවේ නැහැ. ඔට්ටුවක් කියන්නේ මැණික් ගලේ කාලේ පැන්නට පස්සේ කියන නම. මම කවදාවත් බැංකුවල සල්ලි දාලා නැහැ. මේ වෙලාවෙත් මගේ අතේ මුදල් තියෙනවා. කවදාවත් මට පොදි ගහන්න වුවමනාවක් තිබුණේ නැහැ. මට ඕනෑ වුණේ සැහැල්ලුවෙන් ජීවත් වෙන්න. මම ඉරඔට්ටු කරලා තියෙනවා. ඒ කියන්නේ අනුන්ගේ ගල් විකුණලා ඔහුගේ පංගුව දිලා ලාබේ අරන් තියෙනවා. මම ගල් විකුණලා හම්බ කරපු හැටියට වුවමනාවක් තිබුණා නම් යාන වාහන අරගෙන ගෙවල් දොරවල් හදාගෙන සුඛෝපභෝගී වෙන්න තිබුණා. ඒත් මට මේ ඉන්න විදිහ ඒ හැම දේටම වඩා හොඳයි. ”
පබිලිස් මුදලාලි උගුර පාදමින් පවසයි. ඔහු දැන් ක්‍රමයෙන් සුව වෙමින් සිටී. හෙට අනිද්දා දිනෙක ඔහු යළිත් බළන්ගොඩ යනු ඇත. ඒ ටවුමේ මැණික්කාරයන් අතරටය.
"ටෝච් එකයි සුදු ඇඳුමයි තමයි මැණික්කාරයා ගේ ඇඳුම. මම රැවුල කපලා නාලා පිරිසුදු වෙලා සුදු සරම, සුදු කමිසය ඇඳගෙන ටෝච් එකත් අරගෙන උදේ අට වෙන කොට බළන්ගොඩ ජේ.එන් එක ගාවට යනවා. ඕලුගන්තොට ඉදලා පයින් උදේ සවස ගෙදර එන්නේ. හිතුෙණාත් කේතලේ ළිපට කරලා තේ එකක් හදා ගන්නවා. නැත්තම් තුන් වේලම කඩෙන් කාලා ගෙදර ඇවිත් නිදා ගන්නවා. මම කවදාවත් බීමට ඇබ්බැහි වුණු කෙනෙක් නෙමෙයි. "පබිලිස් මුදලාලි කියන්නේ තම දෛනික ජීවිතය පිළිබඳ ය. කිසි දිනෙක වැඩි වාසි සොයා නො ගිය පබිලිස් මුදලාලි අල්පේච්ඡ ජීවිතයකට ඇලුම් කරන්නෙකි.
“මැණික්කාරයෝ” ඒ වචනය ඇහුණම අපට හිතෙන්නේ බොහෝ සල්ලිකාරයන් ලෙසිනි. එහෙත් එහි සත්‍යතාව කුමක්ද?
මැණික්වලින් සල්ලි නැත්නම් මිනිස්සු මහපොළොව එක්ක හැප්පෙයිද? මැණික්කාරයන් ගැන කතා කරන හැම විටෙකම අපට හිතේ මැවෙන උත්තර නැති ප්‍රශ්න මේවා ය.
"ඉස්සර ඒ කියන්නේ මීට අවුරුදු දහයකට පහළොවකට වගේ ඉස්සෙල්ලා රත්නපුර බළන්ගොඩ ටවුන් වල උදේට හවසට ගිහිල්ලා බලන්න ඕනෑ. මැණික්කාරයෝ ඉන්න තරම්. ඒක හරි අපූරු වෙළෙඳපොළක්. ඒ පොළවල්වල මැණික් කරපු සමහර අය අද ලොකු මැණික් මුදලාලිලා."
අතීත කතාව එසේ වුවත් දැන් මැණික්කරුවන්ගේ තත්ත්වය ඊට හාත්පසින් වෙනස්ය. දරුමල්ලන්ගෙන් නිදහස් වී තනිකඩ ජීවිත ගතකරන පබිලිස් මුදලාලිට මැණික් වෙළෙදාම අඩු වූ විට ගැටලු මතු නොවුණද මැණික්වලින්ම ජීවිත ගොඩ නගාගත් දරුවන්ගේ ලෝකය හදන්නට වෙහෙසුණු මොවුන් අද මුහුණ දී ඇත්තේ බරපතළ ගැටලුවලටය. ඔවුන් අපට හමු වූයේ බළන්ගොඩ ජේ. එන් එක අසලදීය.
"ඒ කාලේ මේ හරියේ හුඟක් අය හිටියා. නමුත් දැන් හරි හමන් බිස්නස් එකක් නැති නිසා හුඟක් අය වෙන වෙන දේවල් පටන් අරගෙන. ඉස්සර වගේ නෙමෙයි දැන් නීති වැඩියි. පතල් කරන්න අමාරුයි. හොරට පතල් කරලා අහු වුණොත් රුපියල් හැට හැත්තෑ දාහ දඩ ගහනවා. සමහර වෙලාවට ලැයිසන් තිබුණත් පොලිසියෙන් මොකක් හරි වරදක් හොයලා නඩු දානවා. කොහොම වුණත් මැණික් වෙළෙඳාමෙන් පවුල් පන්සියකට වැඩි ප්‍රමාණයක් ජීවත් වෙනවා.
ඉස්සර උදේට මේ හරියේ මැණික් විකුණන අය මිලට අරගෙන ලාභයක් තියාගෙන විකුණන අය තුන්සියක් විතර හිටියා. දැන් පේනවානේ ඉන්න ගාන. සමහර දවස්වලට අපි ගෙදර යන්නේ හිස් අතින්. පුරුද්දට වගේ තමයි මෙතැනට ඇවිල්ලා යන්නේ."
තානායම් පාරේ සිටින මැණික් වෙළෙන්දන් පවසන්නේ කනගාටුවෙනි. සමන්ත, සමන්, මන්සූර්, අනුර ආදීන් මේ එකතුවේ සිටිති.
"ලැයිසන් තියෙද්දිත් පතල් කරද්දි ඇල්ලුවා. රුපියල් හැට දාහක් දඩ ගැහුවා. කොහොමද අපි මේ රස්සාව කරගෙන යන්නේ. මේ ළඟදි එළවළු කොටුවේ ඉඳලා ගිය මිනිස්සු දෙන්නෙක් වත් පොලිසියෙන් ඇල්ලුවා. "
සමන්ත කියන්නේ කනගාටුවෙනි.
බළන්ගොඩ නගරයේ මැණික් වෙළෙඳපොළ මීට කලකට පෙර ඉතා සරුසාරය. එහි වෙළෙඳාම් කෙරුවන් තම ජීවිත සරුසාර කරගත්තේ ඒ ව්‍යාපාරවලිනි. නමුත් දැන් තත්ත්වය ඊට වෙනස්ය. පාර අයිනේ ඔවුන්ගේ බිස්නස්වලට දැන් ඉල්ලුමක් නැති තරම්ය.
"ඉල්ලුමක් නැතිවාම නොවෙයි. පතල් කරන්නේ අඩුවෙන් නිසයි මැණික් අඩුවෙලා තියෙන්නේ. මීට අවුරුදු පහළොවකට වගේ ඉස්සෙල්ලා තමයි මම මේ බිස්නස් එක පටන් ගත්තේ.
උදේ හතට විතර ආවාම අපි දවල් දොළහ විතර වෙනකල් ඉන්නවා. ආයෙමත් හවස දෙක තුන විතර වෙනකල් ඉන්නවා. ගෙවල් දොරවල් හදාගත්තේ, වාහන ගත්තේ, දරුවන්ට උගන්න ගත්තේ හැමදේම කරගත්තේ මේ මහපාරේ කට්ට කාලා මැණික් ගල් ලොට් විකුණලා. දැන් එහෙම බිස්නස් නැහැ. දැන් අපි එන්නේ පුරුද්දට. ඒ ඇවිල්ලත් රුපියලක්වත් නැතිව ගෙදර යන දවස් අනන්තයි."
සමන් අපට තම සාක්කුවෙන් ඇද ඔපකරන ලද මැණික් ගල් කිහිපයක් පෙන්වමින් පවසයි.
"දැන් වෙළෙඳපොෙළ් සින්තටික් ගල් තියෙනවා. එ්ත් කොයිතරම් නැති වුණත් අපි කාව වත් රවට්ටන්නේ නැහැ. ඕනෑම කෙනෙක්ට අපෙන් ගන්න ගල් සංස්ථාවෙන් චෙක් කර ගන්න පුළුවන්. මම මේ රස්සාව ඇරෙන්න වෙන රස්සාවල් කරලා නැහැ. අපි නිවාඩු ගන්නේ නැහැ. පෝය දවසටත් එනවා. දැන් ඒ එන ගමන අපට පුරුද්දට ගිහිල්ලා."
ඔහු පවසන්නේ අද තමන්ට හිමි වී ඇති තත්ත්වයයි.
හැටහත් හැවිරිදි විජයවීර වසර තිහක් තිස්සේ පතල් කරන්නෙකි. මේ ඔහු අපට කියූ ඔහුගේ කතාවයි.
"මම අනුන්ගේ පතල්වල වැඩ කළ කෙනෙක්. සුමාන කාසිවලට වැඩ කරලත් තියෙනවා. රුපියල් පන්සියයි සුමාන සල්ලිවලට ලැබෙන්නේ. හැම පතලකම මැණික් හම්බ වෙන්නෙත් නැහැ. දවසේ කුලියට වැඩට ගියොත් රුපියල් එක්දහස්පන්සීයක් ලැබෙනවා. පතල්වලින් ලක්ෂ දෙකහාමාරක් වටින නිලක් ලැබිලා තියෙනවා. "
විජයවීර කියන්නේ තමා ලබා ඇති අත්දැකීම්ය.
ඔවුහු ගල් අතක් බලති. ගල් අතකට ගල් කෑලි දහයක් පහළොවක් අයිති වේ. එමෙන්ම තනි ගල් ද විකුණති. මොවුන් ජීවිත ගැට ගසා ගන්නේ ඒ අයුරිනි. ක්‍රමයෙන් වළපල්ලට යන මැණික් විකිණිල්ල ගැන ඔවුහු නිරන්තරවම කණගාටුවෙති. සුසසුම්ලති. ඒ තමන්ට ඇති එකම ජීවන මාර්ගයත් අහිමි වන බැවිනි.
"මේකේ ප්‍රශ්නයක් තියෙනවා. කවුරුවත් ඒ ගැන කතා කරන්නේ නැහැ. බලපුළුවන්කාරයෝ ඒ ගොල්ලන්ගේ ගමන යනවා. අහිංසක මිනිස්සු තමයි හැමදාමත් පෑගෙන්නේ. තැලෙන්නේ. පොඩි වෙන්නේ. පතල් දාන්න ඉඩම්වලට බලපත්‍ර ගන්න ගියාම කාලයක් ගතවෙනවා. බල පත්‍රය ගත්තම පතල පටන් ගන්න කාලයක් නැහැ.
මාස දෙකක්වත් කාලයක් නැහැ පතල කරන්න. අන්තිමට වියදම් කරපු සල්ලිත් අපරාදේ. කවුරුවත් දැන් අපි වෙනුවෙන් උදව්වටවත් එන්නේ නැහැ. ඒ නිසයි හැමදේම වළපල්ලට ගිහිල්ලා තියෙන්නේ"
බළන්ගොඩ නගරයේ දී හමුවූ ඔහු සියල්ලන්ගේම කතා අවසානයේ අප හා පැවැසුෙව් බොහෝ වේදනාවෙනි.
මැණික්කාරයෝ... සල්ලිකාරයෝ... යන වදන මොවුන්හට පැවැසීම සාධාරණ ද, අසාධාරණ ද යන්න නැවත නැවත සිතමින් අපි ඔවුන්ගෙන් සමුගතිමු.
ඡායාරූප - තුෂාර ප්‍රනාන්දු