
කඩුල්ල ළඟ නවතිමි. ලේකම් මහතා කාර්යාලයේ පෙනෙන්නට නො සිටි නිසා නොදන්වා ම ඇතුළු වුණෙමි. ඇත්තෙන් ම මෙය නම් දැඩි වන ගහනයක් ම ය. රූස්ස ගස් අතර අතිශයෙන් ම ඉතා වටිනා සම්පතක් වන ‘කළුවර’ ගස් වැඩි ප්‍රමාණයක් මෙහි දී දකින්නට ලැබීම නෙත කළ පිනකි.
කළුවර ගස්, සේ ම රූස්ස වන ගහනයක උඩ වැස්ම විසින් පරිසරය කළුවර කර තිබේ. අඳුරට පෙම් බඳින රැහැයියන් ගේ හඬ හදවත පහුරු ගෑමක් බඳු ය.
කඩුල්ලට මෙපිටින් අලි වැටක් ද ගසා තිබේ. ‘අලි මදිවට හරක්’ කීවා සේ සසල සිත තවත් කලඹවයි. වන මඟ තැන තැන දැන්වීම් ඵලක ගසා තිබෙයි. එහි මෙසේ සඳහන් වෙයි. “වන අලින්ගෙන් ප්‍රවේසම් වන්න” අනතුරු හැඟවීමකි. දැන්නම් සිත මා ආපස්සට අදිනා සෙයකි. මා මේ ඇතුළු වී හිඳින්නේ එසේ මෙසේ වනයකට නොව ‘යාල’ ජාතික වනෝද්‍යානයේ වයඹ දිසා සීමාවට ආසන්න වනයට ය. වන මඟ, වාහන ධාවනයට හැකි පරිදි සැකසී ඇත. සියලු පවු කර ගහන දෙකකුල්වලට වාහනයේ වේගය ආරෝපණය වී ඇති සෙයකි. කඩුල්ලේ සිට යා යුත්තේ මීටර් 700 ක් පමණ ය. එහෙත් හිත ගවු ගණනාවක් දුර ගොස් ය.
නිරාවරිත බිමක් දුටිමි. එතැන අඳුර නැත. ආලෝකය ඇත. පහන දුටුවා වැනිය. වෙළා ගත් සරුපයා වෙළුම බුරුල්කලාක් මෙන් අවිනිශ්චිත වූ ජීවිතයට නැවතත් පණ ලැබුණා සේ ය.
වන මැද පුණ්‍ය භූමිය බුදුගල්ලෙන ආරණ්‍ය සේනාසනයයි. දෙපයින් නොගොස් තැපෑලෙන් යන්නේ නම් 14 කණුව, රජමාවත බුත්තලයි. මෙය මොනරාගල දිස්ත්‍රික්කයේ බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මැදගම ග්‍රාමයට අයත් වේ. බුත්තල සිට යාල අභය භූමිය මායිමෙන් කතරගම දක්වා දිවෙන රජ මාවත කි.මී. 46ක් පමණ වෙයි. බුලත්තල සිට කි.මී. 10ක් පමණ ගිය තැනදී 14 කණුව හමු වෙයි. එතැනින් වමට ඇති මාර්ගයේ තවත් කි.මී. 1 1/2 ක් පමණ දුරින් ඉහළට නැගෙන කඳු මෙවුල පාදමේ තැනි බිමෙහි පිණ්ඩපාත ශාලාව පෙනේ. වනයට ඇතුළුවන කඩුල්ල ඇත්තේ එතන ය.
බුදුගල්ලෙන තපෝ වනය පිහිටියේ දැඩි වනගහනයක් තුළ ගිරි ගහනයක් ආශ්‍රයේ ය.
ඉතිහාස ග්‍රන්ථයන්ගේ හා ජනශ්රැතියේ ප්‍රකට ව ඇති දොළොස් දහසක් මහ රහතන් වහන්සේ වැඩ සිටි සිතුල් පව්ව මහා විහාරය ද පිහිටියේ යාල වනෝද්‍යානයේ නිරිත දිග කලාපයට ආසන්නව ය. බුදුගල්ලෙන, සිතුල්පව්ව වන සෙනසුන් ද භූගෝලීය වශයෙන් රේඛාවකින් යා කළ හැකි ය.
ජනශ්රැතියේ පවතින එක් මතයක් වන්නේ 12,000 ක් රහතන් වහන්සේ ආසන්නයේ පැවැති කඳු ආශ්‍රිත ලැගුම් ලෙන් සහිත ස්ථානයන් හි ව්‍යාප්තව වැඩ වාසය කළ බව ය.
මෙම වන ගහනය තුළ ඇති ගිරි කුළු ආශ්‍රයේ පුරාණයේ ස්තූප ගොඩ නංවා තිබුණු බවට පුරා විද්‍යාත්මක සාධක ද හමු වේ. වන ගහනය පුරා කටාරම් සලකුණැති ගවේෂණයට ලක්වූ මෙන් ම එසේ නොවූ විශාල ලෙන් ප්‍රමාණයක් ගන වනයෙන් නිරාවරිත මෙන් ම සැඟවී පවති බව සත්‍යයකි.
කෙසේ වුවද බුදුගල්ලෙන වංශකතාව පවසන්නේ තපෝ වනයේ රහතන් වහන්සේ පන්සියයක් වැඩ වාසය කළ බව ය.
ලංකාවේ ඓතිහාසික වනසෙනසුන් බහුතරයක් පිළිබඳ විධිමත් පුරා විදු ගවේෂණ කෙරෙහි අවධානය යොමු නොවීම පිළිබඳ නැවත නැවතත් සිතා බැලිය යුතු යැයි සිතේ.
මෙහිදී පුරා විද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද හිමිපාණන් හුදෙකලා සටනක නියැළෙමින් කළ ගවේෂණාත්මක මෙහෙයුම් ගෞරවයෙන් සිහිපත් කළ යුතු වෙයි.
බුදුගල්ලෙන වංශ කතාව වඩාත් නිවැරදිව කියවා ගැනීමට අවශ්‍ය යැයි හැඟී පොත් පෙරළන විට ඇස ගැසුණේ එල්ලාවල මේධානන්ද හිමියන් ලියූ ‘බුදුගල්ලෙන තපෝ වනය’ නමැති පොත් පිංචය. එය මහත් අස්වැසිල්ලක් වි. මේධානන්ද හිමිපාණන් පවසන්නේ “බුදු සමය රෝහණයට පැමිණි වකවානුවේ මුල් කොටසේදී ම බුදුගල්ලෙන තපෝ වනය ද ආරම්භ වන්නට ඇති බව ය”.
තපෝ වනයට අයත් කොටස අක්කර 450ක් පමණ වේ. එය ගවේෂණය කළ මේධානන්ද හිමිපාණන් ලෙන් 33ක් පමණ පරීක්ෂා කර, ඒවායේ ලෙන් ලිපි කියවා සටහන් තබා ඇත. මේවා පිළියෙල කළ දායකයන් ක්‍රි.පූ 2 වැනි සියවසේ සිට ක්‍රි.පූ. 01 වැනි ශතවර්ෂය අතර මේ ප්‍රදේශයේ විසූ සාමාන්‍ය ජනතාව බව උන්වහන්සේගේ අදහස යි.
ලෙන් ලිපි මතින් රජ කෙනකුගේ හෝ ජන ප්‍රධානියකුගේ හෝ නමක් නො කියැවෙන්නේ නම් දුකසේ යමක් උපයා සපයාගත් පොදු ජනතාවගේ දහදියෙන් කඳුළෙන් බුදුගල්ලෙන තපෝ වනය සැකසුණා විය හැකි ය.
මෙහි මධ්‍යයේ වන ලෙනක් තුළ දුරාතීතයේ දී හෝ ඉන් මෙපිට නිමැවූ අඩි 12 අඟල් 09 පමණ වූ සැතපෙන බුදු රුවක් මැටියෙන්, ගඩොළින් තනා තිබිණි. එම පැරණි ප්‍රතිමාව පසු කලෙක විකෘති කිරීමකින් හෝ මුල් ශිල්පියාගේ අදක්ෂකම නිසා හෝ එහි කලාත්මක ලක්ෂණ පිළිබිඹු නොවිණි.
එසේ වුවත් මහ වන මැද පාළු අඳුරු ගල්ලෙනක් තුළ බුද්ධ ප්‍රතිමාවක් තිබීම නො සලකා හැරිය නො හැකි ය. බුදුගල්ලෙන යන නම යෙදුණේ ඒ නිසා ය. පුරාතනයේ නම නිශ්චිත නොවුණ ද මෙතෙක් පැවත එන නමින් ම අද ද සෙනසුන ප්‍රකට ව තිබේ. ඉහත පිළිමය තිබූ තැන ම නූතන ලක්ෂණ සහිත සැතපෙන බුදු රුවක් නිර්මාණය කර තිබේ.
කඳු මධ්‍යයේ තැනි බිමක බෝධීන් වහන්සේ රෝපණය කර ඇත. එතැනින් ඉහළ ස්තරයේ ලෙන තුළ බුදු මැදුර ද එතනින් ඉහළට නගින භූමිය සමමිතික කරමින් චෛත්‍ය ඉදිකර ඇත්තේ මෑතක දී ය. කඳු ආශ්‍රිත භූමියේ විවිධ ස්තර මත ලෙන් විශාල සංඛ්‍යාවක් දකින්නට ලැබෙයි. මේවා වාසයට සුදුසු පහසු ලෙස සකසා තිබේ. මෙහි සමහර ඉදිකිරීම් කර ඇත්තේ පැරණි ගොඩනැගිලි මත බව බුදුගල්ලෙන තපෝ වනය පොත් පිංචෙහි සඳහන් කර තිබේ.
බුදුගල්ලෙනදී හමුවී ඇති පුරා වස්තු අතර කටාරම් කෙටූ ලිපි සහිත ලෙන් - පර්වත ලිපියක්, මුරගල් - කොරවක් ගල් - සඳකඩ පහණ, ගල් ආසන, පැරණි පියගැට පෙළ පැරණි ගඩොළු වර්ග මෙන් ම විශේෂයෙන් බෝධිසත්ව ප්‍රතිමා දෙකක් ආදිය දැක ගැනීමට ලැබෙයි.
බුදුගල්ලෙන වංශ කතාවේ ආරම්භයෙන් පසු, පරිච්ඡේදයන් නිශ්චිත ලෙස වෙන්කර පෙන්වීමට අපොහොසත් වුව ද මෑත ඉතිහාසයේ පුනරාගමනය ස්ථිරව හඳුනා ගැනීමට පුළුවන.
එය සිදුවන්නේ 1975 වසරේදී මාවතගම ගුණානන්ද නා හිමිපාණන්ගේ ආගමනයත් සමඟ ය. උන්වහන්සේ වඩින්නේ වලසුන්ගේ, කොටින්ගේ ලැගුම් ගුහා අතරට ය. වන අලින් ගේ කෙළි බිමක් මතට ය. දඩයක්කරුවන්ගේ ඝාතකාගාරයක් තුළට ය. එහි මස් කඳන් ගොඩ ගැසී තිබිණි. මැසි වත මස් වියැළිණි. ඝාතනය වූ අහිංසක සතුන්ගේ හිස් කබල් ඇට සැකිලි ගොඩ ගැසී තිබිණි. එදා ඝාතකාගාරය අද බුදු මැදුර බවට පරිවර්තනය වී තිබේ. මෙය මහා හාස්කමක් බඳු ය.
එදා ගුණානන්ද යෝගාවචරයාණන්ට මහ වන මැද ආරක්ෂාවක් නොවී ය. සෙලවෙන දත් පෙළක් වන් දඬු වැට මෙපිට ගිනි මැලයක් ගසාගෙන රාත්‍රිය ගත කළේ භාවනානුයෝගීව ය. ගිනි මැලයේ අනෙක් පැත්තේ ගිනි තැපුවේ වලසුන් ය. නා හිමියන් පසුව තනා ගත් කුටිය සමීපයෙන් වන අලි 40 - 50 රංචු ඔබ මොබ සැරිසැරීම සුලබ දසුනක් විය.
එදා අහල පහල පැල්කොටයක් වත් නොවිණි. තමා සන්තකයේ වූ එක ම වස්තුව ද රැගෙන පාන්දරින් පිඬු සිඟා වැඩීමට සැතපුම් හතර පහ ගමන් කිරීමට සිදු විය. කාලය හරස් වන නිසා වැලඳුවේ එක වේලකි.
සහලොවා උණින් පෙළුණු එක් දිනක් උන් වහන්සේ දුර්වල කයින් සැතපුම් ගණනක් දුර ගෙවා ගියද දානයට ලැබුණේ පාන් කාලකි. පාන් කැබැල්ල පොඟවා ගැනීමට හොදි ඩිංගක් වත් නොලැබිණි. උගුර කට වියැළී තිබූ නිසා පාන් කෑල්ල උගුරෙන් පල්ලෙහාට තල්ලු කර ගැනීම මහත් අපහසුවක් විය. විකල්පයක් නොවීය. අසල වෙල්යායේ වක්කඩින් ගලා යන ජලයෙන් පොඟවා ගත් පාන් කැබැල්ලෙන් දන් වේල පිරිමැහිණි.
භික්ෂූන් වහන්සේගේ ඒකායන අපේක්ෂාව වන්නේ කඨොර සංසර ගිරිදුර්ග තරණය කර නිවන් කෙම්බිම වෙත පැමිණ නිවී සැනසීම නම්, එයට අවැසි ආධ්‍යාත්මික ශක්තිය ගොඩනඟා ගැනීමට මෙවැනි දුෂ්කර අත්දැකීම් ජීවිතයේ යථාර්ථය කියා දෙන පාඩම් පෙළක් නොවන්නේ දැ යි සිතේ.
මෙවන් දුෂ්කර ක්‍රියා කරමින් මෙවන් සංඝ පීතෘෘන් වහන්සේලා ඒකායන අරමුණ වෙත ම පිය නැඟූ අතර වසන් වූ පුණ්‍ය භූමි අතර රැඳෙමින් - ඓතිහාසික ආගමික උරුමය ආරක්ෂා කර ගනිමින් ම පුද බිම, වන දොර හැර තැබීමෙන් කළ උදාර මෙහෙවර සදානුස්මරණීය වේ. අද බුදුගල්ලෙන වන සෙනසුනෙහි ඇති ලෙන් සමූහය බවුන් වඩන යෝගාවචරයාණන් වහන්සේලාට නිවී සැනසිල්ලේ බණ භාවනා කරමින් තම ගමන් මඟ සකසා ගැනීමට ඉතා සුදුසු අපූරු පරිසරයක් නිර්මාණය කර දී තිබේ.
එහෙත් මෙහි වැඩ වසන භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් ගිලන් හලක අවශ්‍යතාව සහ වෙනත් අඩු පාඩුකම් පවතින බව පෙනිණි. පරිත්‍යාගශීලී දෑස් මෙවන් ස්ථාන වෙත යොමු වේවායි පතමි.
බුදුගල්ලෙනෙහි ගත කළ කාලය ගෙවී ගිය බවක් නොදැනිණි. ගොම්මන් කළුවර සළුවෙන් වන හිස වසන්නට පෙර මා යා යුතු ය. ‘වන අලින්ගෙන් ප්‍රවේසම් වන්න’ නැවතත් මෙනෙහි වේ.
බුදු පුදට නෙළුම් මල් වට්ටියක් සකසන තරුණ භික්ෂූන් වහන්සේ නමක් නෙළුම් පොහොට්ටුවක පෙති දිගහරිමින් ම මා අසලට වඩිමින් මෙසේ පවසයි.
“මහත්තයව ගේට්ටුව ළඟට ඇරලවන්නම්” වදන කෙටිය. දැනුණු සැනසීම අපමණය. මල් පොහොට්ටුවේ පෙති දිග හරිමින් ම අරහත් ධජය මා ඉදිරියෙන් සැලේ. මා යන්නේ පසු පසිනි. භික්ෂූන් වහන්සේ ඉදිරියෙන් වඩිති. බියක් නො දැනේ.
ගේට්ටුව අසලට පැමිණ වැඳ නමස්කාර කර මම සමුගනිමි. ආපසු හැරී බලමි. තවමත් භික්ෂූන් වහන්සේ මා දෙස බලා සිටිති. මුවෙහි මන්දස්මිතියකි. අත මත රැඳි නෙළුම් පොහොට්ටුව විකසිත වී ඇත.
විශේෂ ස්තුතිය
කළුතර විලතිස්ස හිමි, එල්.ඩී. චමින්ද කුමාර මහතා, කේ.ජී. සුනිල් මහතා
ජනක වෙත්තසිංහ