
ඔවුන් තම ගමන ආරම්භ කරන්නේ 1963 දීය. එනම් මීට වසර 55කට කලින් “කෝකිලයෝ” සංගීත කණ්ඩායම ලෙසිනි. පපර බෑන්ඩ් කලාවේ ආරම්භකයන් වූ ඔවුන්ගේ ආරම්භක සාමාජිකයන් බොහෝ දෙනකු අද ජීවතුන් අතර නැත. ජීවත්ව සිටින එකම සාමාජිකයා හමුවීමට අපි වයික්කාලට ගියෙමු.
මීගමු බස් නැවතුමෙන් හලාවත බසය ගමන් ඇරැඹුවේ ඒ මොහොතේම හලාවතට යන්නට මෙනි. එහෙත් ගතවූයේ මොහොතකි. සාමාන්‍යයෙන් මගී ප්‍රවාහන බසයකට උරුම ඉබිගමනට බසය යොමුවිය. නැගුණු කේන්තිය ඉහවහා ගියත් කරන්නට දෙයක් නැත. අපගේ ගමන යායුතුය. විචිත්‍රවත් දර්ශන, මංමාවත් නොයෙක් දෙයින් මඟ දෙපස පිරී තිබේ. ඒවායේ සෞන්දර්ය විඳිමින් මටත් හොරා මගේ හිත වෙනම ලොවකට යමින් තිබිණි. අතොරක් නැති සිතිවිලි අතරේ සිත දිවයයි.
“වයික්කාල බහින්න...හලාවත...හලාවත“ මගේ දැහැන බිඳ දමිමින් කොන්දොස්තර කොලුවා කෑගහන්නට විය. වයික්කාල් නගරයෙන් බැසගත් මම, පෙර දිනයේ තොරතුරු කතාකරගත් ප්‍රමිත් සිටින්නේ කොහේදැයි සොයා බැලුවේය. ඈතින් ඇසුණු අත්පුඩි හඩ ඔස්සේ නෙත් දිවගියේ මේ අතරය. ඒ ප්‍රමිත්ය. ඔහු අසලට ගොස් ආගිය තොරතුරු කතාවෙන් පසු ලංකාවේ පැරණිතම පපර සංගීත කණ්ඩායම සොයා යන ගමන ඇරඹුවෙමු.
“අපි යන්න ඕනෑ වින්සන්ට් මහත්තයාලගේ ගෙදරටයි.“ කියූ ප්‍රමිත් නිවෙසක් කරා මා රැගෙන ගියේය. නිවෙස ඉදිරිපිට පුටුවක වයෝවෘද්ධ අයකු වාඩිගෙන සිටි අතර, මේ නම් වින්සන්ඩ් මහතා වන්නට ඇතැයි මට සිතුණි.
“ආ... එන්න... එන්න... මම මේ පරක්කු මොකද බැලුවා“ අප එන මග දෙස දුර සිට බලාසිටි ඔහු කීවේය.
කෙතරම් වයෝවෘද්ධ, දුබල වුවත් ඔහුගේ පිළිගැනීම උණුසුම් හා ළෙන්ගතු විය. තවත් කෙටි කතාබහකින් පසු අපි අපගේ කතා නායකයාගේ හඩට සවන්දීමු.
“මගේ නම රනේගොඩ ලියනාරච්චිගේ දොන් වින්සන්ට් ද සිල්වා. දැන් වයස අනූවට ළඟයි. මම ඉගෙන ගත්තේ අම්පිටිය සෙන් පීටර්ස් කෙලේජ් එකේ. ස්කූල් එකේ බෑන්ඩ් එකක් තිබුණා. ඔය වෙද්දි මට ඉන්ස්ටෘමන්ට්ස් කිහිපයක් සෙල්ලම් කරන්න පුළුවන්. බෑන්ඩ් එක භාරව හිටියේ ෆාදර් බැරවන්ස්. එයා මාව ස්කූල් බෑන්ඩ් එකට එකතු කරගත්තා. මම ෆාදර්ගේ හොඳ ගෝලයෙක් වුණා වගේම පාසලේ ජනප්‍රිය චරිතයක් වුණා.” වින්සන්ට් මහතා කියයි.
සංගීතය, තම ජීවිතයට පිවිසි ආකාරය දැනගත් පසුව සංගීතය ජීවනෝපාය කරගත් ආකාරය ඔහු විස්තර කළේ මෙසේය.
“හොඳ කොලේජ් එකකට ගිහිං, ඉංග්ලිශ් මීඩියම් එකෙන් ඉගෙන ගත්තට අපි ගොඩක් දුප්පත් පුතා. අපේ දෙමව්පියන්ට වත්කමක් තිබුණේ නැහැ අපිට ඉහළට උගන්වන්න. සුද්දගේ කාලෙනෙ. අපිට තැනක් තිබුණේත් නෑ. අධ්‍යාපනයට තිත තිබ්බට මියුසික් අත අරින්නම බැරි වුණා. ඔහොම ඉන්න අතරේ මං පොලිස් බෑන්ඩ් එකට ඉල්ලුම් පත්‍රයක් දැම්මා. ඒකෙන් මට උත්තරයක් ආවා. මගේ හැකියාවත් එක්ක, මාව පොලිස් බෑන්ඩ් එකට ඉහළින් ම තේරුණා. ඔහොමයි සංගීතය ජොබ් එක වුණේ.”
“නැව ගිලුණත් බෑන් චූන් වගේ සතුටින් සංගීතෙත් එක්ක හිටියට වයස ගත වෙන්න වෙන්න සතුටට වඩා ජීවිතය ගැන හිතන්න වුණා. අපිට ආර්ථික දුෂ්කරතා රැසක් තිබුණා. ගෙදර හිටපු ගෑනු සහෝදරියෝ වැඩිවියට පත්වෙද්දි, වගකීම් වැඩි වුණා. මෙහෙම තත්ත්වයක පොලිස් බෑන්ඩ් එකෙන් මාසෙට ලැබෙන පඩිය මදි වුණා. අනික අපි හිටියේ රාජකාරී ව්‍යුහයක. රැකියාවට අමතරව කිසි දෙයක් කරන්න බෑ. ඔහොම ඉන්න අතරේ ආණ්ඩු මාරු වෙලා සිංහලෙන් වැඩ කරන්න බැරි අයට රැකියාවෙන් කැමැතිනම් ඉවත් වෙන්න කියලා ප්‍රතිපත්තියක් ආවා. ඔය අවස්ථාවෙන් ප්‍රයෝජන අරං මම පොලිස් බෑන්ඩ් එකෙන් අයින් වුණා. අයින් වෙලා ගෙදර ඉද්දි මට දැනගන්න ලැබුණා මං වගේම ඉවත් වෙලා ආපු සංගීතකාරයෝ කිහිප දෙනෙක් මේ ප්‍රදේශයේ ඉන්නවා කියලා. මම ඒ අයව එකතු කර ගත්තා. ජෝශප් තමෙල්, රේමන්ඩ් පෙරේරා, සෙබස්කතියන් පෙරේරා, ඇලෝෂියස් ප්‍රනාන්දු, ජෝසප් පීරිස්, මොරිස්, ෆ්රැන්සිස් කරුණාසිරි මේ අය තමයි ආරම්භක සාමාජිකයෝ. මේ අයව එකතු කරලා අපි පුරුදු වුණා. බෑන්ඩ් එකට නමක් ඕනැ වුණා. මමම “කෝකිල බෑන්ඩ්“කියලා නමක් දැම්මා. මේ 1963 ඔහු තම ඉතිහාසය කියයි.
කෝකිල යනුවෙන් නම් තැබුව ද පසුව එහි නම “සුපර් කෝකිලයෝ” නම් විය.
“ඔව් අපි මුලින් දැම්මේ කෝකිල කියලා. ටික කලක් බෑන්ඩ් එක දුවද්දි අපේ හිටපු එක් කෙනෙක් අපෙන් කැඩිල ගිහිං වෙනත් බෑන්ඩ් එකක් පටන් ගත්ත. එයාලව හැඳින්න ගත්තේ කෝකිල කියලා. ඊට පස්සේ අපි “සුපර් කෝකිලයෝ” කියලා නම චේන්ජ් කළා. අද වගේ නෙමෙයි ඒ කාලේ. බුකිං එකකට ගියාම එක්කෙනෙක්ට රුපියල් දෙකක් තමයි ලැබෙන්නේ. අද වගේ ෆෝන්ස් නෑ. බුකිං එකක් ආවාම කට්ටිය දැනුවත් කරලා එකතු කරගන්න ඕනා. ඒ අයට පණිවිඩේ දෙන්න ගෙවල්වලට ම යන්න වෙනවා. පිටිපන, හලාවත, මීගමුව ඔය පැතිවලත් කට්ටිය හිටියා.
මම යනවා ගෙයක් ගානේ. කාලයක් යද්දි ෆියුනරල්, පල්ලියේ මංගල්‍ය, ක්‍රිකට් මැච්, සාදවලට අපි නැතුවම බැරි පිරිසක් වුණා. ජීවිතේ කොයිතරම් අමාරුකම් තිබ්බත් සංගීතය නිසා ඒවා දැනුණේ නෑ. මිනිස්සුන්ව සතුටු කළාට, මිනිස්සුන්ගේ දුක බෙදා ගත්තට අපිට ලැබෙන පින තමයි ඒක. “වින්සන්ඩ් මහතා වඩාත් හැඟුම්බර වී දෙනෙතින් කඳුළු බිඳු ගලා හැළිණි. ඒ කඳුළු සතුටු කඳුළු බවට නම් සැක නැත.
1963 වර්ෂයේ ආරම්භ වූ මෙම බෑන්ඩ් එකේ වර්තමාන එනම් 2018 වර්ෂයේ ප්‍රධානියා වන්නේ ප්‍රමිත් ප්‍රියශාන් ප්‍රනාන්දු මහතාය. එනම් අපේ ගමන් සගයා ය. තම පිය උරුමෙන් තමාට පැවරුණු දායාදය හා එහි වැදගත්කම ඔහු මැනවින් අවබෝධ කරගෙන ඇත.
“බෑන්ඩ් එකේ මුල් කාලීන සාමාජිකයෙක් වුණ ෆැ
න්සිස් කරුණාසිරි මගේ තාත්තා. තාත්තා ඒ කාලේ මේ පළාතේ හිටපු මාස්ටර් කෙනෙක්. ඒ වගේම එයා ෆෝස් බෑන්ඩ් එකේ සාමාජිකයෙක්. තාත්තා බෑන්ඩ් එකට එකතු වෙලා පස්සේ බෑන්ඩ් එකේ නායකයා වුණා. තාත්තා අපේ බෑන්ඩ් එක ගොඩක් උඩට ගත්තා. ඒක පරණ අය පවා කියපු දෙයක්. මට මතකයි තාත්තා මාව පොඩි කාලේ වැඩවලට එක්කන් යනවා. ඩ්‍රම් ගහන්න. ඒ කාලේ තාත්තලගේ බෑන්ඩ් එක තිබුණේ පල්ලිය හන්දියේ පරණ කඩ කාමරේ. එක එක බුකිං වලට ගියාට මට මේ පපර, මිනි බෑන්ඩ් කේස් එක ඇල්ලුවේ නෑ. පස්සේ මං රට යනවා. ඒ ගිහිං ලංකාවට ඇවිත් මෙහෙත් එක එක ජොබ් කළා. ඔය අතරේ 2013 තාත්තා මිය යනවා. තාත්තගේ ෆියුනරල් එකට එයාගේ යාළුවෝ ගොඩක් ඇවිත් මිනි බෑන්ඩ් එක සෙල්ලම් කළා. මට හිතුණා එක එක ජොබ් ගානේ රස්තියාදු නොවී උරුමයෙන් ආපු මේ රස්සාව කරන්න.” ඔහු කියයි.
සංගීත කණ්ඩායමේ වර්තමාන තත්ත්වය ගැන අපි ඔහුගෙන් විමසුවේ ඊළගට ය.
“අපිට සාමාජිකයෝ දහයක් ඉන්නවා. අපි ප්ලේ කරන්නේ පිත්තල සංගීත භාණ්ඩ විතරයි. මළ ගෙදරක නම් බෑන්ඩ් එක කියන්නේ මූලික වශයෙන් සන්නිවේදන උපකරණයක්. ඒ වගේම ඒ තුළ එක්තරා ආකාරයක සංගීතමය ගෞරවයක් ද තියෙනවා. දැන් මිනී බෑන්ඩ් හතු පිපෙනවා වගේ හැම තැනම තියෙනවා. ඒ අය අදාළ බීට්ස් පවා දන්නෑ. ඒත් අපි ලංකාවේ පැරණිම පෞද්ගලික මිනි බෑන්ඩ් එක. අපිට ඒ ක්ලැසික් ගතිය ඇඟේ තියෙනවා වගෙම ඒක දිගට ගෙනියන්න වෙනවා. ෆියුනරල් එකක දී අපි ප්ලේ කරන්නේ බීතෝවන්, චොපෑන් වගේ ශ්‍රේෂ්ඨ සංගීතඥයෝ තනු නිර්මාණය කරපු බීට්ස්. කතෝලික ගෙදරක් නම් චතාරික කාලෙදි ගයන ගීතිකා ගහනවා.
මීට අමතරව බිග් මැච්, මංගල්‍ය, අවුරුදු උත්සව, චාරික වගේ තැන් වලදී ඒ අවස්ථාට ගැළපෙන විදිහට සෙල්ලම් කරනවා. අපි සංගීතයක් එක්ක ගනුදෙනු කරන අය. ඒ නිසා අපට මුදල වගෙම ආත්ම තෘප්තියත් හරි වටිනවා.” ප්‍රමිත් කියයි.
තවත් බොහෝ දේ අපි කතා කළෙමු. රසබර අත්දැකීම්, හමුවීම්, වෙන්වීම්, මේ සියල්ල ඒ කතා අතර තිබිණි. ඒ ඔස්සේ අපටත් හොරා කාලය ගෙවිණි. තවත් සුන්දර හෝරා කිහිපයක් නිම කරමින් වින්සන්ට් මහතාගේ නිවෙසින් ප්‍රමිතත්, මමත්, පිටවීමු.