මිනිස් ජාවාරම පිටුදකින රටවල් අතර ලංකාව පෙරට | සිළුමිණ

මිනිස් ජාවාරම පිටුදකින රටවල් අතර ලංකාව පෙරට

මිනිස් ජාවාරම පිටුදැකීමට පියවර ගෙන ඇති රටවල් අතුරින් ශ්‍රී ලංකාව ඉදිරියට පැමිණ ඇති බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. පසුගිය වසරේ මිනිස් ජාවාරම පිටුදැකීම සඳහා ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග හේතුවෙන් මෙලෙස ඉදිරියට පැමිණ ඇති බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වාර්ෂිකව නිකුත් කරන 2018 මිනිස් ජාවාරම් පිළිබඳ වාර්තාවේ සඳහන් වේ.

මිනිස් ජාවාරම් වැළැක්වීම සඳහා රාජ්‍යයන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් වාර්ෂිකව ඉදිරිපත් කරනු ලබන නිර්දේශ අතුරින් කිහිපයක් ක්‍රියාත්මක කිරීමට පසුගිය වසරේ සිට ශ්‍රී ලංකාව රාජ්‍ය මට්ටමින් සමත් වී ඇති බව මේ වාර්තාවේ දැක්වේ. ඒ අනුව මිනිස් ජාවාරම වැළැක්වීම සඳහා ජාතික මට්ටමින් ප්‍රචාරණ වැඩසටහන් දියත් කිරීම, ඒ ජාවාරම් හඳුනාගැනීම සහ පිටුදැකීම සඳහා රාජ්‍ය මට්ටමින්, පළාත් මට්ටමින් හා ප්‍රාදේශීය මට්ටමින් නිලධාරීන් පුහුණු කිරීම වැනි ක්‍රියාමාර්ග තුළින් මිනිස් ජාවාරම් අඩු කිරීමට ලංකාව සමත් වී ඇති බව එහි සඳහන්ය.

කෙසේ වෙතත් මේ වාර්තාව මඟින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව තුළ මිනිස් ජාවාරමට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහි නීති පියවර ගැනීම පවතින මට්ටමට වඩා වැඩියෙන් සිදු කළ යුතු බවයි.

දසුන් රාජපක්ෂ

Comments