වන අසිරිය මැද සිසිලස රහතන් කන්ද වන සෙනසුන | සිළුමිණ

වන අසිරිය මැද සිසිලස රහතන් කන්ද වන සෙනසුන

බුත්ත­ලට ඉතා සමී­පයේ දකුණේ සිට උතුරු දෙසට දිවෙන අඩි 1000 - අඩි 15000 පමණ වූ උස් මුදුන් සහිත දිගටි කඳු යාය දිස් වන්නේ මාලා­වක් සේ ය.

කඳු මුදුන් මත මහා රුක් පිරි­වර අතු කිණිති දෑත් ඔසවා අහස් කුස ආද­ර­යෙන් වැලඳ ගැනී­මට මෙන් පෙළ ගැසී ඇති සෙයකි.

කොළඹ - මොන­රා­ගල මාර්ගයේ බුත්තල නග­රයේ සිට බුත්තල යුද හමුදා කඳ­වුර අස­ලට ඇත්තේ කි.මී. 1 1/2 ක පමණ දුරකි. වන රක්ෂි­තයේ අක්කර 70ක් පමණ වන රහ­තන් කන්ද වන සෙන­සු­නට ඇතුළු වන කඩ­දොර සිට නැ‍ඟෙන පිය ගැට පෙළකි. මා දැන් පිය නඟන්නේ රහ­තන් කන්ද වන අරඹ තුළට ය.

අරණ දකිනා දසුනේ පැටලී උප­දින්නේ සියුම් ගුප්ත බවකි. ඒ සම­ඟින් සුළු භීති­යක් වැනි හැඟී­මක් ද දැනේ. එහෙත් අර­ණට පෙම් බඳිනා සිත වෙළා ගන්නා රසය ද සම්මි­ශ්‍ර­ණය වී හද­ව­තට දැනෙන්නේ පෙර නොවිඳි චම­ත්කා­ර­යකි.

කඳු පාමුල සිට වනා­න්ත­රය මැදින් ඈතට දිවෙන පිය­ගැට පෙළ සේම ක්‍රි.පූ. 2 වැනි සිය­වස දක්වා වූ දුර අතී­ත­ය­කට මෙහි ඉති­හා­සය ද ගමන් කරයි.

තම මවු­තු­මිය, වෙහෙ­ර­මහා දේවිය ද කඩො­ලැතු ද වුව­මනා බව දන්වා සොයුරු තිස්ස කුමරු වෙත දුටු­ගැ­මුණු රජ­තුමා හසුන් පතක් යවයි. එය ප්‍රති­ක්ෂේප වූ නිසා මාගම සිට පැමිණි ගැමුණු රජ­තුමා සහ දිගා­ම­ඬුල්ලේ සිට පැමිණි තිස්ස කුමා­රයා මහා යුද්ධ­යක් අර­ඹන්නේ බුත්තල ආස­න්නයේ චූලං­ගනී පිටියේ දී ය. යුද්ධ­යේදී රජ­තු­ම‍ාගේ සේනාව දහස් ගණ­නින් විනාශ විය. කුමරු, රජු ලුහු­බැඳ යෑමේදී, මෙම විනා­ශය වළ­කා­ලී­මට භික්ෂූන් වහ­න්සේලා පැමිණ යුද්ධය සංසි­ඳවූ බව ‘මහා වංශය’ පව­සයි.

‘සද්ධ­ර්මා­ලං­කා­රයේ’ සඳ­හන් වන්නේ මේ යුද්ධ­යෙන් වන විනා­ශය නව­තා­ල­න්නට දෙදෙනා අත­රට රහ­තන් වහ­න්සේලා විසින් මහා පර්ව­ත­යක් මවනු ලැබූ බවයි.

රහ­තන් වහ­න්සේලා මැවූ කන්ද නිසා එය රහ­තන් කන්ද වූ බව ජන­ශ්‍රැ­තියේ පැව­සෙයි.

මෙවැනි ඉති­හාස කියැ­වීම් සමඟ ගැට ගැසෙන ජන­ශ්‍රැ­තීන් ද අප එක­හෙළා වැලඳ ගැනීම හෝ බැහැර කිරී­මට හදිසි විය යුතු ‍නොවේ යැයි සිතෙයි. වඩාත් නිවැ­රදි තැන­කට පැමි­ණිය යුත්තේ මේ සියල්ල විමසා, ගළපා ගැනී­මෙනි.

අාටෝප, පලිප්පු බැහැර කළ ද මේ ගිරි­ග­හ­නය අර­ණ්‍ය­වි­හාරී භික්ෂූන් වහ­න්සේ­ලාට ඉතා උචිත පරි­ස­ර­යක් නිර්මා­ණය කර දී තිබේ. දුරා­තී­තයේ දී මේ ධර්ම­ද්වී­පයේ රහ­තන් වහ­න්සේලා බහු­ලව වැඩ සිටි බව කියැවේ. එසේ නම් රහ­තන් වහ­න්සේලා වැඩ සිටි කඳු ආශ්‍රි­තය නිසා රහ­තන් කන්ද වශ­යෙන් නම් වූවා ද විය හැකි ය.

දෙසො­හො­යු­රන් සමගි සමාදාන වීමෙන් අන­තු­රුව කෘත­ගුණ පූජා­වක් ලෙස මේ අරණ්‍ය භූමියේ ලෙන් සකසා මහා සඟ­රු­වන වෙත පූජා කළා ද විය හැකිය.

පැරණි බ්‍රාහ්මී අක්ෂ­ර­යෙන් ලියා ඇති එක් ලෙනක ‘ගාමිණී’ හා ‘ලෙන’ යන්න ද තවෙකක ‘තිස්ස’ යන්න ද ගැට ගසා කියවා ගත හැකිව තිබේ. එසේ ම දුටු ගැමුණු නරේ­න්ද්‍ර­යා­ණන්ගේ දස­මහා යෝධ­යන් අතර වූ පුස්ස‍දේව ගේ නම ද තවත් ලෙනක සඳ­හන් වන්නේ ‘සෙන්පති පුස­දේව ලෙන්’ වශ­යෙනි.

මේ ඓති­හා­සික ලිඛිත සාක්ෂි පිරි­ක්සී­මේදී සනාථ වන්නේ අද­ටත් වඩා අව­ධා­නය යොමු වී නොමැති රහ­ත­න්කන්ද අරණ්‍ය සේනා­සන පරි­ශ්‍රය එද­වස අති­ශය සම්භා­ව­නා­වට පාත්‍ර වූ රාජ­පූ­ජිත පුණ්‍ය භූමි­යක්ව පැවති බවයි.

මෙම පෞරා­ණික වන සෙන­සු­නට ඇතුළු වීමට පෙර මුලින් ම හමු­වන්නේ 1992 වසරේ දී බුත්තල ගම් උදා­වට සම­ගා­මීව හිටපු ජනා­ධි­පති ආර්. ප්‍රේම­දාස මහතා විසින් ථූපා­රාම ආකෘ­ති­යට නිර්මා­ණය කරවූ වෙහෙර වහ­න්සේය.

කඳු මෙවු­ලට නැ‍ඟෙන පිය ගැට පෙළ අතර වම්ප­සට ඇති පඩි පෙළ නැග ගිය පසුව ලෙනක් තුළ වූ බුද්ධ මන්දි­රය දැක ගත හැකි ය.

එත­නින් උඩ ස්තර­යට පිවි­සී­මේදී ඇස ගැසෙන්නේ නෙත් අදහා ගැනී­මට නො හැකි, හද කුටීර විස්ම­යෙන් පුර­වා­ලන අපූ­ර්ව­ත්ව­යෙන් සපිරි දසු­නකි.

මේ කඳු ආශ්‍රිත වන අරණ අසී­මිත ලෙස විහිදී පැතිරී පවතී. එහෙත් සීමිත භූමි­යක මෙම ඉදි­කි­රීම් විසින් සොබා දහම අපට පව­සන්නේ මේ මහ පොළොව අන­වශ්‍ය ලෙස පරි­හ­ර­ණය නොක­ර­මින් භූමිය නිසි ලෙස කළ­ම­නා­ක­ර­ණය කළ යුතු බව නොවේ දැයි සිතෙයි.

කටා­රම් සල­කු­ණැති මේ ලෙන් පද්ධ­තිය හා සමීප වන පටු ආලින්ද, මැද මිදුල් වැනි සංකල්ප මෙනෙහි වන, අංගණ සෑදී තිබෙයි. මේ මැද මිදුලේ අව­කා­ශයේ උස් වෘක්ෂයෝ පරි­සර පද්ධ­තිය ශෝභා­වත් කර­මින් නැඟී සිටිති. ආකා­ශ­යට නිරා­ව­රිත කවුළු ස්වාභා­වික ආලෝක බුබුළු මෙනි. එම­ඟින් පෙරා රැගෙන එන්නේ සෞම්‍ය වූ එළි­යකි. ලෙන් ආශ්‍රයේ අඳුරු අහු­මුලු ද නැතිව නොවේ. සම­හර දිනෙක ඒවායේ පොළ­ඟුන් පිඹු­රන් වැනි උර­ග­යන් සිටින බව අස­න්නට ලැබිණි.

සොබා දහමේ පංගුකාර­යන් වෙමින්, වන­වාසී යෝගා­ව­ච­ර­යා­ණන් වහ­න්සේලා, විශේ­ෂ­යෙන් ලෙන් ලැගුම් කුටි­යක වැඩ වසන්නේ මෙත් වඩ­මින් කාරු­ණික සිතින් නිසා අන­තු­රක් නොමැති බව දැනෙනා සතා සරු­ප­යන් ද තැති ගැනී­ම­කින් කල­බ­ල­ය­කින් තොරව තම තමන්ගේ පාඩුවේ අන්‍යොන්‍ය සුහ­ද­ත්ව­යෙන් නිවි­සැ­න­සිල්ලේ කල් ගෙව­න්නට හුරු පුරුදු වී ඇතැයි සිතේ.

මේ ලෙන් පද්ධ­තිය මධ්‍ය­යේදී මා ගෙල රැඳි කැම­රාව ඇස මතට එස­වෙන්නේ නිරු­ත්සා­හ­යෙනි. එහෙත් ඒ අපූ­ර්ව­ත්වය දකි­න්නට නූතන දියු­ණුවේ ‘ඩිජි­ටල් ඇස’ පවා තව­මත් අපො­හො­සත් ය. පියවි ඇස රූප­යක ගැඹුර දකියි. එය ආස්වා­දය කිරී­මට නම් සංවේදී මනස උත්පා­ද­නය කරනා හැඟීම් ද සුසං­යෝගී විය යුතු වෙයි. මෙය සුසං­යෝග කිරී­මට කැමරා බඳ අපො­හො­සත් වන නිසා ඒ සංවේ­දක අපූ­ර්ව­ත්වය ප්‍රති­නි­ර්මා­ණය කිරී­මට කැමරා කාචය සමත් නොවේ.

රහ­තන් කන්ද වන සෙන­සු­නෙහි පෙරදා රහ­තන් වහන්සේ 500ක් පමණ වැඩ සිටි බව කියැ­වෙයි. මේ අප දකින ලෙන් සංකී­ර්ණ­යට අම­ත­රව තවත් ලෙන් කීප­යක් වන අර­ණේදී දැක ගැනී­මට පුළු­වන. මෙහි කටා­රම් සල­කු­ණැති ලෙන් 70ක් පමණ පුරා­වි­ද්‍යා­ඥයන් විසින් සොයා ගෙන තිබේ. තවත් ලෙන් බොහෝ සංඛ්‍යා­වක් වන ගහ­න­යෙන් වසන් වී ගොසිනි. වන­වාසී භික්ෂූන් වහ­න්සේගේ පැන් පහ­සුව සලසා පොකුණු 15ක්, ගිරග මත දාගැබ් දෙකක්, සක්මන් මළු, පැරණි පිය­ගැට පෙළ, උස්ත­ල­යක පැරණි බෝධීන් වහන්සේ ආදී වූ වන­සෙ­න­සු­නක ප්‍රධාන අංග­යන්ගේ නෂ්ටා­ව­ශේෂ සටහන් කරන්නේ එදා පැවැති අභි­මා­න­වත් පූජ­නීය සෙන­සු­නක සැම­රුම් ලකුණු ය.

යුග ගණ­නා­වක් වන ලැහැ­බින් වැසී තිබුණු මෙය නැවත නිරා­ව­ර­ණය වන්නේ 1965 වසරේ දී වතු­රු­වි­ලට ඥානා­නන්ද සංඝ පීතෘෘන් වහන්සේගේ මාර්ගෝ­ප­දේ­ශ­ක­ත්ව­යෙනි.

වත්ම­නෙහි මෙහි සේනා­ස­නා­නු­ශා­සක වශ­යෙන් කට­යුතු කරන්නේ 26 වියැති ඇල්පි­ටියේ අමිත භික්ෂුන් වහන්සේ වීම විශේ­ෂ­ත්ව­යකි. ඇත්තෙන් ම මෙවන් ඓති­හා­සික වටි­නා­ක­ම­කින් පොහො­සත් පූජ­නීය වන සෙන­සු­න­කට තරුණ භික්ෂූන් වහන්සේ නම­කගේ ප්‍රමු­ඛ­ත්වය පෙර­මඟ සුබ ලකු­ණක යැයි සිතේ.

අමිත යෝගා­ව­ච­ර­යා­ණන් වහන්සේ ශාස­නා­ල­යෙන් කරන විශේෂ ඉල්ලී­ම­කට ඉඩක් වෙන් කර දෙමි. උන්ව­හන්සේ පව­සන්නේ ධර්ම මාර්ගය දියුණු කර ප්‍රති­පත්ති ශාස­නය සුර­කි­මින්, මෙම ඓති­හා­සික ස්ථාන­යද ආරක්ෂා කර ගැනී­මට මනා අව­බෝ­ධ­යක් ඇති අවු. 15 - 60 අතර සැදැ­හැ­ව­තුන්ට රහ­ත­න්කන්ද ආරණ්‍ය සේනා­ස­නයේ දී සසු­න්ගත වන්නට විවෘත ආරා­ධ­නා­වක් කරන බවයි.

මේ ආරා­ධ­නාව ද හිතේ රඳවා ගෙන වන පියස හෙවණ යටින්, මඳ­නල සිහිල විඳි­මින්, ආපසු හැරී එමි. ලෙන් ගැබෙන් මතුවී, ලෙන් දොරින් පිවිසී, ඒ මන්ද මාරු­තයේ යා වී පාවී, පාවී එන සිහින් වදන් පෙළ සව­න­තට ලංවී මෙසේ පව­සනා සෙයකි.

“අපි එදා මහ රහ­තන් වහ­න්සේ­ලා­ටත් සෙවණ සිසි­ලස දුනිමු. ඒ වෙනු­වෙන් පෙරළා කිසි­වක් අපේක්ෂා නොකෙ­ළෙමු. අදත් පේවී සැදී පැහැදී සිටින්නේ ජීවි­තයේ සත්‍ය විම­ස­න්න­වුන් උදෙසා ය. ඒ වෙනු­වෙන් අපේ ලෙන් දොර එදා නොවැසුණා සේ ම අදත් වැසී නැත. හෙටත් මතු­ව­ටත් වැසී නොයනු ඇත.”

ජනක වෙත්තසිංහ

නිර්මා­ණා­ත්මක ලිපි ලියන්න.
කලා­ත්මක ඡායා­රූප එවන්න.
සිත්ම­ල්යාය ඔබ­ටත් විවෘ­තයි.

සංස්කා­රක සිත්ම­ල්යාය, ලේක්හ­වුස් කොළඹ
[email protected]

Comments