හෙට එච්චර කළු­වර නෑ... | Page 3 | සිළුමිණ

හෙට එච්චර කළු­වර නෑ...

 

විධා­යක ජනා­ධි­පති ධුරය සදහා පුද්ග­ල­යකු තෝරා පත් කර­ගැ­නී­මට පැවැ­ත්විය යුතු අට වැනි ජනා­ධි­ප­ති­ව­ර­ණය තවත් හරි­ය­ටම අවු­රුදු එක­හ­මා­ර­කින් පැවැ­ත්විය යුතුව තිබේ. ඒ සදහා පක්ෂ විපක්ෂ දේශ­පා­ලන කණ්ඩා­යම් තමන්ගේ අපේ­ක්ෂ­ක­යන් ගැන ඉඟි­බිඟි පාද්දී ඒ සම්බ­න්ධ­යෙන් විදේශ රට­වල අභි­ලා­ශ­යන්ද පෙන්නුම් කරන අන්දම දක්නට ලැබේ.

පසු­ගිය 26 අග­හ­රු­වාදා නිකුත් වූ "නිව්යෝක් ටයිම්ස්" පුව­ත්පත ගවේ­ෂ­ණා­ත්මක වාර්තා­වක් පළ කර­මින් පැව­සුවේ මහ­ජන චීන සමූ­හා­ණ්ඩුව වීසින් හම්බ­න්තොට වරාය ඉදි කිරීම සදහා ණය මුදල් දීමේදී මැති­ව­රණ ව්‍යාපා­රය සදහා අවශ්‍ය සුවි­ශාල මුද­ලක්ද මහ­ජන චීනය විසින් එව­කට ජනා­ධි­පති මහින්ද රාජ­ප­ක්ෂට දී ඇති බවයි. නිව්යෝක් ටයිම්ස් පුව­ත්පත විසින් රාජ­පක්ෂ පවු­ලට එල්ල කරන ලද ප්‍රහා­රය නිසා ඔවුන් "කිස්කෑ­මට" ලක්ව ඇති නිසාදෝ මේ වන­තු­රුත් ඒ සම්බ­න්ධ­යෙන් තම මතය ප්‍රකාශ කිරී­මට රාජ­ප­ක්ෂ­වරුන් එඩි­තර වී නැත.

මීට සති දෙක­කට පමණ කලින්ද රාජ­පක්ෂ පවුලේ දේශ­පා­ල­න­යට විශාල බාධා­වක් ඇමෙ­රි­කා එක්සත් ජන­ප­ද­යෙන් එල්ල විය. ශ්‍රී ලංකාවේ හා මාල­දි­ව­යිනේ හිටපු එක්සත් ජන­පද තානා­ප­ති­ව­රයා තම නිල කාලය අව­සන් කර­මින් සිය රට බලා යෑමට පෙර හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ හමු වීමට ගියේය. එහිදී ඔහු ඇමතූ තානා­ප­ති­ව­රයා පවසා ඇත්තේ හිටපු ආර­ක්ෂක ලේකම් ගෝඨා­භය රාජ­පක්ෂ ශ්‍රී ලංකාවේ අනා­ගත ජනා­ධි­ප­ති­ව­රයා බවට පත් වීම එක්සත් ජන­ප­දයේ හෝ බට­හිර රට­වල අභි­ලා­ෂය නොවන බවයි.

ඒ බව අනා­ව­ර­ණය කළේ හිටපු ජනා­ධි­ප­ති­ව­ර­යාගේ සමීප මිත්‍ර­යකු විසින් යාප­නයේ පව­ත්වා­ගෙන යන දෙමළ පුවත් පතක් මගිනි. එක්සත් ජන­පද තානා­ප­ති­ව­රයා එසේ නොපැ­වසූ බව හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ විසින් පසුව නිකුත් කරන ලද නිවේ­ද­න­ය­කින් ප්‍රකාශ කළේය. එහෙත් ඊට බර තබා විරෝ­ධය පෑමක් ඔහු විසින් නොක­රන ලදි. ඇමෙ­රිකා එක්සත් ජන­ප­දය විසින්ද තම තානා­ප­ති­ව­රයා එලෙස ප්‍රකාශ නොක­රන ලදැයි කීවේ නැත.

 

එක්සත් ජන­ප­දයේ භූ-දේශ­පා­ලන අව­ශ්‍යතා

 

ආන්තී­ක­ර­ණ­යට ලක් වූ රට­වල දේශ­පා­ලන තීන්දු-තීරණ ගැනී­මේලා ප්‍රබල වන්නේ කේන්ද්‍රයේ රට­වල අභි­ලා­ශ­යන් ය. ලෝකය දෙප­ස­කට බෙදී සටන් කළ ශීතල යුද්ධය පැවැති අව­ධි­යේද ආර්ථික බ්ලොක් ලෙස ආකෘ­ති­ගත වෙමින් සිටින අව­ධියේ ද ලෝක දේශ­පා­ල­නය තීර­ණය වන්නේ එසේ ය. එම යථා­ර්ත­යට පිටු­පා­න්නට ශ්‍රී ලංකා­ව­ටද නොහැ­කිය. 2004, 2005, 2010 හා 2015 වර්ෂ­වල ශ්‍රී ලංකාවේ පැවැති තීර­ණා­ත්මක මැති­ව­රණ අව­ස්ථා­ව­න්හිදී ලෝක භූ-දේශ­පා­ලන අව­ශ්‍යතා, ජාතික දේශ­පා­ල­නයේ අභි­ලා­ශ­යන්ට සමා­න්ත­ර­ග­තව පිහි­ටන ලදි. ශ්‍රී ලංකා දේශ­පා­ල­නයේ විය යුතු පරි­ව­ර්තන මොන­වා­දැයි අන්ත­ර්ජා­ති­කව හඳු­නා­ගෙන තිබිණි. ඒ හඳු­නා­ගැ­නීම් ජාතික දේශ­පා­ල­නය තුළද අනු­මත විය. එය 2019 වර්ෂ­යට අදාළ නොව­න්නේ­යැයි කිසි­ව­කුට පැව­සිය නොහැ­කිය.

2019 ජනා­ධි­ප­ති­ව­ර­ණය ඉලක්ක කොට රාජ­ප­ක්ෂ­ව­රුන්ගේ අපේ­ක්ෂ­කයා කවු­රු­න්දැයි තාම නිශ්චි­තව ප්‍රකාශ කර නැත. එහෙත් එම දේශ­පා­ලන බල­වේ­ගයේ වාම හා ප්‍රජා­තා­න්ත්‍රික කොට­ස්වල විරෝ­ධය මධ්‍යයේ අපේ­ක්ෂ­ක­ත්ව­යට හිටපු ආර­ක්ෂක ලේක­ම්ව­රයා තෝරා­ග­න්නට සම­හරු උත්සාහ දරති. එම උත්සා­හය තුළ ගෝඨා­භය රාජ­ප­ක්ෂ­ගේද කැමැත්ත පවතී. ගෝඨා­භය රාජ­පක්ෂ වටා බල­මුළු ගැන්වී ඇත්තේ මුළු­ම­නින්ම යුද­වාදී විශ්‍රාම ගත් මිලි­ටරි නාය­ක­යෝය; වර්ග­වාදී දේශ­පා­ලන නාය­ක­යෝය. ඒ බල­මුළු ගැන්වී­මට විධා­යක ජනා­ධි­පති බලය ලැබෙ­න­වාට අකැ­මැ­තිව ඇත්තේ වාසු­දේව නානා­ය­ක්කාර වැන්නන් පම­ණක් නොවේ. ඒ අතර දයාන් ජය­ති­ල­කද සිටී; කුමාර් වෙල්ගම වැනි ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ පතාක යෝධ­යෝද සිටිති. ඇමෙ­රිකා එක්සත් ජන­ප­දය හා බට­හිර ඈලි­යද ඒ ගොඩට එකතු වන ලකුණු දැන­ට­මත් පෙන්නුම් කර තිබේ. අන්ත­ර්ජා­තික දේශ­පා­ලන අව­කා­ශය මෙන්ම ජාතික දේශ­පා­ලන අව­කා­ශ­යද ධ්‍රැවී­ක­ර­ණය වෙමින් පව­තින්නේ ගෝඨා­භය රාජ­ප­ක්ෂට එරෙ­හි­වය.

 

සිංහල-බෞද්ධ මහ­ජන අභි­ලා­ශය හා ගෝඨා

 

සිංහල-බෞද්ධ ජන­තා­ව­ගෙන් 60%ක් පමණ නියෝ­ජ­නය කරනු ලබන්නේ රාජ­පක්ෂ දේශ­පා­ල­නය විසින්ය. පසු­ගිය පළාත් පාලන මැති­ව­ර­ණ­යේදී ශක්ති­මත් නියෝ­ජ­න­යක් සිංහල-බෞද්ධ ප්‍රදේ­ශ­යන්හි දී ශ්‍රී ලංකා පොදු ජන පක්ෂ­යට ලැබුණේ එබැ­විනි. සිංහල-බෞද්ධ ස්වෝත්ත­ම­වාදී ජන කොට­ස්වල වැඩි කැමැත්ත ඇත්තේ ගෝඨා­භය රාජ­ප­ක්ෂට ය. ජනා­ධි­ප­ති­ව­ර­ණ­යක දී තම අපේ­ක්ෂ­කයා ලෙස බැසිල් රාජ­ප­ක්ෂට වඩා ගෝඨා­භය රාජ­ප­ක්ෂව තදින් වැල­ඳ­ගැ­නී­මට සිංහල-බෞද්ධ ස්වෝත්ත­ම­වා­දීහු කැමැ­තිය.

එහෙත් ගැට­ලුව පැන­න­ගින්නේ දෙමළ හා මුස්ලිම් ජන කොට­ස්වල කැමැත්ත විම­සී­මේ­දීය. දස වස­ර­කට ආසන්න රාජ­පක්ෂ පාල­නය තුළ උප­යා­ගත් වටි­නා­කම් අනුව රාජ­ප­ක්ෂ­ව­රුන් සිංහල-බෞද්ධ නොවන ජන කොටස් අතර බෙහෙ­වින් ප්‍රති­ක්ෂේ­පි­තය. ඉෆ්තාර් උත්ස­ව­ව­ලට සහ­භාගි වෙමින් මුස්ලිම් ප්‍රජාව දිනා­ගැ­නී­මට ගෝඨා­භය රාජ­පක්ෂ සමත් වේයැයි කිව හැකි වුවත් දෙමළ ප්‍රජාව දිනා­ගැ­නීම නම් මේ සම්ම­ජ්ජා­තියේ ගෝඨා­භය රාජ­ප­ක්ෂට කළ නොහැ­කිය!

සිංහල-බෞද්ධ නොවන ජන කොටස් ගෝඨා­භය රාජ­පක්ෂ කරා පම­ණක් නොව මේ ආණ්ඩු­වට එරෙ­හිව ඉදි­රි­පත් කරන පඹ­යකු කරා වුව තල්ලු කරන බල­වේ­ගය වන්නේ වත්මන් සම්මු­තික ආණ්ඩු­වයි. ආණ්ඩු­වට ඇති මහ­ජන අප්‍ර­සා­දය හොදින්ම ප්‍රද­ර්ශ­නය වූයේ පසු­ගිය පළාත් පාලන මැති­ව­ර­ණ­යේ­දීය. එහිදී ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ ජය­ග්‍ර­හ­ණය කළේ රාජ­ප­ක්ෂ­ව­රුන්ගේ දක්ෂ­තාව නිසා නොවේ. 2015 දී ශක්ති­මත් වූ මහ­ජන අභි­ලාශ මත සම්මු­තික ආණ්ඩුව කට­යුතු කළා නම් රාජ­ප­ක්ෂ­ව­රුන්ට නැවත දේශ­පා­ලන ගැම්මක් ඇති වන්නේ නැත. එහෙත් වඩා තීර­ණා­ත්මක වන්නේ ජාතික රාජ්‍ය සීමාව තුළ දේශ­පා­ලන සාධක නොවේ. සම­හ­ර­විට ඒවා නිර්මා­ණය කර­න්නේද බල­වත් රට­වල භූ-දේශ­පා­ලන අව­ශ්‍යතා විසිනි.

කලක් ඇමෙ­රිකා එක්සත් ජන­ප­දය හා බට­හිර ඈලි­යත්, ඉන්දි­යා­වත්, මහ­ජන චීන­යත් රාජ­ප­ක්ෂ­ව­රුන් ආරක්ෂා කළේය. එසේ වූයේ ඔවුන්ගේ එකි­නෙ­කට වෙනස් භූ-දේශ­පා­ලන අභි­ලා­ශ­යන් සම­මි­තික වූ බැවිනි. ප්‍රාග්ධ­නයේ නිද­හස් සංස­ර­ණ­යට බාධා­වක් වූ කොටි සංවි­ධා­නය මුළු­නු­පුටා දැමීම සදහා එක්සත් ජන­ප­දය ප්‍රමුඛ බට­හිර ඈලි­යට රාජ­ප­ක්ෂ­ව­රුන් අවශ්‍ය විය. ඒ නයින් ඉන්දි­යා­වද එක්සත් ජන­ප­ද­යට සහාය විය. මහ­ජන චීන­යට වෙන­මම න්‍යාය පත්‍ර­යක් තිබූ අතර එය සාර්ථක කර­ගැ­නීම සදහා ඔවු­න්ටද රාජ­ප­ක්ෂ­ව­රුන් අවශ්‍ය විය. එහෙත් මේ වන විට තම න්‍යාය­ප­ත්‍රය සාර්ථක කර­ගැ­නී­මට තිබෙන්නේ මහ­ජන චීන­යට පමණි.

දකුණු ඉන්දීය කලා­පය තුළ මහ­ජන චීනයේ දේශ­පා­ලන හැසි­රීම් ඉන්දි­යා­වට පම­ණක් නොව, එක්සත් ජන­ප­ද­ය­ටද ඉව­සිය නොහැ­කිය. එක් අත­කින් මාල­දි­ව­යින් රාජ්‍යයේ කට­යු­තු­ව­ලට මැදි­හ­ත්වන මහ­ජන චීනය අනෙක් අතින් ශ්‍රී ලංකාවේ කට­යුතු වලට ද මැදි­හත් වේ. මෙය ඍජු­වම තමන්ගේ ජාතික ආර­ක්ෂා­වට බර­ප­තළ තත්ත්ව­යක් බව ඉන්දි­යාව දනී. ශ්‍රී ලංකාවේ හා මාල දිව­යිනේ මහ­ජන චීන අත­පෙ­වීම් ගැන ඉන්දි­යාව සිටින්නේ නොස­තු­ටිනි. එක්සත් ජන­ප­ද­ය­ටත් මහ­ජන චීනයේ තටු කැපිය යුතුව ඇත. ඒ තත්ත්වය තුළ මහ­ජන චීන අභි­ලා­ශ­යන්ට ඉඩ දෙන දේශ­ප­ලන බල­යක් ශ්‍රී ලංකා රාජ්‍ය හසු­ර­ව­න්නට යෑම ගැන ඉන්දි­යා­වත්, එක්සත් ජන­ප­දය ප්‍රමුඛ බට­හිර ඈලි­යත් කැමැති වන්නට කොහෙත්ම ඉඩක් නොප­වතී.

සිංහල-බෞද්ධ දකුණ ඉල්ලා සිටින්නේ ගෝඨා­භය රාජ­පක්ෂ නිසා ඔහු බල­යට පත් වන්නට ඉඩ හැර එහි ප්‍රති­වි­පාක සිංහල-බෞද්ධ දකු­ණට ප්‍රායෝ­ගි­කව තේරුම් ගන්නට ඉඩ හැරිය යුතු බව උප­ක්‍ර­ම­කික අද­හ­සකි. කලින් කීවාක් මෙන් ගෝඨා­භය රාජ­ප­ක්ෂගේ රාජ්‍ය මෙහෙ­ය­වීමේ දේශ­පා­ලන දෘෂ්ටිය සකස් වී ඇත්තේත් සකස් වන්නේත් ඒකා­ධි­පති හා වර්ග­වාදී මූල­යන් මත බව දැනට පව­තින මූලා­ශ්‍රය අනුව සහ­තික වේ. ඔහුගේ ඉදිරි දේශ­පා­ල­නය සම්බ­න්ධ­යෙන් තීරණ ගැනී­මේදී දස වස­රක රාජ­පක්ෂ පාල­නය අම­තක කළ නොහැ­කිය. එහෙත් උදා වන්නා වූ දේශ­පා­ලන අව­කා­ශය මත පැරණි අභි­රු­චීන් වෙනස් වන්නට පව­ති­න්නේද ලොකු ඉඩ­ක­ඩකි.

 

ගෝඨා කළ යුත්තේ කුමක් ද?

 

වියත් මග සමු­ළුව පව­ත්ව­මින් කරන ලද ෂැංග්‍රි-ලා ප්‍රාක­ශය අනුව ඔහු මුළු­ම­නින්ම පද­නම් වන්නේ ගෝලීය ප්‍රාග්ධන අව­ශ්‍යතා මතය. එය කිසි­සේත්ම එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික ක්‍රම­යට පර­ස්ප­රව යෑමක් නොවේ. එහෙත් ඔහුගේ දේශ­පා­ලන දෘෂ්ටිය ලිබ­රල් ප්‍රජා­තා­න්ත්‍රික වේයැයි කිසිම සහ­ති­ක­යක් නැත. උත්ප්‍රේ­ණය වන්නා වූ දේශ­පා­ලන තත්ත්ව සමග ලිබ­රල් ප්‍රජා­ත­න්ත්‍ර­වාදී දැක්ම­කට ගෝඨා­භය රාජ­පක්ෂ එකග වුවත් ඔහු සමඟ සිටින දේශ­පා­ලන බල­වේ­ග­ය­න්ගෙන් ලැබෙන වරම එවැ­න්නක් නියෝ­ජ­නය කිරී­මට ඔහුට ඉඩක් ලබා නොදේ.

ඒ තත්ත්වය තුළ ආර්ථික උත්ප්‍රේ­ණ­යක් ලබා දී දකුණේ ඇස් ගිනි­කණ වැට්ට­වී­මට ගෝඨා­භ­යට හැකි වුවද සිංහල-බෞද්ධ නොවන ජන කොටස් ශ්‍රී ලංකා රාජ්‍යය තුළ ඒක­මි­ති­කව තබා­ගැ­නී­මට ඔහුට අප­හසු වේ. ඒ තත්ත්වය උතුරේ දෙමළ දේශ­පා­ල­න­යට අලුත් වට­ය­කින් සිත­න්නට අව­කා­ශ­යක් නිර්මා­ණය කරන අතර ඒ තුළ දෙමළ උතුර ගෝඨා­භ­යගේ දේශ­පා­ල­නය සමග ගනු­දෙනු බේරා­ගැ­නී­මට යෑම අනි­වා­ර්යය. ඒ උදා වන අලුත් දේශ­පා­ලන අව­කා­ශය තුළ ගෝඨා­භය රාජ­ප­ක්ෂට දේශ­පා­ලන වික­ල්ප­යක් නොමැති බව සිංහ­ල­බෞද්ධ දකුණ විසින් තේරුම් ගනී­විය යන්න ඒ උප­ක්‍ර­මික බලා­පො­රො­ත්තු­වයි.

ගෝඨා­භය රාජ­ප­ක්ෂට සිංහල-බෞද්ධ දකුණ තුළ ලොකු ශක්ති­යක් ඇතැයි කීවත් ඒ ශක්තිය ගොඩ­නැ­ගෙන්නේ සමස්ත ආණ්ඩු විරෝ­ධය මතින්ම නොවේ. ආණ්ඩු විරෝධී වුවත් ගෝඨා­භ­යගේ ඒකා­ධි­පති අශ්ලීල පාලන ක්‍රම­යට එරෙහි ජන කොට­සක් ස්ථිර­වම සිටී. සමා­ජයේ පන්ති­මය බෙදීම තුළ පාදඩ ස්තරය ගෝඨා­භ­යට එකග වුවත් ශිෂ්ට සම්පන්න ජන­කො­ටස ගෝඨා­භ­යගේ දේශ­පා­ල­න­යට එකඟ වන්නේ නැත. වාසු­දේව නානා­ය­ක්කා­ර­ගෙන්, ආචාර්ය දයාන් ජය­ති­ල­ක­ගෙන් මෙන්ම කුමාර් වෙල්ග­ම­ගෙන්ද ප්‍රකාශ වන්නේ ඒ සමාජ කොටසේ අභි­ලා­ශ­යයි.

කල­හ­කාරී හා අන් ජන කොටස් පීඩ­න­යට පත් කිරීම අශ්ලීල බව දේශ­පා­ලන පද­න­මක් සහිත අද­හ­සකි. ඒ සදහා ජන පද­න­මක් මෙන්ම ජන මූල­යක්ද පවතී. 1994 දී හා 2015දී ශක්ති­මත් වූයේ ඒ ජන­ප­ද­න­මයි. වෙනත් වෙනත් දේශ­පා­ලන කාරණා මත එම ජන කොටස 1999දී, 2004දී, 2005දී සීසී­ක­ඩව ගියද වෙනත් සමජ දේශ­පා­ලන බේදීම් තුළ ඛණ්ඩ­නීය වුවද එවැනි ප්‍රජා­ත­න්ත්‍ර­වාදී හා වාම­වාදී අද­හ­ස්ව­ලට ගරු කරන ජන කොට­සක් සමා­ජය තුළ පවතී. මහින්ද රාජ­පක්ෂ තම පාල­නය තුළ උප­රි­ම­යක සිටි 2014 වර්ෂ­යේදී පවා එම සමාජ තීරුව ශක්ති­මත්ව හා ජය­ග්‍රා­හීව බල­මුළු ගන්වා­ගැ­නී­මට හැකි වූවා නම් මෙවැනි අව­ස්ථා­වක ඒ ජන කොටස ආම­න්ත්‍ර­ණය කර ජව­ස­ම්පන්න කිරීම එත­රම් අප­හසු ක්‍රියා­වක් නොවේ.

බොහෝ අය රාජ­පක්ෂ දේශ­පා­ල­න­යට වික­ල්ප­යන් සොයන්නේ සිංහල-බෞද්ධ ස්වෝත්ත­ම­වාදී අද­හස් පද්ධ­තිය තුළ­මය. එහෙත් සිංහල-බෞද්ධ ස්වෝත්ත­ම­වාදී අද­හස් පද්ධ­තිය වටා ඒක­රාශී වන ජන කොට­සට රාජ­ප­ක්ෂ­ලා­ගෙන් තොර වික­ල්ප­යක් අවශ්‍ය නොවේ. ඊට හේතුව සිංහල-බෞද්ධ ස්වෝත්ත­ම­වා­ද­යට හොඳම නාය­ක­ත්වය රාජ­ප­ක්ෂලා ලබා­දෙන බැවිනි. එබැ­වින් රාජ­පක්ෂ දේශ­පා­ල­න­යට වික­ල්ප­යක් සෙවිය යුත්තේ මුළු­ම­නින්ම සිංහල-බෞද්ධ ස්වෝත්ත­ම­වාදී අද­හස් පද්ධ­ති­යට හා ඊට එකඟ සමාජ කොට­ස්ව­ලට බාහි­ර­වය. ගෝඨා­භය රාජ­පක්ෂ ජනා­ධි­ප­ති­ව­රණ අපේ­ක්ෂ­ක­යකු වන්නේ නම් ඔහුගේ ප්‍රති­වා­දියා ජය ලබන්නේ සිංහල-බෞද්ධ ස්වෝත්ත­ම­වා­ද­යට මුළු­ම­නින්ම බාහිර සමාජ විඥා­ණ­යක් තුළය.

 

වික­ල්පය කුමක් ද?

 

ඒ සමාජ විඥා­නය ශක්ති­මත්ව වැඩෙන්නේ ප්‍රජා­ත­න්ත්‍ර­වාදී හා වාම හැඩ­රු­වක් සහි­තව ය. පෙර කී පරි­දිම 1994දී, 2015දී රාජ්‍යයේ දේශ­පා­ල­නය සම්බ­න්ධ­යෙන් ශක්ති­මත් තීරණ ගත්තේ ඒ ජන කොට­සයි. මේ සමාජ තීරුව ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය, මිනිස් නිද­හස හා අනෙ­කාගේ පැවැත්ම පිළි­ගන්නා උත්ත­රී­තර අද­හ­ස්ව­ලින් පෝෂි­තය. මේ ජන කොටස දෘෂ්ටි­වා­දීව පෝෂ­ණය කර ශක්ති­මත් කිරීම ඉතා පහ­සු­වෙන් කළ හැකිය. එමෙන්ම අලෙ­වි­ක­රණ මෙහෙ­යු­ම­කින් පසු ඒ ජන කොට­සට දේශ­පා­ලන අභි­ලා­ශ­යන් සම්බ­න්ධ­යෙන් සවි­ඥා­නක අද­හ­සක් දිය හැකිය.

2019 වන විට දේශ­පා­ලන අව­කා­ශය වෙනස් අන්ද­මකින් ධ්‍රැවී­ක­ර­ණය වී ඇත. සම්මු­තික ආණ්ඩුවේ අඥාන තීන්දු-තීරණ නිසා සිංහල සමා­ජයේ ප්‍රජා­ත­න්ත්‍රික ජන කොටස පම­ණක් නොව, මුස්ලිම් හා දෙමළ ජන කොට­සද වික්ෂි­ප්තව සිටී. පසු­ගිය පළාත් පාලන මැති­ව­ර­ණයේ ප්‍රති­ඵ­ල­ව­ලින් පෙන්නුම් කළේ එම කල­කි­රී­මයි. මේ සමාජ තීරුව ආර්ථික කරුණු මතම ගෝඨා­භ­යගේ දේශ­පා­ල­නය වටා එක්රොක් වන්නේ නැත. එහෙත් මේ ජන කොටස රැව­ටිය නොහැ­කිය. එය තේරුම් ගන්නේ නම් 2019 ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී ප්‍රජා­ත­න්ත්‍ර­වාදී දේශ­පා­ලන අභි­ලා­ශ­යන්ට ජය­ග්‍ර­හ­ණ­යක් අත් කර­ගැ­නීම දුෂ්කර කරු­ණක් නොවන බව පැහැ­දි­ලිය.

 

[email protected]

 

Comments