
අපේ වෙරළ හා මුහුද ලෝක ප්‍රසිද්ධය. කිලෝ මීටර් 1770කින් යුත් සුන්දර වෙරළ තීරයක් ශ්‍රී ලංකාව සතුය. ශ්‍රී ලංකාවේ වෙරළ කලාපය ශ්‍රී ලංකා භූමියෙන් සියයට 24.7 ක් ප්‍රමාණයක් ගනී. එමෙන්ම එහි ජනගහනයෙන් සියයට 32ක් පමණ ප්‍රමාණයක් වාසය කරයි. වෙරළ හා මුහුද අපට තිබෙන මහා ධන නිධානයකි. එය සුරැකීම අප සැමගේ යුතුකමයි.
ශ්‍රී ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදනයෙන් සියයට 80ක දායකත්වයක් ලබා දෙන්නේ වෙරළ කලාපයේ ධීවර කර්මාන්තයයි. එහිදී ඒ ප්‍රමාණය වසරකට මාළු ටොන් ලක්ෂ 3කට ආසන්නය.
ශ්‍රී ලංකාවට සුන්දර මුහුදු තීරයක් ද තිබේ. අප රටට අයිති වර්ග කිලෝමීටර් 568500ක් වූ සම්පූර්ණ සමුද්‍ර තීරුවෙන් ශ්‍රී ලංකාව මත්ස්‍ය සම්පත නෙළා ගනු ලැබේ. නාවික කටයුතු හා වරාය කටයුතු ද ඉටුකර ගනී. ඒ අනුව රටේ ගොඩබිම සිට නාවික සැතපුම් 12ක් දුරින් වූ දේශීය සමුද්‍ර කලාපය වර්ග කිලෝමීටර් 20500කින් යුක්තය. ඊට පසුව ඇති අක් වෙරළ ලෙස හැඳින්විය හැකි ශ්‍රී ලංකා භූමියේ සිට මුහුදු සැතපුම් 12 සිට මුහුදු සැතපුම් 24 දක්වා වූ කලාපය ප්රත්යාසන්න කලාපය ලෙස හැඳින්වේ. ඒ ප්‍රමාණය වර්ග කිලෝමීටර් 30000 කි. ඊට පසුව ඇත්තේ ශ්‍රී ලංකා භූමියේ සිට නාවික සැතපුම් 200ක් ඈතින් පිහිටි අනන්‍ය ආර්ථික කලාපයයි. ඒ ප්‍රදේශය වර්ග කිලෝමීටර් 517000කි.
නමුත් විවිධ හේතු මත අපේ වෙරළ තීරයට විවිධ ද්‍රව්‍යවලින් අපිරිසුදු වී තිබේ. සමහර විට වෙරළ තීරය වසා ඉදිකිරීම් ද කර තිබේ. සමහර කර්මාන්ත ශාලා ගඟෙන් වෙරළට අපද්‍රව්‍ය දමනු ලැබේ. ඒ නිසා මේ වෙරළ සුරැකීමට අප උනන්දු විය යුතුය.
වෙරළ හා මහ මුහුද සුරැකීම පිණිස අපේ රටේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය කටයුතු කරයි. මේ අනුව සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය මුහුද හා වෙරළ සුරැකීම පිණිස වැඩසටහන් රැසක් කටයුතු කර තිබේ.
ඒ අනුව වෙරළේ හා මුහුදේ වැදගත්කම පිළිබඳව අවබෝධයක් පරිසර සංවිධානවලට මාධ්‍යවේදීන්ට හා පාසල් දරුවන්ට ලබාදීමට කටයුතු යොදා තිබේ. ඒ වෙරළ ආසන්නයේ ඇති පාසල් 400කට අධික ගණනක් සඳහා පාසල් සමුද්‍ර පරිසර කණ්ඩායම් පිහිටුවා තිබේ.
ඊට එක්වූ පාසල් දරුවන් 5000කට අධික පිරිසකට වෙරළ පිළිබඳව මාර්ගෝපදේශක සංග්‍රහයක් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මගින් ලබාදී තිබේ.
2008 අංක 35 දරන සමුද්‍ර දූෂණ වැළැක්වීමේ පනත අනුව ගොඩබිම සිට සැතපුම් 200ක් මුහුද පැත්තට හා මුහුදු රළ සිට මීටර් 300ක් ගොඩබිම දෙසට තෙල් හා අපද්‍රව්‍ය දැමීම වැළැක්වීමේ බලතල අධිකාරියට තිබේ. ඊට අමතරව ගොඩබිම දෙසට ජල මාර්ගයක් ඇත්නම් කිලෝ මීටර් 2ක් දුරට තම බලතල ක්‍රියාත්මක කිරීමට සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියට බලතල ඇත.
ඒ අනුව ඉහත බල ප්‍රදේශවල ඉවත ලන තෙල් ගැනත් වෙනත් අපද්‍රව්‍ය සමුද්‍රයට දැමීම ගැනත් අදාළ නෛතික පියවර ගැනීමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට බලතල තිබේ.
නැව් ආශ්‍රිත කටයුත්තක් හෝ සමුද්‍රයට සම්බන්ධ වෙනත් කටයුත්තකින් උද්ගත වන යම් දූෂණයකදී ශ්‍රී ලංකා ජල තීරය හෝ වෙනත් සමුද්‍ර කලාප ඵලදායි ලෙස සුරක්ෂිත කිරීම සහ ආරක්ෂා කිරීමට සම්බන්ධ බලතල හා පරීක්ෂණ හා විමසීම් පැවැත්වීම හා නඩු පැවරීමට අධිකාරීන්ට බලතල ඇත.
මේ පිළිබඳව අපට කරුණු දැක්වූ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරි රුහුණ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ටර්නි ප්‍රදීප කුමාර මහතා පැවැසුවේ සමුදුරට තෙල් අපද්‍රව්‍ය හා කුණු ගොඩවල් දමන අයට රුපියල් දස ලක්ෂ 4 සිට රුපියල් දසලක්ෂ 15 දක්වා දඩ මුදලක් අය කිරීමට හැකි බවයි. අධිකාරියෙන් ලබාගත් අවසර පත්‍රයක නියෝගවලට හා කොන්දේසිවලට අනුකූලව මිස ශ්‍රී ලංකා කලාපවලට තෙල් - හානිකර ද්‍රව්‍ය හා වෙනත් ද්‍රව්‍ය නොදැමිය යුතු වේ.
ඒ අනුව සමුද්‍රයේ ජල වෙරළ කෙළවර සිට මහ මුහුද දෙසට නාවික සැතපුම් 200 දක්වා අපේ මුහුදු කලාපය විහිදේ. මේ කලාපවලට තෙල් හා රසායනික ද්‍රව්‍ය දැමීම ඉහත අයුරින් රුපියල් දස ලක්ෂ 15ක් දක්වා දඩ මුදල් අය කළ හැකි ය.
ඊට අමතරව කොරල් පර සංරක්ෂණයට ද අධිකාරිය කටයුතු යොදා තිබේ. ඒ සඳහා පසුගිය ජගත් සාගර දිනය සමරමින් ඉකුත් ජූනි 8 ත්‍රිකුණාමලයේ දී පරෙවි දූපත හා අවට ශුද්ධ පවිත්‍ර කිරීමේ කටයුතු ද සාගරය හා වෙරළ සුරැකීම පිළිබඳව පාරිසරික වැඩ මුළුවක් හා ප්‍රායෝගික මුහුද නිරීක්ෂණ කඳවුරක් ද පැවැත්විණ.
සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති රිසාද් අද්මිරාල් විශ්‍රාමික රෝහණ පෙරේරා මහතාගේ උපදෙස් පරිදි සාමාන්‍යාධිකාරි ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර හා ආයතනයේ මෙහෙයුම් කළමනාකාර ඒ.ජේ.එම්. ගුණසේකර යන මහත්වරු මෙම මාධ්‍ය වැඩමුළුව සංවිධානය කළහ.
ඊට අමතරව ත්‍රිකුණාමලයේ පරෙවි දූපත අවට කොරල් සංරක්ෂණ වැඩසටහනක්ද ජගත් සාගර දිනයේදී ක්‍රියාවට නැංවිණි. ඒ අනුව නාවික හමුදාවේ හා ත්‍රිකුණාමලය පිහිනුම් පාසල්වල සාමාජිකයන්ට පරෙවි දූපත අවට මහ මුහුදේ කිමිදෙමින් කොරල් පරවලට හානිකරන විලෝපිකයන් රැසක් ජීවග්‍රහණයෙන් ම අල්ලා ගන්නට හැකි විය.
මේ කටයුතුවලට අමතරව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ද වෙරළ සංරක්ෂණය සඳහා පසුගිය වසර 3 ඇතුළත විශාල කාර්යභාරයක් ඉටු කර තිබේ. වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ බී.කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසන්නේ පසුගිය වසර තුන ඇතුළත මාරවිල, උණවටුන, දෙහිවල, ගල්කිස්ස යන ප්‍රදේශවල වැලි පෝෂණ ව්‍යාපෘති මඟින් වෙරළ පෝෂණය කිරීමට කටයුතු කර ඇති බවයි. ඒ අනුව මාරවිලට හා උණවටුනට අලුත් කෘත්‍රිම වෙරළ ඉදිකිරීමට වැය කර ඇති සම්පූර්ණ මුදල මිලියන 1600 කි. මාරවිල නව වෙරළ තීරය කිලෝමීටර් 1 1/2 ක් දිගය; මීටර් 40ක් පළලය.
මීට අමතරව පුත්තලම සිට ගාල්ල දක්වා වූ වෙරළ තීරුවේ වැලි පෝෂණ ව්‍යාපෘති මගින් ඒ වෙරළ ප්‍රදේශය ශක්තිමත් කර තිබේ. ඒ සඳහා සම්පූර්ණ වියදම රුපියල් දස ලක්ෂ 1000කට අධික බව වෙරළ සංරක්ෂණ අධ්‍යක්ෂ ගාමිණී හේවගේ මහතා පවසයි.
වෙරළ සුරැකීමට නිරන්තරයෙන්ම අවශ්‍ය වන්නේ ද ගල් වැටි දැමීමයි. ඒ අනුව පසුගිය වසර 3 ඇතුළත රට වටේ වැඩිපුර වෙරළ ඛාදනය වන ස්ථානවල ගල් වැටි දැමීම සඳහා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව වැය කර ඇති මුදල රුපියල් දස ලක්ෂ 692කට අධිකය. කළුතර ප්‍රදේශයේ මනරම් වෙරළ තීරුවක් වූ කැලිඩෝ වෙරළ තීරය මේ වනවිට අපට අහිමි වී ගොසිනි. ඒ පිළිබඳව වෙරළ සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල් පැවසුවේ ගංවතුරට මේ වෙරළේ ඩෙල්ටාව කැපීම සෑම වසරකම වාගේ මේ වසරේත් සිදු කළත් වෙනදා මෙන් එය යළි ස්වාභාවික ලෙස ප්‍රතිස්ථාපනය නොවූ බවයි.
කෙසේ වුවත් මේ සුන්දර මුහුදු තීරය යළි කෘත්‍රිම මුහුදු වෙරළක් ලෙස ඉදිකිරීමට වැලි පෝෂණය කිරීමටත් වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බවත්, ඒ කටයුතු ඉක්මනින්ම පටන් ගන්නා බවත් වෙරළ සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසයි.
අපේ රටේ සමහර ප්‍රදේශවල වෙරළේ හෝටල් රෙස්ටුරන්ට් ඉදිකර තිබෙනවා. ඒවා නීති විරෝධී ගොඩනැගිලි. ඒ අනවසර ගොඩනැගිලි වෙරළ සංරක්ෂණ ආඥා පනතේ බලතල අනුව අපි ඉවත් කරනවා.
මිරිස්සේ අප එවැනි ගොඩනැගිලි 21ක් ඉවත් කළා. නමුත් තවත් එවැනි ගොඩනැගිලි 1260ක් ඉවත් කිරීමට තිබෙනවා. ඉදිරියේදී අපි ඒවාත් ඉවත් කරනවා. ඒ ගොඩනැඟිලි ඉදිකිරීමේ වරදට රු. 30,000 දක්වා දඩයකුත් නියම කිරීමට පුළුවන්.” අධ්‍යක්ෂ ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති පවසන්නේ දැඩි අධිෂ්ඨානයෙන් යුතුවයි.
මේ අයුරින් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවත් සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරියත් මෙරට වෙරළ හා මහ මුහුද සුරැකීමට සුවිශාල මෙහෙවරක යෙදී සිටී.
මේ ආයතන දෙකම අයිති වන්නේ මහවැලි හා පරිසර අමාත්‍යාංශයටයි. එහි විෂය භාර අමාත්‍යවරයා වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාය. ඒ අනුව ඉහත වැඩසටහන් සියල්ල ක්‍රියාවට නැංවෙන්නේ ජනාධිපතිතුමාගේ ප්‍රබල උනන්දුව මතයි.
ඒ අනුව ජනාධිපතිතුමාගේ උපදෙස් අනුව වෙරළ කලාප දිස්ත්‍රික් 19 ඇතුළත ‘නීල හරිත වෙරළ ගම්මාන’ ඉදිකිරීමේ වැඩසටහන දැන් අරඹා ඇත. ඉන් 4ක් ඉදිකර අවසන්ය. ඊට අමතරව තවත් ගම්මාන රැසක් ඉදිකිරීමට කටයුතු යොදා තිබේ.
සේයාරූ - විමල් කරුණාතිලක