මං හිතුවේ අද ඔයාලා නව­තීවි කියලා... | සිළුමිණ

මං හිතුවේ අද ඔයාලා නව­තීවි කියලා...

හවස දේශනය හමාර කළ සිරිනාත, සංජය සහ උදාර දේශන ශාලාවෙන් පිට වන ගමන්ය. යන-එන සිසු-සිසුවියන් අතරේ කෙල්ලන් තිදෙනකු ඒ සමීපයට එන්නේ හරියට මඟ රැකගෙන ඉඳලා වගේය.

ඒ සමඟම සිරිනාතගේ ජංගම දුරකතනය ඇහැරෙයි.

“හෙලෝ! අයියෝ බං උඹගෙ ආරංචියක් නැතිව පුදුමාකාර විස්සෝපෙකින් හිටියේ... මොකෝ තත්ත්වෙ...?”

දැන් කොල්ලන් තුන්දෙනා ළඟට කෙල්ලන් තිදෙනාත් විත් නතර වෙලාත් ඉවරය.

දැන් හැමෝම සිරිනාතගේ මූණ දිහා ඒ ඉරියවු දිහා බලාගෙනය.

“මචං... ශ්‍රීමාලයා නේද?”

සිරිනාතත් ගණන් උස්සන්න වගේ ඔළුව වන වනා ඈතට යන්නට හදයි. දැන් උදාර, සංජය වගේම මේඛලා, සමීරා සහ ගීතා තුන්දෙනාත් තොරන් බලනවා වගේ ඔහු දිහා බලාගෙනය.

“ඈ... මොනවා...? ඇත්තට... නෑ!”

සිරිනාතගේ මුවින් පිට වන ඒ වචන අනිත් පස්දෙනා ගිලින්නේ නැතුවා විතරය.

එක්වරම සිරිනාතගේ ඇස් මේඛලා දිහාට යොමු වෙයි.

“හරි හරි.. මං පණිවිඩේ දෙන්නං... හැබැයි.. මේ ළඟම ඉන්නවා...”

ඊළඟ මොහොතේ මොබයිලය මේඛලා දිහාට දික් කෙරෙයි.

“මල් මූණක් දමං ආවාට කමක් නෑ... ඔහොම ඉඳගෙන කතා කරපං...” මේඛලා දුරකතනය කනේ ගහගෙන ඈතට යන්න හදද්දී ගීතා ඇගේ අතින් අදියි.

“ඒයි ඒයි... ඕක අරන් ඇවිදින්න නෙමේ දුන්නෙ...” සිරිනාතත් කෑගසයි. “දුරකතනෙ ජංගම වුණාට ඔයා එක තැන ඉඳන් කතා කරන්න...” ගීතා ආයෙම කියයි.

“මං... කොච්චර හෙව්වද ඔයා!”

“සිරිනාත පණිවිඩේ දෙන්න ඇතිනෙ...”

“හානේ.. ඇත්තද.. අනේ ලොකු දෙයක්.. දැන් සුදුමැණිකෙ නැන්දගෙ ලෙඩේ හොඳද එහෙනං... අනේ හොඳයි..”

“හා.. හා.. හෙට.. හම්බ වෙමු. බුදු සරණයි...!”

මේඛලා ජංගම දුරකතනය සිරිනාතට දෙද්දී විසිල් හඬින්ද හිනා හඬින්ද එතැනින් යන එන අය පවා හැරි-හැරී බලන්ට අරගෙනය.

ලජ්ජාවෙන් රතු වුණු මේඛලාගේ මුහුණ සතුටින් පිම්බිලාය.

“ඒකත් ජයසිරි මංගලම් කිව්වලු! දැන් ඉතින් ශ්‍රීමාලයා උගේ වැඩෙත් දෙයියනේ කියලා පටන් ගනීවි... මචං, යමු දැන් එහෙනං... උඹලත් පටන් ගනිල්ලා මොන-මොනවා හරි!” සංජය කීවේ ගීතා දිහාටත් සිරිනාත දිහාටත් ඇස් කොන් බැල්මක් යොමන ගමන්ය.

උදාර ඊට දැම්මේ ඔලොක්කු හිනාවකි.

“ඔහොම තමා බං කපුවොයි කපුවියොයි කොහොම හරි ගොඩ...! අපි තමා තාම එකතැන... හහ් හා...”

***

රත්නපුර වලවුවේ දිවා කෑම මේසයද වෙනදාට වඩා ජය-පහට තිබුණි. මැගී සමඟ හරි-හරියට අසල්වැසි කාන්තාවන් දෙදෙනෙක්ද ඊට සම්බන්ධ වුණේ ඩග්ලස් හාමුගේ ඒකමතික නියෝගය උඩය.

“වලවුවෙන් පැනලා ගිය සමන්ති හාමුව ආයෙමත් මේ විදියට පිළිගනීවි කියලා හීනෙකින් වත් හිතන්න පුළුවන්ද? මට නං බං ‍තාමත් ඒක අදහාගන්න බැරිව මේ ඉන්නේ...”

ඩේවිඩ් කියන්නේ ඇස් දෙක දෑතින්ම පොඩි කරමින්ය.

“ඒක තමා මං මේ කියන්න හිටියෙ. මේ වලවුවෙ කවදාවත්ම මෙහෙම දෙයක් කෙරිලා නෑ. අපේ අම්මල අපුච්චලා දන්න‍වනේ මේ වලවු ඇත්තංගෙ හැටි... නෝබිනා සම්බන්ධකංවලට බේබිලා කවදාවත් පැටලෙන්නෙ නෑ.” ඇග්නස් කීවේ රහසින්ය.

“ඇත්ත අක්කෙ මටත් අදහාගන්න බැරි වුණා. මොකක් හරිම හාස්කමක් තමා මේක නම්..”

ඇග්නස්ගෙ නංගි ඇලිස් කීවේ මැගීගේද මුහුණ බලමිනි.

“උඹලා ඔහොම කියනවා මටත් තාම මේක අපබ්‍රංසයක්.. අම්මපා මගේ ඔළුවම තෝන්තු වෙලා. සුදුමැණිකෙ හාමුට හැදිච්ච ලෙඩේ මට හැදෙන්න එනවද මන්දා.”

“හා. හා. මැගී... ඔය සාකච්ඡා වටේ හොඳටෝම ඇති. දැන් ඕං ඇඳිරි වැටීගෙනත් එනවා. මල් වට්ටිය තෙල් එහෙම ලෑස්ති කොරලා ගනිං...”

ඩේවිඩ් එහෙම කියද්දිම මලින්ද ඩේවිඩ්ව හොයාගෙන එයි. ඒ අතරේ සාලය පැත්තෙන් තවත් කතාබහකි.

“අනේ පුතේ... මං හිතුවෙ අද ඔයාලා නවතීවි කියලානේ...”

සුදු මැණිකෙ හාමුගේ බයාදු බැල්ම යොමු වෙන්නේ බෑණා ජයේන්ද්‍ර දිහාටය... ජයේන්ද්‍ර අන්දමන්ද දෑසින්ය. ඒ දර්ශනය දිහා මොහොතක් බලා සිටින්නේ ඩග්ලස් හාමුය. යටපත් කරගෙන හිටිය වලව් ගර්වය නාගයෙකු සේ හිත ඇතුළෙන් මතු වුණේ රවුමට රවුමට එතී තිබුණු නාග දරණ ලිහාගෙන වගේය. තව මොහොතකින් නාගයා පෙනේ පුප්පා දෂ්ට කරන්නට එනවාත් විෂ දුමක් සූස් හඬින් පිඹිනවාත් හාමුටම දැනුණි.

මං කීයටවත් මුංට සමාව දෙන්න හිතුවෙ නෑ... අපේ මේ විල්ප්‍රඩ් මස්සිනාගෙ ඇවිටිල්ල හින්දා නොවෙන්න.. මං දනී මේ කඩප්පුලි වැඩේ කළ එවුංට සලකන හැටි...

හිත ඇතුළෙන් ඒ හ‍ඬේ දෝංකාරය ප්‍රතිරාවය දෙද්දී ඉවසාගත නුහුණ කෝපයෙකින් විල්ප්‍රඩ් හාමුගේ දකුණුපස ඩිග් ගා පොළොවේ හැප්පුණි. ජයේන්ද්‍ර ඔහුගේ ඇස් මග හැරියේ ඉන් පිටවුණු ගිනිපුලිඟු වලින් තමා පිළිස්සී යතැයි බියවෙලා වගේය. ඒ හඬින් සුදු මැණිකෙ හාමුද ගැස්සුණි. ඇගේ අතේ තිබූ වතුර වීදුරුවෙන් ටිකක් ද හැලුණි.

එකෙණෙහිම විල්ප්‍රඩ් හාමුගේ ඇස්වල ගින්දර හරියට ඒ වතුර වැටිලා නිවුණ වගේ වුණේ සුදු මැණිකෙගේ කටහඬිනි.

“ඇයි අපෙ මහත්තයා... වැටෙන්න ගියාද..?”

ඩග්ලස් හාමු හිස දෙපසට වනා සිනා සුණි.

“මං එහෙම වැටෙන්නෙ නෑ මැණිකෙ...!”

ඔහු කෙළින්ම ගියේ සාලය කෙළවර පටු තීරයටය. එතැන තබා තිබෙන තම පියාණන්ගේ පින්තූරය දෙස ඔහු බලා සිටියේය. ඇස්වල කඳුළු පිරී ගියේය. ඒවා පහතට වැටුණේ නැත. ඒ තරමට ඒ කඳුළු උකු වැඩි වගේය. සුදු මැණිකෙ හාමුවත් ජයේන්ද්‍රවත් ඒ දර්ශනය දුට‍ුවේ නැත. මහා සද්දෙන් හුස්මක් ගත්ත හාමු ආලින්දයට ගෑටුවේය.

“අපිත් එහෙනම් යන්න පිටත් වෙමු. හැන්දැත් වෙලානේ...” මේ අතරේ විල්ප්‍රඩ් හාමු තම බිරිඳ නිර්මලා මැණිකේට කියයි. සුදු මැණිකෙ නම් තවමත් දුවගේ අතින් අල්ලාගෙනමය. ඊළඟට කතා කළේ ජයතිස්සය.

“පුතේ, එහෙනම් පුතාලත් යන්න ලෑස්ති වෙන්න.. සමන්ති හාමුව පරිස්සමින් එක්ක යන්න කියලා ඩේවිඩ්ට කියන්න...” අම්මා හඬන්ට ලෑස්ති වෙද්දී මලින්ද හෙමිහිට අම්මා ළඟට කිට්ටු වෙයි. මලින්දට පළමුව අම්මා ගැන දුකක් ඇති වෙයි. ඊළඟට දුකක් ඇති වන්නේ මුළු අම්මලා සංහතිය ගැනමය. අම්මලා දුක් අරගෙන දරුවන් හදති. එහි දුප්පත් පොහොසත් බේදයක් නැත. එහෙත් බොහෝ දුක් ගෙන අම්මලා හදන දරුවන් පෙරළා අම්මලාට දෙන්නේද බොහෝ විට ‘දුක’ ම ය! අම්මලාට දුකක් නොදී ඉන්නට පුළුවන්කම දරුවෙකුගේ මහා ජයග්‍රහණයකි; වාසනාවකි.

තමාට මෙහෙම හිතෙන්නේ ඇයි. මලින්දට පුදුමය! පහුගිය කාලසීමාව තුළදී සමන්ති අක්කා ජයේන්ද්‍ර සමඟ හිතුමතයේ පැනලා යෑම නිසා අම්මා පත් වී සිටි මානසික තත්ත්වය ඇසින් දුටු සාක්ෂිකරුවකු වී සිටිය නිසාද ඒ...? ඒ මඳිවාට අප්පච්චිත් මේ ප්‍රශ්නය ඉදිරියේ මොනතරම් අසරණ වී සිටියාද?

වලවුවක ඉපදුණත් ඒ පරිසරයේ ජීවත් වුණත් තම දෙමාපියෝද සාමාන්‍ය ගැහැනියක් සහ පිරිමියෙකි. එහෙත් සමාජයේ බොහෝ අය ඒ ‍පෙළැන්තියේ අය දිහා බන්නේ වපර ඇහින්ය. සමාජගත පුද්ගලයකු වූ තමන්ටද ඔවුන්ගේ පුහු වලවු ගර්වයන් දිහා අවඥා ඇහින් බලන්නට සිදු වුණේ ඉබේටමය. ‍‍

“එහෙනම් මලින්ද අයියේ, අපි පිටත් වෙනවා... පස්සේ කෝල්-එකක් දෙන්නම්කෝ...!”

ශ්‍රීමාල්ගේ කටහඬින් මලින්ද පියවි ලොවට එයි. රත්නපුර වලවු අංගණයේ නිඳා සිටි වාහන රාජයන් දෙදෙනා අවදිව පිටත් වුණේ එකා පසුපස එකාය. ආලින්දයේ හාන්සිපුටු දෙකේ ඉතිරි වුණේ ඩග්ලස් ගොඩලියද්ද ජෝඩුව විතරය. මැගීද තම උදවුකාරිය සමඟ කුස්සියේ රාජකාරියට අවතීර්ණ වූයේ හිතේ සැනසිල්ලෙනි... අනේ දෙවියනේ! මේ සැනසිල්ල හැමදාටම ති‍යේ නම් කියා ලෝබකමක්ද ඇති කරගෙනය.

ලබන සතියට‍...

Comments