
පහන් හද
පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකි.
විශේෂඥ වෛද්‍යවරු තම තමන්ගේ කුටිවලට එන රෝගීන් පිරික්සති. සෙසු රෝගීහු සිය කැඳවුම ලැබෙන තුරු බලා සිටිති.
රෝගීන් හිඳ සිටින කොරිඩෝව මැදින් මෙරට තරුණියක් වියපත් සුදු ජාතිකයකු හිඳ සිටින රෝද පුටුවක් තල්ලු කරගෙන යයි.
කවුරුත් ඒ අමුතු දසුන කුහුලින් නරඹති.
මා මගේ රෝගී මව ද කැටුව මෙහි පැමිණියේ මෙවිටය.
අපට නියමිත වෛද්‍යවරයා හමුවීමට කෙළවරේ කාමරයට යන හැටියට හෙදියක් මට උපදෙස් දුන්නා ය.
මම මව කැඳවාගෙන එහි ගොස් අපේ අංකය අමතන තුරු පුටුවක වාඩි ගැන්වීමි. මම ද වාඩිවීමි.
මා වාඩි වූ පුටුවට අල්ලපු පුටුවේ හිඳ සිටියේ අර විදේශිකයා හිඳ සිටි රෝද පුටුව තල්ලු කරගෙන ආ තරුණියය. ඔහු හිඳ සිටි රෝද පුටුව ඊට මඳක් එහායින් බිත්තියට සමාන්තරව නවතා තිබිණ.
සුදු ජාතිකයා බෙහෙවින් වියපත් ය. උස සිරුරක් හිමි අත් පා ද දිගු, එපරිද්දෙන්ම මහත ඔහුට රෝද පුටුව නොසෑහෙන ගාණය. ඔහු එහි හිරවී හිඳ පහතට නැමුණු හිසින් යුතුව පොතක් කියවමින් පසුවිය.
මම තරුණිය දෙස බැලූවෙමි. මා තමා දෙස බලන බව දුටු ඇය මට යාන්තමින් සිනාවක් ද පා සුපුරුදු කල්පනාවට වැටුණා ය.
“ඔයා නේද අර රෝද පුටුව තල්ලු කරගෙන ආවෙ? ඒ කවුද? මම ඇගෙන් ඇසීමි.
ඇය යළිත් යාන්තමින් සිනාසී ගොළුවත රැක්‍කා ය.
“කනගාටුයි. මං එහෙම අහපු එක වැරදියි. මට සමාවෙන්න!” මම කීමි.
“නෑ අක්කෙ, ඒක ප්‍රශ්නයක් නෙමේ. ඔයා හිතේ තියාගෙන ඉන්නෙ නැතුව අහපු එක හොඳයි. මම කියන්නම්” ඇය තෙපලුවා ය. මම අසා සිටියෙමි.
“ඒ මහත්තය පිටරටක කෙනෙක්. ඒ ගෙදර තමයි මම කාලයක් වැඩ කෙරුවෙ. මට කරන්ඩ තිබුණෙ මේ මහත්තයවයි, එයාගෙ නෝනවයි බලාගන්න එක. ගෙදර අනිත් වැඩ කරන්ඩ මං වගේ තවත් කෙනෙකුත් හිටිය. මේගොල්ලන්ගෙ දරුවො හිටියෙ වෙන ගෙවල්වල. හැබැයි, නිතරම කෝල් කර කර අඩුපාඩු බැලුව. වෙලාවට පඩි ගෙව්ව. ඉතිං මං කාලයක් තිස්සෙ එහෙ හිටිය.”
ඇය විවෘතව කතා කළා ය. එතරම් විවෘත භාවයක් අපේ තරුණියකට ලැබුණේ ඇය කලක් බටහිර රටක ජීවත් වූ නිසා යැයි මට සිතිණ.
“...මං බඳින්ඩ හිටිය කෙනත් හිටියෙ මැද පෙරදිග රටක රස්සාව කර කර. ජීවත් වෙන්ඩ සෑහෙන මුදලක් හොයා ගත්තට පස්සෙ එයා ලංකාවට ඇවිත් මටත් රස්සාවෙන් අස්වෙලා එන්ඩ කිව්වා. ඊට ටික කලකට කලින් මේ මහත්තයගෙ නෝනා මැරුණ. ඒ දෙන්න හුඟක් ආදරෙන් හිටපු හින්ද ඒ දුක මේ මහත්තයට දරා ගන්ඩ අමාරු වුණා. ඉතිං මං මෙහෙ එන්ඩ හදන කොට මේ මහත්තය හුඟක් දුක් වෙලා මට කිව්ව,
“ළමයො ඔයා වාගෙ දුවෙක් මට කවදාවත් හම්බ වෙන්නෙ නෑ. ඔයා යන තැනකට මාවත් එක්ක ගෙන යන්ඩ” කියල. තාත්තගෙ යෝජනාවට දරුවො විරුද්ධ වුණේ නෑ. ගෙදර වැඩ කරපු අනිත් එක්කෙනාව ඒ ගොල්ලෝ බාර ගත්ත. අපි ආව.”
“ඊට පස්සෙ?”
“මං එනකොට අරය අලුත් ගේ හදල ඉවර කරලයි තිබුණෙ. ඒක ඉතින් අවුරුදු ගාණක් තිස්සෙ ටික ටික හදහදනෙ තිබුණේ. අපි කසාද බැඳල ඒකෙ පදිංචියට ගියා. මේ මහත්තයටත් කාමරයක් වෙන් කෙරුව. දැන් අපි ඒ ගෙදර හොඳින් ඉන්නව.”
“ඔයාගෙ මහත්තය මේ මහත්තය එනවට අකමැති වුණේ නැද්ද?”
“අනේ නෑ. එයා මෙයාට හුඟක් ළෙන්ගතුයි. දැනුත් අපිව මෙතනින් බස්සලයි එයා ගියේ. අපිව අරන් යන්ඩත් එයා එනව.”
“කොහොමද ඔයාගෙ මහත්තයයි මේ මහත්තයයි අතර ඔච්චර ලොකු බැඳීමක් ඇති වුණේ?”
“ඒක මෙහෙමයි. අපි මුලදි හරිම දුප්පත්. අපි දෙන්නම රට රස්සාවලට ගියෙත් ඒ හින්දමනේ. මං යමක් හරි හම්බ කරගත්තෙ මේ මහත්තයගෙ ගෙදර වැඩ කරලනේ. මේ අය මට සැලකුවෙත් දුවෙකුට වගේනෙ. ඉතින් මගෙ හිතේ වගේ ම මගෙ මහත්තයගෙ හිතෙත් ඒ කෙළෙහිගුණේ තියනව.”
සුදු මහතා පොත කියවීම නවතා අප දෙදෙනා වෙත හැරී හිස සොලවමින් පසුවනු මට පෙනිණ. මට හිතුණේ ඔහු අපේ කතාවට කන්දීගෙන සිටින බව ය.
“අරයට සිංහල තේරෙනවද?” මට ඇසිණ.
“නෑ. ඒ වුණාට කතා කරන දේ දැනෙනව. මිනිස්සුන්ගෙ හැඟීම් භාෂාවලට වඩා සියුම්නේ”
“මේ මහත්තයව බලන්ඩ දරුවො ආවද?”
“තාම නෑ. කොයි වෙලාවෙ හරි එයි. නාවට කෝල් කරල දුක සැප අහනව. මෙයා කියනව ඔයාල කරදර වෙන්ඩ එපා! මගෙ දුව ළඟ මං ඉන්නෙ සන්තෝසෙන් කියල”
එකෙණෙහිම සුදු මහතාගේ වාරය පැමිණියේය.
“මං යන්නං අක්කෙ. ආයෙ හම්බ වුණොත් කතා කරන්ඩ!” කියමින් ඇය නැගිට්ටා ය.
මගේ හද පහන් විය.
ඇය රෝද පුටුව තල්ලු කරගෙන වෙද කුටියට ඇතුළු වූවා ය.
දෑස බොඳ වී ආයෙත් මම ලේන්සුව අතට ගතිමි.
අනන්‍යතාව සඟවා සිටීමට කැමැති
ගුරු මහත්මියක විසින් යොමු කරන ලද සටහනක් ඇසුරෙනි.